Thursday, January 31, 2019

ණයට බුරන බල්ලො!

''බලු වැඩ!'' කියනකොට ලංකාවෙ අපට යම් පැහැදිලි අදහසක් එනවා, මේ මොකද්ද කියන්නෙ කියල, නේද?
''පර බල්ලා!'' කියන්නෙ ත් සෑහෙන තේරුමක් තියෙන කතාවක්, කෙනෙක්, ''මිනිහා මට මහා බලු වැඩක් කෙරුවා!'', කියනකොට ම අහගෙන ඉන්න කෙනා දන්නවා, ඒ මොන ජාතියේ වැඩක් ද කියල. ම්ම්ම්ම්...''බැල්ලි!'' ''බැල්ලිගෙ පුතා'' වගෙ කතාත් ඒ අස්සෙ! 
වඩා අසභ්‍ය කෑලි එක්ක බල්ලා සහ බැල්ලි කියන යෙදුම් භාවිත කරන අවස්ථාත් මේ පොදු ලංකා සමාජය තුළ සාමාන්‍යයයි. ඉංග්‍ර්‍රීසි කතාකරන අය dog කෙසේ වෙතත් bitch හෙවත් බැල්ලි කියන යෙදුම භාවිත කරනවා ඇහෙනවා කාන්තාවන් ට බනින්න. 
වෙලාවකට මටත් හිතෙනවා, මිනිස්සු මොකද මේ බල්ලන්ට අපහාස කරන්නෙ කියල, ඒත් තවත් වෙලාවක ඔය බලු කතා ඇත්තත් වගෙ.
මේ ඉතිං බල්ලො ගැනම නෙවෙයි, ඒත් බල්ලොත් සම්බන්ධයි!
ඔබ දැකල තියෙනවද බල්ලො ණයට බුරනවා? 
ඔය වැඩේ කරන්නෙ සාමාන්‍යයෙන් ගමේ ගොඩේ බල්ලො, හුරතලේට ගෙවල් ඇතුළෙ දාගෙන ළමයි වගෙ හදන එක එක විශේෂ වලට අයිති බල්ලො ටිකක් වෙනස්, වෙන බලු වැඩ කෙසේ වෙතත්, ඔය ණයට බුරන වැඩේ කරන්නෙ නැහැ වගෙ.
අපේ පැත්තෙ වඳුරු රංචුවක් ඉන්නවා වේගයෙන් වඳ වීගෙන යන, වරින් වර මං ඔබ ට එයාල ගැන කියමින් ඉන්නවා. ඒ අත්දැකීම හරිම දුක්බරයි, දැන් ඉතුරු වෙලා ඉන්නෙ වඳුරු බබෙක් තුරුළු කරගෙන ඉන්න අම්මා කෙනෙකුයි, ලොකු පිරිමි සතෙකුයි, ඒ අස්සෙම දැවටෙන පැටව් දෙන්නෙකුයි විතරයි!
උනුත් ඉක්මනට ම නොපෙනී යාවි!!
මේ වඳුරු රංචුවේ එකා දෙන්නා ගස් උඩින් මතු වෙනකොට අපේ ගෙවල් වටේ ඉන්න බල්ලො දෙතුන් දෙනෙක් එක දිගට බුරන්න පටන් ගන්නවා. මං නිතර දකින පිටි පස්සෙ ගෙදර කළු බල්ලා නං අන්තිම නරක බල්ලෙක්. ඌ හොඳට කාලා බීලා හතර ගාතෙ වැටිලා සැප ගන්න අතරෙ තමයි ඔය බලු වැඩේ කරන්නෙ. මං බලාගෙන ඉන්නවා ඌ හැසිරෙන විදිහ. ඌ ගෙදර මිනිස්සු ඉන්නවා නං සද්දෙ වැඩි කරලා බුරනවා, ගැට ගහලා ඉන්න වෙලාවක නං දම්වැල කඩාගෙන යන්න පොර බදනවා, ඒ අස්සෙ ඇස් කොණෙන් ගේ ඇතුළත් බලනවා, ලකුණු දා ගන්න. ගැට ගහල නැත්තං වත්ත පුරා දුවමින් වඳුරො ඉන්න ගස් දිගේ දුවන්නත් දඟලනවා, හැබැයි ඒත් ගෙදර මිනිස්සු ඉන්නවා නං තමයි.
ඒ ගෙදර මිනිස්සු කොහේ හරි ගිහිල්ලා නං නිකං බුහ් බුහ් ගාලා මෑන් ශේප් වෙනවා, මෑන් කියන්නෙ මේ අපේ කතා නායක බලු මෑන්!
වඳුරො එහාට යන්න යන්න, ඒ වගේ තව බල්ලෙක් දෙන්නෙක් ජොබ් එක බාර ගන්නවා. මං හිතන්නෙ ඒ ඒ ගෙවල් වලත් මිනිස්සු ඉන්න නැති විදිහට බිරිලි වෙනස් වෙනවා. මාර වැඩේ!
ම්ම්ම්...ණයට බුරනවා කිව්වට ඒ යට තියෙන්නෙ වාසි, ලැබෙන හෝ ලබා ගන්න තියෙන වාසි!
මේ බල්ලන්ට ඕන තම ස්වාමිවරු සතුටු කරලා තමන්ගෙ පැවැත්ම තහවුරු කර ගන්න, නැතුව ඒ ඒ ගෙවල්වලට එන අතුරු ආන්තරා වළක් වන්න නෙවෙයි. අහ්! ඒ අස්සෙ, දැනට ඉබාගාතෙ යන බල්ලෙක් දෙන්නෙක්, ළඟ තියෙන ගෙයක් ඉස්සරහට ගිහින් හයියෙන් බුරනවා, ගේ හිමියන්ගෙ විශ්වාසය දිනාගෙන, ඒ ගේ අස්සට පැනගෙන ස්ථාවරයක් හදා ගන්න හීන මවමින්, ඔබ හොඳට බැලුවොත් ඒ හීන - ඒ බලු මූණුවල පැහැදිලිව තියෙනවා.
වඳුරු කතාවට අදාළව නං වඳුරො මාර පව්! උන්ගෙ පැවැත්ම එන්න එන්න අවසාන වේගන එනවා. ගස් උඩ අතු පතර හැංඟි හැංඟි එහෙ මෙහෙ පනින ගමන් උන් කල්පනා කරනවා ඇති, මේ පර බල්ලො හොඳට කලා බීලා එනවා අපට බුරන්න, මේ ගහක තියෙන මොකක් හරි කෑල්ලක්වත් නොකා කොහොමද මූසල බල්ලනේ, අපි නොමැරී ඉන්නෙ? ඈ! කියල. බල්ලො හිතනවා ඇති, අපට කිසි අඩුවක් නෑ! වඳුරු මොටාලා, තොපි තොලෙංචි වෙලා පලයව්! කියල. එහෙම හිතුවට උන් එනවටත් ආස ඇති තම තමන්ගෙ ලොක්කන්ට වැඩ පෙන්නන්න ඒක හොඳ අවස්ථාවක් නිසා.
මේ කතාව එච්චර ලොකු කතාවක් නෙවෙයි තමයි, ඒත් ඔය ණයට බිරිල්ල නං මහා බලු වැඩක්, නැද්ද? 
CHAPA
Feb 1, 2019





මෙන්න Dr. Gunarathna! 



මං එදා, තලාහේනෙ Dr. වීරරත්න ගැන සටහනක් තියලා අන්තිමට කිව්වෙ මෙන්න මේ වෛද්‍යවරිය ගැන කියන්නං කියල තමයි. ඇය ඉන්නෙ බොරැල්ල හරස් පාරෙ. ඇය ගැන මං දන්නෙ 90 දශකයේ සිට. ඇය පවුල් දහස් ගණනක ආදරණීය වෛද්‍යවරිය, පුංචි බබාලා වගේම බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා දහස් ගණනකුත් ඇයගෙන් ප්‍රතිකාර අරගෙන ඇති. දිගු කාලයක් රාජ්‍ය වෛද්‍ය සේවාව ට වැඩ කරලා අවුරුදු කීපයකට පෙර ඇය විශ්‍රාම ගියා.
ඇය බටහිර වෛද්‍ය දැනුම ආභරණයක් විදිහට නෙවෙයි, විද්‍යාවක් හැටියට, සමාජ ප්‍රගමනය සඳහා යොදා ගන්න විදිහ ඉතාමත් ම විශිෂ්ටයි. රාවණා අසපුවේ දි මට පුද්ගලිකව ලැබුණු ආශ්චර්‍යමත් අත්දැකීම ගැන ඇය ඉතා විවෘත මනසින් කරුණු විමසුවා විතරක් නෙවෙයි, ඒ වෙද මහතාව අවශ්‍ය රෝගීන් ට සම්බන්ධ කරන විදිහත් උනන්දුවෙන් ඇහුවා. ඒ කියන්නෙ ඇය වෛද්‍යවරියක් විදිහට ඉතා මානව හිතවාදි තැනක ඉන්නවා කියන එක!
කොහොමත් ඇය රට ගැන හුඟාක් හිතන කෙනෙක් බව මං අත් දැකීමෙන් දන්නවා!
මුදල් පසු පස හඹා නොයන සහ පක්ෂ දේශපාලනය තුළ කුණු නොවූ මේ වෛද්‍යවරිය වගෙ සැබෑ වෘත්තිකයන් රට ට තව තවත් ඕන කාල වකවානුවක් මේ!
CHAPA
Jan 18, 2019

Dr. වීරරත්න!


මාලබේ ට කිට්ටුව තියෙන තලාහේන හංදියෙ ම ඉන්න Dr. වීරරත්න තමයි මේ!
ඉන්නවා කිව්වට එතැන තමයි ඔහු ගෙ ඩිස්පැන්සරිය පිහිටා තියෙන්නෙ. ඩිස්පැන්සරිය කියපු ගමන් මතක් වෙන්නෙ ගම්. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ, ඩිස්පැන්සරිය. එහෙමනෙ ගමේ කතා බහ. 
Dr. වීරරත්න ඔතන ඔහොම සෑහෙන කාලයක් ලෙඩ්ඩු බලනවා. මං දන්නෙ නං 2005 වගෙ ඉඳලා. ඔහු රජයේ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන අතරෙ, ඒ වැඩ ඉවර වෙලා රෑ 7 ට වගෙ තලාහේනෙ ලෙඩ්ඩු බලන්න පටන් ගන්නවා, හුඟාක් නිවාඩු දවස්වලත් ඒ ඩිස්පැන්සරිය ඇරල තියෙනවා මං දකිනවා.
මං ඇයි මේ ඔහු ගැන හදිසියෙ ලියන්නෙ කියල ඔබ හිතනවා නේද?
සියල්ල, තනිකර මුදල් බවට පත් වෙලා තියෙන මේ සමාජය තුළ, හැම දාම වගෙ යම් දැරීමක් කරන මිනිස්සු ඉන්නවා, වෘත්තිකයොත් ඒ අතර. අවම ඉපයීම මත පොදු ජනයා ට උපරිම සේවාවක් ලබා දෙන්න මහන්සි වෙන අන්න ඒ වගෙ වෛද්‍යවරයෙක් තමයි මේ කතා නායකයා. ඔහු එක ලෙඩෙක් වෙනුවෙන් අවශ්‍ය ඕන ම කාලයක් ගත කරනවා, රෝගීන් ට ඉතා උවමනාවෙන් සවන් දෙනවා වගේම අදාළ කරුණු පැහැදිලිකිරීම් සහ වෛද්‍ය උපදෙස් ලබා දෙන්නත් අවශ්‍ය කාලය ගත කරනවා. විශේෂත්වය තමයි, ඔහු තම රෝගීන් ට ඖෂධ ලබා දීමේදී ඉතා කල්පනාකාරී වෙනවා. හිතූ මතේට, උපරිම බලය මුදාහරින ඖෂධ ලබා දෙන සහ ඒ නිසාම ඖෂධ සමාගම් සමඟ අනවශ්‍ය සබඳතා පවත්වන වෛද්‍යවරු සුලබ කාලයක මේ Dr. වීරරත්න ගැන ඔබට නොකියා ඉන්න මට බැහැ. ඔහු රෝගීන් ගෙ ජීවිත පැත්තෙ, විශේෂයෙන්ම සාමාන්‍ය පොදු ජනයා පැත්තෙ හිටගෙන තම වෘත්තිය ට උපරිම සාධාරණත්වයක් ඉටු කරන දක්ෂ වෛද්‍යවරයෙක් බව ඉතා පැහැදිලියි.
මේ, සෞඛ්‍ය සේවාව නරුම විදිහට මුදලාලිකරණය කෙරෙන කාලයක්. ඖෂධ මාෆියාව සහ ඊට නතු වුණු ඇතැම් වෛද්‍යවරු අසරණ රෝගීන් තම කෲර ග්‍රහණය ට හසු කරගෙන ඉන්න කාලයක්. ඒ අතර, රාජ්‍ය වෛද්‍ය සේවාවටත් උපරිම සාධාරණත්වය ඉටු කරමින් පොදු ජනතාව පැත්තේ සිට PP හෙවත් පුද්ගලික සේවාවට උපරිම සාධාරණත්වය ඉටු කිරීම හොඳ සංවාදයකට නිමිත්තක්.
මේ වගේ ම සමාජ හිතවාදී වෛද්‍යවරියක් ඉන්නවා, Dr. ගුණරත්න කියලා, බොරැල්ල හරස් පාරෙ. දවසක ඇය ගැනත් ඔබ ට කියන්නං.
මේ වගේ සොඳුරු වෘත්තිකයො තමයි මේ පොළොව ඉල්ලන්නෙ!
දැනට මේ ඇති!
CHAPA
Jan 15, 2019

Sunday, January 20, 2019

වම ලු?!

