Monday, October 29, 2018

අතුරලියේ රතන හිමි යනු ‘කුමක් ද’?


(සති අග ‘අරුණ’ ට ලියූ මුත්, ඔවුන් පළ නොකළ ලිපියකි!)
අතුරලියේ රතන හිමි යනු ශ්‍රී ලාංකේය දේශපාලනයේ අතිශය තීරණාත්මක සාධකයක් බව, මම ඔබට යෝජනා කරන්නෙමි!
මේ, ඒ හිමියන්, ”රට සුරැකීමේ ජන පවුර” නමින් සංවිධානය වූ විවිධ වෘත්තිකයන් පිරිවරාගෙන, සිංගප්පුරු ගිවිසුම ට එරෙහි ව, ජනාධිපති ලේකම් කාර්යාලය ට සංදේශයක් භාර දෙමින්, එහි ඉදිරිපිට දී කියන කතාව, දිනය 2018 ඔක්තෝබර් 2;
( උපුටා දැක්වීම )
”…මේක රට පාවා දෙන වෙළෙඳ ගිවිසුමක්, ඔබ තුමාගෙ ජනාධිපති ලේකම් කාර්යාලය මේක අත්සන් කරේ, මලික් සමරවික්‍රමගෙයි, අගමැති තුමාගෙයි ඕන කමට, ජනාධිපතිතුමාට අපි කල් දෙනවා, වහාම මේ ගිවිසුම මාසයක් ඇතුළත…මේක කරුණාකරලා අත්හිටුවන්න! එසේ නැත්තං දස දහස් ගණනින් ජනතාව එක්ක ඇවිල්ලා…ජනාධිපති ලේකම් කාර්යාලය…අගමැති තුමාගෙ අරලියගහ මන්දිරය වට කරන්න ප්‍රථම, අගමැති තුමා…ජනාධිපති තුමා ත් වහාම මේ සිංගප්පුරු ගිවිසුම අත් හිටවන හැටියට තමයි අපේ ඉල්ලීම තියෙන්නෙ!”
(උපුටා දැක්වීම අවසන් )
රතන හිමියන් ට අවශ්‍ය කුමක් ද?
ප්‍රශ්නයක් බඳු ඒ යෝජනාව හරි හැටි තේරුම් ගැනීමට නං, ඔබ ප්‍රථමයෙන් ”රතන හිමි යනු කුමක් ද?” යන වග තේරුම් ගත යුතුයි!
රතන හිමියන් අපට හමු වන ඉතිහාස කතාව, වෙලාවක රැඩිකල් වමට (?), වෙලාවක සිංහල බෞද්ධ ව්‍යාපාරවලට (?) කෙළින් ම සම්බන්ධයි. කොටින් ම උන් වහන්සේ, රට – ජාතිය (?) වෙනුවෙන් පෙනී හිටින බව කියන කණ්ඩායම් අතර ‘තියෙන’, තවමත් වලංගු ප්‍රධාන සාධකයක්.
ඒ අතර,  2012 ජුනි 30 අන්තර්ජාලයට මුදා හැර තිබෙන දෙරණ 360′ වැඩ සටහනට, රාජපක්ෂ ආණ්ඩුවේ කොටසක් ව හිඳිමින්, උන්වහන්සේ කියා හිටින්නෙ, ලෝක ප්‍රාග්ධන බලවේග වලට එරෙහිව, ආසියාව තුළින්, නව ආධ්‍යාත්මික සමාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස හෙළ උරුමය ක්‍රියාත්මක වෙනවා කියල. උන්වහන්සේගෙ දේශපාලන භාවිතාව අන්න ඒ කතාව ට එක විදිහක විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඊට පස්සෙ, 2012 ඔක්තෝබර් 12 හෝ ඊට ආසන්න දිනක පැවැත්වෙන ”විද්වත් සමුළුව” ආමන්ත්‍රණය කරමින් ඒ හිමියන් කියන්නෙ, කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න කලින් ආණ්ඩුව ට රතන හාමුදුරුවො වැදගත්, දැන් ආණ්ඩුව ට 2/3 තියෙන නිසා රතන හාමුදුරුවන් ව ගණන් ගන්නෙ නැහැ…ජාතික ව්‍යාපාරයකට තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්…” කියල.
