High Way කතාවක්!
ළඟදි දවසක මං, හදිසියකට කඩවත යන්න හිතාගෙන අතුරුගිරියෙන් අධිවේගී මාර්ගය ට ඇතුල් වුණා. අධිවේගී මාර්ග ඉදිකිරීම ගැන සංවාදය එහෙම ම තියෙද්දි, ඒ මාර්ග අවකාශය තුළ හිත ට දැනෙන සුවදායක බව කොයිතරම් ද කියලා මං කල්පනා කරන්න පටන් ගත්තා.
නිදහස! පුළුල් බව! විසල් බව!
අහ්! එතකොට ම ඔන්න එකපාරට මාව උඩ යනවා වගෙ දැනුණා, ඒ ගමන් වේගය වැඩි වෙලා නෙවෙයි, මුදල් පසුම්බිය අමතක වූ බව මතක් වෙලා! ගමන් බලපත්‍රය එක්ක බැංකු කාඩ් පත නං තියෙනවා, ඒත් ඒකෙන් ගෙවන්න බැහැ,
මාර වැඩේ! මාව මාර විදිහට අවුල් වුණා,
එතකොට ම ඊට කලකට කලින්, හරියටම 2014 දි වගෙ කටුනායක අධිවේගී මාර්ගයේ, කටුනායක අන්තයේ මුදල් කවුළුවේ දි අත් වින්ඳ ටිකක් තිත්ත අත්දැකීමකුත් එක පාරට ම හිත ට ආවා.
ඒ සිද්ධිය වෙනස්, ඒත් එදත් මං ටිකක් අවුල් වුණා, වෙන විදිහකට.
එදා වුණේ මාර්ග ගාස්තුව වූ 300/- ගෙවන්න මාරු සල්ලි නැතුව දීපු 5000/- නෝට්ටුවෙ ඉතුරු මුදල්, වෙන කල්පනාවක් පිට අමතක කරල, එක පාරටම ඇරුණු මාර්ග බාධකය අතරින් මං යන්න ගිය එක, පරිගණක කුවිතාන්සිය මට දෙන අතර අදාළ නිළධාරියා මුදල් ගණන් කරන්න ඇති. මුහුණ පුරා රැවුළ වවපු, ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන ඒ ප්‍රිය මනාප පුද්ගලයා මට හොඳට පුරුදුයි, මොකද, මං ඒ කාලය තුළ දින පතා ඒ අධිවේගී මාර්ගය හරහා වෙන්නප්පු යනව එනවා.
කොහොමත් තනිකර මගෙ වැරැද්ද!
ටික දුරක් යනකොට තමයි ඒත්, වෙච්ච වැරැද්ද මට මතක් වුණේ. ඊට පස්සෙ මං වාහනය පාර අයිනක නවත්තගෙන අර කුවිතාන්සියෙ තිබුණු නොම්මරයකට කතා කෙරුවා. ''ආයුබෝවන්! ඔබ ට උදව් කරන්න පුළුවන් ද?'' එහා පැත්තෙන් ඉතා වැදගත් පිරිමි හඬක් ආවා.
'ෂා!' මට හිතුණා!
මම ඔහු ට වෙච්ච දේ කිව්වා, වැරැද්ද මගේ බවත් කිව්වා.
''මහත්මයා, අපි ඔබ තුමා ඉක්මනින් සම්බන්ධ කර ගන්නවා!'' ඔහු කියපු විදිහ ට මට පුදුමත් හිතුණා. ඔහොමනෙ දේවල් වෙන්න ඕන!
මං දැන් යනවා, ඔන්න විනාඩියකින් වගෙ අර කෝල් එක ආවා. එවර වෙන පුද්ගලයෙක් අර විදිහට ම වැදගත් විදිහට කතා කරලා අදාළ විස්තරය ගත්තා, මට මාර සතුටුයි!
ආයෙ විනාඩියකින් දෙකකින් ඒ විදිහට ම තව කෙනෙක් කතා කෙරුවා, සිද්ධිය ගැන මුල ඉඳන් ඇහුවා. ආයෙ තව කෙනෙක්, ආයෙ තව කෙනෙක්...කීප දෙනෙක් කතා කර කර වැදගත් විදිහට වුණත් එකම දේ අහන නිසා මං ටිකක් අවුල් වුණා.
''අපි ඔබ තුමා ඉක්මනින් සම්බන්ධ කරගන්නවා, කතා කෙරුවාට ස්තුතියි!''
