Politics does mean civilization! so that POLITICS is a DIALOGUE, so is civilization! who? What? why? Where? When?...a lot of questions to be answered, Politics is a PROCESS finally!
Thursday, March 2, 2017
ඔබ බැඳෙනවා ද?
බැඳීම්!
අපට කොච්චර බැඳීම් තියෙනවා ද? අම්මා තාත්තා එක්ක, සහෝදර සහෝදරියන් සමඟ, විවිධ නෑදෑයො සමඟ...
ආදරවන්තයො! ඔවුන්ගෙ විවාහ! ඊට පස්සෙ දූ දරුවො! ඔන්න ආයෙත් නෑදෑයො!
එතකොට යාළු මිත්රයො! ව්යාපාරික ආයතන - කාර්යාල ඇතුළෙ එකට වැඩකරන අය! එහෙම බලනකොට නිකං ඉවරයක් නැහැ වගේ නේද?
ඔය ඉතිං ගෙදර ඉන්න බල්ලො පූසො වගෙ සුරතලුන් නැතුව.
මතක තියාගන්න! ආදරය වගේම සහ ඊටත් වඩා ප්රබල බැඳීමක් තමයි වෛරය.
වෛරය බැඳීමක් වුණොත් කොහොමද?
ඔය ඔක්කොම බැඳීම් එහෙමම තියෙද්දි, අපි කරන කියන වැඩ එක්ක බැඳීම් ඇතිවෙනවා කියලා ඔබ පිළිගන්නවාද? විශේෂයෙන්ම තමන්ගෙ රාජකාරී කටයුතු සමඟ.
මෙහෙමනෙ, වගකීම් එක්කත් අපි බැඳෙනවා!
හැමෝම නෙවෙයි, සමහරු. හුඟාක් අය, හුඟාක් වෙලාවට ඒ ඒ වැඩේ කෙරුවා ගියා. මේ ඉතිං මගෙ Job එක, මේවත් එක්ක මට බැඳීම් නැහැ! කියලා කියන අයත් අප අතර ඉන්නවා. එහෙම නැතුව වැඩ එක්ක බැඳිලා, වැඩ ජීවිතයම කරගත්ත අය වෙනම ඉන්නවා, විවිධ ක්ෂේත්ර වල. ඔවුන් ඒ ඒ ආයතනවලට ආශීර්වාදයක්. ශක්තියක්. සමහර විට එහෙම අය එක වෙලාවක අනිත් අයට කරදරයක් - හිස රදයක් වෙන වෙලාවලුත් තියෙනවා.
එහම බලනකොට, රාජකාරි කටයුතුවලදි විතරක් නෙවෙයි, සාමාන්ය ජීවිතයෙත් බැඳීම් නිසා එක එක කරදර සිද්ධ වෙන්න පුළුවං. තමන්ට වගේම අනෙක් අයටත්.
බුදු දහමට අනුව නං බැඳීම් වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. එය සරල සත්යයක්.
ඒ වුණත් මේ සාමාන්ය මානව ලෝකයෙ බැඳීම් කියන්නෙ යථාර්ථයක්. අපට ඒවායෙන් ගැලවෙන්න අමාරුයි. එහෙම නං කරන්න තියෙන හොඳම වැඩේ තමයි බැඳීම් කළමනාකරණය කරගන්න එක, තමන්ටවත් අනිත් අයටවත් ප්රශ්න ඇතිනොවන විදිහට. මෙහෙම කිව්වට වැඩේ එච්චර ලේසි නැහැ.
ඒත් උත්සහ කරන්නම වෙනවා .
එහෙම නැත්තං බැඳීම් නිසා තමනුත් දුකට පත් වෙලා, අනිත් අයත් දුකට පත් කරන්න වෙනවා. මේ බැඳීම් කළමනාකරණය අපට ඕන නං, අනවශ්ය බැඳීම් හදා ගන්න එපා, බැඳීම් වුණත් එක ගානකට තියාගන්න වගේ විග්රහ කරගන්න පුළුවං, හැබැයි පරිස්සමට!
මොකද, එක පැත්තකින් බැඳීම් නැතිවෙනකොට අනිත් පැත්තෙන් ජීවිතය නැති වෙනවා.
ම්...මේ ගැන වැඩිය හිතන්න එපා! හැබැයි නොහිතා ඉන්නත් එපා!
කල්පනා කරලා බලන්නකො!
ඔබට හොඳ කල්පනා පහළ වන ලස්සන දවසක්!
CHAPA
Wednesday, March 1, 2017
ඔබ, මට විශ්වාස ද?
