Monday, September 11, 2017

තාත්තා ට 'සහෝදරයා' කියනවා නං ඔන්න බැහැ!

මේ භානු මුනිප්‍රිය!
නීතීඥවරයෙක්. සබරගමු පළාතෙ, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා.
මම ලියන්න යන කතාව මේ අද ඉන්න වැඩිහිටි භානු මුනිප්‍රිය ගැන නෙවෙයි. 80 දශකයෙ බලන්ගොඩ මධ්‍ය මහ විද්‍යාලයෙ ඉගෙන ගත්ත, ශිෂ්‍ය 'භානු' ගැන. 
කෙටියෙන්ම කිව්වොත්, අපි දෙන්නා එදවස සමකාලීන පාසල් ශිෂයයො.
භානු, ඒ දවස්වල ගින්දර වගෙ කොල්ලෙක්. ඒ කියන්නෙ කඩිසර, පෙරළිකාර, කටකාර...ඔය ඔක්කොම. මිනිහා ඒ දවස්වෙනකොටත් කරාතේ කළු පටි මට්ටමට ඇවිත් හිටියා. එක දවසක් මට මතකයි කාටද මන්දා කොල්ලෙකුට ඔක්කොම ඉස්සරහ ගහගෙන ගහගෙන යනවා. හැබැයි මම දන්න විදිහට භානු යහපත් ශිෂ්‍යයෙක්. 
මට ඔය ගහගත්ත සිද්ධිය හරියට මතක නැහැ, හැබැයි ගැහුවෙ, ඉතාම සාධාරණ හේතුවකට කියලා පොදු පිළිගැනීමක් නං අප අතර ඇතිවුණා. කොහොම වුණත් භානු ට ඒ සිද්ධිය නිසා පන්ති තහනමක් වගෙ මොකක් හරි දඬුවමක් ලැබුණා වගෙත් මතකයි.
මේ ඉතිං වෙන කතාවක්.
ඔන්න 1982, රටට හඳුන්වා දෙන්න හදපු, අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධය පාසල් උඩිනුත් හමාගෙන හමාගෙන යන්න ගත්තා. අපේ ඉස්කෝලෙත් එක එක ක්‍රියාකාරකම්. කවුරු සංවිධානය කෙරුවද, කවුරු නායකත්වය දුන්න ද මට නං මතක නැහැ. හැබැයි ඉතිං අපිත් සටනට බැස්සා.
''රනිල් රනිල් ගොනා ගොනා 
ගොන් පනතක් ගෙනා ගෙනා''
ඒ සටන් පාඨය දැනුත් ඇහෙනවා ඇහෙනවා වගෙ.
''සහෝදරවරුනි! අපේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන මේ ඊනියා පනත වහාම හකුළා ගන්න කියල අපි ආණ්ඩුවට බල කරනවා!''
භානු පිට්ටනියෙ පැත්තක ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො ආමන්ත්‍රණය කරනවා. ඉස්කෝලෙ ම තවත් තැන් තැන් වල පොඩි පොඩි රැස්වීම් වගෙ ඒවා තිබුණා.
''ඔව්! අපි මේ සටනට සුදානම් වෙන්න ඕනෙ!''
ඒ මම.
භානු හරි වෙන කවුරු හරි එකෙක් මාවත් කතා කරන්න දාලා. මම ත් ඉතිං එක එක ඒවා කිව්වා. ලොකු තේරුමක් නං ඇත්තටම එදා තිබුණේ නැහැ. ඒත් මොකක් හරි ලොකු වැරද්දක් වෙන්න යනවා වගෙ හැඟීමක් හිතට ඇවිත් තිබුණා.
''අද අපි යනවා භානු සහෝදරයගෙ ගෙදර...ඔය සහෝදරයත් එන්න ඕනෙ''