අපි වමේ! කට්ටියක් කියනවා. වමේ බලවේගය, වම් ඉවුරේ දේශපාලනය, වාමාංශික නායකයො, වමේ වැඩපිළිවෙළ, වමේ අරක...වමේ මේක! ඔන්න ඔහොම වමේ කතා ගොඩයි!
'වම' කියන්නෙ ඇත්තට ම මොකද්ද? එතකොට වමේ දේශපාලනය!18 වැනි සියවස වගෙ වෙනකොට තර්කානුකූල තැනකට එසවෙන කාර්මිකකරණය ට සමගාමීව සංවිධානය වන ධනවාදී දේශපාලන ආකෘතිය ට එරෙහිව; ප්‍රාග්ධනය මත වර්ධනය වෙමින් පවතින එකී නිෂ්පාදන සම්බන්ධතා වෙනුවට ක්‍රියාත්මක තලයට ගෙන ඒමට සූදානම් කෙරුණු, පොදු දේපොළ මත සංවර්ධනය කිරීම ට යෝජිත දේශපාලන මාදිලිය තමයි, වම! වමේ දේශපාලනය. එතකොට 'දකුණ' වෙන්නෙ, ධනවාදී දේශපාලනය හෙවත් ඊට එරෙහි අන්න අර කඳවුර! මෙහෙම සරල තැනකට ගොනු කෙරුවාට ඒ ඒ ඓතිහාසික දැනුම් පද්ධතිය සංකීර්ණයි සහ විද්‍යාත්මකයි. 

කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් ඒංගල්ස් සමඟ තව දුරටත් වැඩෙන විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ සංවාදය කියවා ගන්න වෙන්නෙ අන්න ඒ ඓතිහාසික සංදර්භය තුළ. 

ඒ අනුව, පැරණි රුසියාවෙන් ආරම්භ වුණු එකී විප්ලවවාදී දේශපාලනය, යුරෝපය සහ බටහිර සලිත කරමින් විවිධ ලෝක කළාප හරහා කුණාටුවක් වගෙ හමාගෙන යනවා, ඒ වගේම ඊට සමගාමීව කැකෑරෙන ධනවාදී දේශපාලනයේ ඓතිහාසික අර්බුදයත් 20 වැනි සියවසේ මුළ - මැද වෙනකොට ලෝක යුද්ධ සහ තවත් මිලිටරිමය ගැටුම් හරහා පුපුරා යන්න පටන් ගන්නවා. අවසානයේ 20 වනි සියවස මැද හරිය වෙනකොට, යෝජිත 'වම' සහ බිඳ වැටෙමින් - යළි ගොඩ නැගෙමින් වඩා වේගයෙන් වර්ධනය වුණු 'දකුණ' එකිනෙක අභිමුඛව මුණ ගැහෙනවා, එතකොට වම දකුණ විසින් ගිළ ගන්න පටන් ගන්නවා! 

රුසියාව හෙවත් USSR, ආරම්භයෙ පටන් ම වගෙ වර්ධනය වෙන්නෙ ''වමට එරෙහි වමක්'' වගෙ, දකුණට එරෙහි වුණාට එය මිලිටරිමය උවමනාවක් පමණක් බවට පත් වෙලා, වමේ ම විකෘතියක් නිර්මාණය වෙන්න ගන්නවා. එහෙම වෙන්නත් 'දකුණ' සෘජුව බලපානවා, කොහොමත් එය ඉතා සංකීර්ණ සංවාදයක්. උතුරු කොරියාව දක්වා වන වම් කඳවුරු දේශපාලනය විග්‍රහ කරගන්න වෙන්නෙත් අන්න ඊට සමගාමීව.

ඒ අතර, දකුණු කඳවුර, එක්සත් ජාතීන් ලෙස එක්වෙමින්, ඉතා සංවිධානාත්මක ලෙස ලෝකය ආක්‍රමණය කරන්න පටන් ගන්නවා, ඇමරිකා එක්සත් ජනපදය තමයි එහි පුරෝගාමියා. ඔවුන්, රාජ්‍ය නොවන කළු බළල් හමුදාවක් ( NGOs / INGOs ) පිහිටුවමින් සහ එහි බලය ලෝකයේ සියළු කළාප අරා විහිදුවමින්, අවසානයේදි, මිහි මත තැන තැන මෝදු වෙමින් තිබුණු සියළු ස්වරූපයන්ගෙ ම සංවිධාන තම ග්‍රහණයට ගන්නවා, ඒ සඳහා මූල්‍යමය සහ තාක්ෂණික සහය සූක්ෂම ලෙස ලබා දෙනවා. ක්‍රිස්තියානි පල්ලිය ඒ සඳහා විශාල වශයෙන් යොදා ගැනෙනවා. 
ඔන්න 'වම' ත් පියවරෙන් පියවර ' NGO කරණය' කෙරෙනවා!
අපි දැන් අපේ රට දෙසට හැරෙමු!
1950 - 60 වෙන කොටම වගෙ ලාංකේය ( එදා Ceylon ) දේශපාලනය 'එන්ජීඕ කරණය' ට ක්‍රමානුකූලව ගොදුරු වෙන්න පටන් ගන්න හැටි ඒ ඒ සිදුවීම් පරිස්සමට කියවනකොට අහු වෙනවා. 1970 දශකය තමයි වඩා තීරණාත්මක. ඒ, ඔය ''ගෝලීයකරණ කළු මෙහෙයුම'' සැලසුම් කෙරෙන කාලය.  
ඒ වෙනකොට රට තුළ ගොඩ නැගෙමින් තිබුණු  ''දකුණු වමේ දේශපාලනය'' ඔවුන් ට අභියෝගයක් නොවුණත්, චීන සහ රුසියානු පිල් දෙක අතරින් රට ට අනන්‍ය ආකාරයෙන් උපත ලබමින් තිබුණු ජවිපෙ දේශපාලනය නං බරපතළ අනාගත අභියෝගයක් බව දැනෙන්න ප්‍රබල හේතු තිබුණා. 
ඒ අනුව 71 කැරැල්ල මිලිටරිමය වශයෙන් පරාජය කරන්න ඔවුන් ලංකා රජයට කොන්දේසි විරහිතව උදව් කෙරුවා, ඒ අතර ඊට සම්බන්ධ වුණු ඇතැම් නායකයන් අමුතු විදිහකට බා ගත්තා. 71 මහ නඩුවෙ චුදිතයෙක් වන වික්ටර් අයිවන් කලින් හිරෙන් එළියට ඇවිත්, මෙරට NGO පුරෝගාමි සහ 'සර්වෝදය' ව්‍යාපාරයේ පියා වූ ඒ. ටී. ආරියරත්න සමඟ 'රාවය' ආරම්භ කිරීම සහ අද මේ වෙනකොට අයිවන් එහි ම දිගුවක් වන 'පුනරුද ව්‍යාපාරය' රට පුරා මෙහෙයවන ආකාරය දෙස බලන කොට ඒ කළු ඉතිහාසය කෙනෙකුට තර්කානුකූලව කියව ගන්න පුළුවන්.
ඒ එක උදාහරණයක් විතරයි!
ඊ ළඟට 88 - 89 දේශපාලන ඛේදවාචකය; එවර ජවිපෙ මර්දනය කරන්න දකුණු කඳවුර ඉතා තීරණාත්මක මැදිහත්වීමක් කරනවා. එවර 'එන්ජීඕස්' මැදිහත් වුණු ආකාරය තේරුම් ගන්න  නං 'දේව සරණ' වගෙ රහසිගත ආගමික මධ්‍යස්ථාන ගැන යළි විශ්ලෙෂණය කරන්න වෙනවා. එදවස, ජවිපෙ ට එරෙහි ක්‍රිස්තියානි ක්‍රියාකාරිත්වය නං  තේරුම් ගන්න බැරි තරමට ම කළුයි, සංකීර්ණයි, ඒත් කතාව ඒකයි.
විජේවීර ඝාතනයෙන් පස්සෙ ''ජවිපෙ වමේ කතාව'' ඉවර ම වෙලා ගියා. 90 දශකය වෙනකොට විමල් වීරවංශ ගෙ හඬින් අපට යළි ඇහෙන්න ගන්න ජවිපෙ ඊ ළඟ කතාව ඒ ආරම්භක මොහොත වෙන කොටත් NGO කරණය වෙමින් තිබුණෙ. ඒ වට පිටාව තුළ පක්ෂය තුළ ඇතිවන විවිධ පුපුරා යෑම් සමඟ, අර භීෂණ අවදියේ පවා දිවි බේරා ගෙන පක්ෂය ට දිවි කැප කළ සමහර ක්‍රියාකාරිකයන් ජවිපෙ අත හැර යන්න ගන්නවා. අන්තිම ට 2000 දශකය ආරම්භ වෙන අතරෙ, පෙරටු ගාමීන් ලෙස යම් සැලකිය යුතු පිරිසක් තීරණාත්මක ලෙස පක්ෂය හැර යන තෙක් ම ජවිපෙ අභ්‍යන්තරිකව පුපුරා යනවා. සෝමවංශ සාධකය ඉතිං වෙනම සාකච්ඡාවකට ගන්න තියෙනවා.
ඊට සමගාමීව කොහොමත් ජවිපෙ ඉතා වේගයෙන් දකුණු කඳවුරේ පහසු ගොදුරක් බවට පත් වෙමින් තිබුණෙ. ඒ වන විට ඔවුන් පාර්ලිමේන්තුව තම එකම අරමුණ කර ගනිමින් චන්ද්‍රිකා, රනිල්, මහින්ද, ෆොන්සේකා, චන්ද්‍රිකා - රනිල් - මෛත්‍රී සමඟ ඒ කඳවුරේ අදාළ ක්‍රීඩාව ඉතා සාර්ථකව අභ්‍යාස කරමින් ඒ දකුණු කඳවුරේ ජයග්‍රහණ භුක්ති විඳිමින්, එහි ප්‍රධාන කොටසක් ලෙස ඉස්සරහට ම යනවා.
ඔවුන් දැන් වෙනකොට කෙළින්ම පෙනී හිටින්නෙ එක්සත් ජාතීන් වෙනුවෙන්, යුරෝපා සංගමය වෙනුවෙන් සහ ඒ ව්‍යාපෘති කරගෙන යන ඇමරිකාව ප්‍රමුඛ දකුණු රටවල් වෙනුවෙන්. අවසන් වශයෙන්, සමාජවාදී සිහින සියල්ල පැත්තකට දාලා, අර ලෝක සහ කළාපීය දේශපාලන උවමනාවන් වෙනුවෙන් සූත්‍ර ගත කෙරෙන දෙමළ බෙදුම් වාදය වෙනුවෙන් මාරාන්තික ලෙස පෙනී හිටින තැනට ම ජවිපෙ ඇවිත්, 
එතකොට අනිත් වමේ පක්ෂ ගැන ඉතිං කතා කරන්නම දෙයක් නැහැ, ඒවා කොහොමත් කෙළින් ම NGO ගුබ්බෑයම්. කම්කරු සංගම්, වෘත්තීය සමිති...ඒ සියල්ල වේගයෙන් NGO කරණය වෙමින් තියෙන්නෙ, වෙමින් කිව්වට දැන් වෙලා ඉවරයි. 
අන්තිමට කම්කරු සහ වෘත්තීය සටන් මෙහෙය වන්නෙ, එක්සත් ජාතීන්ගෙ ලෝක කම්කරු සංවිධානය ( ILO )!
ඒ අටහරත්, දකුණේ දේශපාලනය හෙවත් ''උන්ගේ දේශපාලනය'', ලොකයේ සම්පත් සහ අවස්ථා තියෙන රටවල් විවිධ හේතු මත තම ග්‍රහණයට ගන්නවා; ඊනියා වමේ දේශපලනයත් දැන් කරන්නෙ ඒ ටිකමයි, පුටින් ගෙ රුසියාව තමයි හොඳම උදාහරණය. ඒ අතර ඒ ඒ කළාපීය දේශපාලන ක්‍රිඩා ලෝකය පුරා, වෙන ම! 
ලංකාවට අදාළව නං ඉංදියානු - චීන සහ ලෝක පරිමාණ කඳවුරු ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳ දමා ඔවුනොවුන්ගෙ වෙළෙඳ අරමුණු ඉටු කර ගන්න සංවිධානාත්මකව මෙහෙයුම් දියත් කරලා, ඒවා සාර්ථකව ඉස්සරහට යනවා. 
ජවිපෙ ප්‍රධාන ඊනියා වම කෙළින් ම ඒ වැඩේ වෙනුවෙන් මාරාන්තික සටනක. මේ අඩවියේදි ජවිපෙ සහ පෙරටු ගාමීන් අතර කිසිම වෙනසක් හෝ පරතරයක් නැහැ, අර ගෝලීය දකුණෙ උවමනාවට දෙමළ ඩයස්පෝරාව හරහා නැටවෙන මෙරට බොරු දෙමළ නායකයන් එක්ක මේ ඊනියා වම්මු යහන් ගත වෙන්නෙ එහෙමයි. ඔවුන් ඒ අනුව, වරෙව්! වම එකතු වෙමු! කියල, එක තැනක කඳවුරු බැඳ ගන්නත් බැරි නැහැ. මේ ඊනියා වම, වර්ගවාදය ත් පටළවාගෙන ගේම ගහන්න හදන දෙමළ සහ මුස්ලිම් අන්ත්වාදීන් ට වඩා ඉස්සරහට ගිහිං රට ඉවර කරන්න ඉඩ තියෙනවා, මොකද බොරුවට හරි රැක ගන්නවා කියන්න වර්ගයකුත් ඔවුන් ට නැති නිසා.
අනේ ඉතිං මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න රෝහණ විජේවීරවත් හිටියා නං!
කමක් නෑ! ඔබ මෙහෙම තේරුම් ගන්න!
මේ රටෙත් වමට පාර කියා දෙන්නෙ දකුණ!
ගමනේ යා!
වම, දකුණ, වම, දකුණ...
CHAPA, Jan 20, 2019   

