Thursday, April 4, 2019

හිටපල්ලකො!

''මේ මාත් එක්ක බිස්නස් කරන කෙනෙක්...''
ඔහු අනෙකා පෙන්වමින් ම කතාව පටන් ගත්තා. 
''අපි ෆෝන් එකෙන් කතා කෙරුවාට අදනෙ මූණට මූණ හම්බ වෙන්නෙ...''
ඔහු එහෙමත් කිව්වා.
අපි මේ දැන් ඉන්නෙ බත්තරමුල්ලෙ ලැවිනියා හෝටලයෙ උඩ තට්ටුවෙ. 
''අපට තවත් බලා ඉන්න බැහැ...ඉක්මනට මොකක් හරි කරන්න ඕන! මෙහෙම ගියොත් රටක් ඉතුරු වෙන්නෙ නැහැ!''
ඔහු කියනවා.
''මොකද්ද ඉතිං කරන්න හදන්නෙ?''
ප්‍රශ්නය මගෙන්.
''ඔයා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක්...දැනුම තියෙනවා...අත් දැකීම් තියෙනවා! අප ට තාක්ෂණික දැනුම තියෙනවා, ඕන කම තියෙනවා, මොනවා හරි කරන්න ඕන!''
''මොනවා හරි කියල බැහැ, පවතින අර්බුදය ගැන හොඳ අවබෝධයකින් කරන දෙයක් කරන්න ඕන!''
ඒ මං.
''මේ සියළු ප්‍රශ්න වලට මුල පාර්ලිමේන්තුවෙ ඉන්න 225 නෙ...අපි ඒ අය වෙනස් කරනවා!''
ඒ ඔහු.
''ඒ කියන්නෙ? ඔබ ට ඕන ඡන්දය ඉල්ලන්නද?''
''ම්ම්ම්ම්...මං නැතත් අපේ කවුරු හරි! අපේ ප්‍රතිපත්තියකට අනුව ඉල්ලන අය, මං කියන්නෙ අපි අන්න ඒ ප්‍රතිපත්තිය හදන්න ඕන ඉස්සර වෙලා!''
''අළුතෙන් හදන්න දෙයක් නැහැ, ඔය ඕන කරන සේරම ප්‍රතිපත්ති හැදිලා තියෙන්නෙ, අපි තක්කඩි ජාතියක්, බොරු කර කර ඉන්නවා...බෙදිලා රට කනවා, එච්චරයි...''
''එහෙම නං අපි ස්වාධීන කණ්ඩායමක් හදමු ඡන්දය ඉල්ලන්න..,හොඳ මිනිස්සු!''
ඔහු කියාගෙන යනවා. 
හොඳ කියල මිනිස්සු ජාතියක් හොයන්න බැරි බවත්, කවුරු පාර්ලිමේන්තු ඇරියත් වෙන්නෙ මේ ටිකම බවත් මං එතකොට ඔහුට පැහැදිලි කරන්න ගන්නවා.
''මේ රට මේ වෙනකොට පාලනය කරන්නෙ අපේ පාර්ලිමේන්තුව නෙවෙයි...''
මං ඔන්න රට වට කරගෙන ඉන්න ආර්ථික සහ දේශපාලන ඝාතකයින්ගෙ කතාව දෙවැනි වතාවටත් ඔහුට කියනවා. දුරකථනයෙන් කතා කරද්දි තමයි මුල් වතාවට ඔහු ට වෙනම ඒ ගැන කිව්වෙ.
''ඒ කියන්නෙ අපට මොකුත් කරන්න බැහැ, මේ යන විදිහට යන්න අරින්න කියන එකද? ඔයා වගෙ කෙනෙකුත් එහෙම කියනකොට....''
''මගෙ විග්‍රහයට වැරදි අර්ථ කථන දෙන්න එපා! මං කියන්නෙ කරනවා නං සියළු පක්ෂ අභිබවා යන සමාජ මෙහෙයුමක් දියත් කරන්න ඕන...ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ත් ඒ වැඩේට යොදා ගන්න ඕන...හැබැයි මේ කෙටි කාලීන ප්‍රොජෙක්ට් එකක් නං නෙවෙයි...දිගු කාලීන අඛණ්ඩ ක්‍රියාවලියක්...''
මං වේගයෙන් කියාගෙන යනවා.
''ඒ වුණාට අපි දැන් මොකක් හරි කරන්න ඕනනෙ...මෙහෙම බලන් ඉන්න බෑ!''
''බලන් ඉන්න ඕන නෑ! මේ දැන් පටන් ගන්න...මේ දැන්! ප්‍රෙෂර් ගෲප් එකක් විදිහට ඉස්සර වෙලා වැඩ පටන් ගන්න, ඊට පස්සෙ...''
''හරි ප්‍රෙෂර් ගෲප් එකක් හදමු! අපි ගාව මිනිස්සු ඉන්නවා...''
ඔහුගෙ මුහුණට පොඩි සිනහ රැල්ලකුත් ආවා.
''ඔබ කියන්නෙ ඡන්දය ඉල්ලන කතාවක්නෙ! එතකොට...''
''ඔව්! අපි ඒ අය ස්වාධීනව ඡන්දය ඉල්ලන්න දානවා!''
''ඒ මොන ප්‍රෙෂර් ගෲප් ද? මං කියන්නෙ, මිනිස්සු දැනුමෙන් බල ගන්වන ගමන් බලයට එන ඕන ආණ්ඩුවක් මෙහෙය වන්න පුළුවං බලපෑම් විධි ක්‍රමයක් ගැන! මේක දිගු කාලීන ක්‍රියාවලියක්!''
මං නැගිටින්න හදන ගමන් හෙමින් නිකමට වගෙ කිව්වා,
''අන්න ඒකනෙ වැඩේ, අපට මේ දැන් මොකක් හරි කරන්න ඕන...ඒකයි! ඔයා වගෙ අයත් අපට කියන්නෙ මොකුත් කරන්න එපා, ඔන්න ඔහේ පාඩුවෙ ඉන්න! කියලනෙ...එතකොට...''
ඔහු තවත් මොනවද කිව්වා, මං ඇහුනෙ නැතුව වගෙ ඉඳල ආවා!

එක එක මිනිස්සු හම්බ වෙන්න අහද්දි, බෑ කියනවා කියල හිතාගෙන ඉන්න මං මේ පාරත් ආවනෙ, ෂිහ්!

ආයෙ නං එන්නෙ නෑ, නෑමයි! හිටපල්ලකො!

CHAPA 
March 5, 2019



No comments:

Post a Comment