Monday, December 17, 2018

දීප්ති කුමාර ගුණරත්නට ලියමි

ලංකාවේ බහුතරයක් ජනයා ගමන් කරන්නේ වෘත්තයක් දිගේය. ඒ නිසා ඔවුන්ට වරක් වූ දෙය යළිත් සිදු වෙයි. වරක් දුටු දෙය යළිත් පෙනෙයි. එවිට ඔවුන් විශ්මයට පත් වෙයි. අසූව දශකය මුල සංවර්ධනයේ සංකේතය ලෙස ඔවුන්ට මහවැලි ව්‍යාපාරය හමුවූ අතර ඊට වසර 30 කට පසුව යළිත් එයම අධිවේග මාර්ග යනුවෙන් හමු වී ඇත.

1988 වසරේදී රොහාන් පෙරේරාට ‘යාත්‍රා’ නම් සගරාවක් සහ ‘දීප්ති’ නම් පුද්ගලයෙක් හමු වූ අතර 2013 වර්ෂයේදී යළිත් ඔහුටම ‘පැපරාසියා’ නම් සගරාවක් සහ ‘සේපාල්’ නම් පුද්ගලයෙකු හමු වී ඇත.

වෘත්තයක ගමන් කරමින් ධනවාදය විශ්ලේෂණය කරන අයෙකුට අනුව ලෝකය දෙකට බෙදෙයි. (1) ධනවාදී සමාජය – මුදල් රජ කරන ලෝකය (2) මුදල් රජකරන ධනවාදී ලෝකය ඇතුළේ ජීවත්වන පුද්ගලයා.

මෙම දෙකට බෙදුණු ලෝකය නිසා ආචරණ දෙකක් බිහි වී ඇත.

(1) ධනවාදය ගැන වාස්තවික අදහසකට යාම

(2) පුද්ගලයා ගැන වාස්තවික අදහසකට යාම.

මෙම ආචරණ දෙක අතර බිහිවන නිරන්තර ‘පරතරය’ ඉතිහාසයේ මේ දක්වා විසඳී නැත. ධනවාදය ගැන කරන ඕනෑම විශ්ලේෂණයකට පොදු මෙම ප්‍රවණතාවය නිසා බිහි වී ඇත්තේ අපූර්ව ආකාරයේ විරුද්ධාභාසයකි. මෙම විරුද්ධාභාසය රොහාන් පෙරේරා පැපරාසියා 2013 – සැප්තැම්බර් කලාපයේදී විශ්ලේෂණය කරන්නේ පහත පරිදිය.

”දැං අපි එක්තරා අනුභූතියක් ස්ථානගත කරමු. ආණ්ඩුවත් එක්ක ජනතා විරෝධී ව්‍යාපෘති ගොන්නකට මහ බැංකුව හරහා දායක වන ගමන් අශෝක හඳගම ‘මේ මගේ සඳයි’, ‘අක්ෂරය’ වගේ චිත‍්‍රපටි කිරීම ගැන කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ. එතැන ස්වාභාවික තර්කය වන්නේ, අරක හඳගමගේ රස්සාව, මේක එයාගේ සමාජ වැඩ යනුවෙනි. මේ ස්වාභාවික තර්කය කුමාර චාපා බණ්ඩාරට අදාළ නොවන්නේ කෙසේද? (චාපාගේ දෙබිඩි ජීවිතය සේපාල් ප්‍රශ්න කිරීම ගැටලූව ආරම්භ කරයි. එහි නිධාන කතාව සැකෙවින් මෙසේය. වෙජිටේරියන් කෙනෙක් වුණු චාපා කොහොමද මැක්සීස් කියන කුකුළු ඝාතක ව්‍යාපාරය එක්ක එකතු වෙලා සමාජ සංවර්ධන වැඩ කරන්නේ? ගැටලූව වන්නේ මේ දෙකම එක පුද්ගලයෙක් කිරීමේ උභතෝකෝටිකයයි – සටහන මගේ)”

ඉහත ‘පැපරාසියා’ සගරාවේම 20 වන පිටුවේ සගරාවට එවන ලද ලිපියක් කිසිඳු සංස්කරණයකින් තොරව පහත පරිදි පළ කර ඇත.

