Monday, September 11, 2017

   සිල් රෙදි, සබීතා සහ නීතිය!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මේ වනවිට ත්, බන්ධනාගාරගතව, තුන් වසරක සිර දඬුවම් ගෙවමින් ඉන්නවා. ඔවුන්, සිරගත වූ සැනින් අසනීප වී රෝහල්ගත වීම සහ මේ ප්‍රශ්නය 'සිල් රෙදි' බෙදාදීමකට විරුද්ධවීමක් ලෙස වැරදියට අර්ථ ගන්වමින් සිංහල බෞද්ධ ජනයා නොමග යැවීමට සමහරු ගන්නා උත්සාහය ගැන අපට වෙන වෙන ම කතා කරන්න තියෙනවා.
මේ සිද්ධිය ට 'සිල් රෙදි' සම්බන්ධ වුණාට, මහජන මුදල් අවභාවිතය රුපියල් මිලියන 620 ක්. ලලිත් ට සහ අනුෂ ට මහාධිකරණයෙන්, වෙන වෙන ම ගෙවන්න නියෝග කළ මිලියන 2 බැගින් වූ දඩ සහ රුපියල් මිලියන 50 බැගින් වූ වන්දි මුදල් සියල්ල එකට ගත්තත්, සිදුව ඇති මහජන මුදල් අවභාවිතය යළි පියවන්න බැහැ. 
ඒත් සමහරුන් ට අනුව මේ, නීතියෙ ඉදිරි සාධනීය පියවරක්.  එසේම, මේ දඬුවම නිසා මෙතැන් සිට රාජ්‍ය නිලධාරීන් ප්‍රවේශමෙන් සහ හොඳින් කටයුතු කරන්න පෙළඹෙනු ඇති බවට තර්ක කරන අයත් ඉන්නවා.
''මේ වැඩෙන්, මීට පස්සෙ කිසිම රාජ්‍ය නිලධාරියෙකුගෙන් වැඩක් කර ගන්න හම්බ වෙන්නෙ නැහැ!'' යනුවෙන් සමහර දේශපාලන නියෝජිතයන් කියන කතාවෙ නං කිසිම හරයක් නැහැ. කොටින්ම ඒ ගැන නං කතා කරලවත් වැඩක් නැහැ.
ප්‍රශ්නය ඒක නෙවෙයි.
මේ නඩු තීන්දුව හරහා, මේ රටේ නීතිය සාධාරණ බව සහ  නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය වෙනුවෙන් පෙනී හිටින බව තහවුරු වෙනවා ද? කොටින්ම මේ 'යහ පාලනය' පිළිබඳ සාධනීය තත්වයක් ද?
අපි මෙහෙම බලමු!
මේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධ නියෝගය දෙන්නෙ, හිටපු ජනාධිපතිවරයා. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරනවා සහ එහෙම ප්‍රකාශ නොකළත් සිද්ධ වුණේ ඒකයි. එතකොට මේ නඩු තීන්දුව සාධාරණ ද? 
දැන් කෙනෙක් කියන්න පුළුවන්, ජනාධිපතිවරයා කරපු වැරැද්ද වෙනම එකක්, ඒක ගැන වෙනම විමර්ශනයක් කරන්න ඕනෙ! කියලා. ඔන්න එහෙම නං ප්‍රශ්නයක් එනවා. එකම සිදුවීමක කොටසක් විතරක් අරගෙන විනිශ්චයක් ලබා දීම මගින්, එක පාර්ශවයක ට බරපතළ අයුක්තියක්, අසාධාරණයක් වෙන්න බැරි ද? එය එක විදිහක න්‍යායික හෝ තාක්ෂණික ප්‍රශ්නයක්.
ඊළඟට මේ අතීත සිදුවීම සහ තවත් එවැනිම සිදුවීම් විමර්ශනය කෙරෙන අතර තුර, ඒ නීතයේ ආධිපත්‍ය තුළ ම, රට තුළ සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
අපි එක පැහැදිලි උදාහරණයක් ගනිමු!
තවමත් වැඩි ජනතා අවධානයකට ලක් නොවුණු, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා, රාජගිරියෙ, අංක 288 ගොඩනැගිල්ල, මාසික කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා ගත් ආකාරය තුළ බරපතළ අක්‍රමිකතාවක් තියෙන බව පැහැදිලිව පේනවා. මේ උදාහරණය මෙතැනට අතිශය අදාළ වෙන්නෙ, මෙය ත් මහා පරිමාණ මහජන මුදල් අවභාවිතයක් නිසා - ගමැතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා එකට එක්ව මේ ආර්ථික අපරාධය සිදුකරන පසුබිම නිසා. 
