විහිළු නෙවයි ඔන්න!
විහිළු විතරක් කරන්න!
හිනා යනවා, සතුටුයි, කාටවත් දුකක් නැහැ, ලැජ්ජාවකුත් නැහැ, අපහාසයක් නං ඇත්තෙම නැහැ!
එහෙනං විහිළුවක් තමයි!
වැඩේ කියන්නෙ අපේ සමහරු විහිළු කියලා හිතන්නෙම අනෙකා රිදවලා - දුකට පත් කරවලා සතුටක් ලබන වැඩකටනෙ.
කෙනෙකුට දුකක් - අනෙකාට සතුටක්.
කෙනෙකුට පීඩාවක් - අනෙකාට සැහැල්ලුවක්.
කෙනෙකුට අපහාසයක් - අනෙකාට ගෞරවයක්.
කෙනෙක් පරාජිතයෙක් - අනෙකා වීරයෙක්!
එහෙම විහිළු තියෙන්න බැහැ. ඔය ''ඇස් රතුවෙන විහිළු'' කියන්නෙත් අන්න ඒ වර්ගයෙ ඒවාට තමයි. ඒ සමහර විහිළු නිසා ජීවිත කඩා වැටෙන්නත් පුළුවං. ජීවිත නැතිවෙන, අබල දුබල වෙන අවස්ථාත් තියෙනවා. එහෙම නං ඇයි අපි එහෙම විහිළු කරන්නෙ?
අනෙක, කෙනෙක් මොකක් හරි ප්රශ්නයක ඉන්නකොට, ඒ කෙනාව ගොඩ ගන්න විහිළුවක් කරනවා මිසක්, ඒ කෙනාගෙ ප්රශ්නය නං විහිළුවකට ගන්න එපා, කොහොමත් එහෙම වෙලාවක හරිම පරිස්සමෙන්!
අනුන්ට අපහාස කරලා හිනාවෙන එක නං මානසික ප්රශ්නයක්.
එහෙම කරන අයට ලොකු මානසික ප්රශ්නයක් හිතේ හිරවෙලා තියෙනවා. සමහර විට හීනමානය වගෙ එකක්. සමහරු, අනුන්ගෙ ඇද පෙන්නලා විහිළු කරනවා, ඒක කොච්චර කැත ද? ඒකත් කෙනෙකුගෙ මානසික ප්රශ්නයක ප්රතිඵලයක්. එහෙම අනුන්ට අනවර්ථ නම් දාන එකත් විහිළුවක් වගෙ පෙනුනාට ඉතාමත්ම ප්රාථමික වැඩක්.
ඒවාට හිනාවෙන්න එපා! අනුබල දෙන්නත් එපා!ඒවා කරන අය ප්රතික්ෂේප කරන්න!
මේ ලස්සන දවසෙ, අපි හැමෝම හිතට ගනිමු, අනිත් අය සතුටට පත්වෙන විහිළු විතරක් කරන්න.
විහිළු?
විහිළු නෙවයි ඔන්න!
විහිළු විතරක් කරන්න!
ඔව්!හැමෝටම සතුටු හිතෙන...
CHAPA
Politics does mean civilization! so that POLITICS is a DIALOGUE, so is civilization! who? What? why? Where? When?...a lot of questions to be answered, Politics is a PROCESS finally!
Sunday, February 19, 2017
Saturday, February 18, 2017
රනිල් - මලික් ආර්ථික (?) න්යාය!
රට, ඊනියා ජාත්යන්තර ණය උගුලේ තව තවත් හිරකරමින්, වංචා, දුෂණ සහ අක්රමිකතා සඳහා තව තවත් ඉඩ හදමින්, ආණ්ඩුව මේ යන ගමන ඉතාමත්ම භයානක ය. එයින් කියවෙන්නෙ, රාජපක්ෂ පාලනය තුළ, රටට හොඳ ආර්ථික ගමනක් තිබුණු බව නොව, ඔවුන් නවත්තපු තැනින්, රට තවදුරටත් විනාශය කරා තල්ලු කරගෙන යන බවය.1977 න් පටන් ගන්න මේ විනාශකාරී ගමන් දිශාව, මේ වනවිට, එනම්, දශක හතරක් ගෙවෙන තැන, රටට අත්කර දී ඇති පරාජයන් අතිශය බරපතළය. විශේෂයෙන්ම, තවදුරටත් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන ආ යුතුව තිබූ රාජ්ය ව්යවසායන් පියවරෙන් පියවර ඔවුන් එකතුව, විකුණා දමමින් ඉන්නවා. 1948 න් පස්සෙ අනිවාර්ය හේතු මත නිර්මාණය වන සුභ සාධන රාජ්ය ක්රමය තුළ ලංකාව රටක් ලෙස දිනාගත් ජයග්රහණ සියල්ලම මේ වනවිට පරාජයන් බවට පත් කෙරෙමින් තියෙනවා.
