මොන මගුලක් අහනවද!? ඒ අපේ දරුවෙක් යැ!
ඔහු බලාපොරොත්තු සහගත තරුණයෙක්!
ටික කලකට පෙර, ඔහු, එක්තරා ආයතනයක් වෙනුවෙන් මා ඉස්සරහා සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටියා. ඔහුට එතකොට වයස 22 ක්. දකුණු පළාතෙ ඈත නගරයකින් ඔහු එදා කොළඹ ඇවිත් හිටියා.
'' දිගටම ඉගෙන ගන්න...හැම දෙයක්ම සැලසුම් කරගන්න...කොළඹ දි ලැබෙන නිදහසෙන් ජීවිතය නාස්ති කරගන්න නං එපා!''
මම එදා ඔහුට කිව්වා. ඔහුට ඒ රැකියාවත් ලැබුණා.
ඊට පස්සෙ එක කාලයක්, යම් යම් හේතු මත, ඒ ආයතනයත් එක්ක මගෙ සම්බන්ධය නැතුව තිබුණා. ඒ අතරෙ පහු ගිය දවසක දි මම ඔහුව දැක්කා. ඒ එක මළ ගෙදරකදි.
එදා ඔහු, ඔහුට වඩා දෙතුන් ගුණයක් වයසින් වැඩි දෙන්නෙක් සහ ටිකක් වැඩිමල් සගයෙක් එක්ක හොඳටම මත් පැන් පානය කරමින් ''මළ ගෙවල්වල දේශපාලනය'' කතා කරමින් විනෝදවෙන හැටි දැක්කා.
'' දිගටම ඉගෙන ගන්න...හැම දෙයක්ම සැලසුම් කරගන්න...කොළඹ දි ලැබෙන නිදහසෙන් ජීවිතය නාස්ති කරගන්න නං එපා!''
මට ඒ උස් හඬවල් අතරින් ඒ මොහොතෙ අර මගේම වචන මතක් වුණා.
මම දිගට දිගට කල්පනා කරලා පස්සෙ දවසක අර තරුණයාට අතීතය මතක් කරමින් යන පාර වැරදි බව කියන්න උත්සහ කෙරුවත් ඔහු බිම බලාගෙන ඔහේ හිටියා. ඔහුගෙ ඉරියව් පෙන්නුම් කෙරුවෙ නං ''ඔය විකාර කතාවලින් මට වැඩක් නැහැ හලෝ!'' වගෙ හැඟීමක්. එතකොට වැඩේ දුරදිග ගිහිං. ඒ බේබදු කණ්ඩායමේ හිටපු එක පුද්ගලයෙක් ඒ ආයතනයෙ ප්‍රධානියෙක්. ඔහු තමයි මේ කතා නායක තරුණයා බීමට පොළඹවන්නෙ කියලත් ඒ අතරෙ දන ගන්න ලැබුණා. අනිත් අයත් එකම ආයතනයෙ. ඉතිං ඒ ප්‍රධානියා එක්කත් මේ ගැන කතා කරන්න හැදුවත්, ඔහුගෙ නිහඬ ප්‍රතිචාරය නිසා වැඩේ එච්චර සාර්ථක වුණේ නැහැ.
ඒ ප්‍රධානියාගෙ බිරිඳත් වැඩ කරන්නෙ ඒ ආයතනයට. ඇයත් මේ ගැන දැනුවත්.
''ඔයා වෙලාවක මහත්තයාට හෙමින් කියන්න අර චන්දිමාල් ( බොරු නමක්!) වගෙ අයත් එක්ක බොන්න එපා කියලා...අනෙක ආයතන ප්‍රධානින් තමන් යටතෙ වැඩකරන අයත් එක්ක බොන එක ලොකු ප්‍රශ්නයක්...ඊටත් වඩා චන්දිමාල් වගෙ අයට ඔයාලා හරි පාර කියා දෙන්න ඕනෙ, එයාලා ජීවිතය පටන් ගත්තා විතරයි, ඇයි මෙහෙම කරන්නෙ? බලන්න මිනිහගෙ හැටි..හොඳටම නාස්ති වෙලා''
දවසක් මම ඇයට කිව්වා.
''නැහැ ඉතිං..එයාලා බිව්වට...එහෙම වැරදි වැඩ කරන්නෙ නැහැ...දන්නැද්ද ඉතිං...''
ඇය තිර හඬකින් කියන්න පටන් ගත්තා.
''ඔයාලට ත් දරුවො ඉන්නවනෙ?''
''ඔව්!''
''දුවලා දෙන්නෙක්...ලොකු එක්කෙනාට දැන් 19 ක්''
ඇයගෙ හඬ ආඩම්බරයි.
''එයා දවසක විවාහ වෙන්න යන තරුණයා බේබද්දෙක් වුණාට කමක් නැද්ද?''
''අපෝ බෑ! එහෙම කොහොමද?!''
ඇයගෙ මුහුණට නොරිස්සුම් ගතියකුත් ආවා.
''එතකොට ඒ දුවගෙ තාත්තා මේ චන්දිමාල්ව බීමට පොළඹවන්නෙ ඇයි!''
මගෙ ප්‍රශ්නයට ඇය පිළිතුරක් දුන්නෙ නැහැ.
''මොන මගුලක් අහනවද!? ඒ අපේ දරුවෙක් යැ!''
ඇයගෙ මුහුණෙ ලියැවිලා තියෙන්නෙ නං අන්න එහෙම කතාවක්.
CHAPA
May 22, 2017
No comments:
Post a Comment