Wednesday, August 30, 2017

මේ, රංචි...

 'රංචි' කියන්නෙ මේ අහළ පහළ ගෙදරක ආදරය ට ඇති කරන, සැපට හැදෙන බැළලියක්.  
මහා ආඩම්බරකාරී, පිට කාටවත් එහෙම වැඩිය ළඟ ට එන්න දෙන්නෙ නැහැ, අත පත ගානවට වැඩිය කැමති ත් නැහැ. අපේ වත්තෙ තියෙන වදුළ නිසා ද මන්දා එයා නිතර නිතර මෙහෙ ඇවිත් ඔහේ කාලය ගත කරනවා, ඔය තැන් තැන් වල ඉඳගෙන, වැතිරිලා, අවට සිරි නරඹමින් ඉන්න තමයි එයා කැමති.
අපි ඉතිං ඒ වුණාට දැන් ටිකක් යාළුයි.
මේ බැළලි ටිකක් අමුතුයි. හැඟීම් ප්‍රකාශනය වෙනස්. තේරුමක් නැතුව බය වෙලා වගෙ ඉන්නවා. වෙලාවකට ලොකු වැඩකට යනවා වගෙ අපේ ගේ මැද්දෙන් බරට අඩිය තියල එහා මෙහා යනවා, හිටපු ගමන් තරප්පුව ගිගේ උඩට ගිහිං ආපිට එනවා. ගහ කොළ දිහා බලාගෙන කල්පනා කර කර වගෙ ඉන්නවා. එක දවසක්, ඌ ගේ ළඟම තියෙන උස කරපිංචා ගහ යට තියෙන ගබඩා පෙට්ටිය උඩ ඉඳගෙන ඉන්නකොට, මම උඩ බැල්කනියෙන් අර කරපිංචා ගහට වතුර ටික ටික වැක්කෙරුවා. රංචි හොඳටම බය වෙලා වතුර වැටෙන ගහ පාමුළ බලාගෙන හිටියා. ඌ නිකමටවත් වතුර එන උඩ බැලුවෙ නැහැ. ඇයි එහෙම වෙන්නෙ?
ඔබ හිතයි මේ මොන කතා ද, බළල්ලු ඔහොම තමයි කියල. මම එහෙම හිතන්නෙ නැතුව පොඩි පොඩි වැඩ කරලා රංචි ගෙ බළල් ගතිගුණ නිරීක්ෂණය කෙරුවා. ඇත්තටම ඌ සාමාන්‍ය තත්වයන් තේරුම් ගන්නෙ අමුතු විදිහට. 
දන්නවා ද? දවසක් ඌ ඉන්න හරියට පුංචි කුරුළු පැටවෙක් වැටිලා, වැඩි හිටි කුරුල්ලො කීප දෙනෙක් බෙරිහන් දෙමින් ඒ අවට කැරකෙන කොට තමයි මම දැක්කෙ. රංචි පිස්සියෙක් වගෙ පැනලා, වැටිච්ච කුරුළු පැටියා කටින් අල්ලාගෙන ගේ අනිත් පැත්තට දිව්වා. මම ත් පස්සෙන් දිව්වා. ඌ කුරුළු පැටියා බිම දාලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා, දඩයමක හැඟීමක්වත් ඒ බළල් මුහුණෙ තිබුණේ නැහැ, කොහොම හරි ඒ කුරුළු පැටියා ට ජීවිතය ලැබුණා, දවසක් දෙකක් ගහක් උඩ පරිස්සමට තියලා දරුවා ව අම්මලා ට බාර දෙන්න පුළුවන් වුණා, ඒ වෙන කතාවක්. 
තව දවසක් මම දැක්කා, කොහෙන්ද ගුලක් හාරගෙන මේ ගෙවත්තට පැන ගත්ත මීයො කණ්ඩායමක් එක්ක හරි හරියට වාඩි වෙලා රංචි ත් උන් දිහා කුතුහලයෙන් බලා ඉන්නවා.
හරි! ඒ ඔක්කොම පැත්තක තියමු! මම ඌට, බළල්ලු කන්න කැමතියි කියල සාමාන්‍යයෙන් අපි දන්න එක එක දේවල් දීලා බැලුවා. කිරි, බිස්කට්, පොල්...ම්හු! බලන්නෙවත් නැහැ. හාල් මැස්සෙක් ළඟට කරනකොට පැනල දුවන බළලෙක් ගැන ඔබ දන්නවා ද? රංචි අන්න ඒ ජාතියෙ.
මම නිකමට ඉන්න ගමන් හොයල බැලුවා රංචිගෙ ගෙදර ජීවිතේ. මාර වැඩේ කියන්නෙ, පුංචි ම කාලයෙ ඉඳලා එයා ට දීලා තියෙන්නෙ කෘතීම බළල් කෑම ලු! 
ඒ කියන්නෙ, මේ කෘතීම බළල් කෑම නිසා රංචි ට සාමාන්‍ය බළල් ජීවිතය අහිමි වෙලාවත්ද ? ඒක එහෙම ගත්තොත්, ස්වභාවික ආහාර රටාවෙන් ඈත් වෙලා, වස විස සහිත ආහාර, කෘතීම ආහාර සහ විශේෂයෙන් ම ජාන වෙනස් කරපු ආහාර පාන වලට හුරු කරවන ළමා පරපුර ට ත් රංචිගෙ ප්‍රශ්නය ම එන එක වළක්වන්න බැරි වෙයි! 
එතකොට ළමයා ට ළමයා අහිමි වෙයි, වෙන එකෙක් හැදෙයි. එහෙම නං මේ දැන් මිනිස්සු නොවන මිනිස්සු හැදෙමින් තියෙන්නෙ මෙහෙමවත් ද? 
මාර ම ප්‍රශ්නයක් නෙ මේ රංචි ත් මගෙ ඔළුවට ගෙනත් දැම්මෙ!
'රංචී...!
ඉස්සරහ දොර අද්දර විහිදී පැතිරෙන ඇට්ටේරියා ගහේ හෙවන යට දිගා වෙලා ඉන්න රංචි ට මම ආදරයෙන් කතා කෙරුවා. ම්හු! බර කල්පනාවක...
CHAPA
August 30, 2017 

Monday, August 28, 2017

උඹත් බල්ලෙක් හොඳේ! නිකං නෑ වගේ හිටියට...


ඒ ගිය සතියෙ දවසක්. මම හිටියෙ බත්තරමුල්ලෙ කඩ සාප්පු අද්දරක. 
එක චීන කාන්තාවක්, පොඩි සුදු බල්ලෙක් ඉස්සර කරගෙන පදික වේදිකාව දිගේ කඩිසර ගමනින් ඇවිදගෙන යනවා. ඒ පදික වේදිකාව අයිනෙ කුණු තැවරුණු වල් බල්ලෙක් කටත් ඇරගෙන කොයි පැත්තට ද යන්නෙ කියල බල බලා ඉන්නවා. ඌ අර පිළිවෙළකට ඇවිදගෙන යන බල්ලා දිහා විමසිල්ලෙන් බැලුවා. ''උඹලට නං ඉතිං මොකෝ!'' අන්න එහෙම බැල්මක්. අර බල්ලාගෙ ප්‍රතිචාර බැල්මෙ තිබුණෙ නං ''ඔය උඹලගෙ කරුමෙ!'' වගෙ එකක්. 
එතකොට ම අර කාන්තාව ළඟ සාප්පුවකට ඇතුළුවෙන්න ඕනකම ට ඇයගෙ සුරතලාව අත්දෙකෙන්ම උස්සලා කිහිල්ලෙ ගහ ගත්තා, හරියට අම්මා කෙනෙක් බබාව වඩා ගන්නවා වගෙ. එතකොට ම වල් බල්ලාගෙ හති අරින කට පැත්තකට හැරවිලා  'බුහ්! කියවුණා. 
''ඉරිසියා කරන්න එපා හලෝ! උඹලට ඔහොම වෙලා තියෙන්නෙ ඔන්න ඔය ගතිය නිසා!'' චීන කාන්තාව ගෙ කිහිල්ල අස්සෙන් පාරට දාගෙන තිබුණු බල්ලගෙ බැල්ම එහෙම එකක්.
''අපි යයි චීන්නුත් එක්ක! උඹලාට ජාතියක් ජන්මයක් නැහැ!''
වල් බල්ලගෙ බැල්ම.
''අනේ පව්! උඹලට මෙහම  අවස්ථාවක් ලැබුණොත් නිකං ඉඳියි!''
වල් නැති බල්ලගෙ බැල්ම.
''අනික මම උඹලගෙ එකෙක් නෙවෙයි, මමත් චීනෙක්..අපේ කට්ටිය උඹලව වඩා ගන්නෙ නෑ, උඹලට ඕන නං අපේ කට්ටිය වඩා ගනිල්ලා!''
''වැඩේමයි! බුහුහ්! උඹ කොහේ වුණත් මොනවා හිතාගෙන හිටියත් උඹත් මං වගේම බල්ලෙක්, නිකං නෑ වගෙ හිටියට! බලාපං උඹේ පස්සත් එළියෙ, මගෙ පස්සත් එළියෙ... අන්න ඒ වග දැනගෙන හිටපං!'' 
තම ගමන් දිශාව හදිසියෙ තීරණය කරන වල් බල්ලා, අනිත් බල්ලා දිහා තම අන්තිම බැල්ම හෙළුවා, ඒත් ඒ වුණාට එතකොටත් ඌ අර  සාප්පු දොරෙන් නොපෙනී ගිහිං. 
වල් බල්ලත් ඉතිං ගියා, කොහේ ගියාද මන්දා!
CHAPA, August 29, 2017    


අශ්ව, බූරු, ඔටු, මී - ගොන් මැද, පෙරහැරේ යන අලි!