රාජ්ය, අර්ධ රාජ්ය, පුද්ගලික සහ බහු ජාතික කියන ආර්ථික ක්රම වේදයන් කරට කර තබා තරඟකාරී ලෙස පවත්වාගෙන යමින් ශක්තිමත් සහ ස්වාධීන රාජ්යයක් ලෙස ලෝකය තුළ හිටගන්න අපිට බැරි වුණේ, අපේ ඔලමොට්ටලකම නිසාමයි. රටේ කොඳු නාරටිය වන කෘෂිකර්මාන්තය විනාශකරමින්, ඒ වෙනුවට තොරතුරු තාක්ෂණයෙන් ලෝකය දික්විජය කරන්න පුළුවං කියලා හිතන අපේ ආර්ථික විශේෂඥයෝ, මොන විශේෂඥයෝ ද? සේවා ආර්ථිකයක් ගැනත් නිකං විකාරෙන් වගෙ කියවනවා! මොනවද මේ සේවා? 1977 අනුහසෙන් අන්න අපේ කාන්තාවො, මද පෙරදිග අපා දුක් විඳිනවා, කවුද දැන් ඒකට වග කියන්නෙ? JR ද? මේකට නං සංවර්ධනය කියන්නෙ, අනේ! ඒ සංවර්ධනය අපට එපා!
හැබැයි එහෙම කිව්වට බැහැ!
එදා, බ්රිතාන්ය යටත් විජිතයක් විදිහට රට පීඩාවට පත් වෙද්දි, එය සාධාරණීකරණය කරන්න කළු සුද්දො සෙට් එකක් හැදුණා වගේ, මේ ජාවාරම්කාර - ගොන් ආර්ථික වැඩත් එක්ක, පවුල් පිටින් ගොඩයන්න හදන සහ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න ඊනියා බුද්ධිමතුන් සෙට් එකක් දැන් ඉන්නවා. මහාචාර්ය, ආචාර්ය, අර චාර්ය, මේ චාර්ය...කියලා.
දරන්න බැරි! ඒ අති බහුතරය, මේ රටේ වැඩකරන ජනයාගෙ බදු මුදලින් හැදිච්ච එවුන්, සමහරු මැරෙන්න ඔන්න මෙන්න!
රටේ ඉදිරි ආර්ථික ගමන ගැන සියළු තීරණ ගන්නෙ ලෝක බැංකුව සහ ජාත්යන්තර මූලය අරමුදල. රවී කරුණානායක ලා නිකං ( ඒත් ලාභ ලබන!) රූකඩ! රනිල් - මලික් කල්ලිය තමයි දැන් වැඩේ අතට අරගෙන ඉන්නෙ, එදා බැසිල් - නාමල්!
ඒ අස්සෙ, විදේශගත සමහර සහෘදයො, මට කතා කරලා මෙහෙම කියනවා.
''ඔබතුමාගෙ අදහස් හොඳයි...ඒ වුණත් ඔය සෞඛ්ය - අධ්යාපනය විකුණන කතා පිළිගන්න බැහැ! තරහා වෙන්න එපා! බලන්න මේ රටවල් දිහා...මම නං මෙහෙ දැන් අවුරුදු 30 ක් විතර...ආයෙ ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැහැ...ළමයිත් ඉතිං ලංකාවට වඩා මෙහාට කැමතියි...මම නං කියන්නෙ ඔය නිදහස් අධ්යාපනය කියලා එකක් වැඩක් නැහැ...ඇයි ඉතිං සල්ලි දීලා ඉගෙන ගන්න බැරි?''
ඉතිං ඒ වගෙ අයට දෙන්න උත්තරයක් දැනට නං නැහැ!
කොහොම වුණත්, ලංකාවෙ ආර්ථික දැක්ම ඉතාම අපූරුවට නිරුපණය කරන කාටුන් චිත්රයක් තමයි මේ!
මෙතැන මලික් නැතිවුණාට රනිල් ඉන්නවනෙ.
මතකනෙ 'රනිල් - මලික්' ආර්ථික (?) න්යාය!
