Friday, December 2, 2016

තවත් කතාවක්...

''ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවං නේද? 

මාර්ග අනතුරු ගැන, දඩ ගැන...ලංකාවෙ පොදු ප්‍රවාහනය ගැන එක එක විදිහෙ කතා ඇහෙන අතරෙ මම මේ ළඟදී හැන්දෑවක මුහුණ දුන්න එක සිද්ධියක් ගැනත් කෙටි සටහනක් තියන්න හිතුවා.
ඒ, කොම්පඤ්ඤ වීදියේ color lights හංදියෙන්, කොළඹ පැත්තෙන් යුනියන් පෙදෙසට නැවෙන පාර, වෙලාව හැන්දෑවෙ 5.30 ට විතර ඇති. ලොකු මාර්ග තද බදයක් තිබුණෙත් නැහැ. වාහන පේළියක මමත් හෙමින් ඉස්සරහට එනවා. හංදිය පහුකරනකොටම පිටිපස්සෙන් මාරයෙක් වගෙ කඩාගෙන ආපු පුද්ගලික බස් රථයක්, මගෙ වාහනයට වම පැත්තෙ පටු ඉඩ අතරින් ඉස්සරකරන්න යනකොටම, මගෙ වාහනයෙ බඳේ වැදිලා ඇතිල්ලීගෙන එනවා මට දැනෙනවා, වම්  පැත්තෙ පිටුපස බලන කන්ණාඩියෙනුත් මට ඒක පේනවා.මම එක දිගටම නලාව ශබ්දකරන්න පටන් ගත්තත් වැඩක් නැහැ, බස් එක ඇදලා යනවා. යන්තං දකුණට ගත්ත නිසා  හානිය අඩුකරගන්න පුළුවං වුණත්, බස් එක මොකුත්ම වුණේ නැහැ වගෙ ඉස්සරහට ගිහිං බස් නැවතුමේ නවත්තලා සෙනග ගන්න හදනවා. 138 බස් එකක්.
මගෙ වාහනයෙ, මට වම පැත්තෙන් ඉඳගෙන හිටපු කෙනා බැහැලා දුවලා ගිහින් රියදුරාට කතාකෙරුවා, මම පාර මැද්දෙ එක තැන නිසා පස්සෙන් නලා වැලයි, එක පාරටම පාරෙ වාහන තද බදයකුත් එන්න ගත්තා. එතකොටම අර බස් එකේ රියදුරා බැහැලා ඇවිත් මගෙ වාහනයෙ වැදිච්ච තැන අතගාලා, වැරැද්ද කෙරුවෙ අපි තමයි වගෙ කියන්නත් හදලා...
''ම්..ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවංනේ?'' කියලා කියනවා, බාගෙට ඇරිච්ච ඉස්සරහා වම් වීදුරුව අතරින් යන්තමින් වගෙ මට ඇහුණා.
ඒ අතර, පොලිස් යතුරුපැදියක් කොහෙන්ද පියඹාගෙන ඇවිත්, විස්තරය අහලා දෙගොල්ලන්ටම කොම්පඤ්ඤ වීදියෙ පොලිසියට එන්න කිව්වා.
අපිත් ඉතිං ගියා.
''ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවං නේද? පොලිසිය ඇතුළෙදිත් නිකං අහිංසක කමට වගෙ රියදුරා මගෙන් ඇහුවා. ''බැහැ!මේක third party..'' මම කිව්වා.
''third party?'' ඔහු පුනරුච්චාරණය කෙරුවා. ඔහුට විශ්වාස නැහැ. මම papers පෙන්නුවා.
''එහෙනං ඉතිං අපේ ඉන්ෂුවරන්ස් එකට දාලා තමයි ගන්න වෙන්නෙ..'' ඔහුගෙ මුහුණට බැරෑරුම් ගතියක් ආවා.
පැමිණිල්ලක්, නඩුවක්, කල් යන වැඩක්! පොලිස් නිලධාරියෙක්, හැමෝම හොඳට දන්න විස්තරය ඉතා සුහදව පැහැදිලි කෙරුවා.