”දීප්ති අද දවසේ කරන්නේ කුමක්ද? දීප්තිගේ වර්තමාන තේරීම ද ඇත්තේ තරු පන්ති දේශපාලනයයි. විවිධ කණ්ඩායම් ආමන්ත‍්‍රණය කරමින් ඔවුන්ව දැනුම්වත්කොට ක්‍රියාකාරී කරනවාට වඩා දීප්ති වර්තමානයේ තෝරාගෙන ඇති ක්‍රමය ඔහුගේ ශරීරයට සැපදායී බවට සැක නැත. අතීතයේදී දීප්ති කුමාර ගුණරත්න අන් අය තමන් වටා කරකවා ගත්තේය. ඒ වෙනුවට අද දීප්තිගේ ලෝකය කැරකැවෙන්නේ අනාගත එ.ජා.ප. ආණ්ඩුවක ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයක සුභ සිහිනයක් දකිමින් සිටින සුදර්ශන ගුණවර්ධන වටාය. සුදර්ශනගේ ලෝකය කැරකැවෙන්නේ රනිල් වික්‍රමසිංහ වටාය. (න්‍යායික කවටකමක් කරන්නේ නම් අද දවසේ දීප්තිගේ සංකේත පියා සුදර්ශනය, සීයා රනිල්ය.)සුදර්ශන වෙනුවෙන් කුලියට ලිවීම, කතා පැවැත්වීම පිළිබඳව දීප්තිට කීමට ඇත්තේ කුමක්ද?”
– ඉසුරු රංගනාත් කරුණාතිලක –
(මෙම නම බොහෝවිට අන්වර්ථ නාමයකි.)

අපට කියන්නට ඇත්තේ කුමක්ද? යථාර්ථය විශ්ලේෂණය කිරීමට ක්‍රම දෙකක් ඇත.

(1) යථාර්ථය සහ අදහස් සම්පාත වෙයි.[REALITY= IDEA]

(2) යථාර්ථය යනු අදහස්වලට සම්පාත නොවී ඊට විරුද්ධව ඉතිරි වන ශේෂය ‘සැබෑව’ (REAL) ලෙස ගැනීම.

ඉසුරුගේ අදහස්වලට අනුව දීප්තිගේ සහ සුදර්ශනගේ අභිප‍්‍රායන් ටක්කෙටම දනියි. නමුත් සේපාල්ගේ ‘පැපරාසියා’ සගරාවට මුදල් දෙන්නේ කවුද? ඒ ඇයි? යන ප‍්‍රශ්න ඔහු අසන්නේ නැත. රොහාන් පෙරේරා ‘අශෝක හඳගම’ ගැන අහන ප‍්‍රශ්නය ඔහු සේපාල් උදෙසා නොඅසයි. හඳගමගේ සමාජ භාවිතය කෙතරම් දෙබිඩිද එතරම්ම සේපාල්ගේ භාවිතාවත් දෙබිඩිය. ‘යථාර්ථය’ පිළිබඳ ලෙනින් වැනි විප්ලවවාදියෙක් හැම විටම අහන්නේ මෙම මූලික ප‍්‍රශ්නයයි. ඔහුගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ගැන ඇසූ විට පෙරළා ඔහු අසන්නේ මෙවැන්නකි, ‘කාටද? මොකටද?’. ඉසුරු රංගනාත් සහ රොහාන් පෙරේරා අනුන්ගෙන් අහන ප‍්‍රශ්න තමන්ගෙන්ම නොඅසන්නේ ඇයි? යථාර්ථය ඇතුළත අපිරිසිදු වී අනෙක් මිනිසුන් සිටිත්දී, නෙළුම් මල් මෙන් මඩ නොගෑවුණු මේ මිනිසුන්ගේ පැවැත්ම ඇත්තේ ධනවාදයෙන් පිටත අකනිටා බඹ ලොවද? නැත. මේ අය ද ජීවත් වන්නේ මේ කුණු වලෙහි මඩ නාගෙන අසූචි බුදිමින් බව නොදන්නේ සමාජ විචාරය ගැන A,B,C නොදන්නා තොත්ත බබාලාය.