CHAPA
ඔබත් ''චුරු චුරු'' ගාන කෙනෙක් ද?
''චුරු චුරු'' ගානවා කියන්නෙ, හැම වෙලාවෙම, කට කියවනවා.
සාමාන්යයෙන් නං හොඳ දේවල් නෙවෙයි. නැති දේවල්, එක එක කරදර, කරන්න බැරි වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්...ඔන්න ඔය වගෙ!
තරහා වෙන්න එපා! ඔහොම කරන්නෙ වැඩි පුරාම නං කාන්තාවො, හැබැයි පිරිමිත් ඉන්නවා. වයස්ගතවීම නිසා කරන වැඩක් නෙවෙයි මේ. සාමාන්ය චරිත ලක්ෂණයක්, සමහරුන්ගෙ.
ඔබ එහෙම කෙනෙක් ද? එක්කෝ ඔබේ ගෙදර එහෙම අය ඉන්නවා ද? නෑදෑයො - යාළුවො?
වැඩේ කියන්නෙ, මෙහෙම අය වෙනස් කරන එක සෑහෙන්න අමාරුයි. හේතුව, ඒ කෙනා දන්නෙ නැහැනෙ, තමන් කරන දේ. ඒ අයට සාමාන්ය දෙයක්. තමන්ගෙ සාමාන්ය ජීවිතය.
ඔබ එහෙම කෙනෙක් නං, දැන් හිතන්න, මම දැන් ඉඳලා කණස්සල්ලෙන් ඉන්නෙ නැහැ, හැම වෙලාවෙම ප්රශ්න ගැන කියව කියව ඉන්නෙත් නැහැ, මම වෙනස් වෙනවා කියලා. ඒ, වෙන කෙනෙක් නං, ටිකක් සමීප වෙලා ඒ ගැන හෙමින් හෙමින් කියන්න.
''බලන්න! ඔයා කොච්චර වාසනාවන්ත කෙනෙක් ද? මොනවද අනේ ඔයාට තියෙන කරදර? එහෙනං ඉතිං අපි මැරෙන්න එපා යැ අපට තියෙන ප්රශ්න වල හැටියට..'' කියලත් කියන්න.
උත්සහ කරලා බලන්න! හැබැයි ඔබත් ඒ ගැන චුරු චුරු ගාන්න ගත්තොත් වැඩේ ඉවරෙටම ඉවරයි!
ඒ නිසා පරිස්සමට!
ඉතිං ඔබට ''චුරු චුරු'' නැති අපූරු දවසක්!
CHAPA
අගමැති, ආචාර්ය රනිල් වික්රමසිංහ!?
ශ්රී ලංකාවෙ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ට, පහු ගිය දවසක, ඕස්ට්රේලියාවෙ DEAKIN විශ්ව විද්යාලයෙන්, සම්මාන ආචාර්ය උපාධියක් පිරි නැමුණා.එතැන් සිට, ආචාර්ය රනිල් වික්රමසිංහ කියලා ඔහු ආමන්ත්රණය කරන්නනෙ තියෙන්නෙ.
ප්රශ්නය ඒක නෙවෙයි.
ඔහුට, මේ සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන හේතුව විදිහට DEAKIN හරහා ප්රකාශයට පත් වෙන්නෙ, ප්රධාන වශයෙන්; ආර්ථික, අධ්යාපන හා මානව හිමිකම් තුළින්ශ්රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා ඔහු කළ බව කියන මෙහෙවර වෙනුවෙන් ලු!
ඒ මොන මෙහෙවරක් ද?
ලංකාවෙ අපි නොදන්න, ඕස්ට්රේලියාවෙ කට්ටිය පමණක් දන්න, ඒ ''මාර මෙහෙවර'' ගැන නං අපි අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනෙ, මොකද, ලංකාවෙ අපට හොරෙන්, අගමැතිවරයා එහෙම මොනවා හරි කරලා ද දන්නෙ නැති නිසා!
ඒ හැරෙන්න අපි දන්නෙ එක දෙයයි.
රටේ ආර්ථිකය තව දුරටත්, විදේශ ආර්ථික ඝාතකයන් ට භාර දීලා, ලංකාවෙ ඉන්න සීමිත කල්ලියකට උපරිම වාසි ලැබෙන විදිහෙ ආර්ථික ප්රතිසංස්කරණ ව්යාපෘතියක් ක්රියාත්මකයි, රටේ නිදහස් අධ්යාපන අවස්ථා ත් - තව දුරටත් දියකෙරෙමින් තියෙනවා, ඒ නිසාම පොදු ජනයාගෙ මානව හිමිකම් බරපතළ විදිහට උල්ලංඝනය වෙමින් තියෙනවා!