 

Sunday, January 13, 2019

විදර්ශන මොනවද මේ හොයන්නෙ? මං තාම කල්පනා කරනවා...


සිරස ගේට්ටුව ඉස්සරහා කළු ඇඳගෙන කණ්ඩායම් තරවටුවක යෙදී සිටින විදර්ශන කන්නන්ගර දකින මම, ආපිට අතීතය ට යනවා, ඒ කියන්නෙ, 2000 දශකය මුල හරියට. 
විදර්ශන මොනවද මේ හොයන්නෙ? මං තාම කල්පනා කරනවා...
ඔහු දවසක් තවත් සගයෙක් එක්ක නාවල 'නිදහස්' කාර්‍යාලය ට ආවා, X කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වන රොහාන් පෙරේරා ත්, තම සගයන් කීප දෙනෙක් එක්ක එහෙ යමින් එමින් යම් යම් වැඩවල යෙදිලයි හිටිය නිසා, විදර්ශන ආවෙ ඔහු එක්කද මන්දා, හරියට ම මතක නැහැ!
කොහොම වුණත්, තොප්පියක් දාගෙන ටිකක් එක විදිහකට කතා කරන මේ අමුත්තා එක්ක ඉතිං අපේ, ඒ කියන්නෙ නිදහස් සගයන්ගෙ ඇයි හොඳයියක් ඇති වුණා. 
එතකොට තමයි මං දන්නෙ කසුන් කල්හාර ට සඳ සඳ වගේ ගීතය ලියා දුන්නෙත් විදර්ශන කියල. ඒ ගීතය ට මං කැමති නිසා, විදර්ශන ගැනත් හිතේ පොඩි ලව් එකක් ඇති වුණා. 
ඒ අතරෙ, ඔහුගෙ කොළඹ සරසවි ජීවිතය සහ තවත් වෙනත් විවිධ කටයුතු ගැනත් යම් කියවීමක් එන්න ගත්තා, ඔන්න ඉතිං අපි එකිනෙකාව දකින්න කැමති, කතා බහ කරන්න කැමති අය බවට පත් වුණා. 
සතියකට වතාවක්වත් ඔහු ඒ පැත්තෙ ඉතිං එනවා, මට මතක හැටියට Tomorrow වගෙ නමකින් ඔහු හදාගෙන හිටපු කණ්ඩායම එතකොට නැතත්, එකට වැඩ කරන එක්කෙනෙක් දෙන්නෙක් එක්ක තමයි ඔහු එහෙ ආවෙ ගියේ. අපේ මුණ ගැහීම් හරිම උණුසුම්. වාද විවාද, සාකච්ඡා...වරින් වර! අපි අතර කොහොමත් බරපතළ පරතරයක් තිබුණා.
අපි 'නිදහස්' පටන් ගන්නෙ ම Unilever සමාගමේ සේවකයො එක්ක, ඔවුන් වෙනුවෙන්. ඒ සමාගම, ඔවුන් එළියට දාලා, ඔවුන් වෙනුවෙන් කිසිම Media එකක් පෙනී හිටින්නෙ නැති මොහොතක, ඒ අයුක්තිය ට එරෙහිව සටන් කරන්නමයි අපි වැඩේ පටන් ගත්තෙ. 
ඒ සමඟම අපි, රටේ සුභ සාධන තත්ත්වයන් තව දුරටත් වර්ධනය කරමින්, ආර්ථික විෂමතාව මත පෑගෙන පොදු ජනයා ට යහපත් ජීවිතයක් ලබා දෙන්න වීදි සටන් පටන් ගත්තා. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ඒ අතර අපේ විශේෂ අවධානයට යොමු වුණා. ඊට සමගාමීව, ජල කොල්ලයට එරෙහි සටන! ආර්ථික ඝාතකයන් අතින් රටේ ආර්ථිකය විනාශ කෙරෙමින් තියෙන හැටි පෙන්වා දෙමින්, ඊට එරෙහිව පොදු ජනයා දැනුමෙන් බල ගන්වමින් හිටියෙ. අපට ඕන වුණේ විද්‍යාත්මක සමාජවාදය සහ ඊට සමගාමි තවත් දේශපාලන දැනුම් පද්ධති හරහා වඩා යහපත් ලොකයක් උදෙසා වන මහා දේශපාලන සංවාදයක් ගොඩ නගන්න. ඒ වෙනුවෙන්, මං විතරක් නෙවෙයි එවකට මාත් එක්ක වැඩ කරමින් හිටපු කීප දෙනාම පූර්ණ කැපවීම් කෙරුවා. ඒ ඉතා ම අමාරු කාලයක්, ආර්ථික පීඩනය දරා ගන්න බැරි තරම්!
මං කියන්න හදන්නෙ මේකයි!
විදර්ශන කවදාවත් ඒ සංවාදය තුළ හිටියෙ නැහැ විතරක් නෙවෙයි, අපේ වෑයම සහ එහි දැරීම වැඩකට නැති වැඩක් හැටියටයි දැක්කෙ. ඔවුන් කියන ලොකු ලොකු දේවල් මට නොතේරෙන නිසා මං ජල කොල්ලය ගැන කිය කියා ඉන්නවා කියලා, හීනි මඩකුත් ඒ අස්සෙ මට ගැහුවා. 
මට මතකයි, අපේ අන්තිම සාකච්ඡාව ඉතා උණුසුම් එකක්. ඒත් වැඩක් වුණේ නැහැ. මං ඒ කාලය තුළ ඔහු සහ ඔහුගෙ සගයන් ඇත්තටම හොයන්නෙ මොකද්ද කියලා බරපතළ විදිහට කල්පනා කෙරුවා.
දැඩි අර්ථික අභියෝග හමුවේ, 2011 'නිදහස්' විරාමයකට යනවා සහ 2011 - 2014 කාලය, කොළඹ ලෝකය මට අහිමි වෙනවා. මං එතකොට වෙන්නප්පුව සහ ඒ අවට වැඩ බිම්වල.
ඔන්න ඊට අවුරුදු ගණනාවකට පස්සෙ, මට ඔහු යළි මුණ ගැහෙන්නෙ SAITM විරෝධී සටන් බිම් වල. එතකොට ඔහු 
පාසල් ගුරුවරයෙකුත් වෙලා. අහ්! ඊට ටික කලකට කලින් සේපාල් අමරසිංහ එක්ක කතා බහකටත් අපි දෙන්නා බොරැල්ලෙ තැනකදි මුණ ගැහෙනවා, ඒ අස්සෙ මගෙන් ඔහු ට එක එක යෝජනා, ඒවා ඉතිං එහෙමම යට ගියා.
විදර්ශන මොනවද මේ හොයන්නෙ? 
ඔහු ඇයි දැන් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිසු අරගල පෙරමුණේ ඉන්නෙ? මං තාම කල්පනා කරනවා...
ඒ අනුව ඔහු පෙරටුගාමී සමාජවාදීන් එක්ක වැඩ කරනවා මට පේනවා. ඒ අතරෙ ජවිපෙ පෙරමුණුවලත් වරින් වර ඉන්නවා.
ඇස්වාට්ටුවෙ තිබුණු සිසු උද්ඝෝෂණයක් අතර දවට ගහ පල්ලිය ට එහා පැත්තෙ සයිවර් කඩයකට ගොඩ වෙන අතරෙ විදර්ශන සහ මං අතර ඔය සංවාදය ඉස්සරහට එන්න වගෙ හැදුවත් ඒක එහෙම වුණෙ නැහැ, එතැන භූපති ත් හිටියා මතකයි. තවත් වතාවක් විහාර මහා දේවි උද්‍යානයේදි. අන්තිම වතාවට රුහුණු සරසවියෙදි, ටිකක් විධිමත් විදිහට! ඒත් කෝ? අපි ඉස්සරහට යන්නෙම නෑ. මං ඔය ගැන පුබුදු ජාගොඩ එක්ක කතා කරන්න උත්සහ කෙරුවත් ඔහු මොකද්ද හෙමින් කියලා නිකං හිටියා.
ඔන්න ඒ අතරෙ තමයි සිරස ගේට්ටුව ඉස්සරහා ඉන්න 'ඔහු' මං දකින්නෙ. මේ, 2015 Regime Change කළු මෙහෙයුමේ එක NGO කොටසක් කියලා මං තර්කානුකූලව කියවා ගන්නවා. කොහොමද එහෙම වෙන්නෙ? 
විදර්ශන මොනවද මේ හොයන්නෙ? 
මං තාම කල්පනා කරනවා...
අනේ! නිදහස් කාර්‍යයාලයෙදි, දිනු හරි අමාලි හරි හදන උණුසුම් රස තේ එකක් තොළ ගාමින් ඒ සංවාදය කරන්න තිබුණා නං?! රොහාන් සහ ඔහුගෙ ගමන් සාහිකාව දිල්හානි...එහෙම පැත්තකින් හිටියා නං තවත් හොඳයි, මොකද එයාලා එක්කත් ඉස්සරහට නොගිය සංවාදයක් තියෙනවා. ඒ සොඳුරු පුංචි කාර්‍යයාලය ඉතිං දැන් නැහැනෙ, වෙන කොහේ හරි තැනකදි හරි අපි එකිනෙකා මුණ ගැහෙන්න ඕන, දවසක! 
CHAPA 
Jan 13, 2019

Wednesday, January 9, 2019

මළ කෙළියක් වෙන්නෙ!

