අබිං කමුද?
පසු ගිය සතියේ ආරම්භක සංවාදයේම දිගුවක් හැටියට, 2018 ඔක්තෝම්බරය වන විට අප, පෘථිවි වාසීන්, ඓතිහාසික වශයෙන් හිරවෙලා ඉන්න තැන යළි බරපතළ විදිහට සලකා බලන්න මම ඔබට යෝජනා කරනවා! ලෝකය පුරාම, පවතින මහපොළොවේ කටුක යථාර්ථය යටපත් කරන්න ”ඉතා සංවිධානාත්මක” එහෙත් ‘නොවිධිමත්’, ඒ නිසාම ඉතා බරපතළ සාධකයක් තිබෙනවා. ඊට මාක්ස් ගේ කියවීම අනුව යමින් ‘අබිං’ කියල කියන්නත් පුළුවන්. ඒ තමයි ‘ආගම’! හැබැයි, ආගම කියනකොට, ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ, පැරණි, නව, ලොකු, කුඩා කියන සියලු තරාතිරම් වල ආගම්, ඇදහිළි, ලබ්ධීන්, විශ්වාසයන්…හැම කළාපයක් ම අයිතියි. ‘ආගම’ කියන මිනිස් අවකාශය ගොඩ නැගෙන්නෙ, මානව ශිෂ්ටාචාරයේ ඈත දවසක, ඇතැම් විට ඒ අතීතය හෝමෝ ඉරෙක්ටස් ( Homo Erectus ) දක්වා, අවුරුදු ලක්ෂ ගණනක් ආපස්සට ඇදගෙන යන්නත් පුළුවන්. මානව විද්‍යාත්මක සහ තවත් ඉතිහාස සාක්ෂි අනුව, ඒ වන විට, විවිධ හේතු සහ තත්ත්වයන් මත, සමස්ත ශරීරය ම රසායනික විපර්යාසයකට බඳුන් වෙමින් සහ අදාළ සත්ත්ව මොළය වඩා පුළුල් වෙමින් – ඒ නිසාම සිතීමේ නිම් වළලු පුළුල් වෙමින්, අපේ අතීත මනිසා වැඩෙමින් හිටියෙ. ඒ සජීව ක්‍රියාදාමය තුළ ලෝකය විමසමින් එන ඔහු තමන් ට වටහා ගත නොහැකි දේ යම් දෘශ්‍ය හෝ අදෘශ්‍ය ‘බලවේගය’ කට ආරෝපණය කරන්න පටන් ගන්නවා, එය ‘පරාරෝපණය’ ලෙස හැඳින් වෙනවා . මෙන්න මේ පරාරෝපණය තමයි පසු කලෙක සංවිධානාත්මක ආගම් බවට පත් වෙන්නෙ.ඇදහිළි, ලබ්ධීන්, විශ්වාසයන්…බවට පත් වෙන්නෙ.
මානව ශිෂ්ටාචාරය වඩා වේගයෙන් ඉදිරියට එන අතරෙ, ගෝත්‍රික ආකෘතියෙන් එපිට ට යමින්, පවුල, පුද්ගලික දේපොළ සහ ඉනික්බිතිව රාජ්‍ය ද ඇතුළු සියලු සංවිධාන ව්‍යුහයන් ගොඩ නැගෙන්න ගන්න හැටි, 19 වැනි සිවසේ මැද හරිය වෙනකොට, කාල් මාක්ස් – ෆෙඩ්රික් එංගල්ස් ඒකාබද්ධව අධ්‍යනය කරනවා. ඒ අනුව, වඩා දේශපාලනික මානව ලෝකයක් ගොඩ නගන්න, ආගම හරස් වන බව ඔවුන් විග්‍රහ කරනවා, ආගම අබිං විදිහට විග්‍රහ කෙරෙන්නෙ, ඒ අවකාශය තුළ මිනිස්සු මත් වෙන නිසා. මිනිස්සු මත් කරන්න ඒ ඒ පාලකයන් ට ( නුතන තත්ත්වයන් ට අනුව සමස්ත දේශපාලන අධිකාරිය සහ එහි ගාමක බලවේගය වන වෙළෙඳ පොළ බලවේග ) හැකි වෙනවා. ඔන්න පැරණි රුසියාවේ සාර් රජ්ජුරුවො දෙවියන් ගෙ පුත්‍රයා වෙලා, පොදු රට වැසියා දේව භක්තිකයන් හෙවත් දේව – රාජ්‍ය අන්ධ අනුගාමිකයන් බවට පත් වෙනවා!