ඉහත දී ඉසුරු කරුණාතිලකත් ඇතුළුව සමහරුන් නිරීක්ෂණය (අනුභූතිකව) කරන පරිදි මගේ ආර්ථිකය ගැන ඔවුන්ගේ නිගමන අයිති වන්නේ ‘සැබෑවට’ නොව ‘ෆැන්ටසීන්’වලටය. සාමාන්‍ය මිනිසුන් සමාජයේ ජනපි‍්‍රය චරිත දෙස බලා තමන් නොලබන පරිසමාප්ත විනෝදයක් ඔවුන් විඳිතැයි උපකල්පනය කිරීම අහම්බයක් නොවේ. එය ආත්මීය අවශ්‍යතාවයකි. මෙය වාමාංශික දේශපාලන ව්‍යාපාරයට එන විට සමීකරණය මෙලෙස වෙනස් වෙයි. ‘මට විඳින්නට තිබූ පරිසමාප්ත විනෝදයක් ඔහු මගෙන් හොරකම් කර ඇත. නැතහොත් මට විඳින්නට ඇති පරිසමාප්ත විනෝදයකට ඔහු බාධා කරමින් සිටියි.’

සතුටු වන්න! [ENJOY LIFE] යන නියෝගය සහිත සමාජයකදී සුපිරි-අහම (SUPER EGO) විසින් යෝජනා කරන්නේ චෝදනා කළ හැකි සතුරකු බාහිරින් සොයා ගන්නා ලෙසයි. එය රාජකාරිය වැනි උතුම් කැපකිරීමකි. ලංකාවේ ජීවත්වන ඕනෑම වාමාංශික නායකයෙකුට වඩා මගේ ආර්ථිකය ඇත්තේ පහළින්ය. නමුත් මට මගේ දුර්වල තැන ගොදුරක් ලෙස වේශ නිරූපණය කර හිගා කන්නට අවශ්‍ය නැත. මට අවශ්‍ය මිනිසුන් මගේ ශක්තිමත් තැන වූ ‘චින්තනය’ සමග ගැටීමයි. වෙළඳපොළ ආර්ථිකයට සහ පරිභෝජනවාදී සංස්කෘතියට මගේ ඇති බැඳීම යනු ද ෆැන්ටසියක් මිස සැබෑව නොවේ. මගේ ආදායමෙන් මෙම පාරිභෝගික සංස්කෘතිකය තුළ කළ හැක්කේ මාජරීන් සහ MD ජෑම් මිලට ගැනීමත් උදේට සම්බෝල සමග පතෝල සහිත බත් වේලක් කෑමය. මුදල් හදල් සහිත මගේ මිතුරන් සමග බොහෝ දෙනෙකුට මාව පැටලීයාම මගේ වරදක් නොවේ. විටින් විට මෙවැනි ආකාරයේ මිතුරෙකු අක‍්‍රමවත්ව ලබා දෙන ආධාර මුදල් නැත්නම් මගේ ආර්ථිකය කම්මුතුවී බොහෝ කල්ය.

බොහෝ දෙනෙකුට කට උත්තර නැතිවී වැරදිකාර දෘෂ්ටියක හිරවෙන ඉහත අභියෝගය අපි දැන් න්‍යායික විශ්ලේෂණයකට භාජනය කරමු.

මාගේ වර්තමාන න්‍යායික අවබෝධයට අනුව පුද්ගලයා සහ සමාජය ලෙස දෙකට බෙදූ සමාජය විශ්ලේෂණය කිරීම දෘෂ්ටිවාදී වැඩ බිමකි. මෙය මාගේ අදහසක් නොව මාක්ස්වාදී දර්ශනයේ මූලධර්මයකි. (කෞට්ස්කි ද්‍රෝහියා කියා ලෙනින් කියන විට ඉන් අදහස් වන්නේ කෞට්ස්කිගේ දෙබිඩිබවක් නොව ඔහු දෘෂ්ටිවාදයට සම්බන්ධ තැනයි) මාක්ස්වාදයට අනුව පුද්ගලයා සහ සමාජය ලෙස දෙකට බෙදා (මෙහි උපරිම දාර්ශනික වර්ධනය වන්නේ සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂය – හොඳ/නරක, ව්‍යවහාරය/න්‍යාය, ද්‍රව්‍යය/අදහස්, උසස්/පහත්, පක්ෂ මතය/අපගමණය) කරන විග‍්‍රහයන් අවසන් වන්නේ විනෝද වන අනෙකෙකු පිළිබඳ ෆැන්ටසි සාගරයකින්ය. (දෘෂ්ටිවාදය යනු ගැටුම්, භේද, පසමිතුරුභාවයන් නැති සුසංවාදී සමාජයක් වෙතට අපව රැගෙන යන ආත්මීයත්වය සමග බද්ධ වූ සමාජයීය අදහස්ය.)