ඔය වෙනකොට ත්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද රාජපක්‍ෂ, තුන් වෙනි වතාවට ත් ජනාධිපති කරන්න අවශ්‍ය සැලසුම් සකස් වෙමින් තිබුණා සහ ඊට සමගාමිව, ”රාජපක්‍ෂ ඒකාධිපති පාලනය” කට එරෙහි ව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ එහි බලය අඩු කිරීම ගැන, විරුද්ධ කණ්ඩායම් අතර යම් සාකච්ඡාවකුත් ගොඩ නැගෙමින් තිබුණා. අපේ කතානායක, රතන හාමුදුරුවොත් ඒ අතර – ඉදිරි පේළියේ ම හිටියා.
2014 ජුලි 9 දා, ඔන්න, ඒ හිමියන්, ජවිපෙ නායකයන් මුණ ගැහෙන්න, ජවිපෙ මුලස්ථානය ට යනවා. විධායකය ජනාධිපති ධුරය අහෝසි නොකර සංශෝධනය කරන හැටි තමයි එදා කතාව. පිවිතුරු හෙටක් ජාතික සභාව, රට ගත යුතු මග! තමයි එදා තේමාව. ඒ තේමාව එක්කම, පහු වෙනිදා උන්වහන්සේ මුණ ගැහෙන්නෙ රනිල් වික්‍රමසිංහ. ”සාකච්ඡාව සාර්ථකයි!” උන්වහන්සේ මාධ්‍යයට කියනවා.
2014 ජුලි 22, උන්වහන්සේ පාර්ලිමේන්තුව අමතා කියා හිටින්නෙ, පළිබෝධ නාශක සහ බිජ අධිකාරිය ජාතික ප්‍රශ්නයක් බවයි. එයින් පොළොව විනාශ වන නිසා ආණ්ඩු මාරුවක් නොව ප්‍රතිපත්ති මාරුවක් පිළිබඳ සමාජ සංකල්පයක් අද සමාජය ට අවශ්‍ය බව ඒ කතාවෙදි රතන හාමුදුරුවො අවධාරණය කරනවා.
ඔය වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව ට එරෙහි Regime Change ක්‍රියාදාමය සංවිධානය වෙමින් තිබුණු බව, 2014 ජුලි 12 ලන්ඩන් නුවර දී, ජයම්පති වික්‍රමරත්න පැවැත් වූ, අමිර්තලිංගම් අනුස්මරණ දේශනයෙන් හොඳින් පැහැදිලි වෙනවා. එළැඹෙන ජනාධිපතිවරණය ට, රාජපක්ෂ කඳවුර ට එරෙහි පොදු අපේක්ෂකයෙක් ඉදිරි පත් කර, එකී පාලනය පෙරලා, විධායක ජනාධිපති ධුරය අහෝසි කර දමා බලය බෙදා හැරීම හෙවත් දෙමළ බෙදුම් වාදය රට තුළ ස්ථාපිත කරන හැටි එදා ජයම්පති වික්‍රමරත්න තර්කානුකුලව පෙන්වා දෙනවා.
ඔන්න, දැන් රතන හිමියන් කියනවා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ට ඇත උස්සපු එක ගැන පසු තැවෙන්න ගන්නවා.
ඔය අතර, 2014 ඔක්තෝබර් 31 දා, නුගේගොඩ පැවැත්වුණු රාජපක්ෂ විරෝධී රැළිය අමතන රතන හිමියන් ද, විධායක ජනාධිපති ධුරයේ බලය අඩු කරන නව ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියන්න ගන්නවා. කැසිනෝ ආර්ථිකය වෙනුවට ජාතික ආර්ථික වැඩ පිළිවෙළක් හැදීමේ අවශ්‍යතාව ත් අවධාරණය කරනවා.
