Saturday, March 4, 2017

   මට ලැජ්ජා කරන්න එපා!


මට ලැජ්ජා කරන්න එපා!
මං කියන්නෙ, මට නෙවෙයි, කෙනෙක් කවදා හරි ඔබට එහෙම කියලා තියෙනවා ද?
ලැජ්ජාව තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි තමයි, ඒත් ගෘහාශ්‍රිත සත්තුන්ටත් නිකං ඊට සමාන මොකක් හරි හැඟීමක් එනවද මන්ද! වෙලාවකට.
මං කියන්නෙ බල්ලො පූසො ගැන. ඒත් ඒ ගැන එච්චර හිතන්න එපා!
මේ කතා කරන්නෙ මිනිස්සු ගැන, මේ අපි ගැන!
'ලැජ්ජාව' කියන්නෙ එක පැත්තකින් සංස්කෘතික ලක්ෂණයක් , ඒ නිසාම එය සාපේක්ෂයි. සංකීර්ණයි.
අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ලැජ්ජාව කියන හැඟීම හිතට එන හැටි, සරල හැඟීමක්. හැබැයි ලැජ්ජාව නිසා කෙනෙක් ජීවිතය නැති කරගන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒක එච්චර සරල නැහැ නේද?
ප්‍රශ්නය ලැජ්ජාව ඇතිවෙන එක නෙවෙයි.
කෙනෙක්, තව කෙනෙකුට ලැජ්ජාව ඇතිකරවන එක. ඒක, දෙවිදිහකට වෙනවා. දැනගෙන සහ නොදැනගෙන. අපි හිතමු, කෙනෙක් වැඩකරන කාර්යාලයට, ඒ පුද්ගලයාගෙ නෑදෑයෙක් එනවා කට ගොන්නක් බීගෙන, ඇඳුමත් බාගෙට ගැලවිලා. කොහොම තත්වයක් උදාවෙයි ද? එක්කෝ, බිරිඳ සැමියා ඉන්න තැනට ගිහිං, එක්කෝ සැමියා බිරිඳ ඉන්න තැනට ගිහිං, මොකක් හරි හේතුවකට කට්ටියම ඉස්සරහා බණින්න පටන් ගන්නවා. හිතාගන්න පුළුවං නේද? වැරදීමකින් කෙනෙක් කරන දෙයක් නිසාත් වෙන කෙනෙක් ලැජ්ජාවට පත්වෙන්න පුළුවං. හිතන්න, බිරිඳගේ නෑදෑයො කට්ටියක් හෝ කාර්යාල යාළුවො කට්ටියක් ඉස් ඉස්සෙල්ලාම ගෙදර එන අතරෙ, ඔවුන්ට ඇහෙනවා, ඒ සැමියා කුණුහරුප කියලා බැන බැන බල්ලෙක් එළවනවා.
එතකොට කොහොමද, අර කාන්තාවට ඇතිවෙන හැඟීම?
සමහර ගෙවල්වල ඉන්න සමහර අය, අල්ලපු ගෙවල් වලට ඇහෙන්නම කාට හරි බනිනවා. '' අර ගෙවල් වලට ඇහෙනවා, කෑගහන්න එපා!'' කියලා බැනුම් අහන කෙනා කිව්වොත්, ''උන්ට ඇහෙන්න තමයි යකෝ! මේ කියන්නෙ!'' කියලා කෑගහන්නත් ඉඩ තියෙනවා.
එක ගෙදරක අම්මා කෙනෙක් දරුවන්ට ලැජ්ජා කරන්න ඕන වුණාම, ළඟ ගෙවල් වලට ගිහිං කන්න බොන්න ඉල්ලන කතාවක් දවසක් කෙනෙක් කිව්වා. පුදුම වැඩ නේද? ඔබ හිතයි, ඒත් එහෙම සිද්ධීන් තියෙනවා.
කෙනෙක් තවත් කෙනෙකුට, මොකක් හරි හේතුවක් මත, අනිත් අයට ඇහෙන්න හයියෙන් කෑගහන්නෙ නං, චේතනාන්විතව, ලැජ්ජාකරමින් පළිගන්න, දරුණු විදිහට රිද්දන්න. ගැහැනු, පිරිමි දෙවර්ගයම ඒක කරන්න ඉඩ තියෙනවා.
මෙහෙම කරන වෙලාවෙ, ඒ පුද්ගලයගෙ හිත ද්ව්ෂයෙන් පිරිලා, කෙනෙක් මානසික ප්‍රශ්නයක් නිසාත් එහෙම වැඩකට පෙළඹෙන්න පුළුවං. කොහොම ගත්තත් මේ හරිම ප්‍රාථමික මානසික මට්ටමක්. කෙනෙක්, එක දිගටම මෙහෙම හැසිරෙනවා කියන්නෙ, ඔහුට හෝ ඇයට මනෝවිද්‍යාත්මක මගපෙන්වීමක් අවශ්‍යයයි කියන එක. ඒක ලොකු මානසික ප්‍රශ්නයක්.
ලැජ්ජා කරවන එක දැනගෙන කෙරුවත් නොදැනගෙන කෙරුවත්, කෙනෙකුට දෙන්න පුළුවං භයානක දඬුවමක්.
ඔබ එහෙම කරනවා නං, අනේ! මින් පස්සෙ එහෙම කරන්න එපා!
අමානුෂිකයි - අසාධාරණයි!
අපේ පැරැන්නො අතර විශ්වාසයක් තිබිලා තියෙනවා, ගෙඩි හැදෙන්නෙ නැති දෙහි ගස්වල, අතු වල පොල්ළෙලි බැඳලා ගහට ලැජ්ජා කරනකොට ගෙඩි හටගන්නවා කියලා. ඒකෙ ප්‍රායෝගික ඇත්තකුත් තියෙනවා, පර්යේෂණ කරලා හොයාගන්න ඕන කරන. කොහොම වුණත්, මේ වැඩේ ඇත්ත කියලා පිළි අරගෙන, ඒකම අපේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවං.
ඒ කොහොමද?
ලැජ්ජා කරන්න කරන්න, සරුවට හැදෙන්න බලනවා. ආත්ම ශක්තිය තව තව වැඩි කරගන්නවා.
කොහොමද ඒ ක්‍රමය? නිකමට අත් හදා බලන්න!
එහෙම කිව්වට ඔබ නං කාටවත් ලැජ්ජා කරන්න එපා! හොඳේ?
ඔබට ලැජ්ජාවක් නොවේවා! ඔබෙනුත්, කාටවත් ලැජ්ජාවක් නොවේවා!
සුභ දවසක්!
CHAPA

No comments:

Post a Comment