දිගු කාලයක පටන්, ලංකාවෙ පැවැත්වෙන මහනුවර දළඳා පෙරහැර දක්වා වූ විවිධ පෙරහැර පැවැත්වීමට, අවශ්‍ය අලි ඇතුන් නොමැති වීමේ බරපතළ ගැටළුවක් මතුව තියෙන බව දැන් ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක්! 
මෙහෙම අලි හිඟ වෙන්න බලපාන හේතු අතර, පෙරහැරේ යන අලි හිංසාවට ලක් වෙනවා! කියන චෝදනාව ට පසුබිම් වන සිදුවීම් පෙළකුත් දකින්න ලැබෙනවා. අලි ලියාපදිංචි කිරීම, අලි business, අලි හොරකම් සහ අලි හොරු! වගෙ කෙටි කතා අහන්න දකින්න ලැබෙන්නෙ අන්න ඒ සිදුවීම් අතරෙ තමයි.
මේ සියල්ල මැද අලි ඇතුන් හිංසනය ට ලක්වීම! කියන මාතෘකාව වැදගත්. 
හරියට බැලුවොත් මිනිස්සු බවට පත් වෙමින් 'අපි' වනාන්තරයෙන් එළිය ට ආවාට, අනිත් හැම සතෙක් ම වගෙ අයිති ඒ ස්වාභවික පද්ධතිය ට, ඇත්තටම සිද්ධ වෙන්නෙ අනිත් හැම සතෙක්ම සහ අවසාන වශයෙන් මුළු මිහිතලයම, මිනිස්සු - අපි, අපේ  අණසකට ගන්න ඉතා බරපතළ සහ මෝඩ උත්සාහයක, මේ මොහොතෙ පවා යෙදී ඉන්න එක. ඒ ඓතිහාසික මහා සංවාදය තුළ, අපේ විවිධ උවමනාවන් සඳහා අනිත් සත්තු මරන එක, මරාගෙන කන එක, උන් අපේ වැඩ වලට යොදා ගන්න එක යළි යළිත් අභියෝගය ට ලක් වෙනවා. විවිධ ආගමික කතා සහ හිත හදා ගන්න තවත්බො රු කතා කිව්වාට අපි ඔක්කොම ඒ බරපතළ අපරාධයෙ කොටස් කරුවන්.
ඒ අර්ථයෙන් ලංකාවෙ පෙරහැර සඳහා අලි ඇතුන් යොදා ගැනීම ත් සම්පුර්ණ වරදක්!
ඒත් මේ චෝදනාව එල්ල වෙන්නෙ ඒ අර්ථයෙන් නෙවෙයි, අන්න එතැනයි ප්‍රශ්නය! බලන්න! ලෝකයෙ විවිධ රටවල් වල විශේෂ සතුන් වර්ග කීපයක් ම ප්‍රසිද්ධ මිනිස් උවමනාවන් සඳහා යොදා ගන්නවා. ඒවා සංස්කෘතික ලක්ෂණ විදිහට පවතින සහ පෙනෙන නිසාම අවසන් විග්‍රහයෙදි ආර්ථික කටයුතු වලට ඍජුව ම සම්බන්ධයි. ලංකාවෙ පෙරහැරටත් මේ න්‍යාය අදාළයි. දැන් එතකොට, එංගලන්තයෙ අශ්ව කතා, ස්පාංඥයෙ ගොන් කතා, අරාබියෙ ඔටු කතා, ඉන්දියාවෙ ගොන් කතා, අප්‍රිකාවෙ අලි කතා...මේ සියල්ල ලෝක සංස්කෘතික උරුම බවට පත් කරන්න යෝජනා කරමින් ලංකාවෙ පෙරහැරේ යන අලි ඇත්තු ගැන මෙහෙම ''හදිසි ලෝක අනුකම්පාව'' ක් ඇති වෙන්නෙ ඇයි? 
මේ ප්‍රශ්නය ඉතාමත්ම දේශපාලනිකයි!
ලංකාවෙ ආර්ථිකය, ප්‍රධාන වශයෙන් ම පදනම් වෙන්නෙ කෘෂිකර්මාන්තයට. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සංස්කෘතික - ආර්ථික සුත්‍රය හරියට ම හරි! මහින්දාගමනය ත් එක්ක, එතෙක් පැවති හෙළ ගොවිකම ට විශාල බුද්ධිමය ආලෝකයක් ලැබෙනවා. එය හරියටම ගත්තොත්, මේ රටේ දේශපාලන පුනරුදයක්. අද වෙනකොට වේගයෙන් දියවෙමින් තියෙන්නෙ රටේ අන්න ඒ ඓතිහාසික අනන්‍යතාව. දකුණු ඉන්දියානු ආක්‍රමණ, පසුව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ ඉදිරියෙ සම්පුර්ණයෙන් පාහේ දුර්වල වන ඒ ස්වදේශීය ශක්තිය, 1930 ගණන්මේ වන විට සිංහල, දෙමළ, මුස්ලිම් සහ තවත් ජාතීන් විදිහට ත් බෙදිලා මේ වනවිට, ඊනියා ජාත්‍යන්තර මර උගුලක ට අහුවෙලා තියෙනවා. 
දළඳා පෙරහැර ප්‍රමුඛ පෙරහැර සංස්කෘතිය ප්‍රතික්ෂේපිත තැනකට තල්ලු කෙරෙන්නෙ මේ සන්දර්භය තුළ. ඒ කියන්නෙ ලාංකේය සංස්කෘතිය තව දුරටත් මරා දමමින් ම අදාළ ආර්ථික ඝාතන ක්‍රියාවලිය දිගටම ඉස්සරහට යනවා කියන එක. 
ඒ ගෝලීය පරිමාණ ප්‍රබල දේශපාලන මෙහෙයුමක්!
මේ දේශපාලන සංවාදය ගොඩ නගාගන්න අපට බැරි වෙලා තියෙනවා විතරක් නෙවෙයි, දැන සහ නොදැන, සිංහල බෞද්ධ ලේ ගැන කියමින් සහ මෙය හුදු ජාතික - ආගමික ප්‍රශ්නයක් කරමින් අපේ සමහර කණ්ඩායම් හැසිරෙන මෝඩ ආකාරයෙන් ම, ඒ මහා දේශපාලන - වෙළෙඳ මෙහෙයුම ශක්තිමත් වෙමින් තියෙනවා!
අශ්ව, බූරු, ඔටු, මී - ගොන් මැද, පෙරහැරේ යන අලි! සමඟ අපි ඉතිං දැන් මොකද කරන්නෙ?
CHAPA 
August 28, 2017  


Monday, August 21, 2017

                                                මම මේ රටේ බදු ගෙවන අභිමානවත් පුරවැසියෙක්?

''මමත් හොය හොයා හිටියෙ ඔබ වගෙ කෙනෙක් තමයි...''
මැදි වයසෙ ව්‍යාපාරිකයා කතාව පටන් ගත්තා.
''ඔබ තුමා කරන්නෙ සමාජය බල ගන්වන එකනෙ...ඒක තමයි අපි කරන්න ඕනෙ...මට මෙයා කිව්වා ඔබ තුමා කරගෙන යන වැඩ ගැන, ඇත්තටම මම පැහැදුනා...''
ඔහු ඔය 'මෙයා' කියන්නෙ මෑතක දි මම දැන හැඳින ගත්ත තවත් පුද්ගලයෙකු ට.
''අපි මේ රටේ ජනතාවට කියල දෙන්න ඕනෙ..බදු ගැන...''
''ඒක හොඳ අදහසක්...''
මම ඔහුට ප්‍රතිචාර දක්වනවා.
''ඔන්න හොඳ ව්‍යාපෘතියක් තියෙනවා...මට ඒක ටක් ගාලා ගන්න පුළුවන්...''
ඔහුගෙ හඬ ප්‍රේමනීයයි, මුහුණට ආලෝකයක් එන්නත් පටන් අරන්.
''අපි ජනතාව දැනුවත් කරන්න ඕනෙ...බදු ගෙවනවා කියන්නෙ අභිමානයක් කියලා...''
''ඒ කියන්නෙ?''
ප්‍රශ්නය මගෙන්!
''මම මේ රටේ බදු ගෙවන අභිමානවත් පුරවැසියෙක්! කියල හැමෝටම හිතෙන්න ඕනෙ...දැන් ඒක නිකං වදයක් හැටියටනෙ පේන්නෙ...''
''මට තේරෙන්නෙ නැහැ...''
''ආණ්ඩුව දැන් ඔය ප්‍රොජෙක්ට් එකට සල්ලි වෙන් කරලා තියෙන්නෙ...මට ඒක ගන්න පුළුවන්..ප්‍රොපොසල් එක දාන්න විතරයි තියෙන්නෙ...අපිට තියෙන්නෙ...ජනතාවට ඒ හැඟීම දෙන්න...''
ඔහු උනන්දුවෙන් කියාගෙන යනවා.
''මේ දේශපාලකයන්ට සුර සැප විඳින්න...උන්ගෙ ගෝල බාලයන්ට හොරකං කරන්න...තව තව බදු ගෙවල අභිමානයෙන් ඉන්න මහජනතාවට උගන්වනවා!''
මම පෙරළා ඇහුවා. ඇහුව කිව්වට කිව්වා.
''ඒ කියන්නෙ...ඒක උගන්වන්නෙත් උන්ගේම බදු සල්ලි වලින් ව්‍යාපෘති හදලා..?''
තවත් ප්‍රශ්නයක්, ප්‍රශ්නයක් කිව්වට මම නිකං කියනවා.ඔහු කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
''ජනතාවට උගන්වන්න ඕනෙ...බදු සල්ලි වලින් පිස්සු කෙළින...ඒවා නාස්තිකරන...හොරකං කරන ආණ්ඩුවට ගල් ගහන්න..මේ රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහි වෙන්න!''
මම උස් හඬින් කියාගෙන යනවා.
''ඔව්! හරි!..අපිට අන්න එකත් අපේ ප්‍රොපොසල් එකට ඉන්ක්ලුඩ් කරන්න පුළුවන්...''
ඔහු එක පාරටම පණ ගහලා ආවා.
''අපි අපේ ප්‍රොජෙක්ට් රිපෝර්ට් එකේ කියනවා...ජනතාව අන්න එහෙම හිතනවා කියලා...අපි දාන්නෙ ඒක අපි සමීක්ෂණයකින් හොයා ගන්නවා වගෙ එකක්!''
''ජනතා මතය!''
''අන්න හරි!''
''තෝ මගෙන් මැරුං නොකා පල මෙතනින්!''
ඔය අන්තිම වාක්‍ය මට කියන්න ඕන වුණත්, ඔය වගෙ කතා කියන්න එපා කියල fb මිත්‍රයන්ටත් නිතර කියන එකේ, මම නිකං බිම බලාගෙන ආපහු ආවා!
CHAPA
August 22, 2017

INSIGHT Episode 37 - Susil Premajayantha

2010 12 20 Payana Wita Hiru Nuwarata

Thursday, August 17, 2017

ADA DERANA INSIGHT Trailer (2017) #AdaDerana24x7

   SAITM විරෝධී සිසු අරගලයේ දිශාව!


