Sunday, October 28, 2018

මං කෙළින් මිනිහෙක්!?



”මං කෙළින් මිනිහෙක්” කියපු ගමන්, ඔබ ට මතක් වෙන්නෙ අසංක සායක්කාරගෙ වේදිකා නාට්‍ය, ඇත්ත! මේ ලිවීමේ තේමාව ඒ වේදිකාවටත් අදාළයි. තවත් බොහෝ තැන් වලටත් අදාළයි.
අපි මෙහෙම බලමු!
 මේ වෙනකොට, අපේ රටේ අන් කවර රටකවත් නැති විදිහ ට ”කෙළින් මිනිස්සු!” පහළ වෙලා ඉන්නවා. කාටවත් නැවෙන්නෙ නැති, කාටවත් නවන්න බැරි අමුතු මිනිස්සු! බය නැති මිනිස්සු! හාමුදුරුවරුන් ට කුණුහරුපෙන් බනිනවා. බුදුන් වහන්සේ ට අපහාස කරනවා. පන්සලට ගල් ගහනවා. ඉතිහාසය කන්නද? අහනවා. මොකද සිංහල විතරක් ලොකු! කියල අභියෝග කරනවා. සිංහල බෞද්ධ කියන්නෙ අන්තවාදයක් කියල ගරහනවා. තමන් නිරාගමික බව කියනවා. එහෙම තවත් රටවල් තියෙන බව විශ්වාස කරනවා. මේ අමුතු වැඩේට අදාළ චිත්‍රපට, ටෙලි නාට්‍ය, වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට, ගුවන්විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය, ගීත, කවි, නව කතා, කෙටි කතා, ලිපි, රචනා, කාටුන්…මොනවද නැත්තෙ? සමාජ මාධ්‍ය පිරෙන්න එවැනි මැදිහත්වීම්, posts හැම මුල්ලකම.
කෙළින් මිනිස්සු! අමුතු මිනිස්සු!
ඔවුන් (?) ගේ මේ සමස්ත නිර්මාණකරණය (?) ප්‍රවේශමෙන් අධ්‍යනය කරනකොට, මුල් වටයේදීම එක දෙයක් පැහැදිලි වෙනවා. ඔවුන් වෙන් වෙන් ව සහ එක්ව පහර දෙන්නෙ බුදු දහම ට, බුද්ධාගම ට, සිංහල බෞද්ධකමට, පන්සල ට…ඒ සියල්ල සමඟ බැඳුණු මහා සම්ප්‍රදායන් සහ ඒවායේ ශේෂයන් ට! රෝමානු කතෝලික සහ ඊට සමගාමී අනෙක් නිකායන් ට, ඉස්ලාම් ආගම ට, හින්දු ආගමට හෝ ඒවා සමඟ බැඳෙන සංස්කෘතික තත්ත්වයන් ට, තවත් ආගමික විශ්වාසයන් ට, ලබ්ධීන් ට කිසිදු ආකාරයක හානියක් නොකරන්න මේ අමුතු – කෙළින් මිනිස්සු වග බලා ගන්නවා, හොඳට නිරීක්ෂණය කරන්න! එහෙම අවස්ථාවක් ඉඳ හිට ආවත් එය ඉබේම යටපත් කෙරෙනවා. හොඳම උදාහරණය තමයි, මංජුල වෙඩිවර්ධන ගෙ, ”මේරි නම් වූ මරියා” පොත, මේ පොත පළ කෙරෙන්නෙ, මම ත් මංජුල වෙඩිවර්ධන ත් එකට ‘රාවය’ පුවත්පත ට වැඩ කරන අතර තුර, 2000 අවුරුද්ද අවට දවසක. මේරි නම් වූ මරියා, රෝමානු කතෝලික කඳවුර ට කිසිදු අභියෝගයක් එල්ල කර නැහැ, ඒ ආගම් ශාස්තෘවරුන් ට කිසිම අපහාසයක් කරලත් නැහැ. එය එක විදිහ marketing වැඩක්. කොහොම වුණත්, ඒ ආගමික කඳවුරෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ට හෝ පොලිසිය ට, ඒ පොත ට එරෙහිව පැමිණිල්ලක් කෙරුවා කියන ආරංචිය එක්ක මංජුල වෙඩිවර්ධන, අපේ මිත්‍රයා! හොඳටම බය වෙලා චූ බර හැදිලා හිටියෙ, රාවය ඇතුළෙත් හැංගිලා හිටියා මතකයි. ඔය වගෙ දියාරු සිද්ධි හැර වෙනත් බරපතළ සිද්ධීන් ඉතිහාසය තුළ හොයා ගන්න නැහැ. තිබුණත් ඒවා සංවිධානාත්මක නැහැ.