හිටපු ගමන් අතීත ය වර්ථමානය වෙනවා!
අතීත සිදුවීම් සහ ඒ අතරෙ මුණ ගැහුණු මිනිස්සු එහෙම එක වරම ඇවිත් කාලය ගෙවෙන්නෙ නැහැ! මේ, තාම ඒ විදිහමයි කියල මතක් කරනකොට වෙනස් හැඟීමක් හිතට එනවා. 
මං දැන් ඉන්නෙ ගාලුමුවදොර පේන තෙක් මානයෙ පිහිටා තියෙන යුද හමුදා මූලස්ථාන භූමියෙ, ශ්‍රී ලංකා වෛද්‍ය බලකාය ට අයත් හිර කුටියෙ. ඒ තැන තමන්ගෙ කියල හිතන සහ මට එන සියළු කෑම තමන්ගෙ කියල හිතන පූස් යාළුවත් මේ ළඟ.
මං මේ යුධාධිකරණය ට මුහුණ දෙන දවස්!
''මේක අන්තිම අසාධරණයි! හොරු නිදහසේ...මං හිරේ, මාර වැඩක්නෙ වුණේ!''
එක ම කතාව වෙන වෙන විදිහවල් වලට මං කියන්න ගන්නවා.
''ඒ උනාට දැන් කට්ටිය හොඳ පාඩමක් ඉගෙන ගනියි...අන්න එතකොට තමයි...''
ඒ සෙනා!
සෙනා කිව්වට සේනාරත්න. ඔබ ට ඔහු ගැන කියන්න මං මේ හදන්නෙ, ඔහු ගැන කිව්වට ඔහු සහ මං ගැන. මගෙ මතකය හරි නං ඔහු සිංහ රෙජිමේන්තුවෙ වෙන්න ඕන. මොකක් හරි රාජකාරී හේතුවකට ඔහු වෛද්‍ය බලකාය ට අනුයුක්ත වෙලා හිටියා. ඔහු නිතර ගැවසෙන්නෙ මේ හිර කුටිය තියෙන තැනට ආසන්න ප්‍රවාහන අංශය අවට. තරමක් මිටි කුඩා පුද්ගලයෙක් වූ ඔහු උදේ පාන්දර සිට මහ රෑ වෙන තුරු, ලැබෙන හැම වෙලාවක ම වගෙ මං බලන්න එනවා.
 ''සෙනා අද බර වැඩක වගෙ''
කලබලයෙන් එහෙ මෙහෙ යන ඔහුගෙන් මං අහනවා.
''දන්නැද්ද එක එක ලෙඩ තමයි...වැඩ වලට වඩා ලෙඩ! මං මේ අහන්න හිටියෙ අර ජනාධිපතිනිය ට යවපු ලියුම දැන් හම්බ වෙලා ඇති නේද? දැන් සතියක් විතර ඇතිනෙ...''
ඔහුගෙ හඬ උනන්දුයි,
''ඒ වුණාට...'' 
මං හිතන්න ගන්නවා.
මං මුහුණ දෙමින් හිටපු බලවත් අසාධරණය ගැන ජනාධිපතිවරිය ට යැවූ ලියැවිල්ල ඇය තබා යම් බලයක් තියෙන මොකෙක්වත් නොබලන බව මං දන්නවා, ඒත් ඇය ට සහ වග කිව යුතු තවත් අයට මං දිග ට ලියනවා.
''ඔය ලියුමෙ තියෙන විස්තර දැකලා ජනාධිපතිනිය මෙහෙ එන්නත් බැරි නෑ! එහෙම වුණොත් නං කට්ටිය දුවයි...මං නං කියන්නෙ ලොකු දෙයක් ඉක්මන ට වෙනවා...අම්මට හුඩු! එහෙම වුණොත් කර්නල් සිල්වා කලාන්තෙ දාලා වැටෙන්නෙ!''
සෙනා හෙමින් කියල හයියෙන් අත්පුඩියකුත් ගහනවා.
''එහෙම වෙන්නෙ නෑ!''
මගෙ අවිශ්වාසය පිරුණු හඬ!
තවත් වෙලවක ඔහු හදිසියේම වගෙ හිර කූඩුව ට එබෙනවා.
''අපි අර ලක්හඬ රේඩියෝ එකේ...කවුද අර...ම්ම්ම්ම්...මට නම මතක් වෙන්නෙ නැහැනෙ...''
ඔහු එහෙම 'අපි' කියද්දි අමුතු සහෝදර හැඟීමක් ඇති වෙනවා,
''කවුද...මේ...අහ්...නියුටන් සිල්වා....''
''නෑ! නියුටන් ගුනරත්න! ලක්හඬ සභාපති ගැන සෙනා ඔය කියන්නෙ...''
''අන්න හරි! එයාටත් ලිව්වනෙ...මිනිහා ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්නෙ...අනික චන්ද්‍රිකා මැඩම්ගෙ ළඟ හිතවතෙක් නෙ...එයා අනිවාර්‍යයෙන් ම වැඩේ කරනවා...බලන්නකො!''
මං කියපු සමහර කෑලිත් එකතු කරලා ඔහු විශ්වාසයෙන් කියනවා.
''මේ කට්ටිය හිතාගෙන ඉන්නෙ ඔයා ඔහොම හිර කාමරේකට දාලා වැඩේ බේර ගන්න පුළුවන් කියලා...එව්වා කොහෙද! මුං තාම දන්නෙ නෑ මොකද්ද වෙන්නෙ කියල,,,''
ආත්තටම මොකද්ද වෙන්න පුළුවං?
මං හිතනවා. 
ඒ වෙනකොට මං ලක්හඬ ගුවන් විදුලියෙ සහන සංනිවේදකයෙක් විදිහට වැඩ කරමින් හිටියෙ, ඒ සඳහා හමුදාවෙන් අවසර ගන්න උදව් කරපු කාරුණික මුහුණක් තියෙන මැදිවියේ දන්ත වෛද්‍යවරයා, කර්නල් තිලක් සේනානායක ත් මට හොඳට මතකයි. මං ඒ මොහොත වෙනකොට හමුදා ඖෂධ ජාවාරම්කරුවන්ගෙ සූක්ෂම මෙහෙයුමකට අහු වෙමින් හිටියෙ. ඔවුන් ගෙ ඇතැම් ක්‍රියාකාරකම් ගැන ආතැම් මාධ්‍ය හරහා නිරාවරණය වෙනකොට ඔවුන් හිතුවෙ ඒ මැදිහත් වීම කරන්නෙ මං කියල, ඒ මං මධ්‍ය ආයතනයකට සම්බන්ධ නිසා. ඇත්තටම මං ඒ කාලය වෙනකොට එහෙම ගවේශනාත්මක මාධ්‍ය වැඩ වලට අත ගහල හිටියෙ නැහැ, ඔය අතරෙ මං හමුදා සේවයෙන් ඉවත් වෙන්න නීත්‍යානුකූලව අයදුම් කරලා එය අනුමත වෙලා, කදවුරු ලෝකයෙන් නිදහස් වෙන්න බලාගෙන හිටියෙ. මගේ හමුදා කාලය ඒ අනුව නිල වශයෙන් අවසන් වන දිනයෙදි අදාළ ජාවාරම්කාර බලධාරීන් මාව වව්නියාවෙ හමුදා පෙරමුණට යවන්න සැලසුම් කෙරුවා. ඒ වෙලාවෙ ඒ හමුදා පෙරමුණ කඩාගෙන එල්ටීටීඊ ය ඇතුළට ඇවිත් හමුදාව දරුණු ප්‍රහාරයකට මුහුණ දෙමින් හිටියෙ. මට අදාළ ම නැති රාජකාරි ඉලක්කයක් සඳහා තමයි ඔවුන් මාව එහෙම යවන්න හැදුවෙ. 
මං කිව්වා කවුරු කොහොම කිව්වත් මං එහෙ යන්නෙ නෑ කියල. එතකොට අණට අකීකරු වීමේ චෝදනාව මත මාව යුධාධිකරණයකට දැම්මා.
''මට කතාව තේරෙනවා,,,අපි බලමුකො මොකද්ද කරන්න පුළුවන් කියල...''
ලක්හඬ සභාපති නිව්ටන් ගුණරත්න බැරෑරුම් හඬකින් දවසක් කිව්වා, 
ඔහු තමන්ගෙ නිල රථයෙන් හමුදා මූලස්ථාන භූමිය ට ඇවිත් හමුදාපති ප්‍රමුඛ අදාළ බලධාරීන් මුණ ගැහෙනවා. ඔවුන් සමඟ මගේ හිරකුටිය ට එනවා. මං එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සෙ, ඊට යාබද ආරක්ෂක අමාත්‍යංශය ට යනවා, අදාළ බලධාරීන් සමඟ කතා කරනවා, මාව නිදහස් කරගෙන කෙළින් ම ලක්හඬ ට යනවා.
''අපේ කට්ටියගෙ දත කට පූට්ටු වෙලා...මළ කෙළියක් වෙන්නෙ...''
සෙනා අර විදිහට මාව නිදහස් වෙන හැටි කියමින් අන්තිමට එහෙමත් කියනවා. ඔහු කියන හැටියට මටත් ආසා හිතෙනවා. ඒ රූප මැවෙන්න ගන්නවා. 
'නිව්ටන් ගුණරත්න? පිස්සුද සෙනා? මිනිහා මාව දැක්කම හෙමීට මාරු වෙනවා!'' මං කවදාවත් ඒ කතාව සෙනා ට කියන්නෙ නැහැ. මම සෙනා කියන දේවල් අහගෙන ඉඳලා ඒවා ඇත්ත වෙන්න ඇති කියලත් හිතාගෙන හිනා වෙනවා. එතකොට සෙනා ට තවත් හිනා. 
අපි දෙන්නම හිනා වෙනවා!
මං ''Armyආමි'' මූලික සටහන් ලියන්න පටන් ගත්තෙ ත් ඒ හිර කුටියෙ අබලන් පුටුවකට බරදීලා. සමහර රාත්‍රියක මං ඔහු ට ඇහෙන්න ඒ සටහන් කියවනවා.
 ''ඔය පොත කවදා හරි පළ කරනවද ඇත්තටම?''
''අනිවාර්‍යයෙන් ම!''
මං ඒක කළා, සෙනා ඒ පොතෙත් තැන් තැන් වල ඉන්නවා. ඒත් ඔහු ඒක දැක්කද දන්නෙ නැහැ, මොකද මාව එතැනින් වැළිකඩ අරගෙන ගියා ට පස්සෙ ඔහු මග හැරිලම ගියා, පස්සෙ කාලයක කීප දෙනෙකුගෙන් ආරංචි කරල බැලුවත් ඔහු ගැන හෝඩුවාවක් ලැබුණෙ නැහැ.
සෙනා කොහේ ඇද්ද? 
ගාලු මුවදොර අවටින් යන එන වෙලාවට දැනටත් ඒ අතීතය වර්තමානය බවට පත් වෙලා මගෙ හිත රිදුම් දෙන්න ගන්නවා!
අළුතින් ඉදිවන මේ මහා කොක්‍රීට් වනාන්තරය යට මගෙ හිර කුටිය තවම තියෙනවා, අපි දෙන්නගෙ කතා අහ අහ හරි මැද්දෙන් ඉඳගෙන දෙන්නගෙම කටවල් දිහා බලාගෙන ඉන්න පූසත් තවම ඉන්නවා!
CHAPA
Jan 10. 2019    





Monday, January 7, 2019

රාජිත කොහොමත් දිනුම්!

