Tuesday, January 1, 2019


අනේ අපිව මරාපල්ලා! මරාගෙන කාපල්ලා!

මොකද අමුතු විදිහකට මං දිහා බලන්නෙ? ඈ!
උඹලා හිතුවද මේ ජරාව කන්න මං  පෙරේතයි කියලා? බඩ ගින්න ඉවසන්න බැරුව ඉන්නකොට අන්න අර මිනිහා ( මං ) දීපු නිසා කන්නෙ, නැත්තං ඒකත් නෑ!  අපි මේ පාන් කන්න උපන් ජාතියක් නෙවෙයි, අපි කන්න ආස පළතුරු, ගෙඩි වර්ග...
වැස්සක් වැටුනහම ගස් අතු අග ලියලන ලා දළු ගැන උඹල මොනවද දන්නෙ? රෑ කළුවර වැටෙනෙකොට අපි එකාට එකා තුරුළු වෙලා, ඒ අතු රිකිළි අස්සෙ ගුළි වෙලා නිදා ගන්න හැටි!
අනේ, කෝ ඒ  අපේ එවුන්! උඹල දැක්කද?
උඹලා දන්නවද, අපේ රැළේ කොච්චර සෙනඟක් හිටියද කියල? මතක් වෙනකොට මගෙ පපුව දාලා පිච්චිලා යනවා, ඇත්තමයි! උන් කොහේ ගිහිං ද? මගෙ පුංචි නංගියා දවසක් උඹලා අහසෙ ඇදල තියෙන් වැළක් දිගේ යන්න ගිහිං එක පාරටම ගැස්සිලා බිම වැටුණා. අපෙ අම්මා ඒකි ගාවට වෙලා පපුවට ගහගෙන ගහගෙන විළාප තියන හැටි ඒ ළඟ ගහක අත්තකට වෙලා මං බලන් හිටියෙ කොච්චර අමාරුවෙන් ද? මං කියල ඉතිං මොනවා කරන්නද?
අනේ ඊට ටික දවසකට පස්සෙ උන්ඳැ බිම දිගේ පාර පනින්න ගිහිං, ගොරව ගොරව ආපු මොකද්ද ලොකු පෙට්ටියක් වගේ එකකට අහුවෙලා පේන්නෙම නැතුව ගියා. අයියෝ! මට අපෙ අම්මගෙ සුවඳ මතක් වෙනවා. මාව තුරුළු කරගෙන අම්මා අත්තෙන් අත්තට පැන පැන යන හැටි! මාත් බය නෑ පොඩ්ඩක් වත්, මං ඒ අස්සෙ එයාගෙ කුක්කුවල එල්ලිලා කිරිම බොනවා. අනේ අම්මේ! උඹ ආයෙ එන්නැද්ද? මට මේවා කාලා එපා වෙලා!
හහ්! මුං මහ ලොකු මිනිස්සු!
ඒයි, මේ අහපල්ලා!
උඹලා මහ නරුමයො! අම්මා ඉස්සර කියනවා, මේ පැත්තෙ හැම තැනම ගහ කොළ තිබ්බලු! මේවා උන්ඳැලගෙ පරම්පරා කැලෑ ලු! උඹලා, එකතු වෙලා එවා ඉක්මනට ඉක්මනට කපාගෙන කපාගෙන ගියා ලු! ඒ මහ රැළේ එකා දෙන්නත් අතුරුදහන් වෙන්න ගත්ත ලු! ඇත්ත තමයි, මං පොඩි කාලෙ මේ හරියෙ තිබ්බ මහ ලොකු ගස් එකක්වත් දැන් නෑ! සමහර ගස් උඹලා කපන හැටි අපි අර ගහ අස්සෙ හැංඟිලා බලං හිටියා. අනේ එතකොට දැනෙන්නෙ අපේ අත පය කපනවා වගෙ. මුළු ඇඟම රිදුම් කනවා.
උඹලා ඇයි අපිට මෙහෙම කරන්නෙ?
අපි උඹලට කරපු වැරැද්ද මොකද්ද? කියාපල්ලා!
අපි ගස් වල හැදෙන දේවල් කනවා තමයි, ඒවා හැදෙන්නෙ අපිට කන්න, අපි වගෙ තව සත්තු කොච්චර ඉන්නවද? උන් කන්නෙ...ජීවත් වෙන්නෙ මේ ගස් එක්ක. ඒවා කන්න එපා නං මොනවද අපි කන්නෙ? කියාපල්ලා! උඹලා ඒවා කපනවා නං අපි කොහෙද ජීවත් වෙන්නෙ?
කියාපල්ලා!
කන්න ඕන..ජීවත් වෙන්න ඕන උඹලා විතරද?
උඹලා දුෂ්ට ජාතියක්! උඹලා කොහොමද අපේ ඇඟට එක එක ඒවා පත්තු කරල දාන්නෙ? අද දවස අමාරුම දවසක්, හැම තැනම හෙණ පුපුරනවා වගෙ. අපි ට හැංඟෙන්න තැනකුත් නෑ!  ඒ පුපුරන සද්දෙට අපි බයයි! අපි විතරක් නෙවෙයි අනිත් සත්තුත් බයයි. උඹලා ඔය ගෙවල්වල හුරතල් කර කර ඉන්න එවුන්, ඒවා පත්තු වෙද්දි අපි වගේම පණ ගැහි ගැහි හැංඟෙනවා. උඹලා මොක්කුද ඇත්තට?
