Saturday, July 22, 2017

   Dark Room?එළියට එන්න!


 
ඊයෙ ''ඩාක් රූම්'' බලන්න ලුම්බිණියට ගියා. නාට්‍යය ඉවර වුණාම, එහි නිර්මාණ කරුවා, නාලක හපුආරච්චි මට ආරාධනාවක් කෙරුවා, ඒ නාට්‍යමය අත්දැකීම ගැන අදහස් ඉදිරිපත් කරන්න කියලා. ඒ අවස්ථාව නං ඉතිං ටිකක් වෙනස්. 
කොහොම වුණත්, ඒ මොහොතෙ මම වේදිකාවට ගොඩ වෙලා ඉදිරිපත් කරපු අදහසේ දිගුවක් විදිහටම මේ සටහන තියන්න හිතුවා.
මේ වේදකා නාට්‍යය තුළ දිග හැරෙන්නෙ, වත්මන් ශ්‍රී ලාංකේය සමාජය හිරවෙලා තියෙන 'තැන' පිළිබඳ එක විදිහක විග්‍රහයක්. Dark Room හෙවත් කළුවර කාමරය ලෙස ඔවුන් පෙන්වා දෙන්න හදන්නෙ අන්න ඒ හිරවීම.
රාජ්‍ය, ආණ්ඩුව, ආගම් ප්‍රමුඛ සංස්කෘතිය, ආර්ථික විෂමතාව, පිරිමි ගැහැනු අතරින් මතුවන ලිංගිකත්වය වගෙ සාධක නාට්‍යය අන්තර්ගතයට සම්බන්ධ කරගෙන තියෙනවා.  ඒ විෂය පරාසය ඉතාම පුළුල්. රංගනයට සම්බන්ධ වුණු ශිල්පීන් අනාගතයෙ තව දුරටත් ගොඩනැගෙන්න නියමිත දක්ෂ අය. පසුතල නිර්මාණය, සංගීත සහ තවත් නාද රටා සුසංයෝගයත් හොඳ මට්ටමක තිබුණා. 
ඔව්! හොඳ උත්සහයක්!
ඒත් අර කලින් කියපු ''දේශපාලන විෂය පරාසය'' අදාළ නාට්‍ය පිටපත තුළ ග්‍රහණය වෙලා තියෙන විදිහෙ බරපතළ ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදිහට 'ආගම' දේශපාලනික විග්‍රහයකට ගන්නවා වෙනුවට සිද්ධ වෙන්නෙ, ක්‍රිස්තියානි කතෝලික සහ ඉස්ලාම් ආගම් ගැන යන්තමින් සඳහනක් කරලා, නාට්‍ය පුරාම වගෙ බුධාගමට විශේෂයෙන් පහර දීම. මේ තත්වය බරපතළ ප්‍රශ්නයක් වෙන්නෙ, ඒ අතර නිර්මාණය පුරාම සමලිංගනය සහ ඊටම අදාළ ලිංගික නිදහස ගැනත් අවිචාරවත්ව කතාකරන්න පටන් ගන්න නිසා. ඒ සඳහා යොදාගන්න සංනිවේදන උපක්‍රමත් යම් ප්‍රාථමික මට්ටමක තිබුණ නිසා සමහර වෙලාවට එක විදිහක ජුගුප්සාජනක ගතියකුත් මතු වෙන්න ගන්නවා.
මේ වෙලාවෙ, රට මත ක්‍රියාත්මක, රාජ්‍ය ව්‍යුහාත්මකව විකෘති කිරීමේ උත්සාහය සහ ඒ නිසාම, බුද්ධාගමට අවිචාරවත්ව පහර ගැසීම සහ එහි සංස්කෘතික ලක්ෂණ අවිද්‍යාත්මකව හෑල්ලුවට ලක් කිරීම මෙන්ම විශේෂයෙන්ම ඒ සඳහා සමලිංගනය සහ ලිංගික නිදහස ඉස්මතුකිරීම කියන දේශපාලන බලහත්කාරයනිසා මේ Dark Room ගැන යළි යළිත් කල්පනා කරලා බලන්න වෙනවා.
මේ එවැනි NGO වැඩක් නං, ඒ ගැන කතා කන්න දෙයක් නැහැ, ඒ දේශපාලනය ගැන කතාකරනවා මිසක්. හැබැයි, අත්දැකීම් අඩුකම සහ දැනුමේ සීමාවන් නිසා එහෙම වැඩකට අහුවෙන, යමක් ඇත්තටම කරන්න ඕනෙ කියලා හිතන තරුණ නිර්මාණකරුවන්ගෙ ගොඩට මේ නාලකලාත් වැටෙන්න ඉඩ කඩ වැඩියි. කොහොම වුණත්, සමාජය Dark Room එකෙන් එළියට ගන්න ඉස්සර වෙලා, ඒ ගැන නිර්මාණ කරන අය තමන් හිරවෙලා ඉන්න Dark Room එකෙන් එළියට එන්න ඕනෙ, නැත්තං ඔවුනුත් පවතින අර්බුදයෙම කොටසක් වෙනවා. පරිස්සමෙන්!
CHAPA 
2017 ජුලි 23
 


 

No comments:

Post a Comment