කවුද එකෙක් මාවත් ඇදගෙන භානුලාගෙ ගෙදර යන්න පටන් ගත්තා. එකෙක් කිව්වට එතැන හිටියා, දහ පහළොස් දෙනෙක්. ඒ ගේ තිබුණෙ ඉස්කෝලෙට අල්ලපු වැටේ වගෙ. භානුලා යමක් කමක් තියෙන සහ යම් සමාජ පිළිගැනීමකුත් තියෙන කට්ටියක්. සමර පාටට පාර අද්දරම නිසොල්මනේ තිබුණු ඒ ගෙදර තට්ටු දෙකක් වෙන්න ඕනෙ, මොකක් හරි ගාම්භීර පෙනුමකුත් එහි තිබුණා මතකයි. 
ඔන්න ඉතිං අපි භානු පිටිපස්සෙන් පේළියට ඇවිදගෙන ගියා, ගිහිං ටිකක් ලොකු කාමරයකට ඇතුළු වුණා. කාමරයෙ අපට ඉඳගන්න පුටු තියලා තිබුණා. ඒ පුටුවලට මුහුණ දෙන විදිහට, ආඩම්බරකාර පෙනුමක් තියෙන මැද වයසෙ පුද්ගලයෙක් තැන්පත් ඉරියව්වෙන් ඉඳගෙන හිටියා.
''සහෝදරවරුනි!''
භානු කතාව පටන් ගත්තා.
''අර කවුද?''
මම ළඟ එකාගෙන් කොඳුරලා ඇහුවා.
''භානුගෙ තාත්තා...''
යාළුවත් කොඳුරලා ම කිව්වා. 
''...මේ සටන එච්චර ලේසි පහසු නැහැ, අපි තව බලවේග එක්ක එකතු වෙන්න ඕනෙ...''
භානු කතාවට දක්ෂයි. ඉස්කෝලෙ විවාද වලත් ඉස්සරහින්මයි ඉන්නෙ.
''මම දැන් ගෞරවයෙන් ආරාධනා කරනවා, අපේ විලියම් සහෝදරයා ට ඔබ ආමන්ත්‍රණය කරන්න කියලා...''
''විලියම් සහෝදරයා?''
භානු කතාව නවත්තන්නත් ඉස්සර මට කියවුණා.
''භානුගෙ තාත්තා බං...එයා වාමාංශික ව්‍යාපාරයෙ ක්‍රියාකාරී චරිතයක්, උඹ ඒකවත් දන්නැද්ද?''
අර ළඟ යාළුවාගෙ කොඳුරන හඬ. 
''ඒ වුණාට තාත්තා ට සහෝදරයා කියන්නෙ කොහොමද?''
මම ඒ ගැන හිතන අතරෙ...
''ඔය සහෝදරවරු තේරුම් ගන්න ඕනෙ, මේ ධනපති පන්තිය...'' 
භානුගෙ තාත්තා කතාකරගෙන යනවා. 
''තත්තා ට සහෝදරයා කියනවා නං ඔන්න බැහැ!''
මම පස්සෙ යාළුවන් ට කිව්වා. 
''හරි ඉතිං, ඒක රැස්වීමක්නෙ''
''සහෝදරයා කියන්නෙ වාමාංශික දේශපාලනය කරනකොට කතාකරන විදිහ''
''තාත්තා පුතා කතා මේ දේශපාලනයට ගේන්න බැහැ...ඒකයි''
එක එකා මට කරුණු පැහැදිලි කෙරුවා.
''තත්තා ට සහෝදරයා කියනවා නං ඔන්න බැහැ!''
මම මගෙ ස්ථාවරය වෙනස් කෙරුවෙ ම නැහැ. ඒ ස්ථාවරය නිසා නං නෙවෙයි, ඉතිං ඊට පස්සෙ අපි විවිධ ප්‍රයෝගික ප්‍රශ්න මත වෙන් වුණා, ඇත්තටම වුණේ මම වෙන ඉස්කෝලෙකට ගිය නිසා භානු මග හැරුණා. මේ කතාවෙ ලොකු දෙයක් නැහැ, සුන්දර මතක සටහනක් විතරයි! ඒකත් ඉතිං පුද්ගලිකයි!
CHAPA, Sept 11, 2017  
   

No comments:

Post a Comment