අපේ එවුන් ඔය උඹලා ඉන්න තැන් වලට පැනල බලහත්කාරයෙන් කන්න බොන්න හදන්නෙ බඩ ගින්න ඉවස ගන්න බරුව, නැතුව නරක ගති නිසා නෙවෙයි. එක දවසක් අපේ එකෙක් එහෙම උඹලගෙ තැනකට රිංගලා පොල් බෑයක් උස්සගෙන එන්න හදනකොටම කවුරු හරි ගලකින් ගහලා අපේ එකාගෙ ඔළුව පැළිලා ලේ වැක්කෙරුණා. අනේ ඌ ඔළුව දෑතින් බදාගෙන කෑ ගහපු හැටි! උගේ අතේ තිබ්බ පොල් බෑය එහෙම ම වැටුණා. ඌ කොහේ හරි දිව්වා, ඊට පස්සෙ කවදාවත් ඌව නං දැක්කෙ නෑ! ඇයි ඌට එහෙම කෙරුව? අනේ ඇයි? ඇත්තමයි මේ කියන්නෙ, ඌ හොඳම හොඳ එකෙක්, උඹලා ඌට මොකද්ද ඒ කෙරුවෙ? කෝ ඌ?
තව වතාවක් අපෙ අම්මා වගෙ අම්මා කෙනෙක් එයාගෙ බබා තුරුළු කරගෙන අමාරුවෙන් අර රැහැනක් දිගේ යනකොට උඹලගෙ එකෙක් ඩෝං ගාලා මොකද්ද එකක් ඒකිගෙ ඇඟට වීසි කෙරුවා, ඒ අම්මා අතින් පුංචි දරුවා බිම වැටුණා. උඹලා ඒ කිරි සප්පයාව අරගෙන දිව්වා. අනේ, අර අම්මා දවස් ගණන් විළාප තිය තියා ඒ අවට කැරකුණු හැටි! කිසිම දෙයක් කෑවෙත් නෑ. අන්තිමට ඒ අම්මත් අතුරුදහන් වුණා. මතක් වෙනකොට හිත හෝස් ගාලා දැවිල්ල ගන්නවා. අනේ! අපේ එවුන් ට මෙහෙම වෙන්නෙ ඇයි? අපි ජීවත් වෙන්න එපා ද? උඹලා විතරක් හිටියහම ඇද්ද? අපේ දරුවො දරුවො නෙවෙයිද? උන් ට අම්මලා එපාද? මේ අම්මලාට දරුවො එපාද?
ඉස්සර අපි හැමෝටම මීට වඩා ආරක්ෂාවක් තිබුණා කියලා අපේ මහ එවුන් කිව්වා. ඒ දවස් වල අපේ රැළේ නායකයෙක් හිටියා. හරිම තේජස් එකෙක්. හැමෝම බයයි. ඌ වටේම සෝදිසි කරලා තමයි අපට තැනකට යන්න එන්න දෙන්නෙ. අනේ උඹලා අපේ ඒ නායකයා ට මොකක් හරි කෙරුවා. අපි ට ඩෝං ගාලා සද්දයක් ආවා, එතකොටම එයා ලේ පෙරාගෙන බිම වටුණා. උඹලා ඌ වට කරගෙන හිනා වෙවී කෑ ගැහුවා. අපි පණ බයේ හැංඟුණා. එච්චරයි දන්නෙ, ඊට පස්සෙ ඌ නෑ! අපි තනි වුණා.
ඇයි උඹලා මෙහෙම දරුණු වැඩ කරන්නෙ? කියාපල්ලා!
අපට වෙන මොකුත් එපා,  කාලා ජීවත් වෙන්න ගස් ටිකවත් ඉතුරු කරපල්ලකො. අපි උඹලට කරදර කරන්නෙ නෑ, අපිට උඹලගෙන් වෙන මොකුත් ම එපා! තේරුණාද? එහෙම කිව්වට ඉතිං  ඉතුරු කරන්නවත් කෝ දැන් ගස්? ඒවා නෑ!
මට තවත් ඉවසන්න බෑ ! අපේ කට්ටිය ත් දැන් නෑ, අද උදේ මාත් එක්ක හිටපු එකෙක් ට උඹලගෙ එකෙක් මොනවද කන්න දුන්නා විතරයි ඌ දඩස් ගාලා එතනම දිගා වුණා. මං බලං හිටියා ඌ නැගිටින කල්, ඒත් ඌ නැගිට්ටෙ නෑ!
මං දන්නවා, ඌ ආයෙ එන්නෙ නෑ, මට දැනුණා. මට මගෙ චූටි නංගියාව මතක් වුණා. බොරු නං බලාපං මේ ඇස්වල කඳුළු!
මට පාළුයි, බයයි. අනේ! මෙහෙම තවත් ඉවසන්න බෑ!
අපි දැන් ඉන්නෙ ටික දෙනයි, ඉඳා මේවත් උඹලම කාපල්ලා! ඉඳා...
අනේ අපිව මරාපල්ලා!
මරාගෙන කාපල්ලා!
අපි තරහ නෑ! ඇත්තමයි...
CHAPA
Jan 1. 2018

No comments:

Post a Comment