SAITM විරෝධී සිසු අරගලය, දැන් තවදුරටත් SAITM කියන පුද්ගලික වෛද්‍ය විද්‍යාලය( ? ) ට පමණක් ඉලක්ක ගත වූ දේශපාලන ක්‍රියාවලියක් නොවන බව පැහැදිලියි. රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව හරහා මතුවන සමාජ සුභ සාධනය පිළිබඳ රාජ්‍ය ක්‍රමවේදයම මේ තුළ බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙමින් තියෙනවා. 
එය ඉතාම සාධනීය දේශපාලන තත්වයක්! 
ඊළඟට මේ වේදිකාවෙන් ඇහෙන ලිබරල් ආර්ථිකය, ධනවාදී පාලකයන්, මේ ආණ්ඩුව ට එරෙහි, ආණ්ඩුව ගෙදර යැවීම,  නෙවිල් - රාජිත - SB - කිරිඇල්ල - රවී - පොලිසිය...වගෙ ප්‍රකට නම් - යෙදුම් හරහාත් යම් දේශපාලන සංවාදයක් පිළිබඳ දේශපාලන සංඛේත මතුවෙනවා.
ජනතා ආකර්ෂණය දිනා ගන්නා සහ විශේෂයෙන් ම තරුණ කොටස් ඒකරාශී කරන්න පුළුවන්,  ළහිරු වීරසේකර වගෙ අලුත් දේශපාලන චරිත සහ වේගවත් කථිකයන් පෙළකුත් මේ වේදිකව මත මේ කාලය තුළ නිර්මාණය වෙමින් තියෙනවා.
මේ තත්වයත් සාධනීයයි!
කාලයක පටන් ජවිපෙ බලය තුළ, අන්තර් විශ්ව විද්‍යාල පෙරමුණක් ව තිබූ ඒ ශිෂ්‍ය ප්‍රජාව පසු කලෙක, ජවිපෙ බිඳගෙන ආ පෙරටුගාමීන් අතට පත්වීමෙන් පසු, යළි මේ SAITM විරෝධී වේදිකාව විසින් තවත් තලයකට තල්ලු කර තිබෙන නිසා, එතැන ත් නව දේශපාලන මානයක් ඉස්මතු වෙනවා. ඒ කියන්නෙ, ජචිපෙ සහ පෙරටුගාමීන් අතර,  වරෙක මතවාදී බෙදීමකට ලක් වූ විශ්වවිද්‍යාල ප්‍රජාව මේ වේදිකාව මත බැලූ බැල්මට ම එකක් වගෙ පෙනෙන පිළකට ගොනුකරලා තියෙනවා.
ඔව්! මේ දේශපාලන මොහොත ඓතිහාසික තමයි!
ඒත් ඊළඟට බරපතළ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ, මේ භෞතික වේදිකාවට සමගාමී ව ගොඩ නැගෙන මතවාදී වේදිකාව මොකද්ද? කියන එක.
මේ වේදිකාව ට නගින දිනේෂ්, වාසු, තිස්ස...වගෙ ඒකාබද්ධ විපක්ෂය ට සහ පරණ වමට සම්බන්ධ කට්ටිය ට අවශ්‍ය කුමක් ද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ සියලු දෙනා SAITM ව්‍යාපෘතිය ට එකඟයි. ඔවුන් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පෙනී හිටින්නෙ නැහැ. ඔවුන් ඍජුව සහ වක්‍රාකාරව 70 දශකයේ සිට ක්‍රියාත්මක, ලෝක බැංකු - ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආර්ථික ඝාතකයන් තව දුරටත් රට ට යෝජනා කරමින් තියෙන ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණවලට එකඟයි, ඔවුන් බොහෝ දෙනා ඒ ඒ ව්‍යපෘතිවලට සම්බන්ධයි. ඒ තියා SAITM නිර්මාණය කෙරුවෙත් ඔවුන්. එතකොට මේ ඔවුන් නගන SAITM විරෝධී හඬ කුමක් ද? බරපතළ ප්‍රශ්නයක්!
ඊළඟට මේ වේදිකාවෙ සැලකිය යුතු බලයක් අත්පත්කරගෙන සිටින ජවිපෙ ට අවශ්‍ය කුමක් ද? මේ යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්, කොටින්ම එය ජනප්‍රිය - ප්‍රකට Regime Change එකක්. එය හරියට ම ''රාජපක්ෂවරු වෙනුවට රාජපක්ෂවරු'' හෝ ''රාජපක්ෂවරුන් ට එරෙහි රාජපක්ෂවරු'' වගෙ ඊනියා ජාත්‍යන්තර ව්‍යාපෘතියක්. ජවිපෙ ට ඒ දේශපාලන යථාර්ථය එදා තේරුම් ගන්න බැරි වුණා හෝ ඔවුන් එහි දැනුවත් කොටසක් බවට පත් වුණා. මේ දැනුත් රට තවදුරටත් විනාශකරමින් ඉන්න මෛත්‍රී - රනිල් ආණ්ඩුවේම සක්‍රීය කොටසක්ව සිටිමින් තමයි, ඔවුන් මේ SAITM විරෝධී වේදිකාව දෙවනත් කරන්නෙ! ඊළඟට ඔවුන්ගෙ බලය තුළ ක්‍රියාත්මක වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය ඓතිහාසික වශයෙන් ම ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. ඔවුන්ගෙ නියෝජනය කුමක් ද? ඔවුන් ට අවශ්‍ය කුමක් ද? 
ප්‍රශ්න පේළියක්!
ප්‍රශ්න ඉවර නැහැ! ඊළඟ ට, බාලතම්පො නමින් මේ වේදිකාවෙ නියත ඉඩක් ලබා ගන්න සිල්වෙස්ටර් ජයකොඩි වගෙ ඊනියා වෘත්තීය සමිති නායකයන් ට අවශ්‍ය කුමක්ද? ඔවුන් පැහැදිලිවම නියෝජනය කරන්නෙ, එක්සත් ජාතීන් හරහා මෙරට රාජ්‍ය නොවන බලයට නතු කෙරෙන ඊනියා වෘත්තීය සමිති. ඔවුන්ට පැවරෙන ප්‍රධාන රාජකාරිය වන රටේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙමින් ම ඒවා සියුම් ලෙස ස්ථාපිත කරවීමට අවශ්‍ය පසුබිම හදන එක, ඔවුන් යස අපුරුවට කරමින් ඉන්න මොහොතක් මේ. එතකොට? ඒක බරපතළ ප්‍රශ්නයක් නෙවෙයි ද?
මේ අතර වෙනත් වෘත්තීය සමිති, තවත් කුඩා කණ්ඩායම් සහ සමාජ ක්‍රියාකාරිකයන් ලෙස යම් නමක් හදා ගත්තු තවත් කට්ටිය ඉන්නවා, ඔවුන් මේ වේදිකාවට ගොඩවෙලා බලාපොරොත්තු වන දේත් ඔවුන්ගෙ අතීත ක්‍රියාකාරකම්වලට අනුකුලව,  තව ම පැහැදිලි නැහැ! විශේෂයෙන් ම, රාජ්‍ය නොවන දේශපාලනය නියෝජනය කරන බව බැලූ බැල්මට ම පෙනෙන, මහාචාර්ය සුමනසිරි ලියනගේ වගෙ අයගෙ SAITM විරෝධී දේශපාලන අරමුණ, මේ වේදිකාව පාමුළ බරපතළ ලෙස අවධානයට ගත යුතුමයි. 
ඒ සංවාදයත් වෙනම!
ඒත්,  SAITM විරෝධී මේ වේදිකාව පිළිබඳ අර මුල් ඓතිහාසික කියවීම තව දුරටත් වලංගුයි!
මේ මොහොත වන විට, 70 දශකයෙන් ඇරඹෙන ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා රටේ සමස්ත දේශීය ආර්ථිකය ''සංහාරය'' කෙරෙමින් තියෙනවා. ඒසඳහා, මේ රටේ නිදහස් අධ්‍යාපනය විසින් හෙවත් පොදු මහා ජනයා විසින් නිර්මාණය කෙරුණු උගතුන් සෑහෙන ප්‍රමාණයක්, තම කාලකන්ණි ආශාවන් වෙනුවෙන් සම්බන්ධ වී සිටිනවා. මේ රටේ පැවැත්ම, මෙතෙක් සහ තවදුරටත් යන්තමින් හෝ  ආරක්ෂා කරමින් තිබෙන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව, පියවරෙන් පියවර - මුළුමනින් ම අහෝසිකර දැමීම එහි ප්‍රධාන ව්‍යාපෘතියක්. SAITM කියන්නෙ අන්න ඒ සන්දර්භය තුළ මතුවන එක තීරණාත්මක 'කඩයක්'! ඒ,  එමගින් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව කියන ඒකාබද්ධ ක්‍රියාවලිය ම එකට නතුකර ගන්න පුළුවන් වෙළෙඳ ආකෘතියක් හදන නිසා. 
ඊළඟ පියවර තමයි, රටේ ව්‍යවස්ථාව බෙදුම්වාදී ආකෘතියකට මාරු කරලා, රාජ්‍ය ව්‍යුහාත්මකව දුර්වල කරන එක. ඒ සඳහා අවශ්‍ය මුලික වැඩ කටයුතු මේ වෙනකොට රට පුරා ක්‍රියාත්මකයි. මේ අවසාන ව්‍යාපෘතිය සාර්ථක වෙච්ච ගමන් අන්න අර ඊනියා ජාත්‍යන්තර ආර්ථික ඝාතකයන්ගෙ සමස්ත වෙළෙඳ ව්‍යාපෘතිය, එක තීරණාත්මක තැනකට එනවා.
මෙන්න මේ පුළුල් සංවාදය ගොඩ නගා ගන්න අපොහොසත් වුණොත්, SAITM විරෝධී වේදිකාව, ඔය මහා ඓතිහාසික අපරාධයෙම කොටසක් වෙනවා! එය කාටවත් වළක්වන්න බැහැ!
ඔන්න දැන් තමයි, බරපතළ ම! ප්‍රශ්නය එන්නෙ!
ඊනියා නව ව්‍යවස්ථා ව්‍යාපෘතිය පිළිබඳ මාතෘකාව එනකොටම මේ වේදිකාව දෙදරන්න ගන්නවා, හේතුව විවිධ තත්වයන් යටතෙ, යෝජිත ඊනියා ව්‍යවස්ථා ක්‍රියාවලිය සඳහා මේ වේදිකාව ට ගොඩවන බොහෝ පුද්ගලයන් සහ කණ්ඩායම් එකඟයි! ඔවුන්ට මේ සමස්ත පටලැවිල්ල ලෙහා ගන්න බැරිවෙලා තියෙන නිසාම තත්වය එන්න එන්න සංකීර්ණ වෙනවා. එතකොට අරගලයෙ දිශාව අවුල් වෙනවා!
බලන්න! තොරතුරු දැනගැනීමේ පනත ගේන්නෙ, ප්‍රධාන වශයෙන් ම වෙනත් රටවල් සමඟ ගහන වෙළෙඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු ජනයාට තහනම් කරන්න. ජවිපෙ ඒ වෙනුවෙන් මාරාන්තික විදිහට පෙනී හිටිනවා. අතුරුදන් වුවන් හොයන්න ඕනෙ කාටද දැන්? ජවිපෙ සහ පෙරටුගාමීන් එකාවගෙ ඒ වෙනුවෙන් පෙනී හිටිනවා, ඒ ඇයි? 
ජවිපෙ එහෙම නං කියන්න ඕනෙ, ඉස්සරවෙලා ම, අපේ නායකයා රෝහණ විජේවීර අත්අඩංගුව ට අරගෙන මරා දාපු විදිහ, අනිත් නායකයො මරා දාපු විදිහ සහ අතුරු දහන් කරපු විදිහ හොයාපියව්! කියලනෙ. ඔවුන් එහෙම කියන්නෙ නැහැ, ඒ වගේම, මේ, අර ඊනියා ජාත්‍යන්තරයෙ කොටසක් වෙච්ච දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කරන සහ එය කෙළින්ම, රටේ ව්‍යවස්ථා උගුලට සම්බන්ධ යි කියල කියවා ගන්න ත්  ජවිපෙ ට බැරි වෙනවා. මේ තත්වය පෙරටුගාමීන්ට ත් අදාළයි.
මේ සියලු සංකීර්ණ තත්වයන් එක්ක, මේ ගොඩනැගෙන SAITM විරෝධී උණුසුම් වේදිකාවෙ, අනාගත දිශානතිය තීරණය වෙන්න නියමිතයි! 
''විධිමත් අධ්‍යනයන් ට අදාළ සහ වඩා විවෘත සංවාදයක් ගොනගා ගන්න!'' 
මේ වේදිකාවේ සිට මම යෝජනා කරනවා!
එහෙම නැති වුණොත් අතීතය පුරා සිද්ධ වුණා වගේම, මේ තරුණ ජවය හරහා එළැඹෙන්න නියමිත, රට ට අතිශය අදාළ සහ තීරණාත්මක ඓතිහාසික දේශපාලන මොහොත යළිත් අපට මග හැරේවි!
CHAPA 
August 17, 2017  
   


