Friday, September 23, 2016

අනේ යකෝ!
උඹල එහෙනං උඹල හදපු දරුව ව උඹලගෙ අත්වලින්ම මරාගත්ත!?

මට කොහොමත් 'ලක්හඬ' මග හැරුණා! ඒ, පහු ගිය දවස් වෙනකං අපිට ඇහිච්ච 'ලක්හඬ' නෙවෙයි. 1998 - 2000 අතර කාලයෙ මට ඇසුරු කරන්න ලැබුණු 'ලක්හඬ'.
ම්! ඒ කාලය ඇත්තටම සුන්දරයි!
මගෙ කතාව පටන් ගන්නෙ 1998 යාපනයෙ පළාලි යුද හමුදා කළාපයෙන්. මම, ඒ දවස්වල පළාලි හමුදා කඳවුරෙ, වෛද්‍ය බලකායෙ ක්‍රියාකාරකම් සමග අනු යුක්තවෙලා හිටියෙ. කඳවුරු භූමියෙම පැත්තක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ යාපා පටුන සේවය පවත්වාගෙන ගියා. ඒ වෙනකොට, යුධ හමුදා සොල්දාදුවන් වෙනුවෙන් නොවිධිමත් විදිහට හෝ 'රෝග නිවාරණ වැඩ සටහන්' මාලාවක් පවත්වමින් හිටපු මම, ඔය යාපා පටුන සේවය ඒ සඳහා යොදාගන්න විදිහ අත් හදා බැලුව ( එය දිග අරගලයක එක විදිහක ආරම්භයක්, Army ආමි කෘතියෙ ඒ ගැන විස්තර තියෙනව).
යාපා පටුන සේවයෙ කාර්මික ශිල්පීන් වූ, මැණික්දිවෙල සහ අනුර ඒ වෙලාවෙ සෑහෙන්න සහයෝගයක් දුන්න, විශේෂයෙන් අනුර. ඔය අතරෙ දවසක කොළඹින්, තිස්ස ජයවර්ධන ( අපෙන් සමු අරගෙන ) සහ චන්දන තිලකරත්න කියන ජනප්‍රිය නිවේදකයො දෙන්නත් දවස් කීපයකට එහෙ ආව. අපි ඉක්මනට හිතවත් වුණා වගෙම එකතුවෙලා වැඩසටහන් වගයකුත් කෙරුව.
ඔය වෙනකොට 'ලක්හඬ' පටන් ගන්න හදනව. මම ඒ වෙනකොට හිතමින් හිටියෙ ජනමාධ්‍ය අවකාශය ඇතුළෙ කොහොමද මගෙ හීන අරගලයට පණ දෙන්නෙ කියල, තිස්සත් චන්දනත් මගෙ ඒ හීනයට යම් වටිනා කමක් දුන්න, ඔවුන්ගෙ සහයෝගය ඇතුව මුලින්ම ගුවන් විදුලියෙ විශ්ව ශ්‍රවනී විකාශයට, ඊට පස්සෙ 'ලක්හඬ' ට. ගමන ඔහොමයි!
මම 'ලක්හඬ' ට එන්නෙ එහි දෙවෙනි කණ්ඩායම සමග. දක්ෂිණ බෝධිනායක, සමන් කුමාර රාමවික්‍රම, රවිමල් හඳුවල, ගයාන් චින්තක අබේසිංහ, ලංකා පෙරේරා, රසාදරී පීරිස්, තක්ෂිලා පෙරේරා තමයි අපේ කණ්ඩායම. 'ලක්හඬ' එතකොට තිබුණෙ ගුවන් විදුලි සංස්ථා භුමියෙ නිදහස් චතුරශ්‍රය පැත්තට වෙන්න. සභාපති නිව්ටන් ගුණරත්න. අසෝක තිලකරත්න, චන්දන තිලකරත්න, කුසුම් චන්ද්‍ර අරංගල, කුසුම් චන්ද්‍ර වික්‍රමසිංහ, අසෝක කරුණාරත්න, චරිත දිසානායක, මොහාන් රාජ් මඩවල, හරීන්ද්‍ර ජයලාල්, නුවන් ලියනගේ, නුවන් උදාර කරුණාරත්න, ධම්මික තෙන්නකෝන්, රවී කුමුදේශ්, කපිල තිලකසිරි, කපිල ගාමිණී ජයසිංහ, සුරංග සේනානායක, රංගන ද සිල්වා, අරවින්ද ලොකුගේ, සුසාර දිනාල්, චමිලා මංගලගම, මයුරී ලියනගේ, තිලිණි අතුකෝරළ...වගෙ කට්ටිය ඒ වෙනකොටත් එහෙ හිටිය. සුධර්මන් රදලියගොඩ, සුරවීර...ආවෙ අපිට පස්සෙ.
