Monday, June 13, 2016

...අර අහිංසක Omar Mateen එතනම මරල දැම්මෙ? පව්නෙ! !

ඇමරිකා එක්සත් ජනපදයෙ, Orlando  හි පිහිටි Pulse රාත්‍රී සමාජ ශාලාවෙ සිදුවුණ සහාසික වෙඩිතැබීම දැන් ලෝකයම උණුසුම් කරල, ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පිස්සු වැටිල වගෙ මේ ප්‍රවෘතිය දිගට හරහට විකුණනව. ලංකාවෙ සමහර අයත් මේ සිද්ධියෙන් බලවත් කම්පනයට පත් වෙලා.
ඇත්ත! මේ බිහිසුණු සිද්ධි මිනිස් වර්ගයාටම නින්දාවක් සහ අගෞරවයක් නිසා කිසි විටෙකත් අනුමත නොකළ යුතුයි සහ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කළ යුතුයි! ඒත් ඇමරිකානුවන් දැන්වත් පසක් කරගත යුතු තිත්ත ඇත්තක් මෙතැන තියෙනව.
1948 අවසාන වන දෙවන මහා ලෝක යුද්ධයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදය ලෝකයම පාලනය කරන නව යටත් විජිතවාදයක් ගොඩ නගන්න මූලිකත්වය ගන්නව. විවිධ උපක්‍රම, උපාය මාර්ග...කුමන්ත්‍රණ! ඔවුන් අවසානයේදී නිල සහ නොනිල ලෝක පොලිස්කාරයා බවටත් පත් වෙනව. ප්‍රජාතන්ත්‍රවාදී පාලන මොඩලය, යහපාලන පරමාදර්ශය, සුපරි ආර්ථික ස්ථාවරය, ජාත්‍යන්තර සම්මුති, මානව හිමිකම්...ඔය වගෙ හුඟක් ඇමරිකානු කතා තියෙනව. ඒ ඔක්කොම අස්සෙ, ලෝකය පුරා ඔවුන් වපුරපු සහ වපුරන ත්‍රස්‌තවාදයෙ බීජ මහා වගාවක් බවට පත්වෙලා ඒ අස්වැන්න ඔවුන්ටම නෙලන්න සිද්ධ වෙනව කියල Pulse වෙඩි වරුසාවෙන්වත් ඔවුන්ට අවබෝධ කරගන්න සිද්ධ වෙනව. ඒත් එහෙම දේශපාලන දැනුමක් තියෙනව නං එදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පෙන්ටගනය සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කුඩු පට්ටං වෙච්ච වෙලාවෙම එහෙම අවබෝධයක් ඔවුන්ට ඇතිවෙන්න ඉඩ තිබුණ. ඔවුන් හිතන්නෙ බින් ලාඩන් මරල මහ මුහුදට ගිහිං දැම්මනෙ, ඉතිං වැඩේ හරි! කියල.
ප්‍රශ්නය ඒක නෙවෙයි, ඔවුන් මේ දැනුත් අනිත් රටවල් හදන්න බලහත් කාරයෙන් මැදිහත්වෙන එක. ලංකාවටත් මේ තත්වය හොඳටම අදාළයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් මෑත ලංකා ඉතිහාසයෙ කොච්චර ම්ලේච්ඡ මිනිස් ඝාතන සිද්ධ වුණාද ? ඇමෙරිකාව ගැස්සුණා ද? ඔය මහ ලොකු ජනමාධ්‍ය, නැහැ! ප්‍රභාකරන් ඇතුළු ඒ ත්‍රස්තවාදීන් ඝාතනය වුණු එක ගැන නං ඔවුන්ට එක එක ලොකු ලොකු ප්‍රශ්න, එහෙමනං ඇයි ඔවුන්ගෙ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තියපු අර අහිංසක Omar Mateen එතනම මරල දැම්මෙ? පව්නෙ!
මේ කතාව තවම ඉවර නැහැ, පටන් ගත්ත විතරයි, එකක් පැහැදිලියි, කාටවත් ගැලවීමක් නං නැහැ, වපුරන බීජවල අස්වැන්න හැමෝටම නෙලන්නම වෙනව!
CHAPA    

No comments:

Post a Comment