ඒ තමයි මට එහෙන් ලබුණු අන්තිම වැදගත් කෝල් එක. එච්චරයි.කමක් නෑ! වැරැද්ද මගේනෙ, මං මොකටද පිස්සෙක් වගෙ එන්න ආවෙ ඉතුරු සල්ලි නොගෙන! මං මට බැනලා නිකං හිටියා,
ඊට දවස් දෙකකට වගෙ පස්සෙ අර කවුළුවේ, අර කියන ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන ඒ ප්‍රිය මනාප පුද්ගලයා ම හිටියා, ඔහු වෙනද වගේ මට ගුඩ් මෝනිං කිව්වෙත් නැහැ, කලින් දැකල ත් නැහැ වගෙ අදාළ ගනු දෙනුව කෙරුවා, මම ත් දන්නෑ වගෙ හිටියා, ඇත්තනෙ, මං කොහොමද එයාව දන්නෙ!
ඔන්න! ඒ කල්පනාව අස්සෙ, මං දැන් කඩවත පිටවන කවුළුව ළඟ!
මොකද කරන්නෙ!
ඉබේම වගෙ මං නැවතිලා, මට දකුණෙන් වාහන දොරේ වීදුරුවත් පහත් වෙලා. මේ පාර මුදල් කවුළුවේ ඉන්නෙ අර, ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන ප්‍රිය මනාප පුද්ගලයා ගෙ මල්ලි වගෙ කෙනෙක්. හැබැයි නහය ටිකක් දිගයි, කොහොමත් ඔහු වගේ ම හැඩකාර තරුණයෙක්.
''මට පොඩි ඇබැද්දියක් වුණා, වොලට් එක අමතක වුණා,,,මොකද්ද කරන්න පුළුවන්?''
කිසි පෙර සූදානමක් නැතුව මං ඇහුවා.
''මේ මගෙ ෆෝන් නම්බර් එක,,,සර්ගෙත් මොකක් හරි කන්ටෑක් නම්බර් එකක් ...''
මං දිහා හරියට බැලුවෙත් නැතුව, මගෙ ටිකට් පත අරගෙන වෙන කොල තීරුවක යමක් ලියන ගමන් ඔහු කියාගෙන ගියා. ඒ ඔහුගෙ දුරකථන අංකය.
''අනේ වෙරි සොරි!'' ගැළපෙන්නෙ නැති වුණත් අන්න එහෙම එකකුත් මං ඔහු ට කිව්වා.
පුදුම මනුස්සයෙක් නෙ!
දිග නහයක් තියෙන, මුහුණ පුරා රැවුළ වැවූ ඒ ප්‍රිය මනාප මුහුණ මට හොඳට මතකයි!
අදාළ ගාස්තුව 150/- ක් වුණත්, මගේ නොසැලකිල්ලෙ අවදානම ඔහු ගන්නෙ ආයි?
''මං සල්ලි දෙන්නෙත් නෑ, කෝල් කරන්නෙත් නෑ, කෝල් කෙරුවටන් උත්තර දෙන්නෙත් නෑ! එහෙම වුණොත්?''
ඔහුගෙන් පිටවන ගමන්, මං මගෙ හිතින් අහන්න පටන් ගත්තා.
''එහෙම වුණොත් මං හරි ඒක දානවා!''
ඔහුගෙ සමු දීමේ කාරුණික මද සිනහව, මට කිව්වෙ අන්න එහෙම කතාවක්!
මං ආපහු එන අතර, ඔහු ට කෝල් එකකුත් දීලා ඒ පිවිසුමේදි ම ගනු දෙනු බේරුවා.
''තෑන්ක් යූ සර්!''
ඔහුගෙ ගෞරවණීය ප්‍රතිචාරය!
ඔබ මට ස්තූති කරන්නෙ ඇයි? මම නෙ ඔබ ට ස්තූති කරන්න ඕන?
මං එහෙම ඇහුවෙ නෑ! ඒත් ඔහුගෙ මද සිනහව සහ කාරුණික ඇස් ඊට කෙටි උත්තරයක් දුන්නා!
මනුස්සකම!
අර, ලොකු ඇස් දෙකක් සහ පුංචි නහයක් තියෙන පුද්ගලයා වෙනුවට, ලොකු ඇස් දෙකක් සහ දිග නහයක් තියෙන වෙනත් පුද්ගලයෙක් අධිවේගී මතකය ට ඇතුල් වුණා,
එච්චරයි!
CHAPA, Jan 3, 2019
No comments:
Post a Comment