'අපේ ගැහැනිය'ගේ විළාපය!
වසර දහස් ගණනක ඓතිහාසික උරුමයක්! අමිල සම්පත් සහ අවස්ථා අනුන රටක්!
ඒත් අපි, අපේ ගැහැනු - පිරිමි පිට රට යවලා උන් ඒ ඒ රටවල ට කඹුරලා උපයන මුදලින් යැපෙනවා, එහෙම යැපෙන ගමන් උන්ට ම ගරහනවා, උන් නොසලකා හරිනවා.
එහෙම බලද්දි අපි මහා නරුම ජාතියක්! දැන් මේ මහා උජාරුවට සමරන 77 ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රටට වැදුණු සාපයක් මේ.
විශේෂයෙන්ම මැද පෙරදිග ජීවත්වන සමහර නූගත් මළ පෙරේතයො, උන්ට ආවතේව කරන අපේ ගැහැනුන් ට කරන දේවල් බලාගෙන, අනේ ඉතිං අපි විරිත්ත විරිත්ත ඉන්නාවානෙ, ඇත්තට අපි මොන පිරිමි ද?
දැන් බලන්න! මේ ශ්‍රමිකයන් බලා ගන්න, විදේශ සේවා - විදේශ රැකියා අමාත්‍යංශ, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, අරක මේක! කොච්චර ආයතන මේ රටේ අහිංසක පොදු ජන මුදලින් නඩත්තු කරනවා ද? ඒ මුදල් වලින් වැඩිම කොටස ලබාදෙන සහ ඒ වැඩ බිම් වල ම අගතියට පත් වන, මේ අපේ ම ජනයා වෙනුවෙන්, ඔවුන් මොනවද කරමින් ඉන්නෙ?
ඊළඟට ඒ ඒ රටවල, විශේෂයෙන් ම මැද පෙරදිග තානාපතිවරු!? ඒ ඒ කාර්යාලවල ඉන්න නිලධාරීන් මොනවද කරමින් ඉන්නෙ? ඔවුන් පොදුවෙ අඩුම තරමෙ තමන් ගන්න වැටුපට නියමිත සේවයවත් කරනවා ද?
වරින් වර බලයට එන මේ රටේ දේශපාලන නියෝජිතයො ගැන නං කතා කරන්න දෙයක් නැහැ.
ඔය රන්ජන් රාමනායක වගෙ දේශපාලන නළුවො කාලයෙන් කාලයට මේ විදේශගත ශ්‍රමිකයන් විකුණගෙන ජීවත් වෙනවා හැරෙන්න මොකුත් ම වෙන්නෙ නැහැ!
මේ කාලකන්ණි තත්වයෙන් ගොඩ එන්න නං, වෘත්තීය මට්ටමෙන් හැර වෙනත් ගෘහ සේවාවන් සඳහා කාන්තාවන් පිට රට යවන එක, විශේෂයෙන් ම මැද පෙර දිග ට පටවන එක, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්න ඕනෙ. ඊට සමගාමීව රට තුළ නව රැකියා උත්පාදනය කරන්න ඕනෙ. එනම්, සුළු - මධ්‍ය සහ මහා පරිමාණ කර්මාන්ත පුනරුදයක් ඇති කරන්න ඕනෙ. දෙස් විදෙස් වෙළඳාම, Win - Win මට්ටමක පවත්වාගෙන යන්න ඕන. කොටින්ම, දුෂණ, වංචා සහ අක්‍රමිකතා අවම කරමින් රට ට අනන්‍ය ආර්ථික ශක්තියක් හදා ගන්න අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනෙ.
ඒක එහෙම කෙරෙන පාටක්, දැනට නං නැහැ!
ඒත් දැනට කරන්න 'අත්‍යවශ්‍ය' සහ 'හැකි' මැදිහත්වීමක් තියෙනවා. ඒ, ප්‍රබල මාධ්‍ය මැදිහත්වීමක්. මේ අගතියට පත්වන විදේශ ගත ශ්‍රමිකයන් ට යුක්තිය ලබා ගන්න පුළුවන් විදිහෙ මාධ්‍ය මෙහෙයුමක්, පවතින අයහපත් තත්වයන් පාලනය කරන්න පුළුවන් විදිහෙ මාධ්‍ය ක්‍රියාන්විතයක්. ඒක, ඉතාම සාර්ථක වැඩක්. ඒ ඒ ආයතන, අදාළ බලධාරීන් ප්‍රශ්න කරමින් සහ ඒ ඒ තත්වයන් නිරාවරණය කරගන්න සමත්, ශක්තිමත් මාධ්‍ය ක්‍රියාකාරීත්වයක්!
