Thursday, December 29, 2016

හෙළ උරුමය, ජවිපෙ, එල්.ටී.ටී.ඊ, NGOs සහ තවත් කණ්ඩායම් සමග...

 ''ඉතිහාසය තුළ අපි''!

''...කෙසේ වෙතත්මේ ලෝක දේශපාලන යථාර්ථය තුළ නිශ්චිත තැනක පය ගසා අපි, අපේ යුගයේ ඉතිහාසය සම්පුර්ණ කළ යුතුය. ඒ සඳහා ඒ - ඒ ඓතිහසික තත්වයන් විසින් අපිට බලකර කියා සිටින අනේක විධ දේශපාලන ක්‍රියාකාරකම් අපමණය. ඇතැම් ක්‍රියාකාරකම් දීර්ඝ කාලීන පැතිර යෑමකට අදාළය. ඇතැම් ක්‍රියාකාරකම් ''ඒ මොහොතටම'' අදාළය. ඒවා කිසිසේත්ම කල් දැමිය නොහැකිය. කල් දැමීම මගින් සිදු වන්නේ, පෙර කී ''දීර්ඝ කාලීන දේශපාලන විකාශය'' ට ඓතිහාසික බාධාවක් ඇතිවීමට ඉඩ ලබා දීමය. අපි ''ජාල රකුසන්ට එරෙහිව...'' කෙටුම් පත් කරමින් මේ අරගල කරන්නේ එවැනි සවිඥානික වටපිටාවකය.
'කතාව' මේ ලාංකීය පොළොවට අදාළ කරන විට මේ මොහොතේ නම් සිදුවන්නේ, ශ්‍රීලනිප - එජාප කූට සන්ධානගත වීමක් මගින් දශක ගණනාවක් තිස්සේ ක්‍රියාවට නැංවීමට උත්සහ කෙරෙමින් තිබෙන පෙර කී නුතන ලෝක ධනේශ්වරයේ ඊනියා ප්‍රතිසංස්කරණ, වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස්වෙමින් තිබීමය. එහි මුල් වටයට පමණක් අවශ්‍ය ස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් බාධාවකින් තොරව පවත්වා ගැනීමය.
හෙළ උරුමය නම් දැනටමත් ඒ අභියස දණ නවා අවසානය. 2007 ජනවාරියේ දිනෙක ඇමරිකානු තානාපතිවරයා මුණ ගැසී, එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ, හෙළ උරුම පාර්ලිමේන්තු මංත්‍රී - එල්ලාවල මේධානන්ද හිමි, පසුව මාධ්‍යවලට ප්‍රකාශ කළේ, ඔවුන්ගේ ඒ කරුණු දැක්වීම ඉතා සාර්ථක වූ බවත් - ඒ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරයා බොහෝ සතුටු වූ බවත්ය.
හෙළ උරුමය දන්නා ලාංකේය අර්බුදය විසඳා ගැනීමට ඇමරිකාව උදවු කරන බවත් කීවා ලු!
මේ මොහොතේ ඊනියා දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලය ගැන කතා කිරීමටවත් දෙයක් නැත.කිසිම කොන්දේසියක් නොමැතිව ඔවුන්ගේ ඩොලර් දේශපාලනයට විරුද්ධ විය යුතුමය. ජලය විකිණීම ද ඇතුළු සමස්ත සම්පත් විකිණිල්ල තුළ - කොටින්ම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ ඔවුන්ගේ කාර්ය භාරය පිළිබඳ අපි දැන් බොහෝ දෑ කතා කර ඇත්තෙමු.
ඔවුන්ගේ ද හුවමාරු අනුග්‍රහය මත පෙර කී නූතන ලෝක ධනේශ්වරයේ අර්ධ රූකඩයක් ලෙස ක්‍රියා කරන එල්.ටී.ටී.ඊ. සංවිධානය ද, මේ මහා ඛේදවාචකයේ ප්‍රධාන කොටස් කරුවෙක් වෙමින් සිටින ආකාරය අපි දැනටමත් තහවුරු කර ඇත්තෙමු. ඔවුන්ගේ වෙනම රාජ්‍ය අරමුණ නිසා, දැනට බලය මධ්‍යගත වූ ජල වෙළෙඳ පොළක් ගොඩ නගා ගැනීමේ බාධාවක් පවතින මුත් එය සැලකිය යුතු යහපත් තත්වයක් නොවේ.ඒ වෙනුවට දැනටමත් මේ ඊනියා ප්‍රතිසංස්කරණවාදීන් කියා සිටින්නේ පළාත් මට්ටමෙන්, ඇතැම් විට ප්‍රාන්ත මට්ටමෙන් හෝ ජලය විකිණීමට අදාළ බලය බෙදා දෙන බවය.එල් ටී.ටී.ඊ. නොමේරු මොළ කාරයන්ට ඇතැම් විට එය සතුට ගෙන දෙන යෝජනාවක් ද විය හැකිය.
ලාංකේය පොළොවේ සියලු සාධක සන්සන්දනය කොට බලන විට මේ තීරණාත්මක කාල තීරුවේදී ජවිපෙ ට පැවරෙන වගකීම නම් සුළු පටු නොවේ.කවුරු කැමති වුණත් - කවුරු අකමැති වුණත් ලක්ෂ ගණනක් පාරට බැස්සවිය හැකි, ගැනීමට නොව දීමට සුදානම් බිම් මට්ටමේ මහා මිනිස් ජවයක් ඇත්තේ ඔවුන්ටය. ගම සංවිධානය කිරීමේ සංවිධාන ශක්තිය ඇත්තේද ඔවුන්ටය. අනෙක් අතට ''දේශපාලනය කරනවා'' වැනි මාතෘකාවකට අදාළව හැරී බැලිය හැක්කේ ද  පක්ෂයක් වශයෙන් ගත කල ඒ පක්ෂය දෙස පමණි.අනෙක් බොහෝ පක්ෂ පවතින්නේම මේ ඕජස් ගලන දේශපාලන තුවාලයේ පිහිටෙන්ම - එහි කොටස් ලෙසමය.
එහෙත් ජවිපෙ තම ගමන් දිශාව දැඩි උවමනාවකින් පරීක්ෂා කර බැලිය යුතුමය. නැවතී ආපසු හැරී බැලිය යුතුමය. ලෝකය පුරා සිදුවන්නේ කුමක්දැයි ඔවුන් නිරවුල්ව අවබෝධ කරගත යුතුමය.
මේ සියල්ල අතර උපතින් 'මිනිසෙක් වූ' පමණින්ම තම උර මත පැටවෙන දේශපාලන වගකීම හරි හැටි අවබෝධ කරගෙන - මිනිසුන් වූ අපි සියලු දෙනාම මේ ජල කොල්ලයට එරෙහිව නැගී සිටිය යුතුය.
ඔව්! මිත්‍රවරුණි, මේ සටන ජල රකුසන්ට එරෙහිවමයි....''
'ජල රකුසන්ට එරෙහිව...' 2007, පිටු 296 - 297
CHAPA  
        

No comments:

Post a Comment