Wednesday, March 13, 2019

එහා ගෙදර බබා!

එයාගෙ නම මට මතක හිටින්නෙම නැහැ, ඉතිං එයා එහා ගෙදර බබා!
දකින දකින වෙලාවට මං එයා ට එක එක ඒවා කියල අවුස්සනවා. 
''ඔයාගෙ තාත්තා මං බෑග් එකක දාගෙන අරගෙන යනවා, කඩේකට විකුණනවා!'' මං කියනවා. ''හීඊඊඊ...ඒයීඊඊඊ!'' වගෙ එක එක වචන පේළියකින් එයා මට සැර දානවා. තාත්තා එක්ක නං ඉන්නෙ එයා බදාගෙන මට පයින් ගහන්න හදනවා, එතකොට එයාගෙ සෙරෙප්පු ගැළවිලා උඩ වීසි වෙනවා. ඒකට එයාට තවත් තරහයි.
එයාට පුංචි අක්කලා දෙන්නෙකුත් ඉන්නවා.
''මං මෙයාලව අරගෙන යනවා...'' දවසක් මං ඒ පුංචි අක්කලා ළඟට ගන්න ගමන් කිව්වා, එතකොට ඒ බබා දකුණු අතේ ඇඟිලි කීපයක් කට ඇතුළෙ රවුම් කරන ගමන් ඔළුව වනමින් මට අනුමැතිය දුන්නා. ඒ, එදා ඒ වෙලාවෙ මොකක් හරි එකකට එයා අක්කලා එක්ක තරහ වෙලා ඉඳලා. වෙන දවසක නං එයා මට කෙළ ගැහුවා එහෙම අක්කලා ගෙනියන්න හදනවා බලං ඉන්න බැරුව. කෙළ ටික එහෙම්මම එයාගෙ නිකට උඩටම වැටිලා ඔන්න දැන් එයාට අමුතු පෙනුමක් ආවා.
දවසක් මං එයාගෙ නහය අල්ලලා මගෙ කටේ දාගත්තා වගෙ දෙයක් කෙරුවා. එයා ඉතිං තමන්ගෙ නහය අත ගාලා බැලුවා, ඒක එහෙමම තියෙන බව තහවුරු වුණාට පස්සෙ, ''ඒයීඊඊඊ....ඌඌඌඌ!''  වගෙ මොකද්ද එකක් හයියෙන් කියල හිචි හිචි කියල හිනා වුණා.
දවසක් මං ගේට්ට්ටුව ළඟ ඉන්නකොට පිටේ මොකක් හරි ඇවිත් වැදුනා. මං බැලුවා මොකද්ද කියල. '' බබා මොකද ඔය ගල් ගහන්නෙ? ඈ!'' එයාගෙ අම්මා එයාට සැර දානකොට තමයි මං වැඩේ දැන ගත්තෙ.
එයා එයාගෙ අම්මාට විතරද කොහෙද බය. හැම එකකටම ''අම්මා!' කියල කෑ ගහන්නෙ ඒකයි.
ආ! එයා දැන් බහ තෝරන ගමන්!
''ගලකින් ගානවාආආආආ...'' 
මොකක් හරි කියල දැන් එයා එහෙමත් කියනවා. ''අනේ එපා, මං පව්නෙ...එපාආආආ!'' මං කියනවා. එතකොට එයා, ''ගානවා ගානවා ගානවාආආආ...'' කියල මාව අවුස්සනවා. අවුස්සනවා කිව්වට එහෙම ගහනවත් එක්ක. එයාගෙ පුංචි ඇඟිලි වලට ලොකු ගල් අහු වෙන්නෙ නැති නිසාත් අහු වෙන පුංචි ගල් වලින් ගැහුවත් වැඩි ඈතකට නොයන නිසාත් ලොකු අවුළක් නැහැ ඉතිං.
දවසක් එයා ට අපේ ගහේ ජම්බු ඕන වුණා. ඉතිං මං ජම්බු කඩල දුන්නා. ඒවායෙ කූඹි ඉන්න නිසා එයාලට යන්න ටික වෙලාවක් ජම්බු බිම තියෙන්න ඇරියා. මං ගහේ තව ජම්බු හොයන අතරෙ එයා ''අම්මත තිරි!'' කියල හයියෙන් කිව්වා. බැලින්නං එයාට අර කූඹි යන්න තියපු ජම්බුවක් පෑගිලා. 
''ආනේ! මොනවද ඔය කියන්නෙ? කවුද බබාට ඒ නරක වචන කියල දුන්නෙ?'' මං නිකටෙ අත තියාගෙන ඇහුවා. එතකොටත් හෝදන්නෙත් නැතුව ජබ්මුවක් කටේ දාගෙන හිටපු බබා මගෙ ප්‍රශ්නය ඇහුනෙ නෑ වගෙ ඇස් ලොකු කරන් ගහේ ජම්බු හොයන්න පටන් අරං.
 ''අජීත්ත්ත්ත්ත්....'' ඒ, එයා හදිසියකට තාත්තාට කතා කරන විදිහ. ඒ තාත්තාත් එතකොට ''ඕඕඕ...'' කියල උත්තර දෙනවා, දුන්නෙ නැත්තං, දෙනකල් ම තාත්තගෙ ඒ නම කිය කියා බබා කෑ ගහනවා. 
ඔය දැන් ජනේලයෙ එල්ලිලා එහෙම අජීත්ත්ත්ත්....කියල කෑ ගහද්දි, මං ''ඕඕඕඕඕ,,,'' කියල හයියෙන් උත්තර දුන්නා.
''ඔයාද අජිත්...ඈඈඈඈඈ?'' 
එයා ඊට වැඩිය හයියෙන් කෑගහල ඇහුවා!
''ගලකින් ගානවාආආආආ....''
ඔන්න ඉතිං එහා ගෙදර බබා!
CHAPA
March 14, 2019




No comments:

Post a Comment