2014 නොවැම්බර් 10 හෝ ඊට ආසන්න දිනයක, පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව වෙනුවෙන් රතන හිමියන්,  ධර්ම විජය පදනමේ දී කණ්ඩායම් කීපයක් එක්ක විශේෂ රැස්වීමක් පවත්වනවා. දැනට අප අතර නැති මාදුළුවාවේ සෝභිත හිමි ත් එහි ප්‍රධාන පුටුවක ඉන්නවා. සෝභිත හිමියන්, සුපුරුදු පරිදි මෙතැන දී ත් කෙළින් ම කියා හිටින්නෙ විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන් ම අහෝසි කරන්න ඕන කියල.
”විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම NGO වැඩක්! මහින්ද චින්තනය ජනාධිපති ගෙ චින්තනයනෙ, ඒක හැදුවෙ NGO කාරයෝ ද?” එදා එහෙම අහන්නෙ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ට උන්වහන්සේ ත් එකඟ වෙනවා! එක්කෝ, එහි බලය අඩු කිරීම හෝ සම්පුර්ණයෙන් ම අහෝසි කිරීම කියන වැඩ දෙකෙන් ඕන එකකට එකඟ යි කියන එක.
2014 නොවැම්බර් 12 ගංගාරාමය අසළ මුත්තයියා ක්‍රීඩාංගනයෙදි තමයි ඔන්න ”ඒකාධිපති බල තල අහෝසි කරන ජන රැල්ල” හරිය ම පටන් ගන්නෙ. රාජපක්ෂ පාලනය පෙරළා දාන්න සිහින මැවූ සියලු කණ්ඩායම් සහ පුද්ගලයන් එතැන ට ඒ මොහොතෙ රොක් වුණා. ඒ රැළිය රත්න හාමුදුරුවෝ හඳුන්වා දුන්නෙ ”පොදු අපේක්ෂකයා බිහි කිරීම ට අවශ්‍ය සමාජ බලය ප්‍රති නිර්මාණය” කරන ඓතිහාසික වැඩක් විදිහට.
”ජනාධිපති තුමනි! ඡන්දය තියන්න, ඔබ තුමා පරදිනවා! පරාජිතයෙක් විදිහට ගෙදර යන්න පුළුවන්. අපි දිනනවා! දිනන්නෙ අපි නෙවෙයි, මේ රටේ නිදහස! ජයග්‍රහණය කරනවා, ජයග්‍රහණය කරනවාමයි!”
රත්න හාමුදුරුවෝ, මුත්තයියා ක්‍රීඩාංගනය දෙවනත් වෙන්න කෑ ගහලා තමන්ගෙ ජනාධිපතිවරයා ට පණිවිඩය දුන්නා!
හරිනෙ! උන්වහන්සේ කියපු දේ ඒ විදිහට ම කරල පෙන්නුවා! ඒකයි කියන්නෙ රතන හාමුදුරුවො ”ශ්‍රී ලංකේය දේශපාලනයේ අතිශය තීරණාත්මක සාධකයක්” කියල.
