Wednesday, June 22, 2016

තොරතුරු මර්දනයට සැරසෙයි!

මේ මොහොත වෙනකොට පාර්ලිමේන්තුවෙ විවාදයට ගැනෙන්නෙ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යනුවෙන් සළුපිළි අන්දවා සම්මත කරගන්න හදන තොරතුරු වාරණ පනතක්!
යෝජිත පනතෙ ii කොටසෙ තමයි නියම කතාව තියෙන්නෙ; 'තොරතුරුවලට ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කිරීම' යටතෙ 1. පුද්ගලිකත්වය 2. ජාතික ආරක්ෂාව 3. අන්තර්ජාතික ගිවිසුම් යන ප්‍රධාන තේමාවන්ට මුවා කරමින් අදාළ තොරතුරු වාරණය පැනවෙනව. ඒ වගෙම, විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනදෙනු පාලනය කිරීම, බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීම, බදු පැනවීම, භාණ්ඩ සහ සේවා වල මිල ස්ථාවරව පවත්වා ගැනීම - පාලනය සහ ගැලපීම - කුලී සහ අනෙකුත් පිරිවැය - වේතන අනුප්‍රමාණ  - වැටුප් සහ අනෙකුත් අදායම් යන තේමාවන්ට අදාළ කරමින් ඒ වාරණය සීරුවට වැටෙනව.
ඊ ළඟට, වඩා තීරණාත්මක ප්‍රශ්නය! විදේශ වෙළඳ ගිවිසුම්! ඒවා සම්බන්ධ තොරතුරු මර්දනය ඉතාමත්ම සංවිධානාත්මකයි. එකී විදේශ ගිවිසුම් අවුරුදු 10 ක් ඉක්මවා ගියාට පස්සෙවත්, අවසන් වෙලා නැත්තං අදාළ කිසිම තොරතුරක් හෙළි කරන්න බැහැ ( පනත් කෙටුම් පතේ 5 (3) කියවන්න). එත් එක්කම අධිකරණයට අපහාස කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම වගෙ කොන්දේසිත් තොරතුරු ප්‍රවේශය වාරණය කිරීමට දරුණු විදිහට යොදාගන්නව.
මේ වාරණය බැලූ බැල්මට සාධාරණීකරණය කරන්න, විශාල මහජන සම්බන්ධතාවක් විසින් අදාළ තොරතුරු හෙළිදරවු කිරීම සාධාරණීකරණය කිරීම සහ  මහජන බැඳීයාවන්හී වැදගත්කම ඉස්මතු කිරීම වගෙ තත්වයන් යෝජිත පනත් කෙටුම්පතට රිංගවල තියෙනව.
ඔය කියන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආරක්ෂාකරන යෝජිත යාන්ත්‍රණය ගැන නං සාකච්ඡා කරන එක කිසිම තේරුමක් නැහැ, අර ස්වාධීනයි කියන කමිෂන් සභා දිහා බලන්නකො! ඒවා ස්වාධීනද? ආකෘතිය පැත්තෙන් ගත්තත්, භාවිතය පැත්තෙන් ගත්තත් ඒවා ස්වාධීන නැහැ!!
ඒ ඕන නැහැ, උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන විදිහ බලන්නකො! මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද ?!
ඉතිං මිත්‍රවරුණි! සිද්ධවෙන්න යන දේ ඉතාම පැහැදිලියි. මේ පනත ගේන්න හදන්නෙම රාජ්‍ය පාලනයෙ විශේෂ තොරතුරු ජනයාට වාරණය කරන්න. විශේෂයෙන්ම ඊනියා ජාත්‍යන්තරයෙ සහ ඉන්දියාවෙ උවමනාවන්ට අනුව, ආණ්ඩුව නුදුරේදී එළැඹෙන්නට නියමිත ලංකාවට අවාසි වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු ජනයාගෙන් වසන් කරන්න තමයි මේ මර්දන නීති හදන්නෙ. මෙය, ආපිට හදාගන්න අමාරුම බරපතළ වැරැද්දක්!
රාජපක්ෂ මේනියාව පැත්තක තියල මේ පනත සම්මත වෙන එක වලක්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න! තම තමන්ගෙ සම්බන්ධකම් පාවිච්චි කරල පාර්ලිමේන්තුවෙ ඉන්න නියෝජිතයන් ඊට එරෙහිවෙන්න පොළඹවන්න, දැන් ජනයා දැනුවත් කරන්න වෙලාවක් නැහැ, තියෙන්නෙ තාක්ෂණික උත්තරයක්, ඒ උත්තරය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න අය ළඟ. උත්සහ කරන්න, මේ, ඉතාමත්ම තීරණාත්මක මොහොතක්...
CHAPA  

No comments:

Post a Comment