  

Monday, August 14, 2017

ජෝගින් පොලිටික්ස් 

විදේශ රටකින් දුරකථන ඇමතුමක්! ඊයෙ.
''හහ්.. හහ් ...හෙලෝ !...හහ්..හහ්...''
හති දාන ගමන් වගෙ නගන මැදි වියේ කට හඬක්!
''හහ්..හහ්..මම ඉන්නෙ යුරොප්වල...මට නං කිසිම ප්‍රශ්නයක් නැහැ....හහ් හහ්...මං බැලුවෙ ශ්‍රී ලංකාව දැන් අන්තිම නරක තත්වයක තියෙන්නෙ...නේද?හහ්...හහ්...''
''ඔව් ඉතිං රටේ අර්බුදයක් තියෙනවා...''
මම ඔහුට ප්‍රතිචාර දක්වන අතරෙ අර හහ් හහ් හති හඬ ගැනත් උනන්දු වෙනවා!
''දැන් බලන්න අර...රවී කරුණානායකගෙ සිද්ධිය..ඒක හරි නෑ...ඔයාලා වගෙ අය මේවාට මීට වඩා මැදිහත් වෙන්න ඕනෙ...හහ් හහ්...''
''මම නං ඉතිං කරන්න පුළුවන් උපරිම දේ කරනවා...තව අවස්ථා හොයාගන්න ඕනෙ..මේ අරගලය පුළුල් කරන්න ඕනෙ...''
''අන්න ඒක තමයි, කොච්චර වැඩ අධික වුණත්, මම මේ පැහැදිලි කරන්න ගත්තෙ...හහ් හහ්...ඔයා වගෙ අය තව ඉස්සරහට ඇවිල්ලා...ඔයගොල්ලන්ගෙ රට හදා ගන්න ඕනෙ...තේරුණා ද? හහ් හහ්...''
ඔහු, මොකක් හරි මහන්සිවෙන කටයුත්තක යෙදෙන ගමන් වගෙ, මම තේරුම් ගන්න උත්සහ කරනවා.
''මම වෙලාවක් ආවහම යූ ටියුබ් එකෙන් ඔයාගෙ වැඩ සටහන් බලනවා...ඒවා හොඳයි...ඒත් තව ඉදිරිපත් වෙන්න ඕනෙ...දැන් හහ් හහ්....බලන්න! ඔය රට එන්න එන්න දුප්පත් වෙනවා...මොකද කාටවත් රට ගැන හැඟීමක් නැහැ...මෙහෙ තත්වය වෙනස්...හහ් හහ්...''
හරි! එයා ජෝගින් යන ගමන්! මම ඒ හතියෙ රිදම් එක අල්ල ගත්තා! ඔහු හහ් හහ් හඬ මැද්දෙ සෑහෙන්න විස්තර කියන්න ගත්තා. ඔහු ට අවශ්‍ය වෙලා තියෙන්නෙ, මම තව ඉස්සරහට ඇවිල්ලා මේ දුෂිත පාලකයන්ට එරෙහිව සටන් කරන හැටි කියන්න.
''මම හිතුවා...හහ් හහ්...ඒක ඔබ තුමාට කියන එක මගෙ යුතුකමක් කියලා...හහ් හහ්...''
''මම ලැබෙන හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනය ගන්නවා...මේ සටන ලේසි නැහැ! විදේශ ගතවෙලා ඉන්න, ඔබ වගෙ අය ඇයි මේ දේවල් දිහා නිහඬව බලාගෙන ඉන්නෙ? විවිධ පැතිවලින් මේ පාලකයන්ට බලපෑම් කරන්න පුළුවන් නෙ...''
මම කියන්න පටන් ගත්තා.
''දැන් මගෙ කාලය හරි...හහ් හහ්...''
කාලය?
''ආයෙත් විවේකයක් ආපු ගමන් ඔයාට කෝල් කරන්නං...හහ්..හහ්...ඕකේ?දිගටම ඔහොම කරගෙන යන්න''
''හහ් හහ්!''
මමත් එහෙම හති ඇරලා, හිතින් මටම ඇද කරගෙන නිකං හිටියා.
CHAPA 
August 14, 2017 
 
 

Saturday, August 12, 2017

'අපේ ගැහැනිය'ගේ විළාපය!