එක වෙලාවක, ඒ කියන්නෙ 2016 මාස කීපයක් වගෙ, Colombo tv, 'සේයා' ඔස්සේ එවැනි යම් මූලික මැදිහත්වීමක් කරන්න මම උත්සහ කෙරුවා. එය සැලකිය යුතු මට්ටමකට සාර්ථක වෙමින් තිබුණා සහ අදාළ බලධාරීන් සසල කරවන්න සමත් වට පිටාවක් එමගින් ගොඩ නැගෙන්න වුණා. ඒ වටා, විදේශ ගත ශ්‍රමිකයන්ගෙ පවුරක් ඉදිවෙන්න ගත්තා. ඇත්තටම, ඒ හරහා Colombo tv ජනප්‍රිය වෙන්න ගත්තා. වෙනස් සමාජ බලයක් ඊට ලැබෙන්න ගත්තා. රටේ පවතින තත්වයන් ට අනුව, අපට එහෙම වැඩි දුර යන්න වෙන්නෙ නැහැ කියල මම ඔළුවෙන් ගණන් හදමින් තමයි හැබැයි හිටියෙ.
ඒ කියන්නෙ, කවුරුවත් මට හෝ ඊට සම්බන්ධ අනෙක් ශිල්පීන් ට තර්ජනය කරන්න එනවා වගෙ සංකීර්ණ සිද්ධියක් නෙවෙයි. සිදුවෙමින් පැවතුණේ Colombo tv හිමිකරුවන් ට හෝ වැඩකරන අනෙක් අය ට අවශ්‍ය දෙයක් නොවන නිසා, ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වෙනුවෙන් එය නවතා දැමෙන බව! වගෙ සරල කතාවක්. කොහොම හරි ඉතිං ඒක හිටි හැටියෙම නැවතුණා.
මට දැනෙන සිද්ධිය තමයි, අගතියට පත් වූ විදේශ ගත සහෘදයන් සෑහෙන ප්‍රමාණයක්, ඒ වනවිට, මට පුද්ගලිකව ත් සම්බන්ධවෙමින් අපේ මාධ්‍ය ක්‍රියාන්විතය ශක්තිමත් කරන්න ඉදිරිපත්වුණු විදිහ. එහෙම පණිවිඩ මට තවමත් ඉඳ හිට එනවා. ඒවා මග හරිනවා මිස දැන් ඉතිං කෝ සටන් කරන්න වේදිකාවක්?
මම මේ ගැන දන්න කියන හැමෝටම කියනවා!
වැඩක් නැහැ. උන්ට ඕන රටක් නැහැ. කාලා බීලා බල්ලො වගෙ බුදිය ගන්නවා මිසක්. පිට රටවල ඉන්න යමක් කරගන්න පුළුවන් එකාලට මම දිගට ම කියනවා, එකතුවෙලා අර Channel 4 වගෙ රුපවාහිනී නාලිකාවක් හදාපල්ලා කියලා! ඒ එකෙක් දවසක් මට කියනවා, උදය ගම්මම්පිල කෙරුව වගෙ, මිනිස්සුන්ගෙන් රුපියල් සියය ගණනෙ එකතු කරලා මාධ්‍යයක් හදන්න ලු! මම, මටම නියවගෙන තරහ පිටකරගෙන නිකං හිටියා. දැන් මිනිහා ලංකාව ට ඇවිත්. රාජපක්ෂලා ට වැඩ, මට ත් එන්න ලු! මම ඉතිං කුණු හරුප නොකියන එක ගැන මට ම දොස් කියාගෙන නිකං හිටියා.
මේ සටහන මම හිතට එන විදිහට ලියාගෙන ගියා. විශේෂ අරමුණක් නැහැ. ඒත් මේ මොහොතෙ ත්, තිරිසන්නු වගෙ මිනිස්සුන්ගෙන් අනේක විධ අතවරයන්ට ලක් වෙමින්, අර කටුක වැලි කතරෙ දිගාවෙලා 'අපේ ගැහැනිය' නගන විළාපය නං මං පස්සෙන් පන්නගෙන එනවා වගෙ දැනෙනවා! සත්තකින් ම!
මට නං ඉතිං ගැළවීමක් නැහැ!
CHAPA
August 12, 2017
No comments:
Post a Comment