Tuesday, September 26, 2017

    BS!


''ළමයි ඉවරයි! බලන්නකො අපේ සංස්කෘතිය ට කරන දේ?'' 
අම්මා කෙනෙක් කලබල වෙලා පණිවිඩයක් එවල, attachment එකකුත් එක්ක. 
''බලන්න මේ සින්දුව...මේවා ළමයි බලනවා, අපි කොහොමද එයාලව හදා ගන්නෙ?''
කලබලයට පත් අම්මා එවල තියෙන සින්දුව, නිර්මාණකරණය තුළ විග්‍රහ කරගන්න වෙන්නෙ එක විදිහකට, එය ලාංකේය සංස්කෘතික සන්දර්භය තුළ කියව ගන්න වෙන්නෙ තව විදිහකට. ඊළඟට වෙළෙඳ පොළ බලවේග තුළ සියල්ල විකිණෙන සහ විකුණන අභියෝගය ගැන සාකච්ඡාව වෙනම. අවසානයෙ දි, ළමයින්ට මොකද වෙන්නෙ සහ ඔවුන්, සමාජ විකෘතියක අත්දැකීමක් බවට පත්වෙනවද කියන බරපතළ ප්‍රශ්නය!
''අපි කරන්න ඕනෙ ළමයි දැනුමෙන් බල ගන්වන එක...මේ ප්‍රශ්නය ඉතාම සංකීර්ණයි...බැරෑරුම්!''
මම ආපිට ලිව්වා.
''ඒ වුණාට...''
''ඒ වුණාට කියල හරියන්නෙ නැහැ...ළමයි, දෙමව්පියො...ගුරුවරු ඔක්කොම එක සංවාදයකට එන්න ඕනෙ...''
''නෑ...මම කියන්න හැදුවෙ, අපිට බැරිද ඔයවගෙ සින්දු හදන එක තහනං  කරන්න?''
''එහෙම කරන්න බැහැ! ඒක ප්‍රායෝගික නැහැ...අනෙක නිර්මාණ සීමාවන් පනවන්න කාටවත් බැහැ...අනෙක තාක්ෂණය එන්න එන්න පුළුල් වෙනවා...ළමයි බුද්ධිමත් ලෝකයකට තල්ලු කරන්නයි අපි උත්සහ කරන්න ඕනෙ...''
''මම බැලුවෙ...''
''බලන්න දෙයක් නැහැ...ඔබේ පාසලේ ගුරුවරු එක්ක සාකච්ඡා කරන්න...සාහිත්‍ය සමිතිය සක්‍රීය කරව ගන්න ඊළඟට නිර්මාණකරණය...ළමයි වඩා යහපත් සමාජයක් සඳහා නිර්මාණ කරන්න පොළඹවන්න ඕනෙ...''
''ඒක මට තේරෙනවා...ඒ උනත්...''
මම දිගට ලියනවා.
''ළමයින්ගෙ රසාස්වාදය වර්ධනය කරවන්න ඕන...එතකොට එයාලට පුළුවන් ලෝකය තේරුම් ගන්න...යහපත් අයහපත් දේ වෙන්කර ගන්න...''
''මං මේ හිතුවෙ...''
''ඔය වැඩේ එක රැයින් කරන්න බැහැ...එක දිගට හැම පාසලකම බුද්ධි ප්‍රබෝධයක් ඇති කරන්න ඕනෙ..''
'' මට නං ඉතිං...''
''මොකද්ද?''
''මට නං ඉතිං ඕවට වෙලාවක් නැහැ...මං බැලුවෙ මේ සෝෂල් මීඩියා පාවිච්චි කරල එහෙම මොකක් හරි කරන්න බැරි ද කියල...''
''එහෙම ඉතිං මොකක් කරන්නද? පෝස්ට් එකක් දාල මේ සමාජ කඩා වැටීම බේර ගන්න බැහැ...''
''මගෙ දුව නං ඉතිං තව ටික දවසයි ඉස්කෝලෙ යන්නෙ...ඊට පස්සෙ...''
''ඊට පස්සෙ තමයි තවත් අමාරු...මේ සමාජය ඊළඟ පරම්පරාවට අපි ලෑස්ති කරලා නැහැනෙ...දැනටමත් අපි ප්‍රමාදයි...''
අම්මගෙන් උත්තරයක් නැහැ!
''දැනටමත් අපි ප්‍රමාදයි...දැන්ම පටන් ගන්න...''
ඇය නිහඬයි!
''ඉක්මනට ඔබේ දුවගෙ ගුරුවරු එක්ක කතා කරන්න...''
ම්හු!
..........
අහ්! ඔන්න ඇය අකුරු කරන්න පටන් අරගෙන!
''මගෙ දුව නං ලංකාවෙ ඉන්නෙ නැහැ ඉතිං! එයා ට ඔස්ට්‍රේලියාව ට යන්න ඕනෙ ලු!''
''ඔස්ට්‍රේලියාවට?''
''ඔව් අනේ! අපේ ඉතිං ගොඩක් කට්ටිය ඉන්නෙ එහෙනෙ...''
''එහෙමද?''
''ඔව්! ඔව්!....එහෙම නෙවෙයි...ඔබ තුමා බලන්නකො සෝෂල් මීඩියාවලින් මොකක් හරි කරන්න පුළුවන් ද කියල...''
''tnx''
tnx? අහ්! thank you කියන එක...මට නං පිස්සු!
මට හිතුණා.
''BS''
BS?
BS...BS...BS...ම්...බුදු සරණයි! එතකොට මම දැන් මොකද්ද ලියන්නෙ?
CHAPA
Sept 27, 2017   



No comments:

Post a Comment