වසර දහස් ගණනක ඓතිහාසික උරුමයක්! අමිල සම්පත් සහ අවස්ථා අනුන රටක්!
ඒත් අපි, අපේ ගැහැනු - පිරිමි පිට රට යවලා උන් ඒ ඒ රටවල ට කඹුරලා උපයන මුදලින් යැපෙනවා, එහෙම යැපෙන ගමන් උන්ට ම ගරහනවා, උන් නොසලකා හරිනවා. 
එහෙම බලද්දි අපි මහා නරුම ජාතියක්! දැන් මේ මහා උජාරුවට සමරන 77 ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රටට වැදුණු සාපයක් මේ.
විශේෂයෙන්ම මැද පෙරදිග ජීවත්වන සමහර නූගත් මළ පෙරේතයො, උන්ට ආවතේව කරන අපේ ගැහැනුන් ට කරන දේවල් බලාගෙන,  අනේ ඉතිං අපි විරිත්ත විරිත්ත ඉන්නාවානෙ, ඇත්තට අපි මොන පිරිමි ද?
දැන් බලන්න! මේ ශ්‍රමිකයන් බලා ගන්න, විදේශ සේවා - විදේශ රැකියා අමාත්‍යංශ, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, අරක මේක! කොච්චර ආයතන මේ රටේ අහිංසක පොදු ජන මුදලින් නඩත්තු කරනවා ද? ඒ මුදල් වලින් වැඩිම කොටස ලබාදෙන සහ ඒ වැඩ බිම් වල ම අගතියට පත් වන, මේ අපේ ම ජනයා වෙනුවෙන්, ඔවුන් මොනවද කරමින් ඉන්නෙ? 
ඊළඟට ඒ ඒ රටවල, විශේෂයෙන් ම මැද පෙරදිග තානාපතිවරු!? ඒ ඒ කාර්යාලවල ඉන්න නිලධාරීන් මොනවද කරමින් ඉන්නෙ? ඔවුන් පොදුවෙ අඩුම තරමෙ තමන් ගන්න වැටුපට නියමිත සේවයවත් කරනවා ද?
වරින් වර බලයට එන මේ රටේ දේශපාලන නියෝජිතයො ගැන නං කතා කරන්න දෙයක් නැහැ.
ඔය රන්ජන් රාමනායක වගෙ දේශපාලන නළුවො කාලයෙන් කාලයට මේ විදේශගත ශ්‍රමිකයන් විකුණගෙන ජීවත් වෙනවා හැරෙන්න මොකුත් ම වෙන්නෙ නැහැ!
මේ කාලකන්ණි තත්වයෙන් ගොඩ එන්න නං, වෘත්තීය මට්ටමෙන් හැර වෙනත් ගෘහ සේවාවන් සඳහා කාන්තාවන් පිට රට යවන එක, විශේෂයෙන් ම මැද පෙර දිග ට පටවන එක, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්න ඕනෙ. ඊට සමගාමීව රට තුළ නව රැකියා උත්පාදනය කරන්න ඕනෙ. එනම්, සුළු - මධ්‍ය සහ මහා පරිමාණ කර්මාන්ත පුනරුදයක් ඇති කරන්න ඕනෙ. දෙස් විදෙස් වෙළඳාම,  Win - Win මට්ටමක පවත්වාගෙන යන්න ඕන. කොටින්ම, දුෂණ, වංචා සහ අක්‍රමිකතා අවම කරමින් රට ට අනන්‍ය ආර්ථික ශක්තියක් හදා ගන්න අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනෙ.
ඒක එහෙම කෙරෙන පාටක්, දැනට නං නැහැ!
ඒත් දැනට කරන්න 'අත්‍යවශ්‍ය' සහ 'හැකි' මැදිහත්වීමක් තියෙනවා. ඒ, ප්‍රබල මාධ්‍ය මැදිහත්වීමක්. මේ අගතියට පත්වන විදේශ ගත ශ්‍රමිකයන් ට යුක්තිය ලබා ගන්න පුළුවන් විදිහෙ මාධ්‍ය මෙහෙයුමක්, පවතින අයහපත් තත්වයන් පාලනය කරන්න පුළුවන් විදිහෙ මාධ්‍ය ක්‍රියාන්විතයක්. ඒක, ඉතාම සාර්ථක වැඩක්. ඒ ඒ ආයතන, අදාළ බලධාරීන් ප්‍රශ්න කරමින් සහ ඒ ඒ තත්වයන් නිරාවරණය කරගන්න සමත්, ශක්තිමත් මාධ්‍ය ක්‍රියාකාරීත්වයක්!
එක වෙලාවක, ඒ කියන්නෙ 2016 මාස කීපයක් වගෙ, Colombo tv, 'සේයා' ඔස්සේ එවැනි යම් මූලික මැදිහත්වීමක් කරන්න මම උත්සහ කෙරුවා. එය සැලකිය යුතු මට්ටමකට සාර්ථක වෙමින් තිබුණා සහ අදාළ බලධාරීන් සසල කරවන්න සමත් වට පිටාවක් එමගින් ගොඩ නැගෙන්න වුණා. ඒ වටා, විදේශ ගත ශ්‍රමිකයන්ගෙ පවුරක් ඉදිවෙන්න ගත්තා. ඇත්තටම, ඒ හරහා Colombo tv ජනප්‍රිය වෙන්න ගත්තා. වෙනස් සමාජ බලයක් ඊට ලැබෙන්න ගත්තා. රටේ පවතින තත්වයන් ට අනුව, අපට එහෙම වැඩි දුර යන්න වෙන්නෙ නැහැ කියල මම ඔළුවෙන් ගණන් හදමින් තමයි හැබැයි හිටියෙ. 
ඒ කියන්නෙ, කවුරුවත් මට හෝ ඊට සම්බන්ධ අනෙක් ශිල්පීන් ට තර්ජනය කරන්න එනවා වගෙ සංකීර්ණ සිද්ධියක් නෙවෙයි. සිදුවෙමින් පැවතුණේ Colombo tv හිමිකරුවන් ට හෝ වැඩකරන අනෙක් අය ට අවශ්‍ය දෙයක් නොවන නිසා, ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වෙනුවෙන් එය නවතා දැමෙන බව! වගෙ සරල කතාවක්. කොහොම හරි ඉතිං ඒක හිටි හැටියෙම නැවතුණා.
මට දැනෙන සිද්ධිය තමයි, අගතියට පත් වූ විදේශ ගත සහෘදයන් සෑහෙන ප්‍රමාණයක්, ඒ වනවිට, මට පුද්ගලිකව ත් සම්බන්ධවෙමින් අපේ මාධ්‍ය ක්‍රියාන්විතය ශක්තිමත් කරන්න ඉදිරිපත්වුණු විදිහ. එහෙම පණිවිඩ මට තවමත් ඉඳ හිට එනවා. ඒවා මග හරිනවා මිස දැන් ඉතිං කෝ සටන් කරන්න වේදිකාවක්?
මම මේ ගැන දන්න කියන හැමෝටම කියනවා! 
වැඩක් නැහැ. උන්ට ඕන රටක් නැහැ. කාලා බීලා බල්ලො වගෙ බුදිය ගන්නවා මිසක්. පිට රටවල ඉන්න යමක් කරගන්න පුළුවන් එකාලට මම දිගට ම කියනවා, එකතුවෙලා අර Channel 4 වගෙ රුපවාහිනී නාලිකාවක් හදාපල්ලා කියලා! ඒ එකෙක් දවසක් මට කියනවා, උදය ගම්මම්පිල කෙරුව වගෙ, මිනිස්සුන්ගෙන් රුපියල් සියය ගණනෙ එකතු කරලා මාධ්‍යයක් හදන්න ලු! මම, මටම නියවගෙන තරහ පිටකරගෙන නිකං හිටියා. දැන් මිනිහා ලංකාව ට ඇවිත්. රාජපක්ෂලා ට වැඩ, මට ත් එන්න ලු! මම ඉතිං කුණු හරුප නොකියන එක ගැන මට ම දොස් කියාගෙන නිකං හිටියා.
මේ සටහන මම හිතට එන විදිහට ලියාගෙන ගියා. විශේෂ අරමුණක් නැහැ. ඒත් මේ මොහොතෙ ත්, තිරිසන්නු වගෙ මිනිස්සුන්ගෙන් අනේක විධ අතවරයන්ට ලක් වෙමින්, අර කටුක වැලි කතරෙ දිගාවෙලා 'අපේ ගැහැනිය'  නගන විළාපය නං මං පස්සෙන් පන්නගෙන එනවා වගෙ දැනෙනවා! සත්තකින් ම!
මට නං ඉතිං ගැළවීමක් නැහැ!
CHAPA 
August 12, 2017   
 
 
  





Thursday, August 10, 2017

    

ඇයි කතා නැත්තෙ?















''මොකක් හරි අප්සෙට් එකක් නේද?''
''නැහැ, එහෙම එකක් නැහැ!''
''නැති වෙන්න බැහැ!''
''පිස්සුද අනේ, නැති ප්‍රශ්න ඇති කරන්න එපා...කිසිම අවුලක් නැහැ!''
මේ දෙබස, මම සහ මිත්‍රයෙක් අතර.
සමාජ යහපත ගැන උනන්දුවක් තියෙන සහ ඒ වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන ඔහු දැන් දවස් දෙක තුනක ඉඳල හිතේ අමාරුවක වගෙ ඉන්නවා.
''අපි, අපිට පුළුවන් දේ කරමු! හිතේ අමාරුව හදා ගන්න එපා!''
''ඔය...ආයෙත් කියනවා, එහෙම එකක් නැහැ...ඒ ඔයාට පේන විදිහ...''
ඔහු දිගටම කියනවා.
ඒ වුණාට ඒක එහෙම වෙන්න බැහැ. ඔහුට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාමයි, මම ඔහුට එරෙහිව කල්පනා කරන්න ගන්නවා.
මොකක් වෙන්න පුළුවන් ද?
ආයතනයෙ ප්‍රශ්නයක්?
මුදල් ප්‍රශ්නයක්?
පවුලෙ ප්‍රශ්නයක්?
අසනීප තත්වයක්?
මොකක් වෙන්න පුළුවන් ද?
අසම්මත ප්‍රේමයක් නිසා ඇතිවුණු ආරවුලක්!
නිකං විහිළුවට වගෙ මම එහෙමත් හිතනවා.
''මම ඇත්තම කියන්නං, ඔයා හරියටම හරි...මම ඉන්නෙ අප්සට් එකක තමයි...''
දවස් කීපයකට පස්සෙ ඔහුගෙ දුරකථනය ට ආයෙත් පණ ඇවිත්.
''මම මේක කාටවත් කියන්නෙ නැහැ කියල හිටියෙ, ඒත් ඔයා මගෙ වෙනස තේරුම් ගන්න නිසා කියන්න හිතුවා...දිගටම අහනවත් එක්කනෙ...''
ඔහුගෙ බිඳුණු හඬ.
''කියන්න...අඩු තරමෙ හිත නිදහස් වෙනවනෙ...''
''අපේ ගෙදරට හොරු එනවා...මාර ප්‍රශ්නයක්...''
''මොකක්? හොරු?''
''ඔව්! මං නං හිතන්නෙ කුඩු කාරයො...දවස් කීපයකට කලින් උදේ එළිවෙන අතේ, ගේ පිටි පස්සෙන් මොකද්ද සද්දයක් ඇහුණා...මට එක පාරටම ඇහැ ඇරුණා..ඊට පස්සෙ මම එළියෙ ලයිට්ස් දැම්මා...අල්ලපු ගෙදරටත් කෝල් එකක් ගත්තා..ඒ ගොල්ලොත් එක පාරට ම එළියෙ ලයිට්ස් දැම්මා...ආපු කෙනා හයියෙන් පිටිපස්සෙ දොරට ගහල දිව්වා...''
''මාර සිද්ධියක් නෙ!''
''මීට කලිනුත් දවසක් මම ටිකක් රෑ වෙලා ගෙදර එනකොට...ගෙයි පිටිපස්සෙ දොර හායි ගාලා ඇර දාලා තිබුණා...වයිෆ් දරුවොත් එක්ක කාමරේ නිදි...ඒක එයාලා ඇතුළෙන් ලොක් කර ගන්නවා...''
''ඒ කියන්නෙ එයාලත් දන්නෙ නැතුව හොරෙක් ගෙට ඇවිත්...''
''ඔව්, අපේ ඩීවීඩී ප්ලේයර් එකත් අරං ගිහිං...මම එනකොට ම වගෙ තමයි යන්න ඇත්තෙ..නැත්තං තව මොනවා හරි අරං යයි නෙ...''
ඔහුගෙ හඬේ තියෙන්නෙ දුකක් ද කලකිරීමක් ද කියන එක මට තේරුම් ගන්න අමාරුයි, ඒත් තරහක් වෛරයක් නං අහළකවත් නැහැ.
''මොකක් හරි යකඩයක් දාලා තමයි පිටිපස්සෙ දොර ඇරගෙන තියෙන්නෙ...ඊට පස්සෙ මම ඒකට දොර පොල්ලකුත් හයි කෙරුවා...''
සමාජය යහපත් අතට හරවන්න නිතර නිතර කතා කරන යහපත් මනුෂ්‍යයෙකුට මුහුණ දෙන්න වෙලා තියෙන කාලකන්ණි අත් දැකීම! මම නිකං හිස් වේගන යනවා.
''ඒ පාර නං පොලීසියට පැමිණිළි කෙරුවා...ඒ ගොල්ලො ඇවිත් බැලුවා, වැඩක් වුණේ නැහැ...කවුද සැක ඇහුවා...මම ඉතිං මොනවද කියන්නෙ?''
සැක? කවුරු කාවද ඇත්තට ම සැක කරන්න ඕනෙ? බරපතළ ප්‍රශ්නයක්!
''බලන්න! මුළු සමාජයම කඩා වැටෙනකොට කාටවත් පවතින්න බැහැ! එකෙකුටවත් මේ සිද්ධ වෙමින් තියෙන සමාජ ව්‍යසනය තේරුම් ගන්න ඕනෙත් නැහැ!''
මම දැඩි ස්වරයෙන් කියන්න ගන්නවා.
''ඔව්! අපි කාටවත් සමාජ සුරක්ෂිත බවක් නැහැ, මෙහෙම බයේ බයේ ජීවත් වෙන්නෙ කොහොමද, මට නං ප්‍රශ්නයක් නැහැ! ඒත් වයිෆ් හොඳටම අප්සට් වෙලා ඉන්නෙ...මට ඒක බලාගෙන ඉන්න බැහැ...අපි දරුවන් ට නං  මේ සිද්ධි ගැන වැඩිය දැනගන්න අරින්නෙ නැහැ...''
ඔහුගෙ බිඳුණු ස්වරය අහන් ඉන්නත් අමාරුයි.
''අනේ හොරෝ! ආයෙත් නං මේ මිත්‍රයාගෙ ගෙදරට පනින්න එපා! එයා උඹලා වගෙ ජීවිත අහිමි කර ගත්තු පීඩිත මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන කෙනෙක්. උඹ තේරුම් ගනින්...ඒ වගෙ මිනිස්සු අපි ආරක්ෂා කරන්න ඕනෙ, දවසක උඹලා...උඹලාගෙ ළමයි ආරක්ෂා කරන්න ඉන්නෙත් මේ වගෙ යහපත් මිනිස්සු විතරයි!''
මම, ඒ හොරාව මවාගෙන රහසින් ඔහුට කතාකරන්න පටන් ගන්නවා.
''මොකක්?''
හොරාගෙ හඬ!
''යහපත් මිනිස්සු?!''
''ඔව්! යහපත් මිනිස්සු!''
''විකාර! යහපත් මිනිස්සු ඉන්නවා නං අපි කුඩුකාරයො වෙයි ද? අපි හොරු වෙයි ද?''
මම දැන් මොකද්ද කියන්නෙ? ඔළුවට අදහසක් එන්නෙම නැහැ!
''ඇයි කතා නැත්තෙ?''
ඔහු අහනවා.
''ඇයි කතා නැත්තෙ?''
ඔන්න! ඒ ප්‍රශ්නය දැන් හැම තැනම දෝංකාර දෙන්න අරං!
CHAPA 
August 11, 2017 


