Tuesday, December 27, 2016

තවත් කතාවක්...
රෝහණ කුමාර, කුමාර් පොන්නම්බලම්, මොරටු සමන්...
තුන්දෙනාම යන්න ගියත්!

   
98 - 2000 කාලයෙ මම රාවයේ කතෘ මණ්ඩලයට  වැඩකරද්දී, ඒ වෙනකොටත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගේ රැකවරණය යටතේ සිටි බව කියැවුණු මොරටු සමන්, කෙසෙල්වත්ත පොලීසිය හදිසියේම අත්අඩංගුවට ගත්තා. ඇත්තටම වෙලා තිබුණෙ වැරදීමක්. වෙන කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නකොට ඒ අතරෙ මොරටු සමනුත් ඉඳලා. අඳුනගෙන තියෙන්නෙ පස්සෙ.
කොහොම හරි 'රාවය' ට ටිකක් අමුතු විදිහක පණිවිඩයක් ආවා.
''කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන මොරටු සමන් 'රාවය' ට පාපොච්චාරණයක් කරනවා!'' ඕක තමයි පණිවිඩය. රිමාන්ඩ් භාරයේ හිටපු සමන්ව මුණ ගැහෙන්න නියමිතව තිබුණෙ මට. මාව රිමාන්ඩ් එකට එක්ක යන්න සමන්ගෙ පැත්තෙන් විශේෂ කණ්ඩායමකුත් යොදවලා තිබුණා. 'ආමි දයා' සහ 'තට්ට සෝමෙ' කියන පුද්ගලයො දෙන්නත් ඒ අතරෙ හිටියා කියලා මම දැන ගත්තා. ඔවුන්, තමන් ආපු සුදු පාට වෑන් රථයේ මාවත් දාගෙන මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් කොටසට එක පිම්මේම ගියා. රියදුරු අසුනට වම පැත්තෙන් - ජනේලයෙ උඩ  වම් අත තියාගෙන හිටපු තට්ට සෝමෙ දැකලා, ඒ වෙලාවෙ එළියෙදී  මුණ ගැහුණු බන්ධනාගාර නියාමකවරු සහ ජේලර්වරු වැඩි ප්‍රමාණයක් ඔළුව නවලා - හිනාවෙලා නිකං පිලි ගන්නවා වගෙ උණුසුම් ප්‍රතිචාරයක් පෙන්නුවා.
මට සමන් මුණ ගැහුණේ කුඩා සිදුරු තියෙන දැලකින් වෙන් වෙලා. මගේ අතේ මයික්‍රෝ වර්ගයේ පටිගත කිරීමේ යන්ත්‍රයක්. තට්ට සෝමෙ, සමන් මට කතා කරන අතරෙ මගේ වම් පැත්තෙන් දැලට හේත්තු වෙලා සිද්ධිය ජේලර් වරුන්ගෙන් ආවරණය කෙරුවා.
'' මම රෝහණ කුමාර ඝාතනයට සම්බන්ධ නැහැ...'' සමන් දිගින් දිගටම කිව්වා.
ඒ වෙනකොට 'තාර අජිත්' කියන මැරයෙක් ඇත අඩංගුවට අරගෙන, කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ෂෝ වික්‍රමසිංහ, ජනමාධ්‍ය ඔස්සේ කියමින් හිටිය රෝහණ කුමාර ඝාතනයට මොරටු සමන් සම්බන්ධයි කියලා. සමන් මේ උත්සහ කරමින් ඉන්නෙ ඒ චෝදනාවෙන් ගැලවෙන්න පොටක් හොයා ගන්න කියලා මට මුල් වටයෙදීම තේරුණා. එහෙම කියලා අපිව ගෙන්න ගන්න බැරි නිසා, බොරු පණිවිඩයකින් ඒ මුණ ගැහීම සුදානම් කෙරුවා කියලා මම දන ගත්තා. ඒත් කුමාර් පොන්නම්බලම් ඝාතනයට මොරටු සමන්ගෙ තිබිච්ච සම්බන්ධය නිරවුල් කරගන්න මම දිගින් දිගටම සමන් ප්‍රශ්න කෙරුවා.
