Monday, October 29, 2018

සුජිත් අක්කරවත්ත ට ලියමි!


පහු ගිය සති අග ‘අරුණ’ ට ලියපු ‘මං කෙළින් මිනිහෙක්!’ සටහන ට, එහි තැනක නම සඳහන්, සුජිත් අක්කරවත්ත යම් විදිහක ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා, ඒ ඔහුගෙ මුහුණු පොතේ. ඒ කෙටි සටහන උපුටා දක්වන්න දැන් මට ඉඩ දෙන්න!

( උපුටා දක්වීම )

සතිඅග අරුණ පුවත්පත 2018 සැප්තැම්බර් 30 ඉරිදා- පිටුව 51 මං කෙළින් මිනිහෙක්-චාපා බණ්ඩාර හිතාදර චාපා බණ්ඩාර මහතාණෙනි, ඉහත පුවත්පතින් ඔබ ලියා පළකර ඇති ලිපියෙන් මා ගැන සිදුකර ඇති සාවද්‍ය අඩමානය පිළිබඳවය ඔබට කැමති මතවාදයක් දැරීමට ලිවීමට ගැන වූ අයිතිය පිළිගනිමි.එනමුත් මා විසින් පළකර ඇති අදහසක් පිළිබඳ සාවද්‍ය විකෘතියක් පළ කිරීම හා වැරදි මානයක් ගොඩනැගීම උචිත නොවේ.අසංක සායක්කාරගේ “මං කෙළින් මිනිහෙක්’’ නාට්‍ය පිළිබඳව මම විවරණ කරන අදහස ඔබ වැරදි ලෙස උපුටනය කරයි.සායක්කාරගේ නාට්‍ය ගැන මිසක කේ.කේ.ශ්‍රීනාත්ගේ ‘’බුඳුන්ගේ රස්තියාදුව’’ කෘතිය ගැන මා කිසිවක් කියා නැත.අනික බුදුරජාණන් වහන්සේ ස්වකීය පුරුෂ රහසඟ ප්‍රදර්ශනය කිරීම ගැන මම ප්‍රකාශ කළ ශාස්ත්‍රීය මතය ගැන ඔබට ගැටළුවක් වේ නම් ඒ ගැන ඔබ ශ්‍රී ත්‍රිපිටකය කියවීමෙන් පසු විවාදාභිමුඛ විය හැකිය.බුදු දහම හෝ අන් ආගම් ගැන විචාරයෙන් තොර අදහස් පළකිරීමට තරම් අවිචාරයෙන් යුතු චර්යාවක් මට නැත.ඉතිහාසය හා වර්තමානය තුළද නිබඳව ශාස්ත්‍ර චර්යාවෙන් කටයුතු කරන මට ජාතිය ආගම ගැන අමුතු වදන් කියා දීමට පෙර ඔබ ඔබේ අතීත වත මෙනෙහි කිරීම මැනවී. මම කවදත් අරමුණ හා මොහොතට ආදාළව පරාර්ථ දේශපාලනයේ නියලෙන්නෙක්මි.මගේ භාවිතය සමාජමානී මිස ඇස් බැන්ඳුමක් නොවේ.ඔබකර ඇති සදොස් බව නිදොස් කරන්නේ නම් ඔබ පිළිබඳව ඇති බැඳීමට ගරු කටයුතුය.

සුජිත් අක්කරවත්ත 2018.09.30

( උපුටා දැක්වීම අවසන් )

ඉතිං දැන්, සුජිත් අක්කරවත්ත මිත්‍රයාගෙ ප්‍රතිචාරය ට මම, මුහුණු පොතේ ඒ පිටුවට ම දක්වපු ප්‍රතිචාරය ත් කියවන්න!

( උපුටා දැක්වීම )

ඔබ විවෘතව අදහස් ඉදිරිපත් කිරීම අගය කරනවා, එහෙත් ඔබ, අරුණ පුවත් පතේ පළ වූ මගේ ලියැවිල්ල ගැන කර තිබෙන උක්ත ප්‍රකශය වැරදියි! මම කියා තිබෙන්නෙ, ” …බුදුන්ගෙ රස්තියාදුව ගැන සමාජ මාධ්‍ය තුළ එහා මෙහා යන අදහස් අතර, සුජිත් අක්කරවත්තගේ අදහසකුත් කියවන්න ලැබෙනවා…” කියලයි. “එහා මෙහා යන අදහස්…” යනුවෙන් මං අදහස් කරන්නෙ, විශේෂයෙන් ම මං කෙළින් මිනිහෙක් සහ බුදුන්ගෙ රස්තියාදුව අතර සමාජ මධ්‍ය හරහා ගොඩ නැගෙන නොවිධිමත් සංවාදය ගැන. ඊළගට, සුජිත්, ඔබ බුදු දගම තුළ මානව භාෂණය අරුත් ගන්වන විදිහ බරපතළ අවුළක් වෙන්නෙ, අදාළ සංවාද සන්දර්භය අනුව. ඒ ගැන ඔබ සමග මුහුණ ට මුහුණ සාකච්ඡාවකට මම සූදානම්! එසේම, ඔබ පෙන්වා දීමට උත්සහ කරන මගේ “අතීත වත” ගැනත් විවෘත සංවාදයකට මම ඉතා උනන්දුවෙන් සූදානම්! එන්න, අපි, 2010 දි Max tv මැදිරියේදි අතර මැද නවත්තපු සංවාදය තව දුරටත් ගොඩ නගමු!

( උපුටා දැක්වීම අවසන් )

චාපාබණ්ඩාර
Oct 07, 2018

No comments:

Post a Comment