ඔබ, මට විශ්වාස ද?ඔන්න පුළුවං නං උත්තර දෙන්නකො උදෙන්ම.
ඔබ, මට විශ්වාස ද?
මෙහෙමත් අහන්නන්කො, මට, ඔබ විශ්වාස ද?
උත්තරයක් හොයනවා නේද? උත්තරය එච්චර ලේසි නැහැ.
මොකද්ද විශ්වාසය කියන්නෙ? හරිම අමාරු හැඟීමක්. 'විශ්වාසය' කියන්නෙ මිනිස්සු තුළ වගේම තවත් සත්තු තුළ ඇතිවෙන යම් සිතුවිල්ලක්, හැඟීමක්, ඒ දෙකේම සංකලනයක්, හැබැයි යම් තිරසාර මානසික තත්වයක්, එක විදිහකට, පහළ වී, පවතින හිතක්.
විශ්වාසයත් එක්කම එන්නෙ ආරක්ෂාව, රැකවරණය.
අපි සාමාන්යයෙන් 'ආදරය' කියන හැඟීම ගැන හරියටම කල්පනා කෙරුවොත්, එතැන තියෙන්නෙත් විශ්වාසය.
එතකොට, විශ්වාසය කියන්නෙ හොඳ ලක්ෂණයක්. මානව සම්බන්ධතාවලදි අතිශය තීරණාත්මක සාධකයක්. සමහරු නං විශ්වාසය මත පදනම් වෙන්නෙම නැහැ. මම නං කාවවත් විශ්වාස කරන්නෙ නැහැ! කියන්නෙ එහෙම අය තමයි. සමහරවිට එහෙම තත්වයකට පත්වෙන්නෙ, තමන් දිවි හිමියන් විශ්වාස කරපු කෙනෙක්, ඒ විශ්වාසය කඩලා දැම්මම. නේද?
විශ්වාසය ඇතිකරගන්න එක, එය පවත්වාගෙන යන එක සහ එකවර එය බිඳ වැටෙනවා කියන එක ටිකක් සංකීර්ණ ක්රියාවලියක්. වැරදි අවබෝධයත් විශ්වාසය බිඳ දාන්න පුළුවං.
ඇයි? සැකය! සැකය තමයි විශ්වාසයෙ හතුරා.
එක වෙලාවක, කෙනෙකුගෙ විශ්වාසය බිඳ වැටීම, ජීවිතය නැතිවෙන තැනටම එනවා. තව කෙනෙකුගෙ ජීවිතය නැතිකරන්නත් හේතු වෙන අවස්ථා තියෙනවා.
සමහරු විශ්වාසය නිසාම ශක්තිමත්ව ජීවත් වෙනවා. ඒ කියන්නෙ ගිළිහුණු ශක්තිය නැවත ළඟා කර ගන්නත් විශ්වාසය හේතු වෙනවා. දෙවියො ජීවිතයට සම්බන්ධ වෙන්නෙ එහෙමනෙ.
විශ්වාසය තවත් වෙලාවක හොඳ නැහැ. ඒ කියන්නෙ අවිචාරවත්ව, අනෙකා හෝ යම් යම් දේවල් විශ්වාස කිරීම හැම පැත්තෙන්ම අනතුරුදායකයි. විශාල බිඳවැටීම් සඳහා 'අන්ධ විශ්වාසය' හේතු වෙන්න ඉඩ තියෙන්නෙ එහෙමයි.
ජීවිතයට විශ්වාසය ඕනෙ. හැම වෙලාවෙම එය තර්කානුකුල ත් නැහැ. ඒ වුණත් ඒක එක විදිහක බලාපොරොත්තුවක්.
අපට තව තව පැති වලින් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවං. ඒ අතර අපි එකම එක දෙයකට එකඟ වෙමු ද? අදට...
තමන්ට, තමන් තුළ සහ තමන් කරන කියන දේ ගැන විශ්වාසයක් ඕන! කියන එක ගැන?
ඔබ එකඟයි නෙ! එහෙම කරලා බලමු, අනෙක් අය ගැන - අනෙක් දේවල් ගැන අපට විශ්වාසය ඇතිවෙන්නෙ හෝ නැති වෙන්නෙ කොහොමද කියලා...
එකක් මතක තිය ගන්න, විශ්වාසය කියන්නෙ ගොඩ නගන්න පුළුවං දෙයක්, වීදුරු බඳුනක් නං නෙවෙයි, බිඳුණොත් ආයෙමත් හදන්න පුළුවං.
ඔබට විශ්වසනීය දවසක්!
CHAPA
Subscribe to:
Posts (Atom)