සමස්තය පොළවක් ලෙස සලකා එය පුද්ගලයා සහ සමාජය ලෙස දෙකට කඩා විශ්ලේෂණය කිරීම සීතල යුද්ධ යුගයේ හට ගත් බුර්ෂුවා සමාජ-විද්‍යාවේ මූලික අංගයකි. ජාතික රාජ්‍යයන් තුළ ජීවත් වන පුද්ගලයන්ගේ ජාතික අනන්‍යතාවයන් අර්බුදයට යාම, අධිරාජ්‍යවාදය නැගගෙන ඒම සහ පන්ති ව්‍යුහයත් එම ව්‍යුහයන්ගේ වටිනාකම් පද්ධතිය අභාවයට යාමත් යන කරුණු නිසා සීතල යුද්ධයේ ආරම්භය සමග සමාජ-විද්‍යාවට අලූත් මානයක් බිහිවිය. නූතන ධනවාදී සමාජ ක‍්‍රමය ඇතුළත එක පැත්තකින් වඩ වඩා පරමාණුකරණය (හුදෙකලා වන) වන පුද්ගලයෙකු සිටින අතර අනෙක් පසින් වඩ වඩා නිශ්ශබ්ද වන ‘මහජනතාවක්’ බිහි වෙයි. බුර්ෂුවා සමාජ-විද්‍යාවේ ක‍්‍රමවේදය වන්නේ මේ පැති දෙකටම පොදු වූ ආකෘතික ලක්ෂණ (FORMAL) මගින් සමාජය විචාරය කිරීමයි. හනා අරෙන්ඞ්, විල්හෙල්ම් රයික්, එරික් ෆ්‍රෝම් වැනි සමාජ විචාරකයන්ගේ රචනා මගින් ප‍්‍රකට වන්නේ මෙම දෙබිඩි සමාජ-විද්‍යාවේ ආකෘතික ලක්ෂණයි. මෙම සමාජ-විද්‍යාවේ ඉතාම අන්තගාමී නිගමනයන්ට අනුව ‘සමාජවාදය’ සහ ‘ෆැසිස්ට්වාදය’ යනු පරිපූර්ණ සමාජයක් වෙතට යන විට හමු වන සිහින ආකෘති දෙකකි. මෙම සිතීමේ ක‍්‍රමයට අනුව සමාජවාදයත්් ෆැසිස්ට්වාදයත් යනු එකම කාසියේ දෙපැත්තයි. එනම් සර්වාධිකාරයයි (TOTALITARIANISM). කුමුදු කුසුම් වැනි තනි අලියෙකු සහ රහසිගත සිංහල ජාතිවාදියෙකු උත්සාහ කරන්නේ අපගේ ධනවාදී විරෝධය සර්වාධිකාරියකින් අවසන් වන බව පෙන්වීමටය.