''දෙගොල්ලො එක්ක කතා කරලා මොකක් හරි කරගන්න බලන්න..'' ඒ අතර ඔහු කාරුණිකව කිව්වා.
''මේක හදා ගන්න මේ මහත්තයාට ගාණක් බලලා දෙන්න, දන්නවානෙ නඩු යනවා කියන්නෙ ගොල්ලන්ටම කරදරයි!'' ඔහු අර රියදුරාට මතක් කරලා දුන්නා.
''කීයක් විතර යයිද?'' රියදුරා අහනවා. වැඩේට අඩුම තරමෙ 15000/- වත් යන බව මම අත්දැකීමෙන්  හිටියා. ''ඒත් මේ මනුස්සයා කොහොමද එහෙම ගණනක් ගෙවන්නෙ?'' මම මගෙන්ම අහනවා.
''වැඩේට 25000/- ක් වත් යයි...'' පොලිස් නිලධාරියා තමන්ගෙ තක්සේරුව නිකමට වගෙ කිව්වා.
මේ සේරම අස්සෙ මගෙ ඔළුවෙ වැඩ කරන්නෙ වෙන දෙයක්!
''මෙයා බස් එක එළවගෙන ආවෙ මැරයෙක් වගෙ...මේ damage එක හැදුවා කියමුකො, ඒත් මෙහෙම පාරෙ යන්න පුළුවං ද?'' මම කතාකරන්න පටන් ගත්තා. '' මෙහෙම ගිහිල්ලා තමයි මේගොල්ලො මිනිස්සු මරන්නෙ!'' මට එක එක සිද්ධි මතක් වුණා.
''ඒක හරි! අපිත් කොච්චර දඩ ලියනවද? මුංට ගාණක් නැහැ! හිරේ දැම්මත් හරියන්නෙ නැහැ...'' පොලිස් නිලධාරියා පැහැදිලි කරනවා.
''එහෙම නං 8000/- ක් දෙන්න...මේක හදා ගන්න!'' මම අන්තිමට හිත හදා ගත්තා.
''හරිම සාධාරණ ගාණක්! එහෙම නං පුළුවං ද?'' පොලිස් නිලධාරියා රියදුරාගෙන් අහනවා.
''4000/- ක් විතර නං...'' ටික ටික රෑ වෙන අතරෙ රියදුරා හෙමින් හෙමින් ගණන අඩුකරනවා. මට දැන් ඉක්මනට ආපිට යන්නයි ඕනෙ.
''හරි! එහෙම කරන්න, කමක් නැහැ!'' මම කතාව ඉවර කෙරුවා.
''දවස් හතරක් වැඩකරලා දවස් පඩිය එකතු කරලා තමයි දෙන්න වෙන්නෙ...සඳුදා දෙන්නං...'' ඔහු ඒ හරිය කියාගෙන යනකොට මට එපාම වෙලා වාහනයට නැගලා ඉඳගත්තා. මාත් එක්ක ආපු අනිත් කෙනා රියාදුරාගෙ දුරකථන අංකය අරගෙන, ඔහුගෙ රියදුරු බලපත්‍රයෙයි බස් එකෙයි, ඡායාරූප ගන්නවා මම බලාගෙන හිටියා.
''ඔන්න එහෙනං බොරු කරන්නෙ නැතුව ඒ සල්ලි ටිකවත් දෙනවා, හරිද!'' පොලිස් නිලධාරියා රියදුරාට අවවාද කෙරුවා.
අපි ඉතිං ආවා!
අර කියපු සඳුදා දුරකථනයට උත්තර දීලා සල්ලි දෙන වෙලාව වෙනස් කරපු රියදුරා ආයෙත් වතාවක් දෙවතාවක් එක එක කෙටි කතා කියලා අන්තිමට දුරකථනයට ප්‍රතිචාර දක්වන එකත් නැවැත්තුවා! ඊට පස්සෙ සඳුදාවල් කීයක් පහු වුණාද? ඒ 4000/- පැත්තකට දාමුකො! මම මේ නිකමට අහන්නෙ, මේ සිද්ධියට මුහුණ දුන්නෙ ඔබ නං මොකද්ද කරන්නෙ?
ඊළඟට, මේ රියදුරාගෙන් ප්‍රවේශම් වෙන්න!
ඔන්න ඔහොම තත්වයක් තියාගෙන තමයි අපි මේ වඩා යහපත් සමාජයක් හදන්න අරගල කරන්නෙ, මිත්‍රවරුණි!
CHAPA  

No comments:

Post a Comment