අමාත්‍ය රාජිත සේනාරත්න ගැන මේ ලියැවෙන්නෙ නොවිධිමත් සටහනක්! පවතින සංකීර්ණ දේශපාලන වට පිටාව, යම් පමණකට හෝ කියවා ගන්නපුළුවන් වෙන්නෙ, සමහර විට මේ වගේ කුරුටු සටහන් අතරින් ම තමයි.
 නොපැහැදිලිව වුණත්, රාජිත පිළිබඳ මගේ මතකය පටන් ගන්නෙ, 80 - 90 දශක අතර වගෙ. ''රාජිත පරාජිතයි'' හෝ ඊට කිට්ටු අදහසක් තියෙන පෝස්ටරයක්, කොළඹ අවට තැන තැන ඇළවිලා තිබුණා මතකයි මුළින් ම. ඒ ඔහු දේශපාලන ක්‍රියාකාරකම් පටන් ගන්න මුල් කාලයෙ වෙන්න ඕන. 88 - 89 භීෂණ කාලයෙ, ජවිපෙ ඝාතක කල්ලි අතර මුල් පෙළේ නමක් වූ ''ප්‍රා'' සමඟ, එදවස ඔහු ගෙ නම කියවුණ බවත් මට මතකයි. 
ඒ අතර,  ශ්‍රී ලංකා යුද හමුදා බලකාය තුළ, හමුදා සේවයේ සිටි කාලය තුළ, ''සේනාරත්න ඩෙන්ටල් සප්ලයර්ස්'' හෝ ඊට තදාසන්න නමකින්,  ඔහු යුද හමුදාවට දන්ත වෛද්‍ය උපකරණ සහ ඖෂධ වර්ග සැපයූ බව සහ ඒ හරහා විවිධ අක්‍රමිකතා සිදු වූ බව අනාවරණය වෙමින් තිබූ බව මතකයි. මං, එදවස, ශ්‍රී ලංකා යුද හමුදා දන්ත වෛද්‍ය සේවාව ට අනුයුක්තව සිටි නිසා, මටත් ඒ පිළිබඳ යම් යම් පුද්ගලික අත් දැකීම් ලැබුණා. දවසක් යම් නිල කටයුත්තක් සඳහා, රාජිත ගෙ ජනප්‍රිය නොරිස් කැනල් නිවසටත් මට යන්න වුණා, නිල ඇඳුමෙන් ම. 
අදාළ මිලදී ගැනීම් සඳහා, හමුදා දන්ත වෛද්‍ය සේවාව වෙනුවෙන් සෘජුව මැදිහත් වූ කර්නල් තිලක් ජයවීර සමඟ සමීපව වැඩ කිරීම ට සිදුවූ නිසා මට ඒ අත් දැකීම් ලැබුණු හැටි ''Army ආමි''  කෘතියෙ සටහන් තියල තියෙනවා. ඒ කර්නල්වරයා දැන් ජීවතුන් අතර නැහැ.
ඊට සමගාමීව තමයි, ඔහුගෙ පාර්ලිමේන්තුකමත් අභියෝගය ට ලක් වූ, හමුදාවන් ට කල් ඉකුත් වූ ඖෂධ සැපයීම ට අදාළ දූෂණ ගනු දෙනු පිළිබඳ නඩුව විභාගයට ගැනුනෙ.
කොහොම හරි අන්තිමට රාජිත ට මොකුත් වුණේ නෑ, ඒත් ඒ සියළු නොපනත් කම් දකිමින්, වඩා යහපත් හෙට දවසක් ගැන හීන දැක දැක, ඒ අහළ පහළ හිටපු මට,  යුධාධිකරණයකට ත් නැගලා, බරපතළ වැඩ සහිත අවුරුද්දක සිර දඬුවමකුත් ලැබිලා, වැළිකඩ ට යන්න වුණා. 
මං ඉතිං වැළිකඩ හිර බත් කකා, 'රාවය' ට 'බලකොටුව'  ලියමින්, අරගලය දිගටම කරනවා. අධිකරණ ඉතිහාසය වෙනස් කරමින්, ඒ අතර, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා මාස තුනක් ඇතුළත හිරෙන් එළියට ආපු මං ඔන්න 'රාවය' එක්ක සම්පූර්ණ කාලය ගෙවන්න පටන් ගත්තා.
ඒ වසර 2000!
'රාවය' ක්‍රියාකාරකම් අතර, එවර රාජිත මට ආයෙ මුණ ගැහෙනවා. ඒ අත් දකීම නං වෙනස් ම එකක්. ඒ වෙනකොටමං, ජලය විකිණීමේ කුමන්ත්‍රණය ට එරෙහිව සටන පටන් අරගෙන තිබුණෙ. අනුරාධපුරය පැත්තෙ, පළාත් සභා මංත්‍ර්‍රිවරු කට්ටියක්, ඒ ගැන රැස්වීමක් පවත් වන්න, රාජිත ට සහ මට අරාධනා කෙරුවා, රාජිත එතකොට චන්ද්‍රිකා එක්ක පටළවාගෙන වික්ටර් අයිවන් ලා එක්ක ආණ්ඩු විරෝධී එජාප පිළේ. මම ත් චන්ද්‍රිකා ට එරෙහිව අරගල කරමින් හිටපු නිසා, අර එජාප කට්ටිය හිතල තියෙන්නෙ මම ත් එජාප පාක්ෂිකයෙක් කියල. එදා, මම ත් ඒ ගමන ගියේ ආවෙ රාජිත ගෙ නිල වාහනෙ. රැස්වීම ට හොඳ සෙනගක් හ්ටියා, ඒත් මං කතා කරගෙන යනකොට ඒ ප්‍රීතිමත් මූණු මැළ වෙලා ගියා, මොකද, මේ ජල කොල්ලය පිටි පස්සෙ හැම දේශපාලන පක්ෂයක් ම සහ ඒවායේ නායකයන් ඉන්න බව බර දාලා කියන එකට ඒ කවුරුවත් කැමති වුණේ නෑ, ඔවුන් ආසා කෙරුවෙ, මං චන්ද්‍රිකා පට්ට ගහන කෑල්ලට විතරයි. සමහර මංත්‍රීවරු එක එක ප්‍රශ්න අහලා එජාප ය එහෙම නෑ! කියන්න හදන්න හදන්න වැඩේ තව අවුල් වුණා.
කොහොම හරි, කොළඹින් පිටත් වෙනකොට ඉතා සුහදව හිටපු රාජිත, රැස්වීම ඉවර වෙලා ආපහු එන අතරෙ වැඩිය කතා බහ කෙරුවෙ නැහැ, බොරුවට නිදි වගෙත් හිටියා, මම ත් ඉතිං සද්ද නැතුව ම ආවා. අර පළාත් සභා සෙට් එකත් එහෙමම මාව අත ඇරල දැම්මා.
ඒ අතර, වතාවක් දෙවතාවක් නාරාහේන්පිට පිහිටි ඔහුගෙ ගෙදර ට ත් යන්න මට සිද්ධ වුණා යම් යම් මාධ්‍ය ක්‍රියාකාර කම් සඳහා, ඔන්න ඒ අතරෙ තමයි ඔහුගෙ ජනප්‍රිය පුතා චතුර මට මුණ ගැහෙන්නෙත්.
ඊට ටික කාලයකට පස්සෙ, මං 'රාවය' අත හැරලා, 'නිදහස්' පටන් ගන්නවා, ඒ 2001 අප්‍රේල් 1 වැනිදා!
එතකොට, චන්ද්‍රිකා - රනිල් ව්‍යාපෘති හරහා, රාජිත ට අමාත්‍යධූරයක් ලැබිලා. මං 'නිදහස්' වෙනුවෙන් ඔහු සම්මුඛ සාකච්ඡාවකට ගන්න ඔහුගෙ අමාත්‍යංශය ට ගියා, සගයො කීප දෙනක් එක්ක. ඒ වෙලාවෙ එතැන හිටියෙ බරපතළ මූණක් සහිත වෙන රාජිත කෙනෙක්. ''මොන මගුලක් අහන්න එනවද මන්දා!?'' වගෙ නොරිස්සුම් බැල්මකින් තමයි කොහොමත් ඔහු අපිව පිළිගත්තෙ. ටික වෙලාවකට පස්සෙ, ඔහුගෙ ඉවසීමේ සීමාව පැන්නා, වෙන මාධ්‍යකාරයන් ට නැති ප්‍රශ්න තමයි ඔයාට තියෙන්නෙ, ජලය විකුණන වැඩේ මං බල ගන්නනං, තමුන්නාන්සෙ තමුන්නාන්සෙගෙ වැඩක් බලා ගන්න! වගෙ කතා දමලා ගහලා තමයි ඔහු ඒ සාකච්ඡාව නැවැත්තුවෙ. 
''අපි ට පස්සෙ මොකුත් කරන්න එහෙම එපා!'' කියල මං ඔහුගෙන් සමු ගන්න අතර නිකමට වගෙ කිව්වා, ''හහ්..කරන්න!'' කියල, මගෙ හඬම ඔහුගෙ උගුර හරියෙන් ඇහෙනවා මට හොඳට ඇහුණා. ඒ අතර, ඒ සාකච්ඡාව ඒ විදිහට ම සටහනක් වෙලා අපෙ පත්තරෙත් පළ වුණා. 
ආ! තව එකක් කියන්න ඕන. ඔහු ගෙ මොකක් හරි නිල තනතුරක් කරන ලියනගෙ කියන ලෝයර්ත් ඒ සියල්ල ළඟ හිටියා. මම ඔහු දන්නෙ, මට එරෙහිව යුධාධිකරණය වැටෙන වෙලාවෙ එක එක පණිවිඩ පස්සෙ එක එක ලෝයර්ස්ලා මුණ ගැහෙන්න යන අතරෙ ඔහුත් මුණ ගැහුණ නිසා, එදා ඔහු මාව මග ඇරියා. පස්සෙ ආයෙ මං රාජිත එක්ක ඇයි හොඳයියක් තියෙනව වගෙ පෙනිලා, මාත් එක්ක ටිකක් යාළු වුණා, රාජගිරිය අවට තැනක ඔහුගෙ ගෙදරටත් මං වතාවක් දෙකක් ගිහිං තියෙනවා. 
ඔය සිධියෙන් පස්සෙ වතාවක් පළ කරපු පොතක් දෙන්න වගෙ වැඩකට මං ඔහු බලන්න ආයෙත් ඒ ගෙදර ගියා. ඔහුගෙ බිරිඳ වෙනදා තරම් හොඳට මට මූණ නොදී, ඔහු උඩ කාමරයක අසනීපව නිදි බව, කට පාඩමෙන් වගෙ කියාගෙන ගියා, ඇයගෙ අවසරය මත මං ඒ කාමරයට ගියා ලෙඩා බලන්න, ඔහු මං කාමරයට ඇතුළු වෙනකොටම එක පරට අනිත් පැත්ත ට හැරිලා නිදි වගේ හිටියා. මං පුදුම වුණා, මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ ඇයි කියලා. ''අපි අතර විශේෂ යාළු කමක්වත් හතුරු කමක්වත් තියෙන්නෙ හේතුවක් නැහැ, මේ හැම දේම දේශපාලනික ක්‍රියාකාරකම් වලට අදාළයි. මං ආයෙ මෙහෙ එන්නෙ නැහැ! මාත් එක්ක තරහක් තියා ගන්න එපා!'' කියල ඉතිං මං ආපහු ආවා. 
මේ පුංචි පුංචි සිද්ධි අතර මොකද්දෝ බරපතළ සංවාදයක් ගොඩ නැගෙන්න නියමිතයි කියලා මං මේ දැනුත් විශ්වාස කරනවා.
ඒ අස්සෙ, චතුර, රාජිතගෙ පුතා!
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙ ඔහු පුහුණුවක් ලබපු බව, 2015 දි රනිල්ගෙ කඳවුරෙන් ජවිපෙ ට තමන් මුදල් විශාල ප්‍රමණයක් හිහිං දුන්නා සහ දැනුත් එහෙම දෙනවා කියන බව!
මොනවද එතකොට මේ වෙන්නෙ?
හරි! දැන් මේ කතාව ඉවර කරන්න හදන්නෙ, 2018 සැප්තැම්බරයෙ, දෙරණ 360' ට රාජිත ආපු මොහොතෙ ලැබූ අත් දැකීමේ සටහනත් එක්ක. 
ඔහු වැඩසටහන පටන්ගන්න කලින් ඇවිත්, සාකච්ඡා මැදිරියෙ ඉඳ ගත්තෙ මං ඉස්සරහ පුටුවෙ. අපි දෙන්න එකිනෙකාගෙ මුහුණු බලාගෙන මොහොතක් හිටියා. ඔහු අනිත් අයත් එක්ක කතා බහ කරන අතරෙ කොහොමත් මට 
එතැනින් නැගිටින්න වෙලාව ආවා. වැඩ සටහන කරගෙන යද්දි, ඒ වෘත්තීයමය සීමාවෙ ඉඳගෙන හෝ පොදු ජනයා වෙනුවෙන් ඔහු ප්‍රශ්න කරන්න උත්සහ ගත්තත්, එය සාර්ථක වුණේ නැහැ. 
මම එතකොට නිහඬව, ඔහුට සහ වැඩසටහන ට විරෝධය පෑවා. අන්තිමට ඔහු නැගිටින්න හදන අතරෙ, දවසක ඇවිත් ඔවුන් කරන දේවල් බලන්න! කියල සිනහ වෙමින් කිව්වා, මං එතකොට කිව්වා දවසක ඔහු ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා කියලා, එතකොට ඔහු කියපු කතාවෙ සරල හරය තමයි, ''මට ගහන්න ආව අය දැන් ජීවතුන් අතර ත් නෑ, ඒත් මං ඉන්නවා!'' කියන එක. 
''අපි ට පස්සෙ මොකුත් කරන්න එහෙම එපා!'' කියල, මං එදත් කිව්වද කොහෙද!
එච්චරයි!
CHAPA
Jan 8, 2019



Sunday, January 6, 2019

මං මැරුණා!


