අතුරු කතාවක්...
ඊයෙ, ඒ කියන්නෙ 2017 මැයි 14, තංගල්ලෙ තිබුණු SAITM විරෝධි රැළියට යන්න, වෙනදාට වෙනස් ප්‍රවාහන පහසුකමක් හොයාගන්න හදිසියෙ මට සිද්ධ වුණා. මම Dr. පාදෙණියට කතා කෙරුවා GMOA කවුරු හරි කොළඹින් යනවද කියලා බලන්න, ඒ එක්ක යන්න. ඔහු, තවත් වෛද්‍යවරයෙකුට, ඒ වෛද්‍යවරයා තවත් වෛද්‍යවරයෙකුට කතා කරලා අන්තිමට කෙටි වෙලාවකින් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
''මම තරංග කියලා කෙනෙක්, ඔබ තුමාගෙ fb friend කෙනෙක්...කරාපිටිය hospital එකේ Dr. බණ්ඩාරගෙ මල්ලි...''
දුරකථන ඇමතුමක්.
නියමිත වෙලාවට මා කැටුව යන්න සුදු පැහැති කාරයක පැමිණි ප්‍රියමනාප පුද්ගලයෙක්.
අපි ඉතිං යන්න පිටත් වුණා.
ඒ වාහනය තුළ ඔහුගෙ බිරිඳගේ මවත් හිටපු නිසා මම හිතුවා ඔහු මම නිසා තමන්ගෙ ගමන් සැලැස්ම හදිසියෙ වෙනස් කරන්න ඇති කියලා, ඇත්තටම මට එක විදිහක වරදකාරී හැඟීමක් ඇති වුණා.
''අයියෝ...මම හරිම කැමැත්තකින් මේ වැඩේ කරන්නෙ...අයියා මට call කරපු ගමන් මම ටක් ගාලා කැමති වුණා...මම මේ කල්පනා කෙරුවෙ මම ටිකක් පරක්කු වුණා ද කියලා...මම කොහොම හරි වෙලාවට එතනට එක්ක යන්නං...''
ඔහු වාහනයෙ වේගය වැඩි කරන ගමන් කිව්වා.
තරංග වෘත්තීය ඉංජිනේරුවෙක්. ඔහු, ඉතාමත්ම මානුෂික ගති පැවතුම් තියෙන පුද්ගලයෙක් කියල, මම ඒ මුල් හමුවීමෙන්ම තේරුම් ගත්තා. ඔහු තම බිරිඳ සහ ඇයගෙ මව සමඟ ගමනක් ගොස් මහරගම ප්‍රදේශයේ පිහිටි තමන්ගෙ ගෙදර එන අතරෙ තමයි ඔහුගෙ අර වෛද්‍ය සහෝදරයා මේ කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙන්නෙ. ඔහුගෙ බිරිඳ තංගල්ලෙ. ඔහු ඊට කලින් දවසෙ නිදි වර්ජිත දිගු රිය පැදවීමකින් තෙහෙට්ටුවට පත්වෙලා හිටපු නිසා, තම ගමට යෑමට සුදානමින් හිටපු බිරිඳගේ මව, බස් රියක නංවා තංගලු යවා, බිරිඳ සමග නිවසට යන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ.
මාව තංගල්ලට ගෙනියන්න ඕන නිසා, ඔහු තම ගමන් සැලැස්ම ක්‍ෂණිකව වෙනස් කරලා, තම බිරිඳ බස් රියක නංවා නිවසට යවා, ඒ නැන්දනිය සමඟ මා කැටුව යෑමට පැමිණෙනවා.
කෙනෙකුට මේ සිද්ධිය නිකම්ම නිකං සිද්ධියක් වගෙ පේන්න පුළුවං, ඕක මහා වැඩක් යැ! කියලා කියන්නත් පුළුවං.