අන්න යෙදුම! ‘සංවිධානාත්මක’!!
අර කලින් කියපු බුදු දහම වටා ගොනු වන සියලු සිදුවීම් අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා සහ ඒවා සංවිධානාත්මකයි. ඒවාට ඍජුව සහ වක්‍රව රාජ්‍ය නොවන සංවිධාන ( NGOs ) සම්බන්ධයි, වරෙක රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙන තරමට දේශපාලනිකයි. අවසන් විග්‍රහයේදී මේ සියල්ල, ලෝක දේශපාලනය ට හෙවත් ඊනියා ජාත්‍යන්තරය ට සම්බන්ධයි.
මේ යෝජනාව තේරුම් ගන්න එක හොඳ උදාහරණයක් තමයි, සුනිල් විජේසිරිවර්ධන පිටපත් කරන ‘රත්නවල්ලි’ වේදිකා නාට්‍ය, එය වේදිකා ගත වුණේ එක ම එක වතාවයි, මතකය හරි නං, මරදානෙ එල්ෆින්ස්ටන් වේදිකාවෙ, 2000 මුල් දශකයේ මැද හරියෙ වගෙ. ‘රත්නවල්ලි’ කියන්නෙ, ලංකා ඉතිහාසය ට ගහලා, දුටුගැමුණු මරා දාලා, එළාර ට විරයාගේ පණ දෙන නිර්මාණාත්මක වෑයමක්, ඔව්! සුනිල් විජේසිරිවර්ධන ඒ කොන්ත්‍රාත්තුව අකුරටම කෙරුවා. දැන් ඔන්න සුනිල් විජේසිරිවර්ධන කියන සාධකය පවතින දේශපාලන තත්ත්වයන් සමඟ ආපිට කියවා ගන්න වෙනවා, ඔහු මේ ”චන්ද්‍රිකා – මෛත්‍රී – රනිල්” ආණ්ඩුවේ මොන විදිහේ කෑල්ලක් ද? ඔහු කරමින් සිටින්නේ කුමක් ද? ටිකක් අමු ප්‍රශ්නයක්.
තවත් උදාහරණයක් විදිහට කේ. කේ. සමන් කුමාර ගෙ නිර්මාණ සටහන් අතර ත් මේ වගේ අතර මැද තැන් ඉතුරු වෙලා තියෙනවා, යළි විමසා බලන්න. ඔහු බුදු දහම සහ දේශපාලනය අතර නිරුවතින් ඉන්න විදිහ, දවසක විධිමත් ව විමසා බලන්න තියෙනවා. එතකොට ම ඔන්න තවත් අය පටලැවිලා එන්න ගන්නවා, උපුල් ශාන්ත සන්නස්ගල ගෙ වැඩ ගොඩකුත් මේ අස්සෙ වෙන ම ගොඩ ගැහිලා තියෙනවා, රැඩිකල් සිංහල ටියුෂන් මාස්ටර් – යූඑන්පී දේශපාලනඥයා – දැන්, වේශය මාරුකරගත්ත අමුතු – කෙළින් මිනිහා! මේ ගෙවෙන සාහිත්‍ය මාසය ඉතින් ඔහු