මේ මානව ඛේදවාචකය අද දක්වාම විවිධ ස්වරූපයන් ගෙන් වර්ධනය වෙමින් ඉදිරියට ඇදෙනවා. මානව ඉතිහාසය යුරෝපා ඇහෙන් බලනකොට, එහි ඉතාමත් ම සංවාදශීලි කාලාවකාශය තමයි ග්‍රීක – රෝම යුග. මේ කාලය ඕන නං ක්‍රි.පූ. 4 වැනි සියවස දක්වා විහිදුවා කියවා ගන්න ත් පුළුවන්. ඒ ඉතිහාස තීරුව තුළ සොක්‍රටීස් අතිශය තීරණාත්මක වෙන්නෙ, ඔහු දෙවිවරු සහ දෙවිවරුන්ගේ පුත්‍රයන් ‘දැනුම’ හරහා අභියෝගයට ලක් කරන්න ගිහිං, උදහසට ලක් ව, නියම වන දඬුවම ට අනුව, තම අතින් ම හලා හළ විෂ පානය කරමින් මරණය වැළඳ ගන්න නිසා. ඊළඟ ඓතිහාසික හැරවුම් ලක්ෂය තමයි, ක්‍රිස්තියානි ඉතිහාස සටහන් අතර මුණ ගැහෙන ජේසුස් වහන්සේගෙ ආගමනය. එය, අද දවසේ සමස්ත ලෝකය ම පිළිගන්න දින කාල සටහන හෙවත් කැලැන්ඩරය ආරම්භ කරන කාල තීරුව නිසා කිසි විටෙකත් අපට ‘එතැන’ මග හැර යන්න බැහැ. කතාවෙ හැටියට ජේසුස් වහන්සෙ, සියලු දෙවිවරු වෙනුවට, එක දෙවි කෙනෙක් හොයා ගන්නවා. ඔන්න ‘ඒක දේවවාදය’ යළි මුණ ගැහෙන්න ගන්නවා. මුළු ලෝකය ම අප නොදන්නා දෙවියෙක් පාලනය කරන බව ඇදහිල්ලෙන් පිළිගන්න! න්‍යාය එහෙමයි!
දැන් කෙනෙක් යෝජනා කරන්න පුළුවන් පැරණි ගිවිසුම එක්ක තව පස්සට කාලය ඇදගෙන යමු ද?! කියලා, ඔව්! එහෙමත් පුළුවන්! කොහොම හරි, පිඩිත ජනයා වෙනුවෙන්, තමන් දෙවියන්ගේ එකම නියෝජිතයා ලෙස පෙන්වා දෙමින් සමාජ යුක්තිය වෙනුවෙන් අරගල කරන අතර තුර, රාජ්‍ය උදහසට ලක්වන ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මර දාන්න එදා පාලකයන් තීරණය කරනවා. ඒ කතාවෙ මාරාන්තික තැන තමයි, එදා දවසෙ කුරුසියේ ඇණ ගසා මරා දාන්න තවත් කෙනෙක් හිටියා, බරබ්බස් කියලා, ඔහු මං පහරන්නෙක්. එක්කෙනාවයි මරා දාන්නෙ, කාවද බේරන්න ඕන? කියලා පාලකයින් එතකොට මිනිස්සුන්ගෙන් ඇහුවා, අනේ! මිනිස්සු බේර ගත්තෙ, බරබ්බස්! ඒ ඇයි කියලා ඉතිං වෙනම සාකච්ඡාවක්. කොහොම හරි, ඒ ඉතිහාස කතාව ට අනුව ජෙසුස්වහන්සේ පැතූ ලෝකය මරා දැමෙනවා. ඒ ලේ වැකුණු කුරුසය අත් පත් කරගත් පල්ලියේ ආධිපත්‍ය එතැන් සිට සියවස් කීපයක් ම යුරෝපය බියෙන් සලිත කරවනවා.
