Saturday, December 31, 2016

   මෛත්‍රී - මහින්ද හවුලක්?


2017 උදාවන මේ මොහොතේ තැනින් තැන ඇහෙන කතාව තමයි, අලුත් අවුරුද්දෙ ආණ්ඩු පාලන වෙනසක් ඇතිවෙන්න නියමිත බව. මහා මැතිවරණයක් ළඟ නැති නිසා, එහෙම නං සිද්ධවෙන්න පුළුවන් එකම එක දෙයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති මෛත්‍රීගෙ එකඟතාව මත, යහ පාලන ආණ්ඩුවෙන් එළියට ඇවිත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කරන එක. ඒ විදිහෙ ඉඟියක් මහින්දගෙ පැත්තෙනුත් එනවා එනවා වගෙ.
ඒ කියන්නෙ, රනිල් කේන්ද්‍රීය එජාපයට එරෙහිව, මෛත්‍රී - මහින්ද කේන්ද්‍රීය ශ්‍රීලනිපය!
මේ, ශ්‍රීලනිප පාක්ෂිකයන් සහ විශේෂයෙන්ම රාජපක්ෂවාදීන් කුල්මත් කරවන සහ ඊට එරෙහි එජාපය ප්‍රමුඛ ඊනියා යහපාලන නඩය කලබලයට පත් කරවන ආරංචියක්. එය එසේ සිදුවුණොත් අපේ මාධ්‍ය ආයතන වලටත් සෑහෙන්න වැඩ තියෙයි.
මේ අනාගත අනුමාන සිදුවීම කල්තියා කියවගන්න අපි දැන් උත්සහ කරමු!
2015 ජනවාරි 8 සිද්ධවුණේ Regime Change එකක්. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මිලිටරි වශයෙන් මුළුමනින්ම පරාජය කරන ලංකාව සහ එහි ජයග්‍රාහී යුධ බලය මෙන්ම චීන - ලංකා වෙළෙඳ ප්‍රේමය කලාපීය තැතිගැන්මක් ඇතිකරනවා. ඉන්දියාව සහ ඒ පසු පස එන ඇමරිකානු දේශපාලනය ඔන්න වැඩ පට ගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි රාජ්‍ය නොවන පරිවාර බලකාය game එකට බහිනවා, චනද්‍රිකා God Mother ගෙ භූමිකාවට පණ පොවනවා. මේ කිසිවක් වටහා නොගන්න රාජපක්ෂලාගෙ fun එක එකපාරටම ඉවර වෙනවා, මහින්ද ගෙදර යනවා. එච්චරයි!
ඔය සේරම මැද්දෙ, 1977 සිට පියවරෙන් පියවර ඉස්සරහට එන ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා ක්‍රියාවට නැංවෙන, මේ රටේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉස්සරහටම යනවා. ජේආර්, ප්‍රේමදාස, ඩීබී, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල්...සේරම ඒ අඛණ්ඩ ක්‍රියාවලියෙ ඒජන්තවරු. ජවිපෙත් අනාගත ආණ්ඩු සිහිනයක පටලැවී, ඒ අර්බුදයෙම ප්‍රධාන කොටසක් බවට පත්වෙනවා. වමේ බව කියන අනෙක් පක්ෂ, ජාතික හෙළ උරුමය වගෙ ඊනියා ජාතිකවාදී පක්ෂ ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඔවුන් තම පැවැත්ම සඳහා ජනයා නොමග යවන ඓතිහාසික අපරාධකරුවන්ම තමයි.
මේ සන්දර්භය තුළ සිද්ධවන 'ජනවාරි 8 කුමන්ත්‍රණය' හදපු ''ඊනියා යහපාලන ව්‍යාපෘතිය'' දැන් එක තීරණාත්මක තැනකට ඇවිත්. ඔවුන්ට පැවරුණේ;
1. විධායක ජනාධිපති බලය දියකිරීම.
2.  ඊනියා පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කරන ජාතික ආණ්ඩුවක් හැදීම.
3. රාජ්‍ය ව්‍යුහාත්මකව බෙදුම්වාදී ආකෘතියකට මාරු කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම.
4. 1977 පටන් ක්‍රියාත්මක පෙර කී ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ වඩා සංවිධානාත්මකව සහ කඩිනම්ව ඉදිරියට ගෙනයෑම,
ඇතුළු ''දේශපාලන කොන්ත්‍රාත්තුවක්''.
ඊට සමගාමීව, චීනය - ඉන්දියාව - ඇමෙරිකාව සඳහා පිළිවෙළින් ලංකාව දෙන්න නියමිත් දොළ පිදේනි! හම්බන්තොට, කොළඹ සහ ත්‍රීකුණාමලය වරාය බල ව්‍යපෘති!