වගෙ අයට මාර busy. ඔය අතර, ලූෂන් බුලත්සිංහල ගෙ ”වෙස් මුණ” ත් මේ අවකාශය තුළ ”ගැළවෙන්න” පටන් ගන්නවා. ලුෂන් ගෙ ”වෙස් මූණ ගලවන්න” කියන වේදිකාව ඉදි වෙන්නෙ LTTE ය හැර එන එහි සන්නද්ධ ක්‍රියාකාරිනියක් වටා. ඇය ගැන නොදැන ඇය ට ප්‍රේම කරන සිංහල තරුණයෙක්, අවසානයේදී ඇය කවුද කියල දැනගෙනත් ඇය ට ආදරණිය ආරක්ෂකයෙක් වෙන හැටි මේ කතා කරුවා අප ට කියා දෙනවා. ඒ ප්‍රේම කතාව හොඳයි! ඒත් ඒ අතර තුර, අදාළ තිස් වසරක යුද්ධය පිළිබඳ නියම තතු, ඒ වේදිකාව තුළ සුක්ෂම ව යටපත් කෙරෙනවා. ‘එය’ හුදු සිංහල – දෙමළ ප්‍රශ්නයක් ලෙස හකුළුවනවා. මේ නාට්‍යය පසුතලයේ වරින් වර රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය වෙනවා. ඒ හරහා අන්තිම ට පරමාදර්ශය බවට පත් කරන්නෙ එක්සත් ජාතින්ගෙ සංවිධානය. කොටින් ම, සිංහල බෞද්ධ සමාජය සහ ඒ මත ඉදිවන ඊනියා දේශපාලනය, මේ නිර්මාණකරුවාට ‘මාර’ වන ජාත්‍යන්තර දේශපාලනය(?) එකින් එක ගළපන්න පටන් ගන්නකොට ලුෂන්ලාගෙ වෙස්මුණු ඉතිං ඉබේම ගැළවෙන්න පටන් ගන්නවා. වැඩේ කියන්නෙ, ඔය නාට්‍ය මෙවර මුල් වතාවට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවෙ වේදිකාගතවෙනකොට ඉදිරිපෙළ අසුන්වල NGO ආරාධිත රොත්තක් ම අසුන් ගෙන හිටියා මතකයි. සර්ව ආගමික set එකකුත් ගෙන්නවලා තිබුණා.
දැන්, මොහොතකට, මම ඔබ කැටුව යනවා, අසංක සායක්කාර ගෙ ”මං කෙළින් මිනිහෙක්” ළඟට!
අසංක, ඔහුගෙ වේදිකාව ගොඩනගන්නෙ තවත් සුක්ෂම විදිහ ට, මේ සංවාදය ට අදාළ අරුතෙන් නියම ”කෙළින් මිනිහෙක්” විදිහ ට. ඔහු මෙරට වාමාංශික නායකයෙක් නිර්මාණය කරලා, ආණ්ඩු හදන යතුරත් ඔහුගෙ අත ට දීලා, ඔහු ට ව්‍යාඝ්‍ර ත් පොවලා, වම ඉවර කරලම දානවා. වම? මොන වමක් ද කියල ඔබ දැන් අහන්න ඉඩ තියෙනවා.
අපි මෙහෙම බලමු!
