Saturday, February 18, 2017

       රනිල් - මලික්  ආර්ථික (?) න්‍යාය!

රට, ඊනියා ජාත්‍යන්තර ණය උගුලේ තව තවත් හිරකරමින්, වංචා, දුෂණ සහ අක්‍රමිකතා සඳහා තව තවත් ඉඩ හදමින්, ආණ්ඩුව මේ යන ගමන ඉතාමත්ම භයානක ය. එයින් කියවෙන්නෙ, රාජපක්ෂ පාලනය තුළ, රටට හොඳ ආර්ථික ගමනක් තිබුණු බව නොව, ඔවුන් නවත්තපු තැනින්, රට තවදුරටත් විනාශය කරා තල්ලු කරගෙන යන බවය.
1977 න් පටන් ගන්න මේ විනාශකාරී ගමන් දිශාව, මේ වනවිට, එනම්, දශක හතරක් ගෙවෙන තැන, රටට අත්කර දී ඇති පරාජයන් අතිශය බරපතළය. විශේෂයෙන්ම, තවදුරටත් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන ආ යුතුව තිබූ රාජ්‍ය ව්‍යවසායන් පියවරෙන් පියවර ඔවුන් එකතුව, විකුණා දමමින් ඉන්නවා. 1948 න් පස්සෙ අනිවාර්ය හේතු මත නිර්මාණය වන සුභ සාධන රාජ්‍ය ක්‍රමය තුළ ලංකාව රටක් ලෙස දිනාගත් ජයග්‍රහණ සියල්ලම මේ වනවිට පරාජයන් බවට පත් කෙරෙමින් තියෙනවා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ බහු ජාතික කියන ආර්ථික ක්‍රම වේදයන් කරට කර තබා තරඟකාරී ලෙස පවත්වාගෙන යමින් ශක්තිමත් සහ ස්වාධීන රාජ්‍යයක් ලෙස ලෝකය තුළ හිටගන්න අපිට බැරි වුණේ, අපේ ඔලමොට්ටලකම නිසාමයි. රටේ කොඳු නාරටිය වන කෘෂිකර්මාන්තය විනාශකරමින්, ඒ වෙනුවට තොරතුරු තාක්ෂණයෙන් ලෝකය දික්විජය කරන්න පුළුවං කියලා හිතන අපේ ආර්ථික විශේෂඥයෝ, මොන විශේෂඥයෝ ද? සේවා ආර්ථිකයක් ගැනත් නිකං විකාරෙන් වගෙ කියවනවා! මොනවද මේ සේවා? 1977 අනුහසෙන් අන්න අපේ කාන්තාවො, මද පෙරදිග අපා දුක් විඳිනවා, කවුද දැන් ඒකට වග කියන්නෙ? JR ද? මේකට නං සංවර්ධනය කියන්නෙ, අනේ! ඒ සංවර්ධනය අපට එපා!
හැබැයි එහෙම කිව්වට බැහැ!
එදා, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට රට පීඩාවට පත් වෙද්දි, එය සාධාරණීකරණය කරන්න කළු සුද්දො සෙට් එකක් හැදුණා වගේ, මේ ජාවාරම්කාර - ගොන්  ආර්ථික වැඩත් එක්ක, පවුල් පිටින් ගොඩයන්න හදන සහ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න ඊනියා බුද්ධිමතුන් සෙට් එකක් දැන් ඉන්නවා. මහාචාර්ය, ආචාර්ය, අර චාර්ය, මේ චාර්ය...කියලා.
දරන්න බැරි! ඒ අති බහුතරය, මේ රටේ වැඩකරන ජනයාගෙ බදු මුදලින් හැදිච්ච එවුන්, සමහරු මැරෙන්න ඔන්න මෙන්න!
රටේ ඉදිරි ආර්ථික ගමන ගැන සියළු තීරණ ගන්නෙ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූලය අරමුදල. රවී කරුණානායක ලා නිකං ( ඒත් ලාභ ලබන!) රූකඩ! රනිල් - මලික් කල්ලිය තමයි දැන් වැඩේ අතට අරගෙන ඉන්නෙ, එදා බැසිල් - නාමල්!
ඒ අස්සෙ, විදේශගත සමහර සහෘදයො, මට කතා කරලා මෙහෙම කියනවා.
''ඔබතුමාගෙ අදහස් හොඳයි...ඒ වුණත් ඔය සෞඛ්‍ය - අධ්‍යාපනය විකුණන කතා පිළිගන්න බැහැ! තරහා වෙන්න එපා! බලන්න මේ රටවල් දිහා...මම නං මෙහෙ දැන් අවුරුදු 30 ක් විතර...ආයෙ ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැහැ...ළමයිත් ඉතිං ලංකාවට වඩා මෙහාට කැමතියි...මම නං කියන්නෙ ඔය නිදහස් අධ්‍යාපනය කියලා එකක් වැඩක් නැහැ...ඇයි ඉතිං සල්ලි දීලා ඉගෙන ගන්න බැරි?''
ඉතිං ඒ වගෙ අයට දෙන්න උත්තරයක් දැනට නං නැහැ!
කොහොම වුණත්, ලංකාවෙ ආර්ථික දැක්ම ඉතාම අපූරුවට නිරුපණය කරන කාටුන් චිත්‍රයක් තමයි මේ!
මෙතැන මලික් නැතිවුණාට රනිල් ඉන්නවනෙ.
මතකනෙ 'රනිල් - මලික්' ආර්ථික (?) න්‍යාය!
CHAPA 

No comments:

Post a Comment