අන්තිමට වෙච්ච වැඩේ...
මෙතෙක් කතාව - අපේ ගෙදරට හදිසියේ ම වගෙ කහපාට ට හුරු නාඹර බැළලියක් එන්න යන්න පටන් ගත්තා. කොහේ ඉඳන් එනවද කොහේ යනවද දන්නෙ නැහැ. ඒත් ඇවිත් යනවා.
ඒ වෙනකොට ඉඳහිට මෙහෙ එන යන තව ලොකු බැළලියක් හිටියා, ළඟ පාත ගෙදරක. එයා 'රංචි'. එයාගෙ ගති ගුණ ටිකක් අමුතුයි. හේතුව එයා කෘතීම ආහාර පාන වලට පුරුදු වෙච්ච කෙනෙක් නිසා කියලයි, මං නං හිතන්නෙ.
කොහොම හරි මේ රංචි අර කහ බැළලිය මෙහෙ කරක් ගහනවට කැමති ම නැහැ. එයා හොරෙන් හොරෙන් ඇවිත් මේ කහ බැළලිය ඉන්නවා ද කියල විපරම් කරනවා, ඉන්නවා නං සැර දාලා අනං මනං කරලා එළවනවා.
ඔය අස්සෙ සුදු පාට ට හුරු ටිකක් හයිය හත්තිය තියෙන බළල් නාම්බෙක් මේ පැත්තෙ කර කැවෙන්න ගන්නවා, මේ කහ බැළලියට අතවර කරන්න මාන බල බල. මෙයා ඒ නරක වැඩ වලට කැමති ම නැහැ, තාම පුංචි නිසා වෙන්නත් ඇති. කොහොම හරි ඒ දෙන්නගෙ ගැටුම දුර දිග ගිහිං මට ත් මැදිහත් වෙන්න සිද්ධ වෙන වෙලාවල් එනවා. ඒ තව එක කරදරයක්.
අර රංචි අවුල් වෙලා පිස්සියෙක් වගෙ කහ බැළලි පස්සෙ පන්නන්නෙ, එක්කො අපි දෙන්නා අතර ට මෙයා ආපු නිසා. එක්කො එයා පස්සෙ ත් ඉඳ හිට පන්නන අර බළල් පෙම්වතා නිසා, ඉරිසියාවට. ඔය හේතු දෙකම වෙන්නත් පුළුවං.
එතැන් සිට...
සති දෙකකට කලින් මහ රෑ දෙගොඩ යාමෙ පූසෙක් යටිගිරියෙන් කෑ ගැහුවා. මං ඒ සද්දෙට ඇහැරිලා ටිකක් විපරම් කෙරුවා. කිසිම හෝඩුවාවක් නැහැ. පහු වෙනිදා දවල් වගෙ වෙනකොට ඉස්සරහ වත්ත පැත්තෙන් පූසෙක් කෑගහන හඬක් ආයෙ ඇහෙන්න ගත්තා, ඒක එක විදිහක විළාපයක් සහ කෙඳිරියක් වගෙ, අමුතු හඬක්. මං ඒ ගැන ඒ ඉස්සරහ ගෙදර හිතවතා එක්ක කියනකොට '' ඒක තමයි මාත් මේ බැලුවෙ...''කියල මාත් එක්ක ඒ වත්ත පැත්තට ආවා. ඒ වත්ත තවම හිස්. ඉස්සර ඒ වත්ත වහගෙන තිබුණු රූස්ස කොස් ගස් එකින් එක කපා දමමින් අනාගත මිනිස් වාසයකට ඉඩම සූදානම් කරමින් තියෙන්නෙ. ඒ වෙනම දුක් බර කතාවක්. කොහොම හරි ඒ වත්තෙ ගේට්ටුව වහල නිසා, අපි දෙන්නට ඒ පූස් විළාපය සෝදිසි කරන්න තාප්පයෙන් පනින්න ත් වුණා. එතකොට තමයි අපි තේරුම් ගත්තෙ, ඒ වත්තෙ පොළොව මට්ටමෙන් තියෙන ගැඹුරු ළිදට බළලෙක් වැටිලා කියලා, අපි එබිලා බලනකොට අත් දෙකින් ළිං බැම්මෙ පස් ගොඩැල්ලක් බදාගෙන එයා තමයි කෑ ගහන්නෙ. ඇඟ වතුරෙ පාවෙනවා. එයාගෙ පාටක් හැඩයක් හොයා ගන්න අමාරුයි ළිද ගැඹුරු නිසා.