1948 දී මේ රට ට ඩොමිනියන් නිදහස ලැබෙනවා. ඒ කියන්නෙ බ්‍රිතාන්‍ය කිරීටය ත් පැත්තක තියාගෙන, රටක් විදිහට යම් අර්ධ නිදහසක් බුක්ති විඳින්න ඉඩ ලැබෙනවා. ඔය වෙනකොට, මහා බ්‍රිතාන්‍ය ඇතුළු පැරණි යටත්විජිත කඳවුරු එකින් එක ගරා වැටෙන්න පටන් අරගෙන තිබුණු අතර පැරණි සෝවියට් දේශය සහ ඊළඟ ට පැරණි මහජන චීනය හරහා ගොඩ නැගෙමින් තිබුණු වාමාංශික දේශපාලන පිබිදීම සහ එහි විද්‍යාත්මක සමාජවාදී සංවාදය, අඩුපාඩු එක්ක වුණත්, ලංකා සමාජය ට සහ එහි දේශපාලන චලනයන් ට, කොර ගසමින් හෝ සම්බන්ධ වෙන්න ගන්නවා, ඒ අනුව තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය එකට මුහු කෙරෙන ලාංකේය රාජ්‍ය නව ආකෘතිය ගොඩ නැගෙන්නෙ. එය, ලෝක ඉතිහාසය තුළ එක විදිහක පර්යේෂණාත්මක රාජ්‍ය ආකෘතියක්. හේතුව, දෙවැනි ලෝක මහා යුද්ධයෙන්, ලෝක වාණිජ ප්‍රජාව කුඩු පට්ටම් වන නිසා, ජනතා ව මත යැපෙන සහ පවතින සුභ සාධනවාදී රාජ්‍ය ආකෘතියක් පැන නැගී, එය ලාංකේය මහා පොළොවට යම් පමණකට හෝ හොඳින් ගැළපී විකාශය ආරම්භ කිරීම. එය අඩු පාඩු ගහන දේශපාලන අවකාශයක් වුණත්, නිශ්චිත ජනතාවාදී ගමන් මාර්ගයක් පිළිබඳ ඉඟි, ඒ තුළ තිබුණා. 72 සහ 78 ව්‍යවස්ථා කෙටුම්පත් කෙරෙන්නෙත් ඔය වට පිටාව තුළ නිසා තවම යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී – සමාජවාදී  ලක්ෂණ ඒ ක්‍රියාදාමය තුළ ශේෂව තියෙනවා. නිදහස් අධ්‍යාපනය සහ ඒ හා බැඳුණු සෞඛ්‍ය සේවාව ඊට සරල උදාහරණයක්. මේ වනවිට, ඒ ශේෂයන් පවා දියකර හරිමින් සියල්ල මුදලාලිකරණය කෙරෙන දේශපාලන ඝාතනය ආරම්භ වී අවසන්, සායක්කාරලා මේ කරන්නෙ අන්න ඒ යෝජිත සමාජ එකඟතාව ගොඩනගන එක.
ඔබට මේ සංකීර්ණ යෝජනාව තවත් සරල කරන්න, කේ. කේ. ශ්‍රීනාත් ගෙ ”බුදුන්ගෙ රස්තියාදුව” ට අවධානය යොමු කරමු. එහි අන්තර්ගතය දිහා බලනකොට ඉතාම පැහැදිලියි, රස්තියාදු ගහන්නෙ ශ්‍රීනාත්, ඔහුත් කේ. කේ. නිසාම ද, වෙන්න ඇති කේ. කේ. වගේම ආගම සහ දේශපාලනය අතර අතර මං වෙලා. කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. ප්‍රශ්නය එන්නෙ, එහෙම වීම ලෙහා ගන්නෙ නැතුව, එය ආකෘතියකට ඔබන එක. හැබැයි, සමහරු කියන විදිහට, ඔය වෑයම ත් කෙළින් ම සන්නස්ගල න්‍යාය අනුව යමින් කරන හුදු marketing ව්‍යාපෘතියක් විදිහට ගන්නත් පුළුවන්, එහෙම වුණත්, අර ඓතිහාසික සංවාදය ඊට ස්ථිරව ම අදාළයි, හේතුව ලාංකේය මහා පොළොව මත ‘යමක්’ සිදුවෙමින් පවතිනවා.
කතාව ඉවර නැහැ! ඔය බුදුන්ගේ රස්තියාදුව ගැන සමාජ මාධ්‍ය තුළ එහා මෙහා යන අදහස් අතර, සුජිත් අක්කරවත්ත ගෙ අදහසකුත් කියවන්න ලැබෙනවා. සුජිත් අක්කරවත්ත, ලංකා ඉතිහාසය තුරුළු කරගෙන ඉපිද එය බුදු දහමෙන් වර්ණවත් කරන්න කැප වූ සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට තමයි කෙනෙකුට පේන්න ගන්නෙ, පේන්න ගන්නවා කිව්වට ඔහු හැසිරෙන්නෙ එහෙමයි. අන්තිමට ඔහු දැන් යූඑන්පි සිරිකොතේ උපදේශකයෙක් ලු! ප්‍රශ්නය ඒක නෙවෙයි, බුදුන්ගේ රස්තියාදුව ගැන කෙරෙන විවේචන අතර, සුජිත් මාර විග්‍රහයකට යන එක. ඔහු කියන්නෙ බුදු දහම කොයි තරම් නිදහස් සහ විවෘත ද කියනවා නං, බුදුන් වහන්සේගෙ ලිංගේන්ද්‍රය පෙන්නන්න කිව්වොත්, සිවුර මෑත් කරලා එය පෙන්නන තත්ත්වයක් තියෙනවා ලු!