මෛත්‍රී - රනිල් හවුල ඒ කොන්ත්‍රාත්තුව සෑහෙන ප්‍රමාණයකට - සාර්ථකව කෙරුවා. චන්ද්‍රිකා ප්‍රමුඛ NGOs නඩය තම තමන්ගෙ රාජකාරී වැඩ කටයුතු අවංකව සහ උපරිමයෙන් කෙරුවා. ඒත් එක තැනක ඔවුන් හිරවෙනවා. ඒ;
1. මෛත්‍රී - රනිල් ව්‍යාපෘතිය පොදු ජනයා ප්‍රත්ක්ෂේප කිරීම නිසා.
2. දුෂණ, වංචා සහ අක්‍රමිකතා මැද ආණ්ඩුව තුළම බල පොරයක් නිර්මාණය වීම නිසා.
3. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු, ආණ්ඩු බලයට සම්බන්ධ සහ ඊට එරෙහි කණ්ඩායම් වඩා ශක්තිමත් වෙමින් තියෙන නිසා.
3. ඉහත තත්වයන් සැලකිල්ලට ගන්නා චීනය දැන්, පෙරළා - ඉන්දියාවට සහ ඒ පසු පස වැඩකරන ඇමරිකානු දේශපාලනයට එරෙහිව කළාපීය මෙහෙයුමක් දියත් කිරීම නිසා.
මේ අනුව, යළිත් වතාවක්, වෙනස් ආකාරයක Regime Change එකක් සිද්ධ වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ තමයි, යම් විදිහකට ගොඩ නැගෙන්න නියමිත ''මෛත්‍රී - මහින්ද'' හවුල!
එහෙම වුණොත්, එය ඉතාම අනතුරුදායක තත්වයක්!
ඔය කලින් කියපු විදිහට, දැනට හිරවෙලා තියෙන, තව දුරටත් රට විනාශ කරන ඊනියා යහ පාලන ව්‍යපෘතිය වෙන ''විශේෂ තත්වයක්'' යටතේ සාර්ථකව ඉස්සරහට ගෙනියන්න එතකොට පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට, හම්බන්තොටින් නැගෙන, චීනයට ඉඩම් පවරා දීමට එරෙහි ජනතා විරෝධය ඕන නං මහින්ද ( රාජපක්‍ෂලාගෙ! ) ලවා නිකම්ම දියකරලා දැන් පුළුවන්. ඊනියා ව්‍යවස්ථා ව්‍යාපෘතියත් වෙන විදිහකට ස්ථාන ගත කරන්න පුළුවන්. දැනට හිරවෙලා තියෙන අනිත් ව්‍යාපෘතිත් ඒ විදිහමයි.
මේ තත්වය තේරුම් ගන්න සරල උදාහරණයක් දෙන්නං!
චන්ද්‍රිකා පාලන සමයෙ අන්තිම කාලයෙදි, මේ රටේ නිදහස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් ඉවර කරලා දාන්න අත්සන් කරන්න නියමිතව තිබූ  ''තරා - හැරල්ඩ්'' ගිවිසුමට ජවිපෙ ශිෂ්‍ය කණ්ඩායම් ඇතුළු සැහෙන පිරිසක් විරෝධය පෑවා, උද්ඝෝෂණය කෙරුවා. අන්තිමට මහින්දගෙ ආණ්ඩුව යටතෙ, මුදල් අමාත්‍යංශයෙ ලේකම් පීබී ජයසුන්දර ඒ ගිවිසුම අත්සන් කෙරුවා, කවුරුවත් ගනං ගත්තෙවත් නැහැ. ඔය වගෙ උදාහරණ ඕන තරම්! වැඩිය ඕන නැහැ, එජාපයෙ ''යළි පුබුදමු ශ්‍රී ලංකා'',  චන්ද්‍රිකා, චන්ද්‍රිකා - ජවිපෙ ( පරිවාස හවුල! ) හරහා පිළිවෙළින් ප්‍රකාශයට පත් කෙරෙන ''රට පෙරට'' සහ ''අපේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම'' ''දස අවුරුදු මහින්ද චින්තන සැලැස්ම'' පරිස්සමට අධ්‍යනය කරලා බලන්න! ඒ සියල්ල පදනම් වෙන්නෙ, ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ඊනියා උපදෙස් සහ සංකල්ප.
එහෙම නං, මේ උදාවන අලුත් අවුරුද්දට 2017 ට, අපි 'මහජනයා' හැටියට කල්පනාවෙන් මුහුණ දෙමු!
''මොකා  බලයට ආවත්, මොකා මොකා මොන හවුල් හදා ගත්තත් 'අපි' රටේ පාලනය, වඩා යහපත් දිශාවකට මෙහෙයවමු! ගෝලීය වෙළෙඳ පොළ තුළ, ශ්‍රී ලංකාව, ස්වාධීන රටක් හැටියට, වඩා ශක්තිමත්ව ස්ථාන ගත කිරීමට මැදිහත් වෙමු!
එන්න! අපි සුබ මොහොතින් ගිවිස ගනිමු!
CHAPA 


   

No comments:

Post a Comment