ඔව්! මහා වැඩක් තමයි! පොදු වැඩක් වෙනුවෙන්, අනුන් වෙනුවෙන්, තම පුද්ගලිකත්වය මොහොතකටවත් කැප කරන්න පොදු සමාජය සුදානම් නැහැ. අප ජීවත් වන මේ ආත්මාර්ථකාමී සමාජය තුළ මෙහෙම සිද්ධි මට නං මාර විදිහට දැනෙනවා.
ඔහු ඉතිං කියපු විදිහටම අවශ්‍ය වෙලාවට මාව එතැනට අරගෙන ගියා, රෑ ආපහු ගෙදර ළඟටම එක්කගෙනත් ආවා. ඒ විතරක් නෙවෙයි, ඒ රැළියට ගිය ශ්‍රී ජයවර්ධනපුරවිශ්ව විද්‍යාලයෙ හාමුදුරුවරු දෙනමකුත් කොළඹ අරගෙන ඇවිත්, අදාළ තැනටම අරගෙන ගියා. ඔහු ඒ හැම දෙයක්ම කෙරුවෙ පුදුම සතුටකින්.
ඔව්! තරංග, ඔබ ඒ කරපු වැඩේ නං ''මාර වැඩක්!'' තමයි.
ඉන්න! කතාව තවම ඉවර නැහැ...
අපි ආපහු එන අතරෙ, තංගල්ල කිට්ටුවම වගෙ, පිළිවෙළකට කඩය තියාගෙන වෙළඳාම් කරන්න ලොකු උත්සහයක් ගන්නවා වගෙ පෙනුන පුංචි ආප්ප කඩයකට ගොඩ වුණා. ඒ ''ආප්ප හදන මුදලාලි'' කිව්වා, ඔබ තුමා අපි වෙනුවෙන් කතා කරන වැඩ සටහන් මම අනිවාර්යයෙන්ම බලනවා! කියලා.
''අපි වෙනුවෙන්!''
ඒ ප්‍රතිචාරය ගැන මට එක විදිහක පුදුමයකුත් ඇති වුණා. එහෙම නං මේ ක්‍රියාකාරකම් වලින් යම් සමාජ කම්පනයක් ඇති වෙනවා! මට හිතෙන්න පටන් ගත්තා. ඔහුගෙ කුඩා දඟකාර දියණියත් ඒ විනාඩි කීපයට අපිත් එක්ක යාළු වුණා. මම අහපු ප්‍රශ්නවලට එයා කිසිම පැකිළිමක් නැතුව උතර දුන්නා.
''ඔයා ලොකු වෙලා කව්රු වෙන්නද ආසා?''
''ඩොක්ටර් කෙනෙක්..''
මම සහ පුංචි ළමයි අතර ඔය වගෙ දෙබස් ඉතාම සාමාන්‍යයයි. ඒත්, මම ඒ වෙලාවෙ එයාගෙන් එහෙම ඇහුවෙත් නැහැ, ඉතිං එයා එහෙම කිව්වෙත් නැහැ.
''ප්‍රශ්නය තමයි...SAITM කියන්නෙ තීරණාත්මක සාධකයක්, එය ආයතනයක් නෙවෙයි. SAITM ආයතනයට ඉඩ ලැබුණොත්...මෙන්න මේ ගොවියාගෙ පුතාට කවදාවත් වෛද්‍යවරයෙක් වෙන්න බෑ!''
ඔන්න! තංගල්ලෙ වේදිකාවෙ මගේ හඬ මටම ඇහෙන්න පටන් ගන්නවා!
එතකොටම අර ආප්ප දාන තාත්තාගෙ අහිංසක මුහුණයි, දඟකාර පුංචි ගැහැනු ළමයාගෙ බලාපොරොත්තු සහගත ඇස් දෙකයි එකවර මට එල්ල වෙනවා දැනෙන්න ගන්නවා.
තරංග! ඔබත් ඒ මොහොතෙ එතැන හිටියා නේද?
CHAPA
2017 මැයි 15
No comments:
Post a Comment