''ඒයී...වෙඩි තියපං වෙඩි තියපං යකෝ...ඒයි, කෝ? ෂේහ්...''
එක තරුණයෙක් කෑ ගහනවා.
''බුලට්ස් නෑ ! බුලට්ස් නෑ!...දීපන් යකෝ ඉක්මනට...හ්ම්...ඔන්න ඔන්න...එකෙක් උඹේ පිටි පස්සෙන්...ඔය ඔය...!"
ඒ අනෙක් තරුණයා.
''අඩෝ! ඔන්න එකෙක් බඩ ගාගෙන එනවා...බෝම්බයක් ගහපං...ගහපං ගහපං...ගහපං අඩෝ!''
ඒ, තුන් වැනි තරුණයා.
''මූ මගේ...උඹලා ගහන්න එපා! අඩෝ! එපා එපා! මං ගහන්නං...ඔන්න ගැහුවා! ඒයි...හරේ! මං ඌ මැරුවා!''
මුල් තරුණයා බාගෙට නැගිටලා වගෙ කෑ ගැහුවා.
බය වෙන්න එපා! මේ පරිගණක සෙල්ලමක්, ඒ කියන්නෙ computer game එකක්! තුන් දෙනා ඉන්නෙ එහෙ මෙහෙ ගෙවල් තුනක, ඔවුන් යාළුවො! අවුරුදු විසි ගණන් වල තරුණයො, රැකියාව ඉවර වෙලා ඉක්මනට ගෙදර ඇවිත් මහන්සිය නොබලා ම වැඩේ ට බහිනවා. නිවාඩු දවස් වල එක ගෙදරක ට ගිහිං වැඩේ කරනවා, නවීන තාක්ෂණය හරහා තමයි දැන් නං ඔය සම්බන්ධ වෙලා ඉන්නෙ.
''ඒයි ඒයි...ඔන්න ඔතන ගහ එහා පැත්තෙ එකෙක් හැංඟිලා ඉන්නවා..පස්සෙන් පලයන්...ගහපන්! ගහපන්! අඩෝ ගහපන්!''
''උඹ ඌට ගහපන්...මං මේ එකෙක් පස්සෙ යනවා, ඌ ට බෝම්බයක් ගහලා එන්නං...''
ඒ අර මුල් දෙන්නා.
''බෝම්බ තියා ගනිං යකෝ, ඉවර කරන්න එපා...තව කී දෙනෙක් මරන්න තියෙනවද? එයි! ඔන්න එකෙක් අර බැම්ම උඩ! පස්සෙන් බං පස්සෙන්...ඒයි ගහපං යකෝ...ගහපං!''
තුන් වැන්නා.
''අඩෝ! අන්න උඹ ට වෙඩි වැදුනා...මං උඹට කිව්වා! කෝ උඹ අහන් නෑනෙ...උඹ මැරුණා,,,මැරුණා! අඩෝ!''
ඒත් ඔහුමයි.
''අයියෝ, අරූ මරන්න කලින් මං මැරුණා...චිහ් අප්පා!''
ඒ පළ වෙනියා.
''උඹ ඊයෙත් ඔහොමයි...පණ්ඩිතයා වගේ ඉඳලා අන්තිමට මැරුණා!''
''ඒක නං මාර කෑමක් ඕයි! ඌ බෝම්බෙ ගහන කල් මං දන්නෑ බං...මාර කෙළිය..''
තුන් වැන්නා.
''ඒයි...ඔන්න උඹට අරූ වෙඩි තියනවා, පැනපං! පැනපං! අයියෝ බං උඹත් මැරුණා,,,චික්! අද නං ෆුල් අප්සෙට්...හිටපං! මං එනවා...''
දෙවැනි තරුණයාගෙ මුහුණ තරහෙන් පිපිරෙනවා!
''ඉඳා! ඉඳා!''
ඔහු ආවේශ වෙලා.
''අඩෝ! හිටපං...දෙන්නං උඹ ට...ආ ආ...ඉඳා!''
දැන් ඔහු පරිගණක තිරය ට එබීගෙන, අත පය දර දඬු වෙලා.
''ඉඳා! බෝම්බයක්..ඈ! ෂිහ්...උන් මට තියනවා...අහ්! මට වෙඩි තියනවා...හිටපල්ලා! අහ් හූහ්...මං මැරුණා!''
දෙවැනි තරුණයත් මැරුණා.
කමක් නෑ බං! අපි හෙට උන් මරමු!
තුන් දෙනාම කතා වුණා.
CHAPA
Jan 7, 2019





Saturday, January 5, 2019

JB & DF


90 දශකයේ දවසක්!
මට ඒ මද්දහන හොඳ ට මතකයි!
''ඔව්! ඔබ ජන මාධ්‍ය ගැන උනන්දු කෙනෙක්, දැන් ඔබ ට හිතෙනවා අපේ විශ්ව විද්‍යාලයෙන් ඒ ගැන වැඩි දුර යමක් ඉගෙන ගන්න ඕන කියලා...මට තේරුම් ගන්න පුලුවන්...''
මහාචාර්‍ය ජේ බී දිසානායක, තම උපැස් යුවළ දකුණතින් සකස් කරගන්න අතරෙ මගෙ මුහුණට එබෙමින් කියාගෙන යනවා. මේ, තාරුණ්‍ය පුපුරු ගහමින් වැඩෙන කොළඹ විශ්ව විද්‍යාලයෙ, ඉතා කඩිසර - ඔහු ගෙ නිල මැදිරිය. 
ඒ අපේ මුල් ම හමු වීම, ඔහු ඉතා ප්‍රසන්න සහ නිහතමානි පුද්ගලයෙක්! 
මට දැනුණා.
''මම හිතාගෙන ඉන්නෙ...දවසක මේ හමුදා සේවයෙන් ඉවත් වෙලා වෙනස් සමාජ මැදිහත්වීමක් කරන්න...ඒ සඳහා ජනමාධ්‍ය තමයි මෙවලම හැටියට තෝර ගන්නෙ...''
මං කතාව කියාගෙන යනවා. මට දැන් ඕන වෙලා තියෙන්නෙ, ජනමාධ්‍ය විෂයයක් හැටියට ප්‍රගුණ කරන්න. පුවත් පතක ඉඳ හිට පළ වන මගේ කවියක් දෙකක්, ලිපියක් දෙකක් ඒ සඳහා මාව උනන්දු කරවනවා. පළාලි යාපා පටුන ගුවන් විදුලිය තමයි ඒ දවස්වල මං ආස ම කරපු සොඳුරු පුංචි රාජධානිය. ඒ වෙනකොට, හමුදාව තුළ ගැටුම පටන් අරගෙන, මං විවිධ මං හොයමින් හිටියෙ.
''ඔබේ අදහස පැහැදිලියි! එකම ප්‍රශ්නය අපි, කොළඹ විශ්ව විද්‍යාලය හැටියට මේ ජනමාධ්‍ය පාඨමාලාව ට තෝර ගන්නෙ, දැනට ජනමාධ්‍යවල වැඩ කරන, යම් පළ පුරුද්දක් තියෙන අය...ම්ම්ම්, ඒ වුණත් මට පේනවා, ඔබ දැනටමත් පත්තර වලට ලියනවා...යාපා පටුන ගුවන් විදුලියටත් වැඩ සටහන් වලටත් සහභාගි වෙනවා, එතකොට ඔබ මේ වැඩේට සුදුස්සෙක් තමයි,  ඔබේ අරමුණත් ඉතා යහපත් එකක්, අපි කොහොමද ඒක කරන්නෙ....''
ඔහු උපැස් යුවල අතරින් මා දෙස තියුණු බැල්මක් හෙළමින් කල්පනා කරන්න ගත්තා.
''ඔබ ට බැරිද ජනමාධ්‍ය සංගමයක සාමජිකත්වයක් ලබා ගන්න?''
ඔහු එක වරම ඇහුවා.
''ඒත්...''
මං කල්පනා කරනවා.
''ඔබ දන්නවද ඩීඑෆ් කාරියකරවන කියන මහත්මයාව?''
ඔහු අහනවා.
''නමින් දන්නවා තමයි, ඒත් සම්බන්ධයක් නං නෑ!''
''දැන් ම යන්න ලේක් හවුස් එකට...එතුමා ඉන්නවා, ගිහිං කෙළින් ම කියන්න ඔබේ කතාව, ඔය මට කිව්ව වගේ, එයා මොකක් හරි දෙයක් කරයි...''
දහවලේ තද බදය සහ විඩාව මැද, කොළඹ විශ්ව විද්‍යාලය ඉස්සරහින් බසයකට පැන ගත් මං තව පැයකින් විතර ඔන්න ඩීඑෆ් කාරියකරවන කියන කාරුණික මුහුණක් තියෙන මැද වයසෙ පුද්ගලයා ඉස්සරහ පුටුවෙ, ලේක් හවුස් ගොඩ නැගිල්ලෙ ඔහු ගෙ කාර්‍යයාලයෙ. හමුදාවෙන් ලබා ගත්ත කෙටි නිවාඩුවත් දැන් ඉවර වේගන එන්නෙ, හිතට ටිකක් කරදරයි.
''ඔබ වගේ අය තමයි අප ට ඕන...සමහර අය ජනමාධ්‍ය කරන්න එන්නෙ රැකියාවක් කරන්න ඕන නිසා, මේක වෘත්තියක් වගේම ජීවිතයක්...නිකං රැකියාවක් නෙවෙයි...''
ඔහු මගේ ලිපි ගොනුවෙ රඳවා තිබුණු, මවිසින් ලියා විවිධ පුවත් පත්වල පළ වූ ලිපි එකින් එක පෙරළමින් කියාගෙන යනවා. හරියට ඔහු මාව කියවනවා වගෙ.
''මට විශේෂ අරමුණක් තියෙනවා...''
''මම පිළිගන්නවා! ඔබ හමුදා සේවයේ ඉන්න ගමන් මෙහෙම හිතන එක ඉතාම විශේෂ තමයි...''
ඔහුගෙ හඬ හරියට කාරුණික තාත්තා කෙනෙකුගෙ වගෙ.
''හරි! මං ඔබ ව අපේ සංගමයට බඳවා ගන්නං...එතකොට අනිවාර්‍යයෙන් ම කොළඹ විශ්ව විද්‍යාලයට ඔබ ව ගන්න වෙනවා, ඔව්! අපි එහෙම කරමු!''
ඔහු අදාළ අයදුම්පත මට දෙන ගමන්, තිර හඬින් කිව්ව හැටි තවම මතකයි.
මම ඒ අතරෙ ඔහුට අත ට අත දී ආචාර කෙරුවා. 
ඔන්න එහෙනං මං, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා වේදීන්ගෙ සංගමයෙ සාමාජිකයෙක්! 
මං මට ම කියා ගන්නවා!
''සුභ පතනවා, මං!''
ඩීඑෆ් කාරියකරවන ගෙ සෙනෙහෙවන්ත හඬ සෑහෙන දුරක් මගෙ පසු පසින් ආව වගෙ.
ආපහු හැරිල බලන කොට තමයි තේරෙන්නෙ, කාලය ට අවනත නොවන වෙනම මානව අවකාශයක අපි සැරිසරන වග!
ඔබ ට කියන්න!  ඒ, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා වේදීන්ගෙ සංගමයෙ හැඳුනුම් පත තාම මං ළඟ තියෙනවා, ඔබ කවුද? ඒ හැඳුනුම් පතේ ඉන්න මං, 'දැන් මගෙන්' අහනවා.
කොළඹ විශ්ව විද්‍යාලයෙ ඒ ජනමාධ්‍ය අධ්‍යාපන අත් දැකීම, මගේ ගමනට යම් වෘත්තීයමය හැඩයක් ලබා දුන්නත්, මං වඩාම කැමති, මහාචාර්‍ය ජේබී දිසානායක ගෙ සිංහල පන්තියට.
''මේ තියෙන්නෙ සිංහල යස අගේට, ආයෙ මොනවද? ව්‍යාකරණ ගැන අවබෝධයෙන් නිදහසේ ලියාගෙන යන්න''
ඔහු එදා, මං ලියපු ඡේදයක එහා මෙහා යමින් කියපු ඒ කතාව මට මගේ සංනිවේදන අවකාශය හොයා ගන්න සෑහෙන විශ්වාසයක් හිත තුළ ඇති කෙරුවා. ඔහු, මගේ ලිවීමේ ශෛලිය හොඳයි කියනකොට ඒ දවස්වල නං හීනි ආඩම්බරකාර සතුටක් වගෙ හැඟීමකුත් හිත ට ආවා මතකයි. 
ඒ අස්සෙ අමාරු හමුදා දවස්! 
පළි ගැනීම් උත්සන්න වෙලා හුමුදා සේවය තුළ අහිමි වෙමින් තිබුණු ජීවිතය, මේ අළුත් ලෝකය තුළ වේගයෙන් වැඩෙන්න ගත්තා. කොහොම වුණත් මට එක දිගට දේශනවලට එන්න ඉඩක් ලැබුණෙ නැහැ, හමුදා බලධාරීන් ට ඕන වුණේ මාව අවතැන් කරවන්න. ඔවුන් මාව එහාට මෙහාට අනුයුක්ත කරන්න පටන් අරගෙන තිබුණෙ. අන්තිමට, අවසන් විභාගය පවත්වන්න දින වැටෙනකොට මට මගේ පැමිණීමේ ප්‍රතිශතය සම්පූර්ණ කර ගන්න බැරි වෙලා තිබුණා. මං එතකොට පළාලි!
''අපි ඔබ ට විශේෂ අවසරයක් දෙනවා, විභාගය කරමු,,,හමුදා ජීවිතය ඉතිං සාමන්‍ය නැහැනෙ...''
ජේබී දිසානායක මහාචාර්‍යවරයා ඉතා කුළුපග ලෙස කියපු හැටි! 
ඉතිං මං ලොකු සටනක් දීලා අන්තිම මොහොතෙ කොහොම හරි ඇවිත් විභාගය ට සාර්ථකව ලිව්වා. මට තාම මතකයි 'මිත්‍යාව' නමින් - එදවස පැවති යුද්ධය ගැන තමයි මගෙ නිබන්ධනය ලියැවුණෙත්.
ඒ පුංචි පුංචි සිදුවීම් අද ට වලංගු නෑ වගෙ පෙනුණා ට එදා ට අතිශය වලංගුයි.
මේ සටහන සමහර විට ඔබ ට නිකං පල්හෑල්ලක් වගෙ දැනෙයි. ඒත් මට කියා ගන්න ඕන, මහාචාර්‍ය ජේබී වගේම ඩීඑෆ් කාරියකරවන කියන වෘත්තිකයන් දෙන්නාම තම තමන්ගෙ යුතුකම් ඉතාම නිර්මාණශීලී විදිහට ඉටු කෙරුවා. අපට, මේ රටේ මුණ ගැහෙන හුඟාක් බලධාරීන් ඉන්නෙ, ඉස්සරහට එන්න හදන අයගෙ කකුල් වලින් අදින්න, කතා කරන්නෙම වැඩ නොකෙරෙන පැත්තට. 
ඒ අතර ජේබී සහ ඩීඑෆ් හොඳ අතීත මතකයක්!
රට ට මේ මොහොතෙ ත් අතිශය අවශ්‍ය අන්න එහෙම යහපත් ගොඩ නැගීම් වලට නොමසුරුව දායක වන ''අපේ මිනිස්සු!''
පුළුවන් හැම වෙලාවකම ඔබත් අන්න ඒ වගෙ අපේ මිනිහෙක්! වෙන්න, මොකද, ඕනම වෙලාවක එදා මං වගෙ කෙනෙක් ඔබ ඉස්සරහ හිට ගන්න හොඳටම ඉඩ තියෙනවා. ඔබ ත් කරන්න පුළුවන් මොකක් හරි දෙයක් කරලා ඒ පුද්ගලයා ට ශක්තියක් වුණොත්, දන්නෙම නැතුව රට ඉස්සරහට යාවි! තේරුණාද?
CHAPA
Jan 6, 2019







