Tuesday, August 8, 2017

අයියෝ! මාව දාලා යන්න එපා! 

මම දැන් පිටිපස්සෙ දොර ඇරගෙන වැඩිය එළියට යන්නෙ නැහැ, බැල්කනියට ගිහින් වට පිට බලන්නෙත් නැහැ. මම එහෙම, පොළොව දිගේ සහ පොළොවෙන් උඩ ට පහළට යන එන කොට, අහසෙ එහෙ මෙහෙ නිදහසේ රස්තියාදු ගහපු කුරුල්ලොත් එන්න එන්නම අඩු වෙලා යනව වගෙ.
අපි වෙලාවකට මහා කාලකන්ණි ජාතියක්! ගහ කොළ පේන්න බැහැ. අතීත මුතුන් මිත්තො අපට සාප කරනවා ඇති!
මම හිතන්න ගන්නවා.
අපේ ගෙදර අල්ලපු ගෙවතුවල තියෙන මහා ගස් එකින් එක කපනවා, එක්කො අතු පාහිනවා. ගෙයක් හදන්න හරි වෙනත් ඉදිකිරීමකට හරි නං ටිකක් හරි ඉවසන්න පුළුවන්. ඒත් එහෙම ඉදිකිරීම් වුණත් ගහ කොළ පරිස්සම් කරගෙන කොච්චර ලස්සනට නිර්මාණය කරන්න පුළුවන් ද? 
අල්ලපු වත්තක තිබුණු මහා කොස් ගස් දෙකක අතු කපල කපලා දැම්මෙ හරියට මගෙ අත පය කපනවා වගෙ. ඊට පස්සෙ, ඊයෙ මට ආයෙත් ගස් කපන මූසල හඬක් ආවා. මම බිම බලාගෙන උඩට ගිහිං බැල්කනියෙන් එබුණා. අතු කපලා වනසලා තිබුණු කොස් ගස් අතු අතරින් අහස අරා පැතිරී තිබුණු දෙල් ගහ කපන්න පටන් අරන්, ඊට මෙහා පැත්තෙ පොල් ගහක් නං ඒ වෙනකොට ඉවරෙටම ඉවර කරලා. 
කුරුල්ලො කීප දෙනෙක් හොඳටම කලබල වෙලා විළාප තියමින් එහෙ මෙහෙ පියාඹනවා.
''අනේ කුරුල්ලනේ! උඹලා වගේම මමත් අසරණයි! මොකද්ද ඉතිං මම කරන්නෙ? උඹලා ම මට කියාපල්ලා!
දැන් කොයි වෙලාවක හරි වඳුරො රංචුවත් එයි! අනේ උන් මේ ගහ කොළ හොයයි. මොකද්ද ඉතිං මම කරන්නෙ? උඹලා ම කියාපල්ලා!
අනේ! ඔය ඉතිං උඹලා කොහෙද ඔය යන්නෙ? අයියෝ! මාව දාලා යන්න එපා! 
CHAPA 
August 8, 2017 


No comments:

Post a Comment