2004 වර්ෂයේ මුල සිට එම වර්ෂයේ අග දක්වා මා වෙත යොමු කළ නිර්නාමික ලිපි විශේෂයක් අපගේ සංවිධානයට ලැබෙන්නට පටන් ගත්තේය. එම ලිපිවල අන්තර්ගතය ඉසුරු රංගනාත්ගේ ලිපිවල අන්තර්ගතයට ඉතා සමීපය. එම ලිපිවල තර්ක පමණක් වෙනස්ය. 2004 දී ලැබුණු ලිපිවලට අනුව මා කතා කළ සියල්ල වැරදිය, මා ඒකාධිපතිය, මගේ අවසානය අත ළගය. මේ ලිපි එවූ පේ‍්‍රමනීය ජෝඩුව පසුව විවාහ වී දරු සුරතල් බලමින් දැන් ඇමරිකාවේ ජීවත් වෙයි. වර්තමාන ලිපිවලදී මා කළ සාධනීය දායකත්වය පිළිගනියි. ගැටලූව වන්නේ එවන් සාධනීය වැඩක් සුදර්ශනලා[දැන් මේ නම වෙනස් විය යුතුය] වැනි පිරිස් මගින් අපවිත‍්‍ර කර ගන්නේ ඇයිද යන්නය. මේ අය බලා සිටින්නේ මහා-අනෙකාගේ අවසරය සහ භක්තියට යටත්වී විප්ලවයක් කිරීමටය. ලෙනින් එතැනදී වෙනස්ය. ‘විප්ලවය දැන් කරමු’ යැයි කී විට කෲප්ස්කයා ඇතුළු අනෙක් සහෝදරවරු කීවේ පිස්සුද කියාය. ලංකාවේ කී දෙනෙකුට පිස්සුදැයි මම නොදනිමි.