ඒ සියල්ල අතර, උන්වහන්සේ 2015 ජනවාරි 4 දා, ඒ කියන්නෙ ජනාධිපතිවරණය ට දවස් හතරකට කලින්, විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසකට කරපු පැහැදිලි කිරීම අතිශය බැරෑරුම්. රාජපක්‍ෂ පවුල් කාමය, බල කාමය සහ ධන ලෝභය ගැන විස්තර කරන උන්වහන්සේ එදා කියා හිටින්නේ, රාජපක්‍ෂ පාලනය, බෞද්ධකම ගැන කියමින් ”අපේ බෞද්ධ හර පද්ධතීන්, පුරුෂාර්ථයන් සහ වටිනාකම් වලට විශාල හානියක් සිදු වෙමින් සිටිනවා!” යන්නය. ඒ පාලනය තුළ කුඩුකාරයන් 1 50 000 සිට 3 60 000 දක්වා වැඩි වී තිබෙන බව සහ ඊළඟටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කෙරුවොත් තම පවුල ට සහ කෙළවර දී සමාජය ට එය සාපයක් වන බව, උන්වහන්සේ ඒ විශ්‍රාමික හමුදා නිලධාරීන් ට ඔප්පු කර පේනවා දෙනවා. කුඩු මෙරට ට ගෙන්වන ”දුරාචාර කටයුත්ත ට, ඒ දීන පාපතර කටයුත්ත ට රාජපක්‍ෂ පාලනය ආශීර්වාද කරනවා!” උන්වහන්සේ කම්පා වෙනවා. ඒ වෙනකොට ඉදිවෙමින් පැවති වරාය නගර උන්වහන්සේ විස්තර කෙරුවෙ ”මුහුද ගොඩකරලා චීනයක් හදනවා” කියලයි.
”ඒක සුඛෝපභෝගී නගරයක්, ගොල්ෆ් ක්‍රීඩාංගන, විශාල තටාක සහිත…සුඛෝපභෝගී හෝටල්, මේ සියල්ලෙන් සැදුම් ලත්, සුපිරි…කාමසුඛල්ලිකානු යෝගය සම්පුර්ණයෙන් ම අභ්‍යාස කරන්න පුළුවන් සුපිරි සමාජයක හෝටලයක් හදනවා…” මේ උන්වහන්සේගේම වචන. උතුම් වූ ස්වභාව ධර්මය ට එරෙහි ඒ ව්‍යාපෘතිය සඳහා කෝටි ගණනක කළු ගල් කියුබ් ප්‍රමාණයක් කැඩෙමින් රට විනාශ වෙන විදිහ ත් කියා දෙනවා.
”ලෝකයේ නොදෙවෙනි…ලෝකයේ සල්ලාලයන් ට විනෝදකාමී ජිවිත ගත කරන්න කාම පුරයක් ඇති කරනවා. නුදුරු දිනක, අපේ ඈත එපිට ගම්මානවල පුංචි දරුවො, මේ කාමාතුරයන් ට බිලි ගන්න සමාජයක් මේ ආණ්ඩුව යටතේ හදමින් පවතිනවා…” රත්න හාමුදුරුවන්ගෙ තීව්ර හඬ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙ හිත් කම්පාවට පත් කරනවා. ඒ අස්සෙ, ඒ සභාවේම ඉන්න, හිටපු හමුදාපති – එදවස ජෙනරාල් සරත් ෆොන්සේකා ට, ජාතිය ගොඩ නගන්න නං රට වැසියන් ට හමුදා පුහුණුවක් ලබා දෙන්න කියල ඉල්ලා හිටිමින් ඒ හමුදා හිත් ආඩම්බරයෙන් පුම්බන්න ත් උන්වහන්සේ ඉදිරිපත් වෙනවා. අන්තිම ට, ” චම්පික රණවක වගේ දේශ මාමක නායකයො, ඒ වගේම මේ රටේ මහා යුද වීරයා වෙච්ච..ඓතිහාසික පුද්ගලයෙක් වන සරත් ෆොන්සේකා වගේ අය ඉන්නතාක් මේ රට බෙදන්න අපි කිසිවෙකුටත් ඉඩ තියන්නෙ නෑ!” කියල උන්වහන්සේ සපථ කරනවා.
ඔන්න! ඉතිං 2015 ජනවාරි 8, එදා ට යෝජිත Regime Change ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස සම්පුර්ණ කෙරුණා!
