Saturday, April 16, 2016

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2015 සඳහා ලෝකය පිළිබඳ තමන්ගෙ මානව හිමිකම් වාර්තාව එළිදක්වනව. අතිශය වැදගත්ම ප්‍රශ්නය ඇමරිකාවට ඒ බලය දෙන්නෙ කවුද කියන එක! ඔවුන්ට එහෙම බලයක් හෝ අයිතියක් නැහැ. ඊළඟ බරපතළම ප්‍රශ්නය, ඇමරිකාව මානව හිමිකම් දරුණු විදීහට උල්ලංඝනය කරන ගමන් තමයි මෙහෙම ලෝකය ප්‍රශ්න කරන්නෙ. ඔවුන්ට මොනවද ඇත්තටම ඕනෙ ?  අපි මෙහෙම බලමු!! ඇමරිකාව දැන් ලංකාව ගැන කියන්නෙ මොනවද? ටියුනීසියාව, නයිජීරියාව සහ මියන්මාරය සමඟ සංසන්දනය කරමින් ලංකාව යම් ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් පෙන්වනවලු! මොකද්ද මේ පරාමිතිය? ඔය කියන අනිත් රටවල් එක්ක ලංකාව සංසන්දනය කරන පදනම මොකද්ද? මේ, ඔවුන්ගෙ පූර්ව සැලසුම්සහගත නිරීක්ෂණ. ඊළඟට ඔවුන්, අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපෘති වාර්තාවක් උපුටා දක්වනවා. 2015 ත් ආරක්ෂක අංශ මගින් සිද්ධවෙච්ච මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කියනවා, මේ කියන සිදුවීම් දිහා බලනකොට පේනවා, ඔවුන් මේ කතා කරන්නෙම ලංකාවෙ  දෙමළ ප්‍රජාව ගැන - යටි අරමුණක් එක්ක. ලංකාව කියන්නෙ උතුරු නැගෙනහිර කළාප විතරයි කියල ඔවුන් හිතාගෙන ඉන්නව, ඔවුන් මේ ඇත්තටම කරන්නෙ දෙමළ ඩයස්පෝරාවට ඕන දේ, ලංකාවෙ රාජ්‍ය බලය බිඳල ඊනියා බලය බෙදාහැරීමකට පොළොව හදල තමන්ගෙ බල ව්‍යාපෘතිවලට පාවිච්චි කරන්න. ලංකාවෙ මානව හිමිකම් ගැන මෙච්චර උනන්දු ඇමෙරිකාව, 88-89 කාලයේදී ජවිපෙ ට එදිරිව ලංකා රාජ්‍ය කරපු ම්ලේච්ඡ ඝාතන ඇතුළු දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ( දැන් ජවිපෙ ට වත් මතක නැති!) ගැන කවදාවත් මෙහෙම කතා කරන්නෙ නැහැ, ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගෙ බළල් අත්  විදිහට වැඩකරපු රාජ්‍ය නොවන ආයතන කිහිපයකුත් ඒ භිෂණය පිටිපස්සෙ තිබුණා, මේ තමයි ඇත්ත! ලංකාවෙ රෙජිම වෙනස්කිරීම ( Regime change ) සහ එදා මෙදා තුර රට තුළ ක්‍රියාත්මක ව්‍යුහාත්මක වෙනස්කිරීම්, විශේෂයෙන්