  








Tuesday, August 8, 2017

අයියෝ! මාව දාලා යන්න එපා! 

මම දැන් පිටිපස්සෙ දොර ඇරගෙන වැඩිය එළියට යන්නෙ නැහැ, බැල්කනියට ගිහින් වට පිට බලන්නෙත් නැහැ. මම එහෙම, පොළොව දිගේ සහ පොළොවෙන් උඩ ට පහළට යන එන කොට, අහසෙ එහෙ මෙහෙ නිදහසේ රස්තියාදු ගහපු කුරුල්ලොත් එන්න එන්නම අඩු වෙලා යනව වගෙ.
අපි වෙලාවකට මහා කාලකන්ණි ජාතියක්! ගහ කොළ පේන්න බැහැ. අතීත මුතුන් මිත්තො අපට සාප කරනවා ඇති!
මම හිතන්න ගන්නවා.
අපේ ගෙදර අල්ලපු ගෙවතුවල තියෙන මහා ගස් එකින් එක කපනවා, එක්කො අතු පාහිනවා. ගෙයක් හදන්න හරි වෙනත් ඉදිකිරීමකට හරි නං ටිකක් හරි ඉවසන්න පුළුවන්. ඒත් එහෙම ඉදිකිරීම් වුණත් ගහ කොළ පරිස්සම් කරගෙන කොච්චර ලස්සනට නිර්මාණය කරන්න පුළුවන් ද? 
අල්ලපු වත්තක තිබුණු මහා කොස් ගස් දෙකක අතු කපල කපලා දැම්මෙ හරියට මගෙ අත පය කපනවා වගෙ. ඊට පස්සෙ, ඊයෙ මට ආයෙත් ගස් කපන මූසල හඬක් ආවා. මම බිම බලාගෙන උඩට ගිහිං බැල්කනියෙන් එබුණා. අතු කපලා වනසලා තිබුණු කොස් ගස් අතු අතරින් අහස අරා පැතිරී තිබුණු දෙල් ගහ කපන්න පටන් අරන්, ඊට මෙහා පැත්තෙ පොල් ගහක් නං ඒ වෙනකොට ඉවරෙටම ඉවර කරලා. 
කුරුල්ලො කීප දෙනෙක් හොඳටම කලබල වෙලා විළාප තියමින් එහෙ මෙහෙ පියාඹනවා.
''අනේ කුරුල්ලනේ! උඹලා වගේම මමත් අසරණයි! මොකද්ද ඉතිං මම කරන්නෙ? උඹලා ම මට කියාපල්ලා!
දැන් කොයි වෙලාවක හරි වඳුරො රංචුවත් එයි! අනේ උන් මේ ගහ කොළ හොයයි. මොකද්ද ඉතිං මම කරන්නෙ? උඹලා ම කියාපල්ලා!
අනේ! ඔය ඉතිං උඹලා කොහෙද ඔය යන්නෙ? අයියෝ! මාව දාලා යන්න එපා! 
CHAPA 
August 8, 2017 


Monday, August 7, 2017

හරක් හොරෙක්? ඊඊඊයායායායා...

''මට අද උදේ ඉඳලා බඩ යනවා!'' 
චිකේ! ජරා කතා!
ඔව්! ඒක නිකං ශිෂ්ට නැති කතාවක් වගෙ නේද? 
මට ලූස් මෝෂන් වගෙ අනේ! කියනකොට නං පොඩි ගතියක් තියෙනවා.
''අපේ තාත්තගෙ වකුගඩු නරක් වෙලා!'' කියනකොට පොඩි ගොඩේ ගතියක් එනවා. කියන්න ඕනෙ, ''අපේ තාත්ති ට කිඩ්නි ට්‍ර්බල් එකක්..'' කියලා. පපුවෙ අමාරු කාරයෙක්! කියනවා ට වැඩිය ''හාර්ට් පේෂන්ට්'' කියන එක පොහොසත් කතාවක්. අධික රුධිර පීඩනය කියලා නං කියන්න ම එපා! නිකං බාල ගතියක් එනවා. හයි බ්ලඩ් ප්‍රෙෂර්! කියද්දී පොඩි රිච් ගතියක් එනවා. 
පිළිකාව වෙනුවට කැන්සර්, ඇඟේ ලේ නැහැ වෙනුවට ලෝ බ්ලඩ් ප්‍රෙෂර්, හතිය වෙනුවට වීස්, පපුවෙ හිළක් වෙනුවට හෝල් ඉන් ද හාර්ට්! 
පොඩි කික් එකක් එනවා නේද? ඔය වාත අමාරු වගෙ ඒවා නං කියන්නම එපා, ෆුල් අවුට්! දැන් බලන්න,  'කොලෙස්ටරෝල්' කියනකොට ම ඉහළ සමාජ තත්වයක් එන්නැද්ද? නෑ කියන්න නං එපා! 
අපි දැන් මෙහෙම බලමු! 
අහවල් ගමේ හරක් හොරා! 
ඊඊඊයායායායා...එහෙම කියනකොට, නිකං ලැජ්ජයි වගෙ නේද? ''ඕකා රෑට රෑට හොරෙන් වතුවලට පැනලා, කෙසෙල් කැන් හොරෙන් කපනවා!'' එහෙම කියද්දීත් නිකං හරි නැහැ නේද? 
''අපෝ! ඔය යකා දවසෙම කසිප්පු බීලා හොරපොල් කඩනවා!'' චිහ්! වැදගත් සමාජයක කියන්න පුළුවන් කතාවක් ද? නේද? 
අරූ හොර අරක්කු පෙරනවා!
අපෝ ඔය කසිප්පු කාරයෙක්!
අනෙක මේවා හරිම ගොඩේ පාටයි!
''ඕකා අපේ පන්සලේ පිං පෙට්ටියටත් විද්දා!'' එහෙම කියනකොට, ගොඩේකමකුයි පව්කාරකමකුයි නිතැතින්ම හිතට එනවා.
''ඕකා මගෙන් ලක්ෂයක් ණයට අරං දැන් ඔය මග ඇරලා ඉන්නෙ!''
''ඕකි, ඉක්මනට ආපහු දෙන්නං කියලා මගෙ සීට්ටු සල්ලි හැටදාහම ගත්තා..තාම නැහැ, ඕකි හෙර!''
චිහ්! අහලම එපා වෙනවා! මොනවද අනේ මේ, අහගෙන ඉන්නත් ලැජ්ජයි වගෙ! 
හරි, එහෙම නං මෙහෙම...
''මිනිස්ටර්ස්ලා දහ දෙනෙකුට ලක්ෂුවරී වෙහිකල්ස් ඉම්ප්පොර්ට් කරන්න ෆොර් හන්ඩ්‍රඩ් මිලියන්ස් පරිපුරක ඇස්තමේන්තුවක් අද අනුමත කරලා!''
''ෆොර් හන්ඩ්‍රඩ් මිලියන්ස්? ටූ මච්! '' 
ඒ දෙබස කොහොමද?
''ඇමතිතුමා කියන්නෙ මේ වාහන ගෙන්වීම සාධාරණයි කියලා ද?''
''අනිවාර්යයෙන්ම! අපට තව වාහන ඕනෙ! මොකෝ අපි පයින් යන්නද?''
රුපවාහිනී සංවාදයකදී ඇහෙන එහෙම දෙබසක්? අවුලක් නෑ වගෙ නේද?
හැබැයි...
''මේ වාහන ගෙන්වීම සම්බන්ධ ප්‍රශ්නය, මා සිතන ආකාරයට, අප සලකා බැලිය යුත්තේ, පවතින දේශපාලන සහ සාමාජීය සන්දර්භය තුළයි''
අන්න එහෙම කියද්දී නං විද්වත් ගතියක් මතු වෙනවා.
දැන් බලන්න, භාණ්ඩාගාර බිල්පත් වංචාව! හැබැයි වඩා ඇට්‍රැක්ටිව්, ට්‍රේෂරි බිල්ස් ඉෂු එක! කියද්දී, කාටද ආඩම්බර? 
නිකං හිතන්න! ''එයා ට්‍රේෂරි බිල්ස් ඉෂුඑකෙන් ටූ බිලිඅන්ස් අර්න් කෙරුවා, ඒක ඉන්වෙස්ට් කරලා මීඩියා ස්ටේෂන් එකක් ෆෝර්ම් කරනවා, අපේ ලිකර් ෆැක්ටරි එකත් ලොකු ඉන්වෙස්මන්ට් එකක්...අපි කොහොමත් දිගටම මේ බිස්නස් එක කරනවා, අපි ස්ටොක් මාර්කට් එකෙත් වැඩකරගෙන යනවා. අර මිනිස්ටර්ට අපි ගෙයක් දුන්නා ගිෆ්ට් එකක් විදිහට, සෝ වට්ස් ද ඉෂු? එයාගෙ පොලිටිකල් ෆියුචර් එක ඩිස්ට්‍රෝයි කරන්න තමයි ඔය එක එක්කෙනා එයාට මඩ ගහන්නෙ, වී ඩෝන්ට් කෙයාර් අනේ!'' කියනකොට කොච්චර ස්වීට් ද? අර හරක් හොරකං ගැන කියද්දි වගෙ ගොඩේ ගතියකුත් නැහැ!
අනෙක බලන්න! හරක් හොරෙක්, කුකුළු හොරෙක්, කෙසෙල් කැන් හොරෙක්, පොල් හොරෙක් අහුවුණාම, මට මතක නැහැ! කියන්න පුළුවන් ද? ඒක කියන්නත් බැහැ ඉතිං පොලිසිය කොහොමත් හක්ක පනින්න ගහලා නිසා. භාණ්ඩාගාර බිල්පත් වංචාවක් ගැන හොයන්නෙ හරියට ලොකු සංවර්ධන කටයුත්තක් සැලසුම් කරනවා වගෙ, වායු සමනය කරපු මැදිරිවල, ටයි කෝට් දාගෙන, මහජන මුදලින් විශාල දවස් පඩි ලබන විනිසුරුවරු යොදවලා, හිත නොරිදෙන්න, සීරුවට!
අනෙක ට්‍රේෂරි බිල්ස්, ඉන්වෙස්ට්මන්ට්ස්,  ස්ටොක් මාර්කට්, මිලියන්ස්, බිලියන්ස් කියද්දී හොර ගතියක් එන්නෙම නැහැ, ඇමරිකන් ඩොලර් වගෙ වෙනකොට, අනේ මාවත් ඕන නං විකුණලා ඒවා ගන්නකො! කියල වගෙ කෝඩුකාර මනමාල ගතියකුත් අහන කෙනාට එනවා. ඔන්න! නෑ නං කියන්න එපා!
කාටද ආඩම්බර?
එතකොට, හරක් හොරෙක්? 
ඊඊඊයායායායා...ඔන්න ආයෙ පටන් ගත්තා!
CHAPA 
August 7, 2017 