එක්කෝ කවුරු හරි DEAKIN විශ්ව විද්යාලයට දිරච්ච ලණුවක් දීලා. එහෙම නැත්තං, මේ ක්රමයට අගමැතිවරයා සතුටු කරවලා, ලංකාවෙ අධ්යාපන වෙළෙඳ පොළට රිංගන්න හදනවා. බොහෝ විට වෙන්න පුළුවං ඔන්න ඔය දෙවැනි එක.
දැන් කෙනෙක් අහන්න පුළුවං, එතකොට ලංකාවට විදේශ විශ්ව විද්යාල එන එක නරක ද? අපේ ළමයි ඉගෙන ගන්න එපා ද? කියලා. මෙච්චර කල් පිට රටට ඇදිලා ගිය අපේ සල්ලි රට ඇතුළෙ ඉතුරු වෙනවා නේද කියලත්, කියයි.
වෙන්න යන්නෙ ඒක නෙවෙයි!
1940 දශකයෙන් පස්සෙ ක්රමානුකුලව සංවර්ධනය වෙමින් ආපු සහ 1970 දශකයේ දි, මළගම ට සුදානම් කරපු, මේ රටේ පොදු ජනයා බලගන්වන්නට, තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතව තිබූ, නිදහස් අධ්යාපන අවස්ථා නැත්තටම නැති කරලා, වරප්රසාද ලත් එක පන්තියකට පමණක්, 'උගත්කම' සීමා කරන්න හදන එක.
වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මහාචාර්යවරු ඇතුළු, වැඩකරන ජනයාගෙ බදු මුදලින් ඉහළට ආපු බොහෝ උගත්තු(?) දැන් මේ අධ්යාපන පාදඩකරණයට සුදානම්! උන් දන්නෙ නැහැ, උන් පොට්ටනි ගහපු සල්ලි ඉවර වුණාම, දවසක, උන්ගෙ ළමයින්ට මොකද්ද වෙන්න යන්නෙ කියලවත්.
වැඩේ කියන්නෙ, දැනටමත් එදා වේල කන්න නැති එවුණුත් මේ නිදහස් අධ්යාපන ඝාතනයට ඔල්වරසන් නගනවනෙ.
ඒක තමයි දරන්නම බැරි!
හරි! අගමැති, ආචාර්ය රනිල් වික්රමසිංහ ගෙ කතාව නෙවෙයි, මෙන්න මේ ''අපේ කතාව'' හරියට හදා ගන්න, අරගල කරමු!
CHAPA
දේශපාලනය 'අබිං' වුණොත්...
'ආගම' කියන්නෙ අබිං! කියලා මාක්ස්වාදය හදාරන අය දන්නවා.ආගමක් කියන්නෙ විශ්වාසය සහ ඇදහිල්ල මත පදනම් වන සංස්කෘතික අවකාශයක්. කුමන කාලයකදි, කුමන මූලයකින් පැන නැගුණත් 'ආගම' කියන ආකෘතිය අඩු වැඩි වශයෙන් සමානයි ( බුදු දහම, ආගමක් බවට පත් වෙලා, සංස්කෘතියක් ගොඩ නගනකොට සිද්ධ වෙන්නෙත් ඒ වගෙ පරිවර්තනයක් තමයි - ඒ සාකච්ඡාව වෙනම එකක්!)
ඒත් දේශපාලනය කියන්නෙ නං මොනම තත්වයක් යටතෙදිවත් ආගමක් නෙවෙයි!
දේශපාලනය කියන්නෙ විද්යාවක්. එය දැනුම් පද්ධති ගණනාවක එකතුවක්. තව දුරටත් පරිණාමය වෙමින් පවතින ඓතිහාසික ක්රියාවලියක්. ප්රජාතන්ත්රවාදය, පාර්ලිමේන්තු සම්ප්රදාය, පක්ෂ ක්රමය, මැතිවරණ ක්රියාවලිය...නිසා මේ වනවිට එක පැත්තකින් දේශපාලනය, ආණ්ඩු කරවීමේ ව්යාපෘතියක් පමණක් වන තරමට හැකිළෙමින් තියෙනවා. රාජ්ය සහ ආණ්ඩුව අතර සිරවන 'දේශපාලනය' එතකොටම යම් යම් කණ්ඩායම් වල ආගම බවට පත්වෙනවා. ලෝකය පුරාම මේ තත්වය සමාන වුණත් ආසියානු සහ අප්රිකානු රටවල මේ තත්වය තව දුරටත් අයහපත්. හොඳම උදාහරණය තමයි, ඉන්දියාව, එයිනුත් තමිල්නාඩු දේශපාලනය.
