Wednesday, March 1, 2017

   ඔබ, මට විශ්වාස ද?

ඔබ, මට විශ්වාස ද?
ඔන්න පුළුවං නං උත්තර දෙන්නකො උදෙන්ම.
ඔබ, මට විශ්වාස ද?
මෙහෙමත් අහන්නන්කො, මට, ඔබ විශ්වාස ද?
උත්තරයක් හොයනවා නේද? උත්තරය එච්චර ලේසි නැහැ.
මොකද්ද විශ්වාසය කියන්නෙ? හරිම අමාරු හැඟීමක්. 'විශ්වාසය' කියන්නෙ මිනිස්සු තුළ වගේම තවත් සත්තු තුළ ඇතිවෙන යම් සිතුවිල්ලක්, හැඟීමක්, ඒ දෙකේම සංකලනයක්, හැබැයි යම් තිරසාර මානසික තත්වයක්, එක විදිහකට, පහළ වී, පවතින හිතක්.
විශ්වාසයත් එක්කම එන්නෙ ආරක්ෂාව, රැකවරණය.
අපි සාමාන්‍යයෙන් 'ආදරය' කියන හැඟීම ගැන හරියටම කල්පනා කෙරුවොත්, එතැන තියෙන්නෙත් විශ්වාසය.
එතකොට, විශ්වාසය කියන්නෙ හොඳ ලක්ෂණයක්. මානව සම්බන්ධතාවලදි අතිශය තීරණාත්මක සාධකයක්. සමහරු නං විශ්වාසය මත පදනම් වෙන්නෙම නැහැ. මම නං කාවවත් විශ්වාස කරන්නෙ නැහැ! කියන්නෙ එහෙම අය තමයි. සමහරවිට එහෙම තත්වයකට පත්වෙන්නෙ, තමන් දිවි හිමියන් විශ්වාස කරපු කෙනෙක්, ඒ විශ්වාසය කඩලා දැම්මම. නේද?
විශ්වාසය ඇතිකරගන්න එක, එය පවත්වාගෙන යන එක සහ එකවර එය බිඳ වැටෙනවා කියන එක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. වැරදි අවබෝධයත් විශ්වාසය බිඳ දාන්න පුළුවං.
ඇයි? සැකය! සැකය තමයි විශ්වාසයෙ හතුරා.
එක වෙලාවක, කෙනෙකුගෙ විශ්වාසය බිඳ වැටීම, ජීවිතය නැතිවෙන තැනටම එනවා. තව කෙනෙකුගෙ ජීවිතය නැතිකරන්නත් හේතු වෙන අවස්ථා තියෙනවා.
සමහරු විශ්වාසය නිසාම ශක්තිමත්ව ජීවත් වෙනවා. ඒ කියන්නෙ ගිළිහුණු ශක්තිය නැවත ළඟා කර ගන්නත් විශ්වාසය හේතු වෙනවා. දෙවියො ජීවිතයට සම්බන්ධ වෙන්නෙ එහෙමනෙ.
විශ්වාසය තවත් වෙලාවක හොඳ නැහැ. ඒ කියන්නෙ අවිචාරවත්ව, අනෙකා හෝ යම් යම් දේවල් විශ්වාස කිරීම හැම පැත්තෙන්ම අනතුරුදායකයි. විශාල බිඳවැටීම් සඳහා 'අන්ධ විශ්වාසය' හේතු වෙන්න ඉඩ තියෙන්නෙ එහෙමයි.
ජීවිතයට විශ්වාසය ඕනෙ. හැම වෙලාවෙම එය තර්කානුකුල ත් නැහැ. ඒ වුණත් ඒක එක විදිහක බලාපොරොත්තුවක්.
අපට තව තව පැති වලින් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවං. ඒ අතර අපි එකම එක දෙයකට එකඟ වෙමු ද? අදට...
තමන්ට, තමන් තුළ සහ තමන් කරන කියන දේ ගැන විශ්වාසයක් ඕන! කියන එක ගැන?
ඔබ එකඟයි නෙ! එහෙම කරලා බලමු, අනෙක් අය ගැන - අනෙක් දේවල් ගැන අපට විශ්වාසය ඇතිවෙන්නෙ හෝ නැති වෙන්නෙ කොහොමද කියලා...
එකක් මතක තිය ගන්න, විශ්වාසය කියන්නෙ ගොඩ නගන්න පුළුවං දෙයක්, වීදුරු බඳුනක් නං නෙවෙයි, බිඳුණොත් ආයෙමත් හදන්න පුළුවං.
ඔබට විශ්වසනීය දවසක්!
CHAPA  

No comments:

Post a Comment