අපි දැන් කෙටියෙන් ඒ සිදුවීම් පෙළ විමසා බලමු!
1. 2015 සැප්. 21, අංක 15/130 /702/007 යටතෙ අගමැති රනිල් වික්‍රමසිංහ, ''Reforming the Parliamentary Committee and Office Space'' තේමාවෙන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවෙන්, එතෙක් ''ගොවි ජන මන්දිරයෙ'' තිබුණු, සෞඛ්‍ය අමාත්‍යංශය, ''සෙත්සිරි පාය'' ට මාරු කරනවා, ඒ ගොවිජන මන්දිර ගොඩනැගිල්ල පාර්ලිමේන්තුව ට පවර ගන්න.
2. සෙත්සිරි පාය, තම අමාත්‍යංශය සඳහා ඉඩ මදි බව කියන, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, නව ගොඩනැගිල්ලක් කුලියට ලබා ගන්න, කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.
3. 2016 ජනවාරි 29, DP ජයසිංහ සමාගම ( DP Jayasinghe Tours & Transport ) රාජගිරියෙ අංක 288 දරන ගොඩනැගිල්ල, අදාළ අමාත්‍යංශය සඳහා ලබා දෙන්න ලිඛිතව ඉදිරිපත් වෙනවා. ඒ, අවුරුදු 5 ක් සඳහා සහ 3 වැනි වසරේ සිට මාසික කුලිය 15% කින් වැඩි කෙරෙන ආකාරයට.
මේ සමාගම අයිති සබීතා පෙරේරා ගෙ සැමියා වූ උපාලි ජයසිංහ ට.
4. උපාලි ජයසිංහ ට අනුව අදාළ ගොඩ නැගිල්ල ලබා දෙන්නෙ, හතරැස් අඩියක් 167.50 ට. ඒත් ඒ මොහොතෙ රජයේ තක්සේරුව හතරැස් අඩියක් 150/-, එනම් උපාලි ට, හතරැස් අඩියක ට වැඩිපුර 17.50 ක් ලැබෙන ආකාරයට ගනු දෙනුව සම්මත වෙනවා.
5. 2016 මාර්තු 2 ඉහත ගනු දෙනුව ට අදාළ කැබිනට් පත්‍රිකාව ත් සම්මත වෙනවා.
6. 2016 මාර්තු 14 දාතම, C/AG1/ 15/ AQ/21 වාර්තාව මගින් විගණකාධිපතිවරයා, යෝජිත ගනු දෙනුව පිළිබඳ ප්‍රශ්න කරනවා.
7. 2016 අප්‍රේල් 7 පැවති, මහජන ගිණුම් කමිටුව ( Public Accounts Committee ) අදාළ අධික මාසික කුලිය ගැන කතා බහ කෙරුවත්, ගනු දෙනුවට විරුද්ධ වෙන්නෙ නැහැ.
8. 2016 අප්‍රේල් 8 අදාළ ගිවිසුම අත්සන් කරනවා. ඒ අනුව මාසික කුලිය මිලියන 21 ක්. මාස 24 ක අත්තිකාරම් මුදලක්, එනම් මිලියන 504 ක්, වවුචර් අංක 139/4 මගින්, එදින ම ලබා දෙනවා. මෙම මුදල අමාත්‍යංශය තුළ සටහන් වෙන්නෙත් වියදමක් ලෙස මිස අත්තිකාරම් මුදලක් ලෙස ත් නෙවෙයි.
9. අමාත්‍යංශය,  අදාළ ගොඩනැගිල්ල ට මාරු කිරීමට පෙර, එය තාක්ෂණිකව පරීක්ෂා කිරීමේ වගකීම, මධ්‍යම ඉංජිනේරු උපදේශක මණ්ඩලය ( the Central Engineering Consultancy Bureau ) ට පැවරෙන අතර, ඔවුන්, CB/AGM/WP1/2016 දරන 2016. 05. 10 දිනැති තම වාර්තාව මගින්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ට ඉදිරිපත්ප කරන නිරීක්ෂණ සහ නිර්දේශ අතර පහත සඳහන් කරුණු ත් අඩංගුයි;
a. විදුලි සෝපාන 2 න් එකක් අක්‍රීයයි. ගොඩ නැගිල්ල ට 1 ක් ප්‍රමාණවත් නැහැ.