ඊළඟට එතැන් සිට…
රතන හාමුදුරුවන්ට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් ලැබුණා. මහජන මුදල් කෝටි ගණනින් වැය කරමින්, චම්පික රණවක පරපුරේ අශෝක අබේගුණවර්ධන ආරම්භ කරපු SEMA ( Strategic Enterprise Management Agency ) ආයතනයෙත්, උන්වහන්සේ ප්‍රධාන භූමිකාවක් කරමින් හිටියා. ඒ අතර, ”ධාර්මික ගොවි තැනක්, නීරෝගී ජනතාවක්, වස විස නැති රටක්” යනුවෙන්, 2016 මාර්තු 7 දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භුමියේ, මිල අධික මහා ප්‍රදර්ශනයක් පවත්වන රතන හාමුදුරුවො කියනවා, ” ජනාධිපති තුමා, අගමැති තුමා ස්ථාවර නායකත්වයක්…අධිෂ්ඨානයක් දුන් බව අවංකව කියන්න ඕන…” කියල, ඒ කියන්නෙ රතන හිමියන් කරගෙන එන වැඩ පිළිවෙළ ට එවර උපරිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා. ඔන්න එතකොට ග්ලයිෆොසෙට් ( Glyphosate ) මාතෘකාව ට ත් විශාල ආකර්ශනයක් ලැබෙනවා. ඔය වෙනකොට, මහාචාර්ය නලින් ද සිල්වා ගෙ සිට මහාචාර්ය චන්න ජයසුමන දක්වා වූ සැලකිය යුතු වෘත්තිකයන් පිරිසක් ඔය ග්ලයිෆොසෙට් විරෝධී සටන ට විවිධ මට්ටම් වලින් අත ගහලයි තිබුණේ, ඒත් ඔය වෙනකොට, රතන හාමුදුරුවො ඒ සටනෙ නිල සන්නාම තානාපති විදිහට සමාජගත වෙන්න පටන ගන්නවා.
”ග්ල්යිෆොසෙට් නවත්තන්න ගිය ආණ්ඩුව කාලයෙ උත්සහ කෙරුවා. ආණ්ඩුව ඒ සමාගම්වලට යටවෙලා බැරි වුණා. ජනාධිපති තුමයි, අගමැති තුමයි එහෙම සල්ලිවලට යට වෙන්නෙ නෑ කියල අපට විශ්වාසයක් තියෙනවා…”
ප්‍රදර්ශන භුමියේ සිට, රතන හාමුදුරුවො සහතික කරනවා.
”ආසියාවෙ ග්ලයිෆොසෙට් නවත්තපු පළමු රට බවට ශ්‍රී ලංකාව ට පත් වෙන්න පුළුවන් වුණා. මං හිතන්නෙ මුළු ලෝකෙම මේ තීන්දුව ගත්ත එඩිතර නායකයන් දෙන්නට අත් පුඩියක් ගහලා, අපේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී අධිෂ්ඨානශීලිව පළ කර සිටින්න!”
හාමුදුරුවන්ගෙ ඉල්ලීම ට සභාව ම කණ පැළෙන්න අත්පුඩි ගහනවා. සභාවෙ අසුන් ගෙන ඉන්න මෛත්‍රී – රනිල් දෙන්නට ම හරි ආඩම්බරයි.
”ග්ලය්ෆොසෙට් දැනටමත් තහනම් කරලා. අවුරුදු දෙකකින් සියලු ම වල් මර්දන අපි තහනම් කරන බව අධිෂ්ඨානශිලිව මේ සභාවේ අපි ප්‍රකාශ කර සිටිනවා…”
රත්න හිමියන්ගෙ සැර කටහඬ, සභාව ට විශ්වාසය තහවුරු කරනවා.
ඔය කතා ඔහොම කියවෙන අතරෙ ඇත්තටම ග්ලයිෆොසෙට් තොග පටවපු කන්ටේනර්ස් තොග පිටින් රට ට ඇතුළු වෙමින් තිබුණා. ඒ ගැන අපේ රත්න හාමුදුරුවො දැනුවත් ද?ඔව්!