'' සමන් මල්ලී...දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි...ඔයාට මේ ඛේදවාචකයෙන් ගැලවීමක් නැහැ. දවසක ඔය කවුරු හරි ඔයාටත් වෙඩි තියලා දායි. අඩුම තරමෙ ඊට කලින් ඔයගොලන්ව නිර්මාණය කරන මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න එක ගල් පාරක්වත් ගහන්න පුළුවන් නං ඒක ඉතිහාසගත වෙයි...මේ පාතාලය කියන වචනෙත් බොරු...සල්ලි එක්කම කැරකෙන මේ සිස්ටම් එක යන්නෙ ඔය වැඩ එක්කම තමයි. අපිට පුළුවං නං, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළෙ ඉඳගෙන ඒ වෙනුවෙන් මේ අපරාධ මෙහෙයවන ඊනියා දේශපාලනඥයන්ගෙ රෙදි ගලවලා පෙන්වන්න, මේ වෙලාවෙ ලොකු වැඩක්...අඩුම තරමෙ ඒකෙන් කාට හරි මොකක් හරි අලුත් ආරම්භයක් ගන්න පුළුවං වෙයි...මට කියන්න කුමාර් පොන්නම්බලම්ව මරන්න කව්ද උපදෙස් දුන්නෙ?''
මම දිගටම කතා කළා. සමන් දැල අස්සෙන් මගේ මුණ දිහාම බලාගෙනම හිටියා. අපේ ඇස් අතර මොකක් හරි සම්බන්ධතාවකුත් ගොඩ නැගුණා වගේ.
''මොනවද ඔය කරන්නෙ...? මෙහාට දෙනවා ඔය කැසට් එක!''
එක පාරටම ජේලර් කෙනෙක් අපි මැද්දට පැනලා මගෙ කැසට් එක උදුරා ගත්තා. සෝමෙ නිකං බයවෙලා වගෙ මටත් කතා කරගෙන ආපහු ආවා. ඊට පස්සෙ අපිව මග තියලා සෝමේ ආයෙත් ගිහිං අර ජේලර්ට කතා කරලා මගේ මයික්‍රෝ කැසට් එක ඉල්ලගෙන ආවා. හැමෝම නිහඬයි. අපි වෑන් එකේ නැගලා ආපහු එන්න පටන් ගත්තා.
''ඇත්තටම...අර පර දෙමළා මැරිච්ච එකට මොකද ඔච්චර අමාරු? අපේ සිංහල කොල්ලෝ කොච්චර කියලා මැරෙනවද?''
හිර ගෙදර මහ ගේට්ටුව පහු කරන අතරෙ වාහනය පැදවූ පුද්ගලයා රළු හඬින් ඇහුවා.
''මැරෙන්නෙ සිංහල එකෙක්ද දෙමළ එකෙක්ද කියන එක අපිට වැදගත් නැහැ...හැම මිනිහෙකුටම ජීවත් වෙන්න ශුද්ධ අයිතියක් තියෙනවා. මම පත්තරකාරයෙක් හැටියට ඒ අයිතිය වෙනුවෙන් සටන් කරනවා...එච්චරයි!''
ඊට පස්සෙ කවුරුවත් කතා කළේ නෑ. වෑන් එකේ හිටපු හතර පස් දෙනාම එක එක පැති දිහා බලාගෙන හිටියා. වෑන් එක යනවා. මගේ ඔළුව වැඩ කෙරුවා. අර කැසට් එක උදුරා ගත්ත එක රඟපෑමක්...හරි! මට සිදුවෙමින් තිබූ දේ තේරුණා. මම කතා කරන්න පටන් ගත්තා.
''ඔයගොල්ලන්ට ඕන, මං ලව්වා මොරටු සමන් රෝහණ කුමාර ඝාතනයට සම්බන්ධ නෑ කියලා ලියවන්න...මේ පොන්නම්බලම් කතාව නිකං රැවටිල්ලක්...මතක තියා ගන්න...මම පෙනී ඉන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන්. මගේ පෑන කාටවත් ඕන විදිහට ලියවෙන්නෑ. රෝහණ කුමාර..කුමාර් පොන්නම්බලම් ඝාතන ගැන අපි හොයා ගන්න දේවල් අපි කොන්දේසි විරහිතව ලියනවා. ඒකට කවුරු සම්බන්ධ වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. වෑන් එක පොඩ්ඩක් නවත්තන්න...''
මගේ කතාව අතරෙ, බොරැල්ල හංදිය පේන තෙක් මානයෙ වෑන් එක නැවතුණා.
''මෙන්න සමන් එක්ක කතා කරපුවා රෙකෝඩ් වෙච්ච කැසට් එක. මේ බලන්න...මම හංග ගත්ත වෙන රෙකෝඩර්ස් මුකුත් නෑ."
මම සාක්කු ඇද ඇද පෙන්නන ගමන් කිව්වා. අර කැසට් පටය ඒ ගොල්ලො ගත්තා. මම වෑන් එකෙන් බැස්සා. කතාව එච්චරයි!
( රාවයට සාක්ෂියක් - 2008, 96 - 98 පිටු )

No comments:

Post a Comment