Sunday, March 5, 2017

    ඕපා දූප, එපා!


ඕපා දූප, එපා!
ඇත්ත කියන්න!
ඔබ, ඕපා දූප හොයන්න මාර ආසයි නේද? ගණන් ගන්න එපා! සාමාන්‍යයෙන් මිනිස්සු එහෙම තමයි.
අපි අහලා තියෙන්නෙ නං කාන්තාවො තමයි ඔය ඕපා දූප හොයන්න වැඩියෙන්ම ආසා කියලා. ඒත්, සමහර පරීක්ෂණ හරහා ඔප්පු වෙලා තියෙන්නෙ, ඒ වැඩේට හුඟාක් ම ආසා කරන්නෙ පිරිමි කියලා. 
එහෙම ගත්තොත්, අර ළිඳ ළඟ සංගමය කියන එක, කඩේ ළඟ සංගමය හරි වෙන මොකක් හරි ළඟ සංගමය කියලා හරි පිරිමින්ගෙ පැත්තටම දාන්න වෙනවා.
කොහොම වුණත්, ඕපා දූප කියන්නෙ අනුන්ගෙ දේවල්.
අනුන් කන බොන හැටි, ආදරය කරන හැටි, එකිනෙකාගෙ ලිංගික ජීවිත, අනික් වුන් පවුල් ජීවිත ගත කරන හැටි, ඒ ඒ අයගෙ තවත් ප්‍රශ්න...ඔන්න ඔය වගෙ. ගෙවල් අහළ පහළ, කාර්යාලයෙ, කර්මාන්ත ශාලාවෙ, පාර තොටේ...ඔය ඕන තැනක, තමන්ට කිසිම වැදගැම්මක් නැති අනුන්ගෙ දේවල් හොයන්න අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා.
ලෝකය පුරාම මේ තත්වය අඩු වැඩි වශයෙන් ඇති. ඒත් ලංකාවෙ අප අතර නං අනිවාර්යයෙන්ම මේ ගතිය තියෙනවා.
අපි තමයි නියම ඕපා දූප කාරයො!
ආ! ජනප්‍රිය රුපවාහිනී සහ රේඩියෝ වැඩසටහන් තියෙනවා ජනප්‍රිය චරිත වල ඕපා දූප කියවන, අපිත් ඉතිං කට අරගෙන බලන් ඉන්නවා. අහන් ඉන්නවා.
ඔය වැඩසටහන් නං ඉතිං මාර්කටිං වැඩ කියමුකො.
අපේ ඕපා දූප වලින් නං වෙන්නෙ තමන්ගෙ වටිනා කාලය නැතිවෙන එක. හිත විකාර වලින් පිරෙන එක. තමන් පිරිහෙන එක. සමහරවිට අනිත් අයගෙ හාස්‍යයට සහ පිළිකුළට ලක් වෙන එක.
ඒ වගේම, ඔය ඕපා දූප නිසා මිනිස්සුන්ගෙ ජීවිත අවුල් වෙන්න පුළුවං. අනෙකාට හිංසා - පීඩා ඇතිවෙන්න පුළුවං.
ඉතිං අපි ඒ වැඩේ නවත්තමු ද, අද ඉඳලා, අද තවත් ලස්සන දවසක්නෙ, නේද?
එහෙම නං ඔබට ජය!
CHAPA

Saturday, March 4, 2017

   මට ලැජ්ජා කරන්න එපා!