ලංකාවෙ තත්වයත් පොදුවෙ, එච්චර හොඳ මට්ටමක නැහැ. සාපේක්ෂ හොඳ තැන් තිබුණත්.
බලන්න! අපේ රටේ හැම දේශපාලන පක්ෂයකම පහළ (?) මට්ටමේ පොදු ජන සාමාජිකයන් අති බහුතරය ඒ ඒ පක්ෂ වලට ''මාරාන්තික විදිහට'' ආදරය කරන හැටි. ඔවුන්, තමන්ගෙ පක්ෂ සහ නායකයන් අදහනවා. පක්ෂය හෝ නායකයන් විවේචනය කරන කෙනෙක්ව දකින්නෙ පරම හතුරෙක් විදිහට. ජවිපෙ වගෙ පක්ෂයකට අනුව එවැන්නෙක් ද්රෝහියෙක් බවට පත්වෙනවා, මැරෙන තුරාවට සමාව නං නැහැ. ඒ, පක්ෂ නායකයා වුණත් කමක් නැහැ, පක්ෂයෙන් ප්රතික්ෂේප කරනවා නං.
එජාප, ශ්රීලනිප...වගෙ පක්ෂ වල තත්වය එච්චර දරුණු නැහැ, ඒත් යම් සමාන කමක් තියෙනවා.
මෙන්න මේ ආගමික පක්ෂ අනුගාමිකයන් තමයි කිසිම ප්රතිලාභයක් නැතුව ඒ ඒ පක්ෂ පෝෂණය කරමින් පවත්වාගෙන යන්නෙ. ඔවුන්ට බොහෝ විට දේශපාලන දැනුම ගලාගෙන යන්නෙ නැහැ, යනවා නං යන්නෙ පක්ෂ සීමාව ඇතුළෙ. ඒ නිසාම, ඒ බහුතරය ශරීරයෙන් දේශපාලනය කරනවා.
මැතිවරණ සටන් සඳහා දිවි නොතකා වැඩ කරන්නෙ ඔවුන් තමයි.
එක පාරටම පිටට නොපෙනුණා ට මේ ස්වභාවයත් දියුණු දේශපාලනික ලෝකයක් ගොඩ නගන්න හරස් වෙනවා. හේතුව සරලයි. මැතිවරණ සහ ඒ හරහා ආණ්ඩු බලය ඉලක්ක කරන පක්ෂ නායකයො සහ ඒ පිටුපස සිටින ව්යාපාරික ප්රජාව එක එක විදිහෙ උපක්රම යොදා ගන්නවා. එකඟවීම් සහ ප්රතික්ෂේප කිරීම් කරනවා. පහළ අති බහුතරය ඒවාට සංවේදී නැහැ, අනෙක එහෙම සංවේදී වෙන්න බැරිවෙන්න ඒ ඒ පක්ෂ විනය යාන්ත්රණ සකස්වෙලා තියෙනවා.
මේ තත්වය තුළ, වඩා යහපත් සමාජයක් ගොඩ නගන්න අවශ්ය පුළුල් දේශපාලන සංවාදය ගොඩ නැගෙන්නෙ නැහැ.
පැරණි සෝවියට් දේශය හුදු හීනයක් බවට පත් වෙන්නෙත්, කියුබාව මේ වෙනකොට පණ අදින්නෙත්, උතුරු කොරියාව මහා පවුරකින් තම දේශය කොටුකරගෙන බියෙන් වෙළී පවතින්නෙත් මෙන්න මේ ලෝක යථාර්ථය නිසා.
ලංකාවෙ අපිටත් මේ ඓතිහාසික අභියෝගය එහෙමම තියෙනවා.
ඒත්, අපට කරන්න පුළුවං මොකද්ද? උත්තරය සරල නං නැහැ!
මාක්ස්, දේශපාලනය, ආගම සහ අබිං!
යළි කියවන්න ඕනෙ, හැබැයි මුල සිට - විධිමත්ව!
CHAPA
Subscribe to:
Posts (Atom)