දීප්ති කුමාර ගුණරත්න

2013
………………………………………………………………………………………………………………………………………………………………………..
දීප්ති කුමාර ගුණරත්න, 2013 දී ලියා ඇති මෙම ලියැවිල්ල මම අද අහම්බයකින් කියවන්නෙමි. මෙහි මා ගැනත් සඳහන් වන බැවින් දීප්ති ට ප්‍රතිචාර දැක්විය යුතු යැයි කල්පනා කරමි. එය ඉතා ඉක්මනින් ඔබට මෙහි කමෙන්ටුවක් ලෙස කියවා ගන්නට සලස්වමි! CHAPA
Comment – දීප්තිලාට අවශ්‍ය කුමක්ද?
දීප්ති කුමාර ගුණරත්න, මේ ලියැවිල්ලට යොදා ඇති “වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම” යන තේමාව ම ඕන නං ඔහුටත් අදාළව, එනම් “දීප්තිලා” හිර වී සිටින “විද්වත් උගුල” තේරුම් ගැනීමට, කෙනෙකුට යොදා ගන්න පුළුවන්.
ඔබ දැන් වෘත්තයක් මොහොතකට මවා ගන්න! එය පිළිගත් සම්මතයට අනුව, කේන්ද්‍රයක් වටා සම දුරකින් ඇඳෙන රේඛාවක්. දීප්ති ඉතා දුර්වල මට්ටමෙන් ගොනු කරන්න හදන, ඔහුගේ අනෙකා ට එදිරි තර්කය, එනම් “යළි යළි සිදුවීම හෝ යළි යළි හමු වීම” මේ ගණිතමය රූපකයෙන් නිරූපණය වෙන්නෙ නැහැ. ඔහුට ඒ සඳහා තෝරා ගත යුතුව තිබුණේ, අඩුම තරමේ “චක්‍රය” වැනි සංඛේතයක්. දීප්තිලාගෙ මේ මූලික අවුල ඔවුන් ට හොරා ඔප්පු කර පෙන්වන්නෙ, ඔවුන් තම තමන් වටා ළකුණු කර ගත්ත වෘත්තයක සීමාවේ අසිරිය විඳිමින් එහි කේන්ද්‍ර බවට පත්ව, ඒ තුළ සිරවී “දැනුම් ඛේදවාචක” බවට පත්වීම බව මම යෝජනා කරනවා.
ඔවුන් හසු වී සිටින ඒ මාරන්තික උගුලේ ඉතාම දුක්බර තත්ත්වය වන්නේ, “ලංකාවේ බහුතරයක් ජනයා” ලෙස, ඔවුන් ලෝක දේශපාලනය සහ ඒ ඒ ඓතිහාසික තත්ත්වයන් හකුළුවා, තමා ම සැඟවූ යමක් සොයන්නන් බවට පත් ව සිටීමයි. ලෝකයේ. වෙන රටවල් මාරයි! අන්න මිනිස්සු! යැයි මනෝමය විකාරක එතී තම රට පිළිබඳ වැරදි තක්සේරුවක් ගන්නා ඊනියා බුද්ධිමතුන්ගේ ලැයිස්තුවට දීප්ති මෙන්ම ඔහු උපුටා දක්වන්නන් ද, ඔන්න එතකොට ඇතුළු කරන්න සිද්ධ වෙනවා.
පොදු ප්‍රශ්නය ඉතා සරලයි.
ඔවුන් ට අවශ්‍ය කුමක් ද?
දීප්ති මේ ලියැවිල්ල පුරාම විවිධ පුද්ගලයන් සහ සිදුවීම් එකිනෙක ගළපන විදිහ හිස් වෑයමක් බවට පත්වෙන්නෙ ඔන්න ඔය සන්දර්භය තුළ. ඕන නං ඊළගට අපි දීප්තිගෙ ලියැවිල්ලෙ ඒ ඒ ඡේද වෙන වෙන ම සාකච්ඡාවට ගම්මු!
දැනට ඔහු, රොහාන් – සේපාල් හරහා මා ගැන ඉදිරිපත් කරන පදනම් විරහිත කියවීම ගැන අවධානය යොමු කරමු!
දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ ජනමාධ්‍යකරුවෙකු ලෙස 1998 සිට නොනවතින දේශපාලන අරගලයක යෙදෙන මම ජීවිතය ම දේශපාලන වැඩ බිමක් බවට පෙරළා ගන්නවා. විවිධ මිනිස්සු, විවිධ අවස්ථා, විවිධ සිදුවීම්! අවසන් ඉලක්කය සහ භාවිතය එකක් ම වන, ගමනාන්තයක් නැති ගමනක්.
මස් මාළු බඩ ජහරි කමට බුදිමින් අදාළ කර්මාන්ත වලට ගරහන ජඩයන්ගෙන් අගතියට පත්වන සමාජ තීරුවක් ඒ අතර මට අභිමුඛ වෙනවා. වෙන්නප්පුවේ මැක්සීස් සහ තොඩුවාව කේන්ද්‍රකොටගත් මහා වැඩ බිම ගොඩ නැගෙන්නෙ එහෙමයි. මාංශ නිෂ්පාදකයන් සහ ධීවරයන් සමඟ 2011 – 2015 අතර කාලය ගෙවෙන්නෙ එහෙමයි. මස් මාළු කන්නෙ නැති මගේ පුද්ගලිකත්වය ඒ අරගලයට වැඩි ශක්තියක් වූවා මිස ඊට හරස් වූයේ නැත. අරගලය නිමා වී නැත, එහි තව දුරටත් නියැළෙමි, අවස්ථා සොයමි!
සේපාල්ලාට සහ රොහාන්ලාට මේ දේශපාලනය ග්‍රහණය නොවන්නේම නොදැනුවත්කම ට වඩා තක්කඩිකම නිසාය. ඒ දිනවලම මම ඒ සම්බන්ධයෙන් රොහාන් ට සහ සේපාල් ට දැක් වූ ප්‍රතිචාරය සේපාල් ගේ පැපරාසියාසඟරාවේ පළ වුණා..
නැවත අසමි! ඔවුන් ට අවශ්‍ය කුමක්ද?
දීප්ති, රොහාන්, නිර්මාල්, ධම්ම සහ තවත් අය 90 දශකයේ අවසන් කාලය වන විට කරමින් සිටි වැඩ ගැන එදවස ආරම්භ වූ “අපේ සංවාදය” තවම අවසන් නැත. රාවය සහ නිදහස් පත්තර වල මෙන්ම මා ලියූ “කූඹි” දක්වා වූ පොත් තුළ ද එය නැවතී තිබෙන බව මෙහි සටහන් කර තැබිය යුතුය. සේපාල් යන පුද්ගල සාධකය එහි ස්ථානගත කළ යුත්තේ කෙසේද යන්න යළි විමසා බැලිය යුතුය.
දීප්ති ඔය කියා තිබෙන, යථාර්ථය සහ අදහස් සමපාත වීම මෙන්ම ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධව පැවතී වෙන් කෙරෙන ශේෂය යථාර්ථය ලෙස ගැනීම වැනි තර්ක මෙවලම් ගැන එක දිගට කතා කරන්න ඕන නං අපට පුළුවන්. ඒත් ඊට වඩා සරල තැනකින් අපි පටන් ගම්මු!
දීප්තිලාට අවශ්‍ය කුමක්ද?
CHAPA
Dec 04, 2018

No comments:

Post a Comment