”..දැන් වරායෙ තියෙනවා කන්ටේනර් 32 ක්. තාම රිලීස් කරල නැහැ. මට පෙරේදත් කතා කෙරුවා වරායෙන්…”
උන්වහන්සේ එහම කියන්නෙ 2018 ජුනි 6 දා, ‘සේමා – SEMA’ ආයතනයෙ රැස්වීමකදී. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ මහාචාර්ය සරත් ගුණතිලක තමයි එදා ඒ රැස්වීමෙ ප්‍රධාන කතිකයා. ග්ලයිෆොසෙට් කුමන්ත්‍රණය තුළ ඒ මහාචාර්යවරයාගෙ භූමිකාව ප්‍රශ්න කරන්න ත් ඉතිහාසය අප ට බල කරනවා.
කොහොම හරි, ඔය වෙනකොට, රබර් සහ තේ කර්මාන්තකරුවන්, රසායනික වෙළෙඳ තැරැව්කරුවන් සහ අදාළ වෘත්තිකයන් මෙන් ම රාජ්‍ය බලධාරීන්, අමාත්‍ය නවින් දිසානායක ප්‍රමුඛ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ පුර්ණ අනුග්‍රහය ඇතුව, ඉතා උපක්‍රමශීලිව ග්ලයිෆොසෙට් මාෆියාව බලගන්වලා ඉවරයි!
මේ සියලු සිදුවීම එකට ගණන් බලනකොට අනිවාර්යයෙන් ම රත්න හාමුදුරුවො කරල තියෙන්නෙ, යෝජිත ග්ල්යිෆොසෙට් එරෙහි සටන සහ සමස්ත රසායනික කුමන්ත්‍රණකරුවන් ට එරෙහි සටන තමන් ගෙ අතට අරගෙන, එහි සන්නාම තානාපතිවරයා බවට තමා පත් කරගනිමින්, අර රසායනික කුමන්ත්‍රණය සාර්ථක කර ගන්න සුක්‍ෂම ලෙස මැදිහත් වීම කියල මම දැන් යෝජනා කරනවා!      
මෙන්න රතන හාමුදුරුවො!
”…ඔය ජනාධිපති උපදේශකකමට මින් පස්සෙ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මට ලැජ්ජයි ජනාධිපති උපදේශක කමක් තියෙනවා කියන්න…”
( කාන්තා සමුපකාර සමිතියේ 30 වන සංවත්සරය, 2018 ජුලි 28, විහාර මහාදේවි උද්‍යානය )
කතාව ඉවර නැහැ අපෙ හාමුදුරුවනේ!
ඔබ වහන්සේ එදා කියපු කුඩු ජාවාරම දැන් තව තවත් වර්ධනය වෙමින් තියෙනවා. රාජපක්‍ෂ පවුල වෙනුවට දැන් පවුල් ගණනාවක් රටේ ධනය කොල්ල කමින් ඉන්නවා. අර, ඔබ වහ්සේ එදා කෑ ගහල කියපු, කාමසුඛල්ලිකානු යෝගය සම්පුර්ණයෙන් ම අභ්‍යාස කරන්න පුළුවන් සහ ලෝකයේ සල්ලාලයන් ට විනෝදකාමී ජිවිත ගත කරන්න අවශ්‍ය කාම පුරයක් ඇති කරන – නුදුරු දිනක, අපේ ඈත එපිට ගම්මානවල පුංචි දරුවො, කාමාතුරයන් ට බිලි වන වරාය නගරය, දැන් මුල්‍ය නගර නමින් ඊට ත් වඩා සාර්ථකව වේගයෙන් ඉදි වෙමින් තියෙනවා. ඔබ වහන්සේ කම්පාවෙන් එදා විරුද්ධ වුණු මහා කළු ගල් කැඩීල්ල සහ අනෙක් මහා පාරිසරික විනාශයන් ඒ විදිහට ම සිදුවෙමින් තියෙනවා. ඔබ වහන්සේ එදා ( සහ අද ත්! ) විශ්වාසයෙන් නිර්දේශ කරන ජාති මාමක නායකයා, ච්මපික රණවක ත් මේ ඊනියා සංවර්ධන ය පිටිපස්සෙ පුරෝගාමී කාර්යභාරයක් කරනවා.
