Saturday, March 2, 2019

ලාල් කාන්ත ට සුභ ගමන් ලු!

බීමතින් රිය පදවා අනතුරක් සිදු කළේය! යන චෝදනාව මත ජවිපෙ ලාල්කාන්ත, අධිකරණය හරහා රිමාන්ඩ් භාරයට පත් වීම සම්බන්ධයෙන්, විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ඇහෙන පේන විවිධ කතා නිසා මේ සටහන තියන්න හිතුවා.
කවුරු වුණත් රිය අනතුරකට මුල් වෙනකොට ඔහු හෝ ඇය, නීතිය ඉදිරියෙ වරද කරුවෙක් තමයි. තමන්ගෙ වරදක් නැති වුණත් අන්තිමට අනතුර වළක්වා නොගැනීමේ වරද හෝ ඒ පුද්ගලයා ට එල්ල වෙනවා. 
බීමතින් රිය පැදවීම නං නීතිය ඉදිරියේ විතරක් නෙවෙයි සාමාන්‍ය මනස ඉදිරියේත් බරපතළ වරදක්!
කොහොම වුණත් වැරදි වෙන්නෙ සහ වැරදි කරන්නෙ මිනිස්සු අතින්, මිනිස්සු එහෙමයි. ලාල්කාන්ත අතින් සිදුවූ බව කියන වරද තේරුම් ගන්න වෙන්නෙ එහෙමයි. 
ප්‍රශ්නය වෙන්නෙ ඔහු ජවිපෙ නායකයෙක් වීම. 
ඇයි ජවිපෙ ට වැරදි කරන්න බැරිද? කෙනෙක් අහයි. මොකද්ද ජවිපෙ ට විතරක් විශේෂයක්? එහෙමත් අහන්න පුළුවං. අනෙක් දෙශපාලන පක්ෂ සියල්ලට වඩා පරමාදර්ශී තැනක තියෙන බව කියන ජවිපෙ ට එහෙම වැරදි කරන්න බැහැ! කියන තර්කය අනිත් පැත්තෙන් ඔන්න එනවා. ඒ, වැරදි කරන අනිත් එවුන්ගෙ රෙදි ගළවන එවුන් වැරදි කරන්නෙ කොහොමද? කියන ජනප්‍රිය ප්‍රශ්නය.
ඔය සංවාදය ට ඓතිහසික මූලයක් තියෙනවා, ඒ නිසා අතිශය වැදගත්!
ඒ කියන්නෙ, ලෝකය වඩා යහපත් තැනක් බවට පත්කරන්න හදන මිනිස්සු සහ කණ්ඩායම් මුහුණ දෙන අභියෝගය. එවැන්නන් සහ එවැනි කණ්ඩායම් අනිවාර්‍යයෙන් ම පරමාදර්ශී වෙන්න ඕන කියල හැමෝම හිතනවා. එහෙම නං, එහෙම හිතන මිනිස්සු, එවැන්නන් සහ එවැනි කණ්ඩායම් වෙනුවෙන් පෙනී හිටින්න ඕන. කෝ ඉතිං එහෙමත් නැහැ!
අපි වැරදි කරන්නං, ඒත් උඹලා ට බැහැ! කියල තමයි ඒ අති බහුතරයට හිතෙනව ඇත්තෙ. 
අනිත් පැත්තෙන්, එවැනි මිනිස්සුන්ට සහ කණ්ඩායම් වලට තම අරමුණ සාර්ථක කර ගන්න නං විශාල කැපකිරීම් සහ දැරීම් කරන්න වෙනවා. තම පුද්ගලික ඕනෑ එපාකම් පැත්තකට දාල සහ දැඩි කළමනාකරණයකට යටත් කරල ඔවුන් ට එක තත්ත්වයකම පවතින්න වෙනවා. ඉතිහාසය පුරාම එහෙමයි. 'දැරීම', දේශපාලනය තුළ අනිවාර්‍යයි. එහෙම නං එහෙම දරන මිනිස්සුන්ට මොකද වෙන්නෙ? ඔවුන් ට වග කියන්නෙ කවුද? ඔවුන්ගෙන් යැපෙන්නන් ට වග කියන්නෙ කවුද? ඊළඟට, එහෙම පවතින්න තිරණය කරන කෙනෙක්, තවත් අය ඒ සඳහා පෙළඹවිම මොන තරම් බරපතළ තත්ත්වයක් ද? එසේ පෙළැඹී තමා පසු පස එන අනුගාමිකයන් ට වග කියන්න අදාළ නායකයන් ට පුළුවං ද? ඒ සඳහා සූදානම සහ වගකීම කුමක් ද? අනෙක් අතට එවැනි පිරිස් විශ්වාස කරමින් වටා රැස්ව සිටින පොදු ජනතාව ගෙ පැවැත්ම...  
සංවාදය සංකීර්ණ නිසාම බරපතළයි! 
ලාල්කාන්ත සම්බන්ධ සිදුවීම මෙන්න මේ මහා සංවාදය ට අදළයි. ඒත් දැන් ඇහෙන්නෙ පේන්නෙ ඊට වඩා ඉතා පහළ මට්ටමේ කතා ටිකක්. විවිධ හේතු මත ජවිපෙ විරෝධී ස්ථාවරයක සිටින්නන්, ''අන්න තොපේ මහලොකු නායකයා, ලාල්කාන්ත හොදට දාලා වාහනේ එළවගෙන ගිහිං ගෑනු දෙන්නෙක් හප්පලා!'' වැනි කතා කියමින් තම ප්‍රීතිය ප්‍රකශ කරන විට, ජවිපෙ පාක්ෂිකයන් පෙරළා අහන්නෙ, අර තොපේ කපුවා දේවාලෙ ඇතුළෙ දාගෙන දැරියකට අතවර කරපු එක හොඳද? වගෙ කතා. ඇයි ජවිපෙ ට බොන්න බැරිද වගෙ ඒවත් අහනවා. වෙන පක්ෂයක කවුද නියෝජිතයෙක් මාධ්‍ය කැමරා ඉදිරියේ කෑගහල කිව්වා, ජවිපෙ දැඩි නීති මාලාවක් තියෙන පක්ෂයක්, ඒ නිසා ලාල්කාන්ත වහා පක්ෂයෙන් නෙරපා දාන්න ඕන! වගෙ කතාවකුත්. 
සමාජමාධ්‍ය ඔස්සේ එහා මෙහා වන එක පෝස්ට් එකකින් නං, ලාල්කාන්ත ට කියන්නෙ, බන්ධනාගාරය දින දහ හතරක විශ්ව විද්‍යාලයක් විදිහට, කාලයකට පස්සෙ වෙනස් අත්දැකීමක් කරගෙන ඉන්න ලු, රැඳවියන්ටත් ලාල්කාන්තටත් සුභ ගමන් ලු! 
මෙච්චර සිල්ලර සහ බොළඳ අදහස් හුවමාරුවක්?!
අනේ මන්දා!
මං කවුද? මට අවශ්‍ය මොකද්ද?
ඕන නං එහෙමත් යෝජිත සංවාදයට ප්‍රවේශයක් ගන්න පුළුවං!
CHAPA 
March 3, 2019

No comments:

Post a Comment