චන්ද්‍රිකා - මංගල - නිව්ටන් මොන අරමුණකින් පටන් ගත්තත් 'ලක්හඬ' ඒ ආරම්භක අවධියෙදි සැලකිය යුතු ඉහළ මට්ටමක තිබුණ. භාෂා භාවිතය සහ වැඩසටහන් අන්තර්ගතය ගැනත් එතැන හොඳ සංවාදයක් තිබුණ. ඒ අතර 'ගිනිවැට අද්දර', '168 වැනි හෝරාව' සහ 'ගං ඉවුර' වගෙ වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන්නත් මම ඉඩ හදා ගත්ත. එක පැත්තකින් ඒ දවස් හරියට විශ්වවිද්‍යාලයක ගෙවෙන දවස් වගෙ වුණා, හරිම සුන්දරයි!
ඒත් ඒ සුන්දරත්වය යට කැත බලපොරයක් සහ ඊටම ගැට ගැහිච්ච තම තමන්ගෙ පැවැත්ම පිළිබඳ 'ගේම් ගැහිලි' එක පිට එක වර්ධනය වෙන්න පටන් ගත්ත. ඒත් එක්කම චන්ද්‍රිකා පාලනයෙ හිරිකිත බලපෑම් 'ලක්හඬ' බොල් හඬක් බවට පත්කරන්න පටන් ගත්ත. නිව්ටන් ගුණරත්න ඇතුළු එක කල්ලියක් සහ තවත් පොඩි පොඩි කල්ලි තම අත්වලින් බිහිකරල ඇති දැඩි කරන 'ලක්හඬ' දරුවගෙ බෙල්ල ටික ටික - හෙමින් හෙමින් මිරිකන්න පටන් ගත්තෙ ඒ විදිහට.
ඒ 1999 මැද හරිය!
යුද හමුදා 'මාෆියාව' කට එරෙහිව ඒ වෙනකොට ත් සටන් වදිමින් හිටපු මම, අණට අකීකරු වීමේ චෝදනාවට පුරා වසරක යුධාදීකරණයකට තල්ලු කරමින් ඒ අතර අන්තිමට බරපතළ වැඩ ඇතිව අවුරුද්දකට වැලිකඩ බන්ධනාගාර ගත කෙරුණා, ඒ ක්‍රියාවලිය මැද්දෙදි ත් මාව අසාධාරණ විදිහට දෙපාරක් අත් අඩංගුවට ගැනුණා. වැඩේ කියන්නෙ 'ලක්හඬ' එක ගමන් සගයෙක්වත් මං දිහා හැරිල බැලුවෙ නැහැ, කැත විදිහට මග හැරිය. නිව්ටන් සහ තවත් අය, මට උදව් කරන රගපෑමකුත් ඔය අස්සෙ කෙරුව.
සිරගත වෙලා ඉන්න ඔය අතරෙ තැනකදි තමයි මම 'රාවය' ට ලියන්න පටන් ගන්නෙ, ඇත්තටම එදා 'රාවය' සහ මම අතර ගොඩනැගුණු සම්බන්ධතාව නං ඉතාම ප්‍රබල එකක් වුණා.
කතාවෙ හොඳම හරිය එන්නෙ ඔන්න ඔය හරියෙදි!
'එක්කෝ රාවය නැත්තං ලක්හඬ තෝරාගන්න!' නිව්ටන් ගුණරත්න දවසක් මට කිව්ව. මම ඔය ගැන ඔහු සමග සහ අනෙක් බලධාරීන් සමග හුඟක් සාකච්ඡා  කෙරුව, කරුණු පැහැදිළි කෙරුව, තර්ක කෙරුව. වැඩක් වුණේ නැහැ. අන්තිමට මම 'රාවය' තෝරගත්ත. ඉතිං මට 'ලක්හඬ' මග හැරුණ!
'ලක්හඬ, අපේක්ෂාව යථාර්තයක් බවට!'
අනේ යකෝ!! උඹල එහෙනං උඹල හදපු දරුව ව උඹලගෙ අත්වලින්ම මරාගත්ත!?
CHAPA       

No comments:

Post a Comment