ඒ අතර, ක්‍රි. ව. 5 වැනි සියවස වෙනකොට සිද්ධ වෙන මහම්මද් ආගමනය අතිශය තීරණාත්මකයි, ඒ සමඟම 11 – 15 සියවස් අතර, යුරෝපය කඩා බිඳ දමන බිහිසුණු ආගමික යුද්ධ පෙළක් හට ගන්නවා. ඔය වෙනකොට පෙර අපරදිග වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් වෙලා තිබුණේ කොන්ස්තන්තිනෝපලය ( Constantinople ), ඒ තමයි, රෝම යුගයේ අවසන් සටහන් තියන බයිසන්ටයින් ( Byzantium) අධිරාජ්‍යයේ අවසන් ප්‍රධාන නගරය. ක්‍රි.ව. 1453 දී ඔටෝමන් තුර්කිවරු ඒ නගර ආක්‍රමණය කරනවා. එය වෙළෙඳ – ආගමික ආක්‍රමණයක්. ඒ ක්‍රියාදාමය අතිශය තීරණාත්මක සහ ඓතිහාසිකයි. ලංකාවට ත් පෘතුගිසි කඩා වදින අපර දිග, පෙර දිග ආක්‍රමණය සිද්ධ වෙන්න අන්න ඒ නිසයි. මේ ඉතිහාස කතාව අනුව අපි තේරුම් ගන්න ඕන දේ තමයි, මානව ඉතිහාසය ම එක විදිහක ආගමික ඛේදවාචකයක්. හරියට ම ගත්තොත්, දේශපාලන ඛේදවාචකයක්.
එතකොට ඔබ අහන්න ඉඩ තියෙනවා, බුද්ධාගම ත් එහෙම ද කියලා.. බුදු දහම, බුධාගම බවට පත්වෙන තැනදී ම, එහි අන්තර්ගතයේ එක්තරා ආකාරයක විකෘතියක් හට ගන්නවා, ඒත් එහි සමාජ බලපෑම අර සෙසු ආගම් දේශපාලනය ට වඩා වෙනස්. අනෙක එහි සීමිත පැතිරීම තුළ වඩා වැඩියෙන් දකින්න පුළුවන් යහපත් සමාජ ගොඩ නැගීම්. හොඳම උදාහරණය තමයි, ලංකාව ට, පැරණි භාරතයෙන් රාජ්‍ය පණිවිඩයක් ලෙස ලැබෙන ‘බුද්ධාගම’ එදවස හෙළය වඩා විද්‍යාත්මක සශ්‍රික රාජ්‍යයක් බවට පත් කිරීම. අපි ඒ සාකච්ඡාවත් වෙනම කරමු. ඒ අතර ම මතක තියා ගන්න, වර්තමාන ලෝකය මෙහෙය වන ආගමික – දේශපාලන මධ්‍යස්ථාන අතර, ඔතොඩොක්ස්, වතිකානු සහ ඉස්ලාම් කඳවුරු ඉතා ප්‍රබල යි. ඊට අමතරව, විවිධ ආගම් නිකායන් සහ තවත් මිත්‍යා ව්‍යපෘති සිය දහස් ගණනක් ලෝකය විනාශ කරමින් තියෙනවා. බරපතළම ප්‍රශ්නය, ඒවාට නොදැන අහු වෙන පොදු ජනතාව බේරා ගන්නෙ කොහොමද කියන එක! මොකද, ආගම අබිං නිසා මිනිස්සු මත් වෙනවා.
ඒක තමයි මාක්ස් කියන්නෙ, මිනිස්සුන්ගෙ ආගම අබිං ( das Opium des Volkes) කියල!
( අරුණ, 2018 ඔක්තෝම්බර් 07 )
No comments:
Post a Comment