     

Sunday, August 6, 2017

           මේ උඹලගෙ රට!?


''කොහොමද, මොනවද ඔහේ වෙන්නෙ?''
කාලයකට පෙර ඕස්ට්‍රේලියාව ට ගිය මිත්‍රයෙක්, අන්තර්ජාලය හරහා කතා කරමින් ළඟදි ඇහුවා.
''ඉන්නවා ඉතිං, වැඩ කරගෙන යනවා...''
එහෙම ඇහෙන සුපුරුදු ප්‍රශ්නය ට මගෙන් නැගෙන සුපුරුදු පිළිතුර.
''උඹලා කරන දේවල් මම දිගට ම බලනවා, නියමයි...උඹේ හැම වැඩසටහනක්ම වගෙ ඉතිං You Tube වලින් හොයාගෙන පස්සෙ හරි බලනවා...''
''ඒ ගැන සතුටුයි...''
''ඒ වුණාට මචං...උඹලා එකතුවෙලා මීට වැඩිය යමක් කරන්න ඕනෙ...මං කියන්නෙ, මේ උඹලගෙ රට...''
මේ උඹලගෙ රට!?
 ඒ කතාව මගෙ හිතට වැදුණා.
''උඹලට යන්න, වෙන රටක් නැහැනෙ...ඉතිං ඔය රට නැතිවෙන්න දෙන්න එපා...දැන් බලපන් මේ රටවල්! මිනිස්සු පාරෙ යන්න දන්නවා, රටට ආදරෙයි, වැඩ කරනවා...ම්නිස්සු අවංකව රටට සේවයකරනවා, කොටින්ම ගන්න පඩියට වැඩ කරනවා...ඔය රටේ එවුන් එහෙම නෙවෙයි...''
ඔහු කියාගෙන යනවා.
ඔහේ, උඹලගෙ රට, උඹලා කරන දේවල්,  උඹේ, උඹලා එකතුවෙලා, මේ උඹලගෙ රට, උඹලට යන්න, ඔය රට, ඔය රටේ එවුන්!
''ඇයි ඉතිං, උඹලගෙ රට කියන්නෙ? මේ ඔයාගෙත් රටනෙ...''
අහගෙන ඉන්න අමාරු ම තැන මම ඇහුවා.
''ආ! Sorry මචං...අනේ මට ඔයාට කියන්න බැරි වුණා, මට ඕස්ට්‍රේලියාවෙ පුරවැසිකම ලැබුණා..මම දැන් ඕස්ට්‍රේලියන් සිටිසන්...''
''එහෙමද?එතකොට මෙහෙ ගෙවල් දොරවල්?''
''ඒවා විකුණලා දැම්මා මචං, අපි ෆැමිලි එකම මෙහෙනෙ''
නෑදෑයෝ?
මම එහෙම එහුවෙ නැද්ද මන්දා!
''ඕස්ට්‍රේලියන් සිටිසන්!?''
''ඔව් අනේ...ඉතිං ඉතිං! මොනවද අපි කිය කියා හිටියෙ? ''
මම එතකොටම call එක cut කෙරුවා, තරහකට නෙවෙයි, නිකමට වගෙ!
CHAPA
August 7, 2017 

   

ඔහු නැවත ත් මුණ ගැහුණා, සත්තයි!

2017 අගෝස්තු 4 වැනි දා දහවලේ, මමත් පෑලියගොඩ පාළම උඩ දි, SAITM විරෝධී පෙළපාළියට එකතුවලා ඉස්සරහට ඇවිදගෙන එන්න පටන් ගත්තා. මගෙ වම් පසින් ගියේ දුමින්ද නාගමුව.  ඔය අතරෙ, යම් මතකයක් සමඟ පෑහෙන මුහුණක් වරින් වර අප අතරින් මතු වෙවී මඟ හැරෙනවා දැක්කා.
ඔන්න! එකපාරටම මට ඔහු මතක් වුණා!
2001දි 'රාවය' පුවත් පතෙන් අයින් වෙලා, මම 'නිදහස්' පුවත්පත ආරම්භ කරමින්, TNL නාලිකාවට ත් වැඩ සටහන් කීපයක් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරමින් ඉන්න අතරෙ දවසක ඔහු මට මුණ ගැහුණා. 
රවින්ද්‍ර මුදලිගේ!
ඔහු එතකොට රුහුණෙ B. com ශිෂ්‍යයෙක්, ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. TNL වැඩසටහනකට ඔහු, නලින්ද ජයතිස්ස සහ ඉඳුනිල් දීප්ති කුමාර එක්ක එකට ආවෙ. මගෙ මතකය හරි නං නුගේගොඩ, නාවල, 'නිදහස්' කාර්යාලයටත් ඔවුන් ආවා. එතකොට ඔවුන් වයස විසි තුනේ හතරෙ, ටිකක් ආඩම්බරකාර තරුණයො.
''මාව මතකද?''
මම රවින්ද්‍ර ට කිට්ටු කරලා ඇහුවා. ඔහු ඔළුවෙන් 'ඔව්' කියලා, ඈතින් ඈතින් අඩි තියන ගමන්, සෙනග අස්සෙන් හෙමින් හෙමින් කතා බහ කෙරුවා. 
''මම දැන් පෙරටුගාමි...ෆුල් ටයිම් පක්ෂය ට වැඩ...'' ඔහු කිව්වා.
ඔහුගෙ මුහුණ දැන් ටිකක් වැඩිහිටි පාටයි, පොඩි බැරෑරුම් ගතියකුත් එහි සටහන් වෙලා තියෙනවා. ගමන් විලාශයෙත් යම් වගකීම්සහගත ගතියක් තිබුණා.
''ඒ කියන්නෙ, ඔහු තමන්ගෙ උසස් අධ්‍යාපනය අත හැරලා දේශපාලන කටයුතු කරනවා!''
මම මටම කොඳුර ගත්තා!
ගිනි මද්දහනෙ කාපට් පාරෙ අඩි ඉක්මන් කරන අතරෙ, මගෙ  මතකය හීතල හීන් රිදුමක් එක්ක, අවුරුදු පහළොවක් දහසයක් විතර ආපස්සට ඇවිදින්න පටන් ගත්තා. 
තාරුණ්‍ය!?
මෙහෙම කී දෙනක්, තම විශ්වාසය පමණක් කර ගහගෙන, තමන්වත් අතහැර, මහ පාරෙ කරක් ගහමින් තම දේශපාලන හීන දකිනවා ඇත්ද? මට එවැනි දන්නා හඳුනන මුහුණු එකින් එක මැවෙන්න පටන් ගත්තා. 
මට පුද්ගලිකව ඉතිහාස කතාවක් පමණක් වන 71 කාල තීරුව, හොඳට ම අත් වින්ද 88 -- 89 කාල තීරුව! ඔන්න මතකය කම්පා වෙන්න පටන් ගන්නවා. එක පාරටම එදවස ඇස ගැසුණු ටයර් සෑයවල් මත පිච්චෙන තරුණ ජීවිත; ඒ කාලකන්ණි පුළුටු ගඳ! කොහේදෝ ඈතක සිට ඇදීගෙන එනවා වගෙ දැනෙන්නෙ ගත්තා.
උතුරු නැගෙනහිර යුද්ධයෙ අමිහිරි මතකයත්, ඒ අස්සෙන් හිස ඔසවනවා! වෙඩි හඬ! පිපිරෙන හඬ!
''අපි යන්නේ කොයි පාරේ''
තරුණ හඬවල්, ඒ අස්සෙන් එක රෑනට කෑ ගහනවා.
''නිෂ්මි බාලෙ ගිය පාරේ''
තවත් හඬවල් ප්‍රතිචාර දක්වනවා.
''අපි යන්නේ කොයි පාරේ''
''ත්‍රිමා වෙනුර ගිය පාරේ''
මරදානෙ ටෙක්නිකල් හන්දිය පහුකරන අතරෙ කොළඹ වා තලය දෙදරන්න ගන්නවා. දුමින්ද, මම සහ රවින්ද්‍ර එක ළඟ ළඟ අඩි මාරු කරනවා. අව්ව නිකං පරාජය බාර අරගෙන වගෙ, වැටෙන්නං වාලෙ වැටෙනවා.
මම දැන් රවින්ද්‍ර ළඟ නැවතිලා කල්පනා කරනවා!
ඔබ වැනි තරුණ තරුණියන් කොපමණ දෙනෙක් කොපමණ කාලයක් මෙහෙම මහ මඟ අතහැර යන්න ද? ඒක එහෙම වෙනකොට, අනෙක් වුන් මේ යන ගමන කුමක් ද? 
මම අනෙක් වුන් දෙස බලන්නෙමි, පුදුමයක තරම! අනෙක් වුන් කිසිවෙක් නැත. එහෙත් රවින්ද්‍ර මුදලිගේලා සිය දහස් ගණනින් අතීතය පුරා නොනැවතී ඉදිරියට ඇදෙන අයුරු දකිනවා.
අප මේ කරමින් සිටින්නේ කුමක් ද?
කොළඹ කොටුවට මළ හිරු වැටෙන විඩාබර හැන්දෑවෙ, මහා සෙනග අතරෙ, මම තවමත් තනියෙන් කල්පනා කරනවා!
මේ මොහොත නං මට කොහොමවත් මග හරින්න බැහැ!
ඔහු නැවතත් මුණ ගැහුණා! සත්තයි!
CHAPA 
2017 අගෝස්තු 6 
  