මට ලැජ්ජා කරන්න එපා!
මං කියන්නෙ, මට නෙවෙයි, කෙනෙක් කවදා හරි ඔබට එහෙම කියලා තියෙනවා ද?
ලැජ්ජාව තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි තමයි, ඒත් ගෘහාශ්‍රිත සත්තුන්ටත් නිකං ඊට සමාන මොකක් හරි හැඟීමක් එනවද මන්ද! වෙලාවකට.
මං කියන්නෙ බල්ලො පූසො ගැන. ඒත් ඒ ගැන එච්චර හිතන්න එපා!
මේ කතා කරන්නෙ මිනිස්සු ගැන, මේ අපි ගැන!
'ලැජ්ජාව' කියන්නෙ එක පැත්තකින් සංස්කෘතික ලක්ෂණයක් , ඒ නිසාම එය සාපේක්ෂයි. සංකීර්ණයි.
අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ලැජ්ජාව කියන හැඟීම හිතට එන හැටි, සරල හැඟීමක්. හැබැයි ලැජ්ජාව නිසා කෙනෙක් ජීවිතය නැති කරගන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒක එච්චර සරල නැහැ නේද?
ප්‍රශ්නය ලැජ්ජාව ඇතිවෙන එක නෙවෙයි.
කෙනෙක්, තව කෙනෙකුට ලැජ්ජාව ඇතිකරවන එක. ඒක, දෙවිදිහකට වෙනවා. දැනගෙන සහ නොදැනගෙන. අපි හිතමු, කෙනෙක් වැඩකරන කාර්යාලයට, ඒ පුද්ගලයාගෙ නෑදෑයෙක් එනවා කට ගොන්නක් බීගෙන, ඇඳුමත් බාගෙට ගැලවිලා. කොහොම තත්වයක් උදාවෙයි ද? එක්කෝ, බිරිඳ සැමියා ඉන්න තැනට ගිහිං, එක්කෝ සැමියා බිරිඳ ඉන්න තැනට ගිහිං, මොකක් හරි හේතුවකට කට්ටියම ඉස්සරහා බණින්න පටන් ගන්නවා. හිතාගන්න පුළුවං නේද? වැරදීමකින් කෙනෙක් කරන දෙයක් නිසාත් වෙන කෙනෙක් ලැජ්ජාවට පත්වෙන්න පුළුවං. හිතන්න, බිරිඳගේ නෑදෑයො කට්ටියක් හෝ කාර්යාල යාළුවො කට්ටියක් ඉස් ඉස්සෙල්ලාම ගෙදර එන අතරෙ, ඔවුන්ට ඇහෙනවා, ඒ සැමියා කුණුහරුප කියලා බැන බැන බල්ලෙක් එළවනවා.
එතකොට කොහොමද, අර කාන්තාවට ඇතිවෙන හැඟීම?
සමහර ගෙවල්වල ඉන්න සමහර අය, අල්ලපු ගෙවල් වලට ඇහෙන්නම කාට හරි බනිනවා. '' අර ගෙවල් වලට ඇහෙනවා, කෑගහන්න එපා!'' කියලා බැනුම් අහන කෙනා කිව්වොත්, ''උන්ට ඇහෙන්න තමයි යකෝ! මේ කියන්නෙ!'' කියලා කෑගහන්නත් ඉඩ තියෙනවා.
එක ගෙදරක අම්මා කෙනෙක් දරුවන්ට ලැජ්ජා කරන්න ඕන වුණාම, ළඟ ගෙවල් වලට ගිහිං කන්න බොන්න ඉල්ලන කතාවක් දවසක් කෙනෙක් කිව්වා. පුදුම වැඩ නේද? ඔබ හිතයි, ඒත් එහෙම සිද්ධීන් තියෙනවා.
කෙනෙක් තවත් කෙනෙකුට, මොකක් හරි හේතුවක් මත, අනිත් අයට ඇහෙන්න හයියෙන් කෑගහන්නෙ නං, චේතනාන්විතව, ලැජ්ජාකරමින් පළිගන්න, දරුණු විදිහට රිද්දන්න. ගැහැනු, පිරිමි දෙවර්ගයම ඒක කරන්න ඉඩ තියෙනවා.
මෙහෙම කරන වෙලාවෙ, ඒ පුද්ගලයගෙ හිත ද්ව්ෂයෙන් පිරිලා, කෙනෙක් මානසික ප්‍රශ්නයක් නිසාත් එහෙම වැඩකට පෙළඹෙන්න පුළුවං. කොහොම ගත්තත් මේ හරිම ප්‍රාථමික මානසික මට්ටමක්. කෙනෙක්, එක දිගටම මෙහෙම හැසිරෙනවා කියන්නෙ, ඔහුට හෝ ඇයට මනෝවිද්‍යාත්මක මගපෙන්වීමක් අවශ්‍යයයි කියන එක. ඒක ලොකු මානසික ප්‍රශ්නයක්.
ලැජ්ජා කරවන එක දැනගෙන කෙරුවත් නොදැනගෙන කෙරුවත්, කෙනෙකුට දෙන්න පුළුවං භයානක දඬුවමක්.
ඔබ එහෙම කරනවා නං, අනේ! මින් පස්සෙ එහෙම කරන්න එපා!
අමානුෂිකයි - අසාධාරණයි!
අපේ පැරැන්නො අතර විශ්වාසයක් තිබිලා තියෙනවා, ගෙඩි හැදෙන්නෙ නැති දෙහි ගස්වල, අතු වල පොල්ළෙලි බැඳලා ගහට ලැජ්ජා කරනකොට ගෙඩි හටගන්නවා කියලා. ඒකෙ ප්‍රායෝගික ඇත්තකුත් තියෙනවා, පර්යේෂණ කරලා හොයාගන්න ඕන කරන. කොහොම වුණත්, මේ වැඩේ ඇත්ත කියලා පිළි අරගෙන, ඒකම අපේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවං.
ඒ කොහොමද?
ලැජ්ජා කරන්න කරන්න, සරුවට හැදෙන්න බලනවා. ආත්ම ශක්තිය තව තව වැඩි කරගන්නවා.
කොහොමද ඒ ක්‍රමය? නිකමට අත් හදා බලන්න!
එහෙම කිව්වට ඔබ නං කාටවත් ලැජ්ජා කරන්න එපා! හොඳේ?
ඔබට ලැජ්ජාවක් නොවේවා! ඔබෙනුත්, කාටවත් ලැජ්ජාවක් නොවේවා!
සුභ දවසක්!
CHAPA

Friday, March 3, 2017

CHAPA against SAITM in Kandy!

    SAITM විරෝධය!


SAITM ! SAITM!! SAITM !!!
සමහරු අහනවා, රටේ තියෙන ලොකුම ප්‍රශ්නය SAITM ද? කියලා.
තවත් අය කියන්නෙ, කට්ටියක් මේ හරහා ආණ්ඩුව පෙරළන්න හදනවා කියලා.
''ඇයි අපේ ළමයින්ට ඉගෙන ගන්න බැරිද? අපට සල්ලි තියෙනවා, අපි ළමයින්ට උගන්වනවා!'' එහෙම හඬ නගන දෙමාපිය වැඩි හිටි පිරිසකුත් ඉන්නවා.
''ඔය GMOA එක දඟලන්නෙ...Doctors ලා පාරට බහින්නෙ තමන්ගෙ පැවැත්මට...එයාලා බයයි, තමන්ගෙ බලය නැතිවෙනවට, ඒක මාෆියාවක්!'' ඒ තව පිරිසක්.
''මේ රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්නකොට...පිට රටට ඇදිලා යන මුදල් කන්දරාව මේ රට තුළ ඉතුරු වෙනවා, මුන්ට මේ ටික තේරෙන්නෙ නැති හැටි!''
කට්ටියක් එහෙම කියනකොට, තවත් කට්ටියක්...
''පිස්සු වැඩ!'' කියලා පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා.
මේ පසුබිම තුළ, SAITM සහ ඊට එරෙහිව සංවිධානාත්මකව ගොඩ නැගෙමින් තියෙන විරෝධය 'කුමක් ද?' කියලා ගැඹුරින් වටහා ගැනීම අතිශය වැදගත්.
අපි මෙහෙම සරල ක්‍රමයකට, අදාළ තත්වය දිග හැර ගනිමු;
1. 1940 දශකය වෙනකොට, දෙවැනි ලෝක මහා යුද්ධයෙන් කුඩු පට්ටම් වන ලෝක වාණිජ ප්‍රජාව තාවකාලික පසු බැසීමකට ලක්වෙනවා.
2. ඒ වනවිට ලෝකයේ තැන තැන, තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටි අධිරාජ්‍යයන් කෙමෙන් හැකිළෙන්න ගන්නවා.
3. මහා බ්‍රිතාන්‍යයත් තම යටත් විජිත අඬු බුරුල් කරලා - ලංකාවටත් ඩොමීනියන් නිදහසක් දෙනවා.
4. එතැන් සිට ලෝක මට්ටමෙන්ම, යළි ඒ ඒ 'රාජ්‍යයන්'ට ජනතා බලය පැවරෙන, ''සුබ සාධන රාජ්‍ය ක්‍රමය'' ගොඩ නැගෙන්න පටන් ගන්නවා. 'ජාතික රාජ්‍ය' පිළිබඳ වෙනස් පැවැත්මක් හට ගන්නවා.
5. ඒ තුළ, ඉනික්බිති අසන්න කාලය තුළ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය, ප්‍රධාන වශයෙන්ම ජනතාවාදී ආකෘතියකට මාරුවෙනවා.
6. ලංකාවෙ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගන්නෙ එහෙමයි.
7. 1942 CWW කන්නන්ගර කමිටු නිර්දේශ අතිශය වැදගත් සහ තීරණාත්මක වෙන්නෙ එහෙමයි, Lasting value to the Nation! හෙවත් ජාතියට නියත වටිනාකමක් ලබාදෙන ඉතා දියුණු නිදහස් අධ්‍යාපන ක්‍රම වේදයක් ඒ අනුව ගොඩ නැගුණා.
8. මෙතැන දි, 'නිදහස්' කියන්නෙ, ජනතා බදු මුදලින් ජනතාවට උගන්වනවා! කියන, ජනයාට ලැබෙන ඉගෙන ගැනීමේ නිදහස.
9. ඒ අනුව, රට පුර ඉතා සංවිධානාත්මක මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් සහ ඊට සමගාමීව විශ්ව විද්‍යාල පද්ධතියකුත් නිර්මාණය වෙන්න පටන් ගත්තා.
10. ඒ අතර පුද්ගලික, ආගමික සහ අර්ධ රාජ්‍ය පාසල් ක්‍රමයකුත්, එකිනෙක නොගැටී දිගටම පැවතුණා.
11. දශක තුනකට අසන්න කාලයක්, යම් යම් අඩු පාඩු මැද්දෙ වුණත්, ඒ තත්වය නිරෝගීව පැවතුණා.
12. රාජ්‍ය සෞඛ්‍ය සේවාව සාපේක්ෂ ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්නත් මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය කෙළින්ම බලපෑවා.
13. 1970 දශකය අවසාන වෙනකොට වගෙ, අර 1940 දශකයෙ බිඳ වැටුණු ලෝක වාණිජ ප්‍රජාව, ක්‍රම ක්‍රමයෙන් නැගිටලා, වඩා සංවිධානාත්මකව 'ගෝලීයකරණය' නමින් යළි තම වෙළෙඳ අරමුණු සාර්ථක කරගන්න වැඩ පටන් ගන්නවා. එය, නව යටත්විජිතවාදයක්.
14. එක්සත් ජාතීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් වගේම එවර, ජාතික රාජ්‍ය සීමාවන් අතික්‍රමණය කරන බහු ජාතික සමාගම් පොකුරකුත් එකවර ලෝකය උපක්‍රමශීලීව කොල්ල කන්න පටන් ගත්තා.
15. ලංකාව වගෙ, පාර හොයාගන්න බැරුව ඉන්න රටවල් වලට කොන්දේසි සමඟ ණය ලබා දීලා, තමන්ට අවශ්‍ය වෙළෙඳ පොළ ඉලක්ක සපුරා ගන්න ඔවුන්ට විශේෂ මහන්සියක් අවශ්‍ය වුණේ නැහැ. මේ වගෙ රටවල් කැමැත්තෙන්ම ඔවුන්ගෙ ගොදුරු බවට පත් වුණා.
16. අන්න ඒ ණය කොන්දේසි අතර, අපේ රටේ නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අවස්ථා ක්‍රමානුකුලව අහෝසිකරලා දාන්න අවශ්‍ය උපදෙස් ලැබුණා, මේ දැනුත් ලැබෙනවා. JR, ප්‍රේමදාස, DB, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල්...මේ හැම ආණ්ඩුවක්ම ඒ ඒ උපදෙස් පිළිපදිමින්, එදා එදා fun එක ගන්නවා, ගනිමින් ඉන්නවා.
17. ඒ අස්සෙ, රටේ හොරු සහ තක්කඩි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් ඉන්නවා. Dr. නෙවිල් ප්‍රනාන්දු ගෙ SAITM අන්න එහෙම පටන් ගන්න හොර ජාවාරමක්. සල්ලි තියෙන මිනිස්සු පිස්සු වට්ටවලා හොර දොස්තරවරු නිෂ්පාදනය කිරීම තමයි එහි අරමුණ.
18. SAITM පටන් ගන්නෙ 2008.03.17, BOI ව්‍යාපෘතියක් විදිහට අදාළ මූලික කොන්දේසි පවා උල්ලංඝණය කරමින්.
19. ඒ අතරෙ, 2008.06.24 දින උපක්‍රමශීලීව ආයතන නමත් වෙනස් කර ගන්නවා. ඒ, Asian Institute of Technology and Management නාමය South Asian Institute of technology and Management ( SAITM) ලෙස.
20. ඒඅතර, නෙවිල් ප්‍රනාන්දු, අදාළ නීති විරෝධී ආයතනයට සිසුන් බඳවා ගන්නවා. ඒ සඳහා ''ගරිල්ලා මාර්කටිං ක්‍රමයක්'' අනුගමනය කරන නෙවිල් ප්‍රනාන්දු ජාවාරම, විශාල වශයෙන් මුදල් අය කරමින්, සිසුන් විශාල පිරිසකුත් බඳවා ගන්නවා. සිසුන් එන්නෙ MD හෙවත් වෛද්‍ය උපාධිය ලබා ගන්න.
21. මේ ජාවාරම පටන් ගන්න රාජපක්ෂ ආණ්ඩුව විශේෂ අනුග්‍රහයක් ලබා දෙනවා විතරක් නෙවෙයි, ලංකා බැංකුව හරහා මිලියන 600 ක් විශාල ණය මුදලකුත් ලබා දෙනවා.
22. මේ මහා ජාවාරම ගැන, රජයේ වෛද්‍ය නිළධාරීන්ගෙ සංගමයෙ අවධානය යොමුවෙන්නෙ 2010 දි වුණත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දිගින් දිගටම ඊට එරෙහිව සෑහෙන ප්‍රමාණයකින් වැඩ කරගෙන එනවා, මුල සිට. විශේෂයෙන්ම, ඔවුන් මාධ්‍ය දැන්වීම පළකරමින්, SAITM ජාවාරමට මුලා නොවන ලෙස මහ ජනයා දැනුවත් කරමින් හිටියා.
23. සල්ලි තියෙන සහ විවිධ ක්‍රම මගින් සල්ලි හොයාගන්න පුළුවං වූ දෙමාපියන් විශාල පිරිසක්, ඒ අනතුරු දැක්වීම් නොසලකා, තම දරුවන් මේ ජාවාරම්කාර ආයතනයට ඇතුළත් කෙරුවා.
24. එවකට උසස් අධ්‍යාපන ඇමතිව සිටි SB දිසානායක, ඒ අතර ඉතාමත්ම අවිචාරවත් විදිහට, තම බලය අනිසි ලෙස යොදා ගනිමින්, 1721/19, 2011.08.30 දරන ගැසට් පත්‍රය නිකුත් කරමින් SAITM සඳහා, උපාධි පිරිනැමීමේ බලය ලබා දෙනවා.
25. මේ අතර SAITM ජාවාරමට එරෙහිව නැගෙන මහජන විරෝධය හමුවේ, එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ඒ පිළිබඳ හොයන්න, 5 පුද්ගල කමිටුවක් පත් කරනවා. 2012.03.22 ප්‍රකාශයට පත් කෙරෙන එකී වාර්තාවෙන් ඉතා නිරවුල්ව පෙන්වා දෙන්නෙ, SAITM ජනයා නොමග යැවූ ජාවාරමක් බව. මේ වර්තාව, එදා අමාත්‍ය මෛත්‍රීපාල , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට භාර දුන්නා ලු!
26. ඒ දේවල් එහෙම වෙද්දි, අමාත්‍ය SB දිසානායක, තවත් ඉදිරි පියවරක් තියනවා. ඒ, අතීතයට බලපාන විදිහටම 1829/36, 2013.09.26 දරන ඊළඟ ගැසට් පත්‍රය නිකුත් කරමින්. ඒ සඳහා ඔහු, රටේ සමස්ත වෛද්‍ය සේවාවටම වගකිව යුතු, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මුළුමනින්ම නොසලකා හරින තක්කඩි ස්වරූපයක් අනුගමනය කරනවා.
27. ඒ අනුව SAITM ජාවාරමේ ඊනියා වෛද්‍ය සිසුන්ට MBBS ලැබෙනවා සහ ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගන්න කියනවා. වෛද්‍ය සභාව, SAITM පිළිනොගන්නා, තම වෘත්තීයමය ස්ථාවරයේ දිගටම ඉන්නවා, ඔවුන් එසේ කිරීමට වෛද්‍ය ආඥා පනතෙන් බැඳී ඉන්නවා.
28. 2015.01.08 ආණ්ඩුව මාරු වෙනවා. මෙන්න අර සෞඛ්‍ය ඇමති, ජනාධිපතිවෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු, එදා උසස් අධ්‍යාපන ඇමති SB ඔන්න ප්‍රජාතන්ත්‍රවිරෝධී විදිහට පස්ස දොරෙන් ආයෙත් පාර්ලිමේන්තුවට එනවා. එදා රාජපක්ෂ පාලනය තුළ හොඳට play කරපු රාජිත සේනාරත්න, අලුතෙන් ඉපදුණා වගේ අලුත් සෞඛ්‍ය ඇමති වෙනවා. රටම විකුණලා යළි පුබුදුවන්න හදන UNP යෙ ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමති වෙනවා. නෙවිල් ප්‍රනාන්දු ඉතිං කොහොමත් ඉන්නවා.
29. කට්ටියම එකතුවෙලා, මේ SAITM ජාවාරම පිළිගනිල්ලා! කියලා කියනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඔහේ බලාගෙන ඉන්නවා. අන්තිමට එක SAITM ශිෂ්‍යාවක් අධිකරණයට යනවා. ඒ අධිකරණ තීන්දුව, ඇමති කිරිඇල්ල කලින්ම පාර්ලිමේන්තුවේදි නිකං වාචාල කමට වගේ කියලා දානවා.
30. අධිකරණය කියනවා, මේ මේ දේවල් කරලා තියෙන්නෙ මේ මේ දේවල් අනුව, ඒ නිසා මෙතැන කිසිම ප්‍රශ්නයක් නැහැ! වහාම මේ ''MBBS උපාධිධාරිනිය'' ව ලියාපදිංචි කරන්න! කියලා.
හරි! දැන් අපි මේ රටේ මිනිස්සු හැටියට මොකද්ද කරන්න ඕනෙ?
SAITM ජාවාරම හරහා ඔප්පුවෙන්නෙ මොකද්ද?
මේ රටේ නීතියක් නැති බව, නීතිය හරහා යුක්තිය ලැබෙන්නෙ නැති බව, රට කරවන ආණ්ඩුවක් නැති බව, ඇත්ත ජාත්‍යන්තරයක් නැති බව, අන්තිමට දෙස් විදෙස් හොර තක්කඩි එකට එකතු වෙන බව!
මේ SAITM, මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව අහෝසි කරන ඊනියා ජාත්‍යන්තර උපදෙස් අස්සෙ කරන, අපේ එවුන්ගෙ තවත් ජාවාරමක්.
වරෙල්ලා!
පාට, පක්ෂ, පුද්ගලික අරමුණු, පැත්තකට දාලා අපි අරගල කරමු!
අපට 'යුක්තිය' ඕනෙ!
මේ ඊළඟ පරම්පරාවෙ උන්ට කියන්නෙ, මේ සටන අතර මැදදි අපි ( මම!) වැටුණොත්, මේ 'බැට්න්' එක අරගෙන ඉස්සරහටම පලයල්ලා! උඹලාව බේරගන්න වෙන කවුරුවත් එන්නෙ නැහැ, උඹලා, උඹලා සහ උඹලාගේ දරුවො වෙනුවෙන් අරගල කරපල්ලා!
CHAPA
Feb 27, 2017

SAITM Protest Kandy - Dr Anurudda Padeniya

SAITM protest Kandy - Chapa Bandara

   SAITM විරෝධයට නිශ්චිත ඉලක්කයක්!

SAITM විරෝධී වීදි සටන් දැන් යම් තීව්‍ර තැනකට එමින් තියෙනවා!
විශේෂයෙන්ම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව, මේ වනවිට SAITM විරෝධී පොදු සමාජ වේදිකාවක් ඉදිකරමින් ඉන්නවා.
එය, රටේ දේශපාලන අනාගතය පිළිබඳ එක විදිහක සුභ පෙර මග ලකුණක්!
පක්ෂ - කල්ලි - කණ්ඩායම් හෝ වෙනත් පුද්ගලික - පටු මානසික තත්වයන්ගෙන් මිදිලා, කිසියම් වූ සමාජ ඛේදවාචකයක් ඉදිරියේ සවිඥානිකව එකට හිට ගන්න උත්සහ කරන එක, අනිවාර්ය ඓතිහාසික දේශපාලන වගකීමක්!
SAITM අර්බුදයත් එක්ක ඍජුව සම්බන්ධ වන, රටේ නිදහස් අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය සේවාව සහ තවත් කරුණු ගණනාවක් ගැනම මේ SAITM විරෝධී පොදු වේදිකාවෙ අදහස් ඉදිරිපත් කෙරෙනවා. විවිධ දේශපාලන මත දරන සහ විවිධ දේශපාලන න්‍යායපත්‍ර මත කටයුතු කරන සහ තවත් වෙනත් හේතු මත SAITM විරෝධයට ඒකරාශී වන නිසාම, අන්න ඒ ''පොදු දේශපාලන සංවාදය'' කොහොමවත්ම හදිසියෙ ගොඩනගන්න අමාරුයි, එහෙම වෙන්න විදිහකුත් නැහැ.
මේ හේතුව නිසා SAITM විරෝධී සමාජ එකඟතාව ඕන වෙලාවක බිඳ වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩියි!
එහෙම නං කරන්න තියෙන හදිසි සහ විධිමත්ම දේ තමයි, SAITM විරෝධය ඉලක්ක ගතකරන එක.
ඔව්! අපට මෙන්න මෙහෙම ඒ යෝජනාව ගොනු කරන්න පුළුවං;
1. SAITM, ජාවාරමක් නිසා එහි ක්‍රියාන්විතය වහාම අත් හිටුවිය යුතුයි!
2. SAITM ජාවාරමට එරෙහිව නීතිය ක්‍රයාත්මක කළ යුතුයි! සහ අදාළ ඇමතිවරු ප්‍රමුඛ එකී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එදිරිව නීතිමය පියවර ගත යුතුයි!
3. SAITM ජාවාරම තුළ අගතියට පත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් අවශ්‍ය සහ සුදුසු පියවර ගැනීමට, පහහ සඳහන් පාර්ශයන් සම්බන්ධ කෙරෙන කමිටුවක් බලගැන්විය යුතුයි;
    A ) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
    B  ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව
    C  ) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
    D ) සෞඛ්‍ය අමාත්‍යාංශය
    E ) ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
    F ) විශ්ව විද්‍යාල උපකුලපතිවරු සහ
    G ) තවත් අවශ්‍ය වගකිව යුතු පාර්ශව
මෙතැනින් එහාට, නිදහස් අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය සේවාව සහ තවත් ජනතාවාදී - සුභසාධන රාජ්‍ය අවශ්‍යතා පිළිබඳ පුළුල් සංවාදය ගොඩනැගෙන්න ඕන!
ඒ, මේ අරගලයෙ ඊළඟ සහ ඉදිරි තත්වය!
එතෙක්, SAITM විරෝධය මෙන්න මේ ''නිශ්චිත අරමුණ'' ට සීමා කරපල්ලා! ඉලක්ක කරපල්ලා!
නැත්තං ලොකු අවුලක් හැදෙනවා, වළක්වන්න බැහැ! මිත්‍රවරුණි!!
CHAPA