එතකොට, දැන් ඔබ වහන්සේ ට මොනවද ඕන?
ඒ අතර, ජයම්පති වික්‍රමරත්න, සැලසුම්සහගත ව ලන්ඩනයේදී කියපු විදිහ ට ම, ඒකීය රාජ්‍ය දියකර හරිමින් – රට බෙදුම්වාදය කරා ගෙන යන ව්‍යවස්ථා කුමන්ත්‍රණය ට අදාළ සියල්ල සිද්ධ වුණා සහ සිද්ධ වෙමින් පවතිනවා, හාමුදුරුවනේ! ඒ දේශපාලන ඝාතකයන් සමඟ, ආර්ථික ඝාතකයන් එකට වැඩ, මේ දැනුත්! එතකොට ඔබ වහන්සේ?
අන්තර්ජාලයේ බහා තිබෙන හඬ පටයක, හෙළ උරුමය, චම්පික රණවක සහ රතන හිමියන් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න කර තිබෙන කෙටි පැහැදිලි කිරීම, ඕන නං අපට දැන් සලකා බලන්න පුළුවන්. ඔහු එහිදී කියන්නෙ, එදා 2015 ජනවාරි 8 බල පෙරළිය කුමන්ත්‍රණයක් කියල. දෙමළ සහ මුස්ලිම් ඡන්ද අයින් කරල, සිංහල බෞද්ධ ඡන්ද කඩල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කොටු කරන හෙළ උරුම ව්‍යාපෘතිය ගැන, ‘ගේම්’ එක ගැන, ඔහු එහි විස්තර කරනවා. එහිදී ‘ජාතික ප්‍රශ්නය (?)’ ට අදාළ ක්‍රීඩාව කරන හැටි අමාත්‍ය රාජිත සේනාරත්න මෙහෙම පැහැදිලි කරනවා.
(උපුටා දැක්වීම)
”..දැන් මාත් එක්ක ගිවිස ගත්තෙ…ඔක්කොම, මේවා විරුද්ධව කතා කරනවා…හරිද, ජාතික ප්‍රශ්නය පැත්තක තියනවා, දිනුවට පස්සෙ ඕගොල්ලො ජාතික ප්‍රශ්නය කර ගන්න, ඕගොල්ලො දෙමළ මිනිස්සුන් ට දෙන දේවල්….ඒවා ඔක්කෝම..සුළු ජාතින් ට කරන දේවල් ටික කරන්න, අපි විරුද්ධ වෙන්නං, ඕගොල්ලො කරන්න…අපිට ප්‍රශ්නයක් නෑ. චම්පික පවා ඕක තමයි කියන්නෙ. හරිද, ඒ ගොල්ලො පොලිටික්ස්…හරිද, ඒ කියන්නෙ මේ බලය ලබා ගැනීම සහ බලය මාරු කිරීම ට මේ ගේම් එකේ ඉන්නවා…මේ ගේම් එකේ ඉඳලා…ඒගොල්ලන්ගෙ වැඩේ කර ගත්තට පස්සෙ…ඒගොල්ලො කියන්නෙ, ඕගොල්ලො 13 දෙන්න…ඕගොල්ලො මේවා එක කරන්න…ඒක අපිට…අපි විරුද්ධ වෙනවා…නමුත් මේක රැල්ලක් එක්ක..ඕගොල්ලන් ට කරගතෑකිනෙ…අපි පොඩි කණ්ඩායමක්නෙ…”
(උපුටා දැක්වීම අවසන්
එතකොට උන්වහන්සේ, දස දහස් ගණනින් ජනතාව කැඳවා, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය වටලා, මෙදා සැරේ කරන්න හදන්නෙ ‘කුමක් ද?’
එහෙම නං, අතුරලියේ රතන හිමි යනු ‘කුමක් ද?’ 
චාපාබණ්ඩාර 
Oct 14, 2018

No comments:

Post a Comment