b. එසේ, එක විදුලි සෝපානයක් අක්‍රීය වීමට හේතුව, අකුණු සැර වැදීමක් හෝ වෙනත් විදුලි කාන්දුවක් බව වාර්තා වන නිසා, ගොඩනැගිල්ලෙ සමස්ත විදුලි පද්ධතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
d.ගිනි නිවන යාන්ත්‍රණය අක්‍රියයි.
e. විදුලි පද්ධතිය අධික ලෙස රත්වෙනවා ( overheating )
f. ආලෝකකරණය ප්‍රමාණවත් නැහැ.
g. පිටත වීදුරු ආවරණය කර නැහැ.
h. හදිසි ගිනි අනතුරු පිටවීමක් ( no emergency fire exit ) නැහැ.
i. කුණු බැහැර කරන ක්‍රම වේදයක් නැහැ.
j. අදාළ අළුත්වැඩියා සහ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 500 ඉක්මවා යන අතර ගතවන කාලය වසරක් ඉක්මවා යනවා.  
මේ අනුව, කෘෂිකර්ම ඇමතිවරයා, අදාළ මුදල් ලබා ගැනීමට කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අතර එය සම්මත වෙනවා. 
2016 මැයි 16, අග්‍රාමාත්‍යවරයාගෙ ප්‍රධානත්වයෙන්, ඔහුගෙ කාර්යාලයේදී මේ ගොඩනැගිල්ල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙනවා. උපාලි ජයසිංහ ත් ඊට සහභාගී වෙනවා.
මේ අතර, අදාළ ගොඩනැගිල්ල භාර ගැනීමේදී, inventory ය පරීක්ෂා කර නැති බවත් එහි සඳහන් බොහෝ දෑ අස්ථාන ගතව තිබූ බවත් පසුව හෙළි වෙනවා. ඒ අනුව, මෙම ගොඩනැගිල්ල ආපසු භාර දෙන විට, හිමිකරු ට ඒවා සපයා දීමට රජයට සිද්ධ වෙනවා. 
මේ සියල්ල මෙහෙම වෙද්දී, මේ ලියන මොහොතෙ ත්, අදාළ ගොඩනැගිල්ලෙ අළුත්නවැඩියා කටයුතු සහ නවීකරණ කටයුතු සිද්ධවෙමින් තියෙනවා. ඊට ගතවන කාලය ත් තවම නිශ්චිත නැහැ. ඒ අනුව, මහජන මුදල් අති විශාල ප්‍රමාණයක්, අදාළ ගොඩනැගිලි මාසික කුලිය ඇතුළු තවත් වියදම් සඳහා නාස්තිකෙරෙමින් තියෙනවා. ඒ අතර, කාර්යාලයීය ගෘහ භාණ්ඩ සඳහා තවත් රුපියල් මිලියන 250 ක් වැයකරන බවත් මාධ්‍ය ඔස්සෙ වාර්තා වෙනවා. 
මේ මුදල් ප්‍රමාණ නිශ්චිතව සහ නිවැරදිව ම දැනගන්න වෙන්නෙ නං විධිමත් පරීක්ෂණයකින් විතරයි. ඒත්, මේ ගනු දෙනුව, මහජන මුදල් මහා පරිමාණයෙන් අවභාවිත කිරීමක් බව ඉතා පැහැදිලියි. අගමැති රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ අදාළ අමාත්‍යංශ ලේකම් බී. විජේරත්න එකට එක්ව, DP ජයසිංහ සමාගම ( DP Jayasinghe Tours & Transport ) වෙනුවෙන්, විගණකාධිපතිවරයා පවා නොසලකා හැර සිදුකර තිබෙන මේ මහා ''ආර්ථික අපරාධය'' මේ දැනුත් දිගටම සිදුවෙමින් තියෙනවා. 
එනම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට, රුපියල් මිලියන 620 ක මහජන මුදල් අවභාවිත කළ වරදට සිර දඬුවම් ලබන මේ මොහොතෙත්, මේ මහජන මුදල් අවභාවිතය ක්‍රියාත්මකයි.
මේ එක උදාහරණයක් විතරයි! 