ඒ කියන්නෙ ඊයෙ මැදියම් රෑ මෙයා ළිඳට වැටෙන කොට තමයි අර විදිහට හයියෙන් කෑගහන්න ඇත්තෙ!
මගෙ හිත කීරි ගැහුණා.
''ඉන්න මං ඉනිමගක් අරං එන්නං...'' අර අසල් වාසියා ගෙදර දිව්වා. එතකොටම සිද්ධිය දැන ගත්ත තවත් අසල් වාසීන් බාල්දි කඹ එහෙම අරගෙන වැඩේට බැස්සා.
දැන් එකම යුද්ධයක්!
''මේක අල්ල ගන්න!'' '' ඔය බිත්තිය අත අරිනවකෝ!'' ''...ඔය ඔය...තව උඩට තව උඩට! මේ බාල්දියෙ එල්ලෙන්න...අයියෝ! දඟලන්න එපා මෝඩයො!''
එක එක්කෙනා ගොඩ ඉඳලා ළිඳේ වැටිලා ඉන්න බළලාට එක එක උපදෙස් දෙනවා. එයා එක එක විදිහෙ හඬවල් නගමින් හෙම්බත් වූ සිරුර වත්තන් කරගෙන ඒ උපදෙස් පිළි පදින්න හදනවා.
''ගන්න! ගන්න!...හරි හෙමින් උඩට අදින්න...'' ඒ අස්සෙ ඔන්න කෙනෙක් හයියෙන් කෑ ගහනවා, ඒ පාර නං හරි! එයා ලොකු බාල්දියට ගොඩ වෙලා! කට්ටිය ම එකතු වෙලා ඔන්න ඉතිං එයාව උඩ ට ගත්තා. හැමෝම වගෙ ඒ අස්සෙ අනුකම්පාවෙන් ''පූස් පූස්...'' කියල එයා ට කතා කරන්න පටන් ගත්තා.
අපොයි! මඩ ගෑවිච්ච, මූණක් කටක් හොයා ගන්න බැරි අමුතු සතෙක් බාල්දි කටෙන් බිමට වාරු අරං ඔන්න, හෙමින් මං පැත්තට ඇදි ඇදී එනවා. කෙනෙක් එතකොට මට දීපු තුවා කෑල්ලකින් මං එයා ඔතල අරං අව්ව තියෙන තැනකට ගිහිං පිහිදාන්න පටන් ගත්තා.
අනේ! මේ අපේ කහ බැළලිනෙ!
මොකද්ද පිස්සියෙ මේ කර ගත්තෙ? ළිඳට වැටුණාද? ළිඳට පැන්නා ද? ඈ!
මගෙ ප්‍රශ්නයට එයා තවම කෙළින් උත්තරයක් දෙන්නෙ නැහැ.
කොහොම හරි අන්තිමට, මගේ අනුකම්පාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔන්න දැන් එයා මෙහෙ ස්ථිර පදිංචියටම ඇවිත්!
ඔන්න ඕකයි අන්තිමට වෙච්ච වැඩේ!
අහ්! රංචි, අර පෙම්වතා...එයාලා මේ ගැන දැන ගත්තට පස්සෙ වෙච්ච දේවල් පස්සෙ කියනං, හා ද?
CHAPA
April 2, 2019
No comments:
Post a Comment