මේ සියල්ල තුළ එක දෙයක් නිශ්චිතව කියන්න පුළුවන්. මේ වගේ රස්තියාදුකාර කතාවක්, වෙනත් ආගමක ශාස්තෘවරයෙක් පටළවා කිව්වොත් බලා ගන්න පුළුවන්! කට්ටියට!! රස්තියාදුවේ තරම!!!
මේ සංවාදය ඉතා ම සංකීර්ණයි. ලොව සියළු ආගම් පහළ වන ඓතිහාසික තත්ත්වයන් සහ ඒ සමඟ මානව ශිෂ්ටාචාරය විකාශය වන ආකාරය විද්‍යාත්මකව – දේශපාලනිකව විමර්ශනය කෙරෙන මහා ඓතිහාසික සංවාදයක්, ඉතිහාසය තුළ, විශේෂයෙන් ම මාක්ස් ගොඩ නැගෙන 19 වැනි සියවස තුළ සිර වී තියෙනවා. විද්‍යාත්මක සමාජවාදය තුළ, ඕන නං ඒ සංවාදය ඉදිරිය ට ගන්න අපට මේ දැනුත් පුළුවන්, පුළුවන් නෙවෙයි, හරියට ම ගත්තොත් ඒ සංවාදය තව දුරටත් ගොඩ නගන්න, ඉතිහාසය අපට බල කරනවා. ඒ වෙනම දේශපාලන අවකාශයක්.  ඒත්, මේ අපි කෙළින් – අමුතු මිනිස්සු එක්ක අත් විඳින්නෙ, ඒ ඒ අයට ආර්ථික සහ තවත් භෞතික වාසි ලැබෙන, ඊනියා ජාත්‍යන්තර දේශපාලන ක්‍රියාන්විතයක්. ඒ අනුව, ඔතොඩොක්ස් පල්ලියත් බේරලා, වතිකනුවත් බේරලා, මක්කම ඇතුළු ඉස්ලාම් මුලස්ථානත් බේරලා, ඒ තියා ඊට පහළ සියළු ආගම් නිකායවල් බේරලා, ලංකාවෙ, බුදු දහම ට, බුද්ධාගම ට, සිංහල බෞද්ධකමට, පන්සල ට..පහර දෙන්නෙ, ඒ ඒ ‘තත්ත්වයන්’ joke කරන්න හදන්නෙ, දේශපාලන ( ආර්ථික ) ඝාතක  ක්‍රියාන්විතයකට අනුව. ඒක වෙනම වැඩක්.
ලාංකේය රාජ්‍ය සහ ඊට පදනම්වන ඓතිහාසික සංස්කෘතික පදනම බිඳින්න, මේ අමුතු – කෙළින් මිනිස්සු මෙහම මැදිහත් වෙද්දී, සුදු ඇඳගෙන සිංහල බෞද්ධ ඡන්ද කොල්ල කා අදාළ යෝජිත දේශපාලන ක්‍රියාන්විතයේ නිල ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ඊනියා සිංහල බෞද්ධ දේශපාලනඥයන්  රොත්තකුත් ඉන්න බව ඒ අතරම මතක තියා ගන්න!
ඔවුනුත් අමුතු – කෙළින් මිනිස්සු!
චාපාබණ්ඩාර 
( අරුණ, 2018 සැප්තැම්බර් 30 ) 

No comments:

Post a Comment