එතකොට, මේ යහපාලනය නමින් ඔප්පු කරමින් තියෙන ''නීතියෙ ආධිපත්‍ය'' ව්කෘති තත්වයක් නෙවෙයි ද? ඊළඟට තවත් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ, නියෝග දීම සහ නියෝග පිළිපැදීම කියන රාජ්‍ය යාන්ත්‍රණය, වග කියන්න ඕන කාට ද? එම ක්‍රියාවලිය තුළ යම් වැරැද්දක් සිද්ධවෙනවා නං එය නියාමනය වෙන්න ඕන කොහොමද? එවැන්නක්, පශ්චාත් මරණ පරීක්ෂණයකින් පමණක් අවසන් කිරීමේ අරුත කුමක් ද? කොටින්ම, හානිය සිද්ධ වෙන්න හැර, පසුව පරීක්ෂණ පැවැත්වීමෙන් ඇති ඵලය කුමක්ද? වැදගත්ම දේ, නියෝග දෙන දේශපාලන අධිකාරියට, නීතියේ ආධිපත්‍ය අභිබවා සිටිය හැකිද?
ආසන්නත ම උදාහරණය, මහ බැංකු බැඳුම්කර වංචාව!
මේ පිටුපස සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ අඩුම වශයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම, අදාළ ජනාධිපති කොමිසම විසින් කැඳවන්නෙ සහ ප්‍රශ්න කරන්නෙ නැහැ. සිල් රෙදි බෙදා දීමේ සිද්ධියත් එහෙමයි. නියෝග දෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට කිසිම චෝදනාවක් නැහැ. නියෝගය පිළිපදින නිලධාරීන් ට සිර දඬුවම් ලැබෙනවා.
මේ, නීතියේ ආධිපත්‍ය බව, පොදු ජනයා වන අප පිළිගත යුතු ද?
දැන් මෙතැන, තවත් බරපතළ පැත්තක් තියෙනවා!
හොරු නඩයකට, තවත් හොරු නඩයක ගෙ වංචා, දුෂණ සහ අක්‍රමිකතා හොයන්න පුළුවන් ද? දැනට ජීවතුන් අතර ඉන්න සහ අවශ්‍ය නං අදාළ පරීක්ෂණ පටන් ගන්න අවස්ථාව තියෙන සිද්ධීන් තමයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහි බටලන්ද වධකාගාරය ට සම්බන්ධ බරපතළ අපරාධ චෝදනා සහ හිටපු ජනාධිපතිවරිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක ට එරෙහිව ජනමාධ්‍ය හරහා විධිමත් ව ප්‍රසිද්ධ කෙරුණු බරපතළ අපරාධ චෝදනා. ඛේදවාචකය වෙන්නෙ, දැන් මේ වනවිට නීතියේ දේශපාලන බලය තියෙන්නෙ ත් ඔවුන් ළඟ.
එහෙම ගත්තොත්, මේ යහ පාලන විකෘතියක් නෙවෙයි ද?
කෙටියෙන්ම මෙච්චරයි!
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර දේශපාලන සංවාදයක්.  එය ඓතිහාසික සොයාගැනීමක් සහ තවම ත් පර්යේෂණ මට්ටමේ පවතින දේශපාලන ක්‍රම වේදයක්. ඒ වෙනුවට, මෙහෙම එක එකා set වෙලා එක එකාගෙන් පළි ගන්න හදන එක සහ ඊනියා ජාත්‍යන්තරය සතුටු කරන්න ම ඒ පළි ගැනීම් යොදා ගන්න එක, මාරාන්තික විදිහට භයානකයි!
හේතුව, නීතියේ ආධිපත්‍ය දේශපාලන විකෘතියක් වන කල, ඊළඟට එන්නෙ සිවිල් කැරළි, අන්තිමට ත්‍රස්තවාදය!
රට දැන් ගමන් කරමින් ඉන්නෙ අන්න ඒ අඳුරු දිශාවට!
CHAPA 
Sept 12, 2017     
  

1 comment:

  1. මේ සේරටම හේතුව කශේරුකාව උපතින්ම අහිමි ඒ හින්ද කොන්දක් නැති රටක් ජාතියක් ආගමක් නැති නපුන්සකයින්ටත් අවමානයත් වෙන ජාති හතුරෙක් රාජ්‍ය තන්ත්‍රයේ ඉහලම පුටුවට පත්වුන අභාග්‍යය කියල මට හිතෙන්නෙ

    ReplyDelete