Wednesday, August 2, 2017

නෑ ඉතිං...

මේ කතාව ඉතිං ලොකු කතාවක් නෙවෙයි, ඒත් ටිකක් වෙනස් කතාවක්. 
මගෙ එක ව්‍යාපාරික මිත්‍රයෙක් ඉන්නවා මහත, හුඟක් මහත නිසාම අද දවසට සාමාන්‍ය, එක එක ලෙඩ එහෙමත් ඉතිං එයාට තියෙනවා. එයා ඒවා ගණන් ගන්නෙ නැහැ, සතුටින් සැනසීමෙන් ඉන්නවා.
'' මිනිහා මට කරදර කරනවා ටෙනිස් ගහන්න එන්න ලු...ජෝගින් යන්න එන්න ලු...''
මිත්‍රයා ඔය කියන්නෙ ඔහුගෙ වෙන ව්‍යාපාරික මිත්‍රයෙක් ගැන.
''ඉතිං හොඳයිනෙ යන්නකො කම්මැලි නැතුව...''
මම කියනවා.
''බැහැ අනේ! මේ වැඩත් එක්ක...කාටද ඕවාට වෙලා තියෙන්නෙ...''
එහෙම කියද්දී ඒ මුහුණෙ තියෙන්නෙ හීනි කපටි හිනාවක්, එයා එයාටම හොර කරගන්නවා, කම්මැලි කමට.
''මම දැන් වදේ නිසාම මිනිහා මගාරිනවා...''
දවසක් ඔහු එහෙම කිව්වා.
''මිනිහා උදෙන්ම දුවන්න යනවා...සමහර දවස්වලට හැන්දෑවෙ ජෝගින් යනවා දකිනවා...මිනිහා හොඳ ටෙනිස් ක්‍රීඩකයෙක්...වැඩි කාලයක් ග්‍රවුන්ඩ් එකේ...බිස්නසුත් කරනවා...''
වෙලාවකට ඔහු එහෙමත් කියනවා.
''ඩොක්ටර්ස්ලාත් කියනවා මට ටිකක් ඇවිදින්න කියලා...ඒ වුණාට කෝ ඉතිං වෙලාවක්...අනෙක මම කල්පනා කෙරුවෙ අපේ තාත්තලා දිව්වෙ නැහැ, ජෝගින් ගියෙ නැහැ, ටෙනිස් ගැහුවෙත් නැහැ...ඔය හොඳට හිටියෙ...''
ඔහු එහෙම කියද්දී නං පොඩි නෝක්කාඩු ගතියක් මුහුණට එනවා.
''ඉතිං ඔයා අර යාළුවත් එක්ක එකතුවෙලා ටිකක් ඇවිදින්න යන්න...ටෙනිස් ඕන නැහැ කියමුකො...''
''අපෝ කෝ ඕවට වෙලාවක්...මේ දැනුත් වැඩ ගොඩක ඉන්නෙ...මිනිහට නං මොකද ඉතිං!''
ඔහු, මිනිහට නං මොකද ඉතිං! කියනකොට අන්න අර නෝක්කාඩු ගතිය ආයෙ එනවා.
ඔහොම දවස් ඉතිං දිගටම වගෙ තිබුණා.
''මාර වැඩේනෙ...දන්නවද?''
දවසක් ඔහු හිටි හැටියෙ අලුත් සුභ ආරංචියක් අරගෙන ඇවිත් වගෙ කියන්න ගත්තා.
''මොකද්ද? අද නිකං ලොකු සතුටකින් වගෙ''
''මොන සතුටක් ද?''
එහෙම කිව්වත්, ඔහුගෙ හිතේ සතුට දොරෙ ගලනවා වගෙ.
''මගෙ අර යාළුවා...''
''ආ! මම හිතුවා..එයා කොහොමහරි ඔයාව පොළඹවාගෙන දැන් ඇවිදින්න යනවා වගෙ, නියමයි...අන්න එහෙමනෙ ඉන්න ඕනෙ, වැඩ වැඩ කියල ඉඳලා හරියන්නෙ නැහැ! ඇඟට ව්‍යායාම ඕනෙ''
''නැහැ අනේ!''
දැන් ඔහුගෙ හඬ ටිකක් බැරෑරුම්.
''එයා හාර්ට් ඇටෑක් එකක් ඇවිත් පෙරේදා හදිසියේම නැති වුණානෙ...මාර වැඩේ!''
බැරෑරුම් ගතියක් ඔහුගෙ මුහුණට ඇවිත් ඇවිත් යන අතරෙ හීනි ප්‍රබෝධයකුත් ඒ අස්සෙන් එන්න ගන්නවා. මාර වැඩේ! කියද්දී ඒ ප්‍රබෝධය වහගන්නම බැරි වුණා. 
මාර වැඩේ!
මොන අර්ථයෙන්ම ද මන්දා! මටත් කියැවුණා.
අපි අතර පොඩි නිහැඬියාවක්.
''ව්‍යායාම කරල වැඩක් නැහැ කියලා ඔයාට දැන් හිතෙනවා නේද? නොකරපු එක හොඳයි කියලා වගෙ එකක්...''
''නැහැ ඉතිං...''
ඔහු කැඩිච්ච උත්තරයක් දුන්නා.
''ඔව් ඉතිං...'' වගෙ හඬකුත් ඒ අස්සෙ තිබුණා. 
අර හැංගිච්ච ප්‍රබෝධය නං දැන් ඒ මුහුණ පුරා! 
CHAPA 
August 3, 2017 








 

INSIGHT Episode 35 - Mahindananda Aluthgamage (02)

Tuesday, August 1, 2017

දැන් කවුද එතකොට...

පහු ගිය දවසක, උදේ පාන්දර ම මම, අපේ ගෙදර පිටිපස්සෙ දොර ඇරගෙන එළියට ගියා. 
එතකොට ම, යම් දෙයක්ගෙ මගෙ ඔළුවෙ පැටළෙනවා වගෙ දැනුණා. බැලින් නං මකුළු දැළක්. දොර උළුවස්ස ළඟින් පටන් අරගෙන, ළඟ ගහක අත්තකට වියලා. මට පේනවා දැන් දැළ කැඩිලා, ඒ පුංචි මකුළුවා කැඩිච්ච වියමනේ කෑල්ලක එල්ලීලා පැද්දෙනවා.
''මේ මොකෙද්ද මේ?උදේ පාන්දරම'' කියලා ඌ තරහෙන් පුපුරනවා ඇති.
''ඉතිං මොකද මෙතන දැළක් විව්වෙ? අපි යන එන තැන, ඔයා පිස්සෙක් ද?'' එයා මට මොකක් හරි කියන මට්ටමක හිටියා නං, මම දෙන්නෙ අන්න ඒ වගෙ උත්තරයක්. 
ඊට පහු වෙනිදාත් ඒ වැඩේ ඒ විදිහටම වුණා. 
ඊටත් පහු වැනිදා, ආයෙත්. 
''අය්යෝ!'' මම ඇත්තටම පසු තැවෙනවා, එක්කො, මාව අල්ලන්න පුළුවන් විදිහෙ දැළක් වියන්න ඕනෙ, එක්කො මගෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෙ මෝඩ මකුළුවෝ! මම හිතනවා. 
ඒත් ඉතිං මේ එකම මකුළුවෙක් ද? වෙන වෙන අය වෙන්න ඇති. මට එහෙමත් හිතෙනවා.
තවත් දවසක් දෙකක් ගියා! 
මම දැන් උදේට කෝකටත් පරිස්සම් වෙනවා, එතැනින් ඔලුව පාත් කරගෙන යනවා. එක අතකට, මකුළුවා ට මොළයක් නැහැනෙ, ඌට පුළුවන් ද පාඩම් ඉගෙන ගන්න, සහජාසයට වැඩ කරනවා මිසක්. අපිට පුළුවන් මිනිස්සු විදිහට මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න!  
ඔහොම හිතුවට එක දිගට ඔය සිද්ධිය ඔළුවෙ නැහැනෙ. තවත් දවස් දෙකකට විතර පස්සෙ, පුරුද්දට වගෙ එතැනින් ඔළුව නවාගෙන යන ගමන්, ඔන්න විශ්ෂයෙන් මතක් වෙලා දැළ දිහා බැලුවා. දැළ එතැන නැහැ, ඊට ටිකක් එහායින් ඒ විදිහටම දැළ වියලා, එක මුල්ලකට වෙලා ඌ බලාගෙන ඉන්නවා. 
චිහ්! අපරාදෙ මම මෙතැනින් ඔළුව නවාගෙන යන්නෙ?
දැන් කවුද එතකොට පාඩම් ඉගෙන ගන්නෙ නැත්තෙ? ඌ කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා නං අනිවාර්යයෙන් ම මගෙන් අහනවා! 
සහජාසය!?
CHAPA 
2017 අගෝස්තු 2