Friday, January 4, 2019


High Way කතාවක්!


මේ කතාව ඔබට කියන්න ඕන ද, එය ඔබ ට වැදගත් ද, කියල මං තාම හිතනවා, ඒත් ඔන්න ඔහේ ලියාගෙන යනවා!
ළඟදි දවසක මං, හදිසියකට කඩවත යන්න හිතාගෙන අතුරුගිරියෙන් අධිවේගී මාර්ගය ට ඇතුල් වුණා. අධිවේගී මාර්ග ඉදිකිරීම ගැන සංවාදය එහෙම ම තියෙද්දි, ඒ මාර්ග අවකාශය තුළ හිත ට දැනෙන සුවදායක බව කොයිතරම් ද කියලා මං කල්පනා කරන්න පටන් ගත්තා.
නිදහස! පුළුල් බව! විසල් බව!
අහ්! එතකොට ම ඔන්න එකපාරට මාව උඩ යනවා වගෙ දැනුණා, ඒ ගමන් වේගය වැඩි වෙලා නෙවෙයි, මුදල් පසුම්බිය අමතක වූ බව මතක් වෙලා! ගමන් බලපත්‍රය එක්ක බැංකු කාඩ් පත නං තියෙනවා, ඒත් ඒකෙන් ගෙවන්න බැහැ, 
මාර වැඩේ! මාව මාර විදිහට අවුල් වුණා,
එතකොට ම ඊට කලකට කලින්, හරියටම 2014 දි වගෙ කටුනායක අධිවේගී මාර්ගයේ, කටුනායක අන්තයේ මුදල් කවුළුවේ දි අත් වින්ඳ ටිකක් තිත්ත අත්දැකීමකුත් එක පාරට ම හිත ට ආවා. 
ඒ සිද්ධිය වෙනස්, ඒත් එදත් මං ටිකක් අවුල් වුණා, වෙන විදිහකට.
එදා වුණේ මාර්ග ගාස්තුව වූ 300/- ගෙවන්න මාරු සල්ලි නැතුව දීපු 5000/- නෝට්ටුවෙ ඉතුරු මුදල්, වෙන කල්පනාවක් පිට අමතක කරල, එක පාරටම ඇරුණු මාර්ග බාධකය අතරින් මං යන්න ගිය එක, පරිගණක කුවිතාන්සිය මට දෙන අතර අදාළ නිළධාරියා මුදල් ගණන් කරන්න ඇති. මුහුණ පුරා රැවුළ වවපු, ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන ඒ ප්‍රිය මනාප පුද්ගලයා මට හොඳට පුරුදුයි, මොකද, මං ඒ කාලය තුළ දින පතා ඒ අධිවේගී මාර්ගය හරහා වෙන්නප්පු යනව එනවා.
කොහොමත් තනිකර මගෙ වැරැද්ද!
ටික දුරක් යනකොට තමයි ඒත්, වෙච්ච වැරැද්ද මට මතක් වුණේ. ඊට පස්සෙ මං වාහනය පාර අයිනක නවත්තගෙන අර කුවිතාන්සියෙ තිබුණු නොම්මරයකට කතා කෙරුවා. ''ආයුබෝවන්! ඔබ ට උදව් කරන්න පුළුවන් ද?'' එහා පැත්තෙන් ඉතා වැදගත් පිරිමි හඬක් ආවා. 
'ෂා!' මට හිතුණා! 
මම ඔහු ට වෙච්ච දේ කිව්වා, වැරැද්ද මගේ බවත් කිව්වා.
''මහත්මයා, අපි ඔබ තුමා ඉක්මනින් සම්බන්ධ කර ගන්නවා!'' ඔහු කියපු විදිහ ට මට පුදුමත් හිතුණා. ඔහොමනෙ දේවල් වෙන්න ඕන! 
මං දැන් යනවා, ඔන්න විනාඩියකින් වගෙ අර කෝල් එක ආවා. එවර වෙන පුද්ගලයෙක් අර විදිහට ම වැදගත් විදිහට කතා කරලා අදාළ විස්තරය ගත්තා, මට මාර සතුටුයි!
ආයෙ විනාඩියකින් දෙකකින් ඒ විදිහට ම තව කෙනෙක් කතා කෙරුවා, සිද්ධිය ගැන මුල ඉඳන් ඇහුවා. ආයෙ තව කෙනෙක්, ආයෙ තව කෙනෙක්...කීප දෙනෙක් කතා කර කර වැදගත් විදිහට වුණත් එකම දේ අහන නිසා මං ටිකක් අවුල් වුණා.
''අපි ඔබ තුමා ඉක්මනින් සම්බන්ධ කරගන්නවා, කතා කෙරුවාට ස්තුතියි!''
ඒ තමයි මට එහෙන් ලබුණු අන්තිම වැදගත් කෝල් එක. එච්චරයි.කමක් නෑ! වැරැද්ද මගේනෙ, මං මොකටද පිස්සෙක් වගෙ එන්න ආවෙ ඉතුරු සල්ලි නොගෙන! මං මට බැනලා නිකං හිටියා, 
ඊට දවස් දෙකකට වගෙ පස්සෙ අර කවුළුවේ, අර කියන ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන ඒ ප්‍රිය මනාප පුද්ගලයා ම හිටියා, ඔහු වෙනද වගේ මට ගුඩ් මෝනිං කිව්වෙත් නැහැ, කලින් දැකල ත් නැහැ වගෙ අදාළ ගනු දෙනුව කෙරුවා, මම ත් දන්නෑ වගෙ හිටියා, ඇත්තනෙ, මං කොහොමද එයාව දන්නෙ! 
ඔන්න! ඒ කල්පනාව අස්සෙ, මං දැන් කඩවත පිටවන කවුළුව ළඟ!
මොකද කරන්නෙ! 
ඉබේම වගෙ මං නැවතිලා, මට දකුණෙන් වාහන දොරේ වීදුරුවත් පහත් වෙලා. මේ පාර මුදල් කවුළුවේ ඉන්නෙ අර, ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන ප්‍රිය මනාප පුද්ගලයා ගෙ මල්ලි වගෙ කෙනෙක්. හැබැයි නහය ටිකක් දිගයි, කොහොමත් ඔහු වගේ ම හැඩකාර තරුණයෙක්.
''මට පොඩි ඇබැද්දියක් වුණා, වොලට් එක අමතක වුණා,,,මොකද්ද කරන්න පුළුවන්?''
කිසි පෙර සූදානමක් නැතුව මං ඇහුවා. 
''මේ මගෙ ෆෝන් නම්බර් එක,,,සර්ගෙත් මොකක් හරි කන්ටෑක් නම්බර් එකක් ...''
මං දිහා හරියට බැලුවෙත් නැතුව, මගෙ ටිකට් පත අරගෙන වෙන කොල තීරුවක යමක් ලියන ගමන් ඔහු කියාගෙන ගියා. ඒ ඔහුගෙ දුරකථන අංකය.
''අනේ වෙරි සොරි!'' ගැළපෙන්නෙ නැති වුණත් අන්න එහෙම එකකුත් මං ඔහු ට කිව්වා. 
පුදුම මනුස්සයෙක් නෙ!
දිග නහයක් තියෙන, මුහුණ පුරා රැවුළ වැවූ ඒ ප්‍රිය මනාප මුහුණ මට හොඳට මතකයි!
අදාළ ගාස්තුව 150/- ක් වුණත්, මගේ නොසැලකිල්ලෙ අවදානම ඔහු ගන්නෙ ආයි? 
''මං සල්ලි දෙන්නෙත් නෑ, කෝල් කරන්නෙත් නෑ, කෝල් කෙරුවටන් උත්තර දෙන්නෙත් නෑ! එහෙම වුණොත්?'' 
ඔහුගෙන් පිටවන ගමන්, මං මගෙ හිතින් අහන්න පටන් ගත්තා.
''එහෙම වුණොත් මං හරි ඒක දානවා!''
ඔහුගෙ සමු දීමේ කාරුණික මද සිනහව, මට කිව්වෙ අන්න එහෙම කතාවක්!
මං ආපහු එන අතර, ඔහු ට කෝල් එකකුත් දීලා ඒ පිවිසුමේදි ම ගනු දෙනු බේරුවා.
''තෑන්ක් යූ සර්!''
ඔහුගෙ ගෞරවණීය ප්‍රතිචාරය!
ඔබ මට ස්තූති කරන්නෙ ඇයි? මම නෙ ඔබ ට ස්තූති කරන්න ඕන? 
මං එහෙම ඇහුවෙ නෑ! ඒත් ඔහුගෙ මද සිනහව සහ කාරුණික ඇස් ඊට කෙටි උත්තරයක් දුන්නා!
මනුස්සකම!
අර, ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන පුද්ගලයා වෙනුවට, ලොකු ඇස් දෙකක් සහ දිග නහයක් තියෙන වෙනත් පුද්ගලයෙක් අධිවේගී මතකය ට ඇතුල් වුණා,
එච්චරයි!
CHAPA, Jan 3, 2019

Tuesday, January 1, 2019


අනේ අපිව මරාපල්ලා! මරාගෙන කාපල්ලා!

මොකද අමුතු විදිහකට මං දිහා බලන්නෙ? ඈ!
උඹලා හිතුවද මේ ජරාව කන්න මං  පෙරේතයි කියලා? බඩ ගින්න ඉවසන්න බැරුව ඉන්නකොට අන්න අර මිනිහා ( මං ) දීපු නිසා කන්නෙ, නැත්තං ඒකත් නෑ!  අපි මේ පාන් කන්න උපන් ජාතියක් නෙවෙයි, අපි කන්න ආස පළතුරු, ගෙඩි වර්ග...
වැස්සක් වැටුනහම ගස් අතු අග ලියලන ලා දළු ගැන උඹල මොනවද දන්නෙ? රෑ කළුවර වැටෙනෙකොට අපි එකාට එකා තුරුළු වෙලා, ඒ අතු රිකිළි අස්සෙ ගුළි වෙලා නිදා ගන්න හැටි!
අනේ, කෝ ඒ  අපේ එවුන්! උඹල දැක්කද?
උඹලා දන්නවද, අපේ රැළේ කොච්චර සෙනඟක් හිටියද කියල? මතක් වෙනකොට මගෙ පපුව දාලා පිච්චිලා යනවා, ඇත්තමයි! උන් කොහේ ගිහිං ද? මගෙ පුංචි නංගියා දවසක් උඹලා අහසෙ ඇදල තියෙන් වැළක් දිගේ යන්න ගිහිං එක පාරටම ගැස්සිලා බිම වැටුණා. අපෙ අම්මා ඒකි ගාවට වෙලා පපුවට ගහගෙන ගහගෙන විළාප තියන හැටි ඒ ළඟ ගහක අත්තකට වෙලා මං බලන් හිටියෙ කොච්චර අමාරුවෙන් ද? මං කියල ඉතිං මොනවා කරන්නද?
අනේ ඊට ටික දවසකට පස්සෙ උන්ඳැ බිම දිගේ පාර පනින්න ගිහිං, ගොරව ගොරව ආපු මොකද්ද ලොකු පෙට්ටියක් වගේ එකකට අහුවෙලා පේන්නෙම නැතුව ගියා. අයියෝ! මට අපෙ අම්මගෙ සුවඳ මතක් වෙනවා. මාව තුරුළු කරගෙන අම්මා අත්තෙන් අත්තට පැන පැන යන හැටි! මාත් බය නෑ පොඩ්ඩක් වත්, මං ඒ අස්සෙ එයාගෙ කුක්කුවල එල්ලිලා කිරිම බොනවා. අනේ අම්මේ! උඹ ආයෙ එන්නැද්ද? මට මේවා කාලා එපා වෙලා!
හහ්! මුං මහ ලොකු මිනිස්සු!
ඒයි, මේ අහපල්ලා!
උඹලා මහ නරුමයො! අම්මා ඉස්සර කියනවා, මේ පැත්තෙ හැම තැනම ගහ කොළ තිබ්බලු! මේවා උන්ඳැලගෙ පරම්පරා කැලෑ ලු! උඹලා, එකතු වෙලා එවා ඉක්මනට ඉක්මනට කපාගෙන කපාගෙන ගියා ලු! ඒ මහ රැළේ එකා දෙන්නත් අතුරුදහන් වෙන්න ගත්ත ලු! ඇත්ත තමයි, මං පොඩි කාලෙ මේ හරියෙ තිබ්බ මහ ලොකු ගස් එකක්වත් දැන් නෑ! සමහර ගස් උඹලා කපන හැටි අපි අර ගහ අස්සෙ හැංඟිලා බලං හිටියා. අනේ එතකොට දැනෙන්නෙ අපේ අත පය කපනවා වගෙ. මුළු ඇඟම රිදුම් කනවා.
උඹලා ඇයි අපිට මෙහෙම කරන්නෙ?
අපි උඹලට කරපු වැරැද්ද මොකද්ද? කියාපල්ලා!
අපි ගස් වල හැදෙන දේවල් කනවා තමයි, ඒවා හැදෙන්නෙ අපිට කන්න, අපි වගෙ තව සත්තු කොච්චර ඉන්නවද? උන් කන්නෙ...ජීවත් වෙන්නෙ මේ ගස් එක්ක. ඒවා කන්න එපා නං මොනවද අපි කන්නෙ? කියාපල්ලා! උඹලා ඒවා කපනවා නං අපි කොහෙද ජීවත් වෙන්නෙ?
කියාපල්ලා!
කන්න ඕන..ජීවත් වෙන්න ඕන උඹලා විතරද?
උඹලා දුෂ්ට ජාතියක්! උඹලා කොහොමද අපේ ඇඟට එක එක ඒවා පත්තු කරල දාන්නෙ? අද දවස අමාරුම දවසක්, හැම තැනම හෙණ පුපුරනවා වගෙ. අපි ට හැංඟෙන්න තැනකුත් නෑ!  ඒ පුපුරන සද්දෙට අපි බයයි! අපි විතරක් නෙවෙයි අනිත් සත්තුත් බයයි. උඹලා ඔය ගෙවල්වල හුරතල් කර කර ඉන්න එවුන්, ඒවා පත්තු වෙද්දි අපි වගේම පණ ගැහි ගැහි හැංඟෙනවා. උඹලා මොක්කුද ඇත්තට?
අපේ එවුන් ඔය උඹලා ඉන්න තැන් වලට පැනල බලහත්කාරයෙන් කන්න බොන්න හදන්නෙ බඩ ගින්න ඉවස ගන්න බරුව, නැතුව නරක ගති නිසා නෙවෙයි. එක දවසක් අපේ එකෙක් එහෙම උඹලගෙ තැනකට රිංගලා පොල් බෑයක් උස්සගෙන එන්න හදනකොටම කවුරු හරි ගලකින් ගහලා අපේ එකාගෙ ඔළුව පැළිලා ලේ වැක්කෙරුණා. අනේ ඌ ඔළුව දෑතින් බදාගෙන කෑ ගහපු හැටි! උගේ අතේ තිබ්බ පොල් බෑය එහෙම ම වැටුණා. ඌ කොහේ හරි දිව්වා, ඊට පස්සෙ කවදාවත් ඌව නං දැක්කෙ නෑ! ඇයි ඌට එහෙම කෙරුව? අනේ ඇයි? ඇත්තමයි මේ කියන්නෙ, ඌ හොඳම හොඳ එකෙක්, උඹලා ඌට මොකද්ද ඒ කෙරුවෙ? කෝ ඌ?
තව වතාවක් අපෙ අම්මා වගෙ අම්මා කෙනෙක් එයාගෙ බබා තුරුළු කරගෙන අමාරුවෙන් අර රැහැනක් දිගේ යනකොට උඹලගෙ එකෙක් ඩෝං ගාලා මොකද්ද එකක් ඒකිගෙ ඇඟට වීසි කෙරුවා, ඒ අම්මා අතින් පුංචි දරුවා බිම වැටුණා. උඹලා ඒ කිරි සප්පයාව අරගෙන දිව්වා. අනේ, අර අම්මා දවස් ගණන් විළාප තිය තියා ඒ අවට කැරකුණු හැටි! කිසිම දෙයක් කෑවෙත් නෑ. අන්තිමට ඒ අම්මත් අතුරුදහන් වුණා. මතක් වෙනකොට හිත හෝස් ගාලා දැවිල්ල ගන්නවා. අනේ! අපේ එවුන් ට මෙහෙම වෙන්නෙ ඇයි? අපි ජීවත් වෙන්න එපා ද? උඹලා විතරක් හිටියහම ඇද්ද? අපේ දරුවො දරුවො නෙවෙයිද? උන් ට අම්මලා එපාද? මේ අම්මලාට දරුවො එපාද?
ඉස්සර අපි හැමෝටම මීට වඩා ආරක්ෂාවක් තිබුණා කියලා අපේ මහ එවුන් කිව්වා. ඒ දවස් වල අපේ රැළේ නායකයෙක් හිටියා. හරිම තේජස් එකෙක්. හැමෝම බයයි. ඌ වටේම සෝදිසි කරලා තමයි අපට තැනකට යන්න එන්න දෙන්නෙ. අනේ උඹලා අපේ ඒ නායකයා ට මොකක් හරි කෙරුවා. අපි ට ඩෝං ගාලා සද්දයක් ආවා, එතකොටම එයා ලේ පෙරාගෙන බිම වටුණා. උඹලා ඌ වට කරගෙන හිනා වෙවී කෑ ගැහුවා. අපි පණ බයේ හැංඟුණා. එච්චරයි දන්නෙ, ඊට පස්සෙ ඌ නෑ! අපි තනි වුණා.
ඇයි උඹලා මෙහෙම දරුණු වැඩ කරන්නෙ? කියාපල්ලා!
අපට වෙන මොකුත් එපා,  කාලා ජීවත් වෙන්න ගස් ටිකවත් ඉතුරු කරපල්ලකො. අපි උඹලට කරදර කරන්නෙ නෑ, අපිට උඹලගෙන් වෙන මොකුත් ම එපා! තේරුණාද? එහෙම කිව්වට ඉතිං  ඉතුරු කරන්නවත් කෝ දැන් ගස්? ඒවා නෑ!
මට තවත් ඉවසන්න බෑ ! අපේ කට්ටිය ත් දැන් නෑ, අද උදේ මාත් එක්ක හිටපු එකෙක් ට උඹලගෙ එකෙක් මොනවද කන්න දුන්නා විතරයි ඌ දඩස් ගාලා එතනම දිගා වුණා. මං බලං හිටියා ඌ නැගිටින කල්, ඒත් ඌ නැගිට්ටෙ නෑ!
මං දන්නවා, ඌ ආයෙ එන්නෙ නෑ, මට දැනුණා. මට මගෙ චූටි නංගියාව මතක් වුණා. බොරු නං බලාපං මේ ඇස්වල කඳුළු!
මට පාළුයි, බයයි. අනේ! මෙහෙම තවත් ඉවසන්න බෑ!
අපි දැන් ඉන්නෙ ටික දෙනයි, ඉඳා මේවත් උඹලම කාපල්ලා! ඉඳා...
අනේ අපිව මරාපල්ලා!
මරාගෙන කාපල්ලා!
අපි තරහ නෑ! ඇත්තමයි...
CHAPA
Jan 1. 2018