නෑ ඉතිං...
මේ කතාව ඉතිං ලොකු කතාවක් නෙවෙයි, ඒත් ටිකක් වෙනස් කතාවක්.
මගෙ එක ව්‍යාපාරික මිත්‍රයෙක් ඉන්නවා මහත, හුඟක් මහත නිසාම අද දවසට සාමාන්‍ය, එක එක ලෙඩ එහෙමත් ඉතිං එයාට තියෙනවා. එයා ඒවා ගණන් ගන්නෙ නැහැ, සතුටින් සැනසීමෙන් ඉන්නවා.
'' මිනිහා මට කරදර කරනවා ටෙනිස් ගහන්න එන්න ලු...ජෝගින් යන්න එන්න ලු...''
මිත්‍රයා ඔය කියන්නෙ ඔහුගෙ වෙන ව්‍යාපාරික මිත්‍රයෙක් ගැන.
''ඉතිං හොඳයිනෙ යන්නකො කම්මැලි නැතුව...''
මම කියනවා.
''බැහැ අනේ! මේ වැඩත් එක්ක...කාටද ඕවාට වෙලා තියෙන්නෙ...''
එහෙම කියද්දී ඒ මුහුණෙ තියෙන්නෙ හීනි කපටි හිනාවක්, එයා එයාටම හොර කරගන්නවා, කම්මැලි කමට.
''මම දැන් වදේ නිසාම මිනිහා මගාරිනවා...''
දවසක් ඔහු එහෙම කිව්වා.
''මිනිහා උදෙන්ම දුවන්න යනවා...සමහර දවස්වලට හැන්දෑවෙ ජෝගින් යනවා දකිනවා...මිනිහා හොඳ ටෙනිස් ක්‍රීඩකයෙක්...වැඩි කාලයක් ග්‍රවුන්ඩ් එකේ...බිස්නසුත් කරනවා...''
වෙලාවකට ඔහු එහෙමත් කියනවා.
''ඩොක්ටර්ස්ලාත් කියනවා මට ටිකක් ඇවිදින්න කියලා...ඒ වුණාට කෝ ඉතිං වෙලාවක්...අනෙක මම කල්පනා කෙරුවෙ අපේ තාත්තලා දිව්වෙ නැහැ, ජෝගින් ගියෙ නැහැ, ටෙනිස් ගැහුවෙත් නැහැ...ඔය හොඳට හිටියෙ...''
ඔහු එහෙම කියද්දී නං පොඩි නෝක්කාඩු ගතියක් මුහුණට එනවා.
''ඉතිං ඔයා අර යාළුවත් එක්ක එකතුවෙලා ටිකක් ඇවිදින්න යන්න...ටෙනිස් ඕන නැහැ කියමුකො...''
''අපෝ කෝ ඕවට වෙලාවක්...මේ දැනුත් වැඩ ගොඩක ඉන්නෙ...මිනිහට නං මොකද ඉතිං!''
ඔහු, මිනිහට නං මොකද ඉතිං! කියනකොට අන්න අර නෝක්කාඩු ගතිය ආයෙ එනවා.
ඔහොම දවස් ඉතිං දිගටම වගෙ තිබුණා.
''මාර වැඩේනෙ...දන්නවද?''
දවසක් ඔහු හිටි හැටියෙ අලුත් සුභ ආරංචියක් අරගෙන ඇවිත් වගෙ කියන්න ගත්තා.
''මොකද්ද? අද නිකං ලොකු සතුටකින් වගෙ''
''මොන සතුටක් ද?''
එහෙම කිව්වත්, ඔහුගෙ හිතේ සතුට දොරෙ ගලනවා වගෙ.
''මගෙ අර යාළුවා...''
''ආ! මම හිතුවා..එයා කොහොමහරි ඔයාව පොළඹවාගෙන දැන් ඇවිදින්න යනවා වගෙ, නියමයි...අන්න එහෙමනෙ ඉන්න ඕනෙ, වැඩ වැඩ කියල ඉඳලා හරියන්නෙ නැහැ! ඇඟට ව්‍යායාම ඕනෙ''
''නැහැ අනේ!''
දැන් ඔහුගෙ හඬ ටිකක් බැරෑරුම්.
''එයා හාර්ට් ඇටෑක් එකක් ඇවිත් පෙරේදා හදිසියේම නැති වුණානෙ...මාර වැඩේ!''
බැරෑරුම් ගතියක් ඔහුගෙ මුහුණට ඇවිත් ඇවිත් යන අතරෙ හීනි ප්‍රබෝධයකුත් ඒ අස්සෙන් එන්න ගන්නවා. මාර වැඩේ! කියද්දී ඒ ප්‍රබෝධය වහගන්නම බැරි වුණා.
මාර වැඩේ!
මොන අර්ථයෙන්ම ද මන්දා! මටත් කියැවුණා.
අපි අතර පොඩි නිහැඬියාවක්.
''ව්‍යායාම කරල වැඩක් නැහැ කියලා ඔයාට දැන් හිතෙනවා නේද? නොකරපු එක හොඳයි කියලා වගෙ එකක්...''
''නැහැ ඉතිං...''
ඔහු කැඩිච්ච උත්තරයක් දුන්නා.
''ඔව් ඉතිං...'' වගෙ හඬකුත් ඒ අස්සෙ තිබුණා.
අර හැංගිච්ච ප්‍රබෝධය නං දැන් ඒ මුහුණ පුරා!
CHAPA
August 3, 2017
No comments:
Post a Comment