Friday, March 3, 2017

   SAITM විරෝධයට නිශ්චිත ඉලක්කයක්!

SAITM විරෝධී වීදි සටන් දැන් යම් තීව්‍ර තැනකට එමින් තියෙනවා!
විශේෂයෙන්ම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව, මේ වනවිට SAITM විරෝධී පොදු සමාජ වේදිකාවක් ඉදිකරමින් ඉන්නවා.
එය, රටේ දේශපාලන අනාගතය පිළිබඳ එක විදිහක සුභ පෙර මග ලකුණක්!
පක්ෂ - කල්ලි - කණ්ඩායම් හෝ වෙනත් පුද්ගලික - පටු මානසික තත්වයන්ගෙන් මිදිලා, කිසියම් වූ සමාජ ඛේදවාචකයක් ඉදිරියේ සවිඥානිකව එකට හිට ගන්න උත්සහ කරන එක, අනිවාර්ය ඓතිහාසික දේශපාලන වගකීමක්!
SAITM අර්බුදයත් එක්ක ඍජුව සම්බන්ධ වන, රටේ නිදහස් අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය සේවාව සහ තවත් කරුණු ගණනාවක් ගැනම මේ SAITM විරෝධී පොදු වේදිකාවෙ අදහස් ඉදිරිපත් කෙරෙනවා. විවිධ දේශපාලන මත දරන සහ විවිධ දේශපාලන න්‍යායපත්‍ර මත කටයුතු කරන සහ තවත් වෙනත් හේතු මත SAITM විරෝධයට ඒකරාශී වන නිසාම, අන්න ඒ ''පොදු දේශපාලන සංවාදය'' කොහොමවත්ම හදිසියෙ ගොඩනගන්න අමාරුයි, එහෙම වෙන්න විදිහකුත් නැහැ.
මේ හේතුව නිසා SAITM විරෝධී සමාජ එකඟතාව ඕන වෙලාවක බිඳ වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩියි!
එහෙම නං කරන්න තියෙන හදිසි සහ විධිමත්ම දේ තමයි, SAITM විරෝධය ඉලක්ක ගතකරන එක.
ඔව්! අපට මෙන්න මෙහෙම ඒ යෝජනාව ගොනු කරන්න පුළුවං;
1. SAITM, ජාවාරමක් නිසා එහි ක්‍රියාන්විතය වහාම අත් හිටුවිය යුතුයි!
2. SAITM ජාවාරමට එරෙහිව නීතිය ක්‍රයාත්මක කළ යුතුයි! සහ අදාළ ඇමතිවරු ප්‍රමුඛ එකී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එදිරිව නීතිමය පියවර ගත යුතුයි!
3. SAITM ජාවාරම තුළ අගතියට පත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් අවශ්‍ය සහ සුදුසු පියවර ගැනීමට, පහහ සඳහන් පාර්ශයන් සම්බන්ධ කෙරෙන කමිටුවක් බලගැන්විය යුතුයි;
    A ) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
    B  ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව
    C  ) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
    D ) සෞඛ්‍ය අමාත්‍යාංශය
    E ) ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
    F ) විශ්ව විද්‍යාල උපකුලපතිවරු සහ
    G ) තවත් අවශ්‍ය වගකිව යුතු පාර්ශව
මෙතැනින් එහාට, නිදහස් අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය සේවාව සහ තවත් ජනතාවාදී - සුභසාධන රාජ්‍ය අවශ්‍යතා පිළිබඳ පුළුල් සංවාදය ගොඩනැගෙන්න ඕන!
ඒ, මේ අරගලයෙ ඊළඟ සහ ඉදිරි තත්වය!
එතෙක්, SAITM විරෝධය මෙන්න මේ ''නිශ්චිත අරමුණ'' ට සීමා කරපල්ලා! ඉලක්ක කරපල්ලා!
නැත්තං ලොකු අවුලක් හැදෙනවා, වළක්වන්න බැහැ! මිත්‍රවරුණි!!
CHAPA 
   

No comments:

Post a Comment