වැවයි දාගැබ යි ගමයි පන්සල යි!
වැවයි දාගැබයි ගමයි පන්සල යි! කියන්නෙ, කවුරු කවදා නිර්මාණය කෙරුවත්, ඉතාමත්ම පුළුල් අර්ථයක් තියෙන සමීකරණයක්!
ඒ කියන්නෙ;
වැවයි දාගැබයි ගමයි පන්සලයි = තිරසාර සංවර්ධනය!
මේ තමයි මහින්දාගමනයෙන් පස්සෙ යළි සූත්‍රගතවන ලංකාව, එදා හෙළය.
බුදු දහම කියන, විශ්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය හෙවත් ජීවිතය පිළිබඳ යථා අත්දැකීම, එදා ලංකාව ට එන්නෙ අශෝක අධිරාජ්‍යයාගෙ රාජ්‍ය දේශපාලන පණිවිඩයක් හැටියට. එය එවකට පැවති දෙවැනි පෑතිස් රජ සමය විසින් ඉතාමත් ම තර්කානුකූළ විදිහට ග්‍රහණය කරගන්නවා.
එදා හෙළය, භාරත දේශපාලනය හරහා එන 'බුද්ධාගම' තුළ තිබෙන ගැඹුරු විද්‍යාව ( අවිද්‍යාව ට එරෙහි! ) ඉතා හොඳින් වටහා ගන්න සමත් වීම, මුළු මානව සංහතියම ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම දක්වා ත් විහිදෙන ඒ ඓතිහාසික ක්‍රියාවලිය, මේ වනවිට අසම සම මහා දැනුම් පද්ධතියක් ලෝකයට දායාද කර තිබෙනවා.
එදා හෙළයෙ පාලන යාන්ත්‍රණය හෙවත් ලංකාවට අනන්‍ය ඓතිහාසික දේශපාලනය, වඩා මානවවාදී සහ විශේෂයෙන්ම ස්වභාවධර්මය සමඟ හොඳින් සුසර වන ආකාරයට ප්‍රතිසංවිධානය වෙමින් ගලාගෙන එන්නෙත් ඒ සන්දර්භය තුළමයි.
එදවස ගොඩ නැගුණු සහ අද අපට අහිමි වෙමින් යන, ගොවිබිම සහ ගොවිකම කියවා ගන්න නං මෙන්න මේ අතීතය හොඳින් කියවා ගන්නම වෙනවා.
බලන්න! ගංගා හරස් නොකළ, හෙළයෙ වැව් පද්ධතිය සහ ස්වභාව ධර්මය සමඟ සුසංයෝග වන මහා වාරි තාක්ෂණය. අපේ කෙත්වතු තුළ තිබුණු 'ජීවිතය' තමයි හෙළ සංස්කෘතිය විදිහට අපට කියවා ගන්න ලැබෙන්නෙ.
අපේ කුඹුරු තුළ දිය බැස්ම සකස් වී තිබුණු ආකාරයට පාංශු පෝෂණය තහවුරු කෙරුණා. ඒ ක්‍රමය තුළ වල් පැළෑටි තර්ජනය අවම වුණා. කෘමි උවදුර ත් ජෛව යාන්ත්‍රණය තුළ ම සමබර වුණා. ඒ අතර කුඹුර ඉස්මත්තෙ කුරුළු පාළුව ගැන හිතන්න!
මොන තරම් සුන්දර සහ විද්‍යාත්මක අත්දැකීමක් ද? ඉතිං ඒ වගා බිමෙන් පෝෂණය වන එදා ගම ගැන කුමන කතා ද? ජෛවගෝලය සමඟ පෑහෙන ගොවිබිම සහ ගොවිකම, ස්වභාවධර්මය තුළ ජීවිතය, පන්සලේ ඝාන්ඨාර නාදය, සාමුහිකත්වය, සශ්‍රිකත්වය!
වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන්නෙ මේ සියල්ල! අපට මගහැරෙන සහ නුතන වෙළෙඳපොළ විසින් සැලසුම් සහගතව අපෙන් මඟ හරවන, ලාංකේය ජාතිකත්වයේ - මේ ඓතිහාසික සංස්කෘතික පාදම නිවැරදිව වටහා ගත්තොත්, 'ජීවිතය' සහ ජීවිතය නිරුපද්‍රිතව පවතින, ''නියම තිරසාර සංවර්ධනය'' මොකද්ද කියලා මුළු ලෝකයටම කියා දෙන්න අපට පුළුවන්!
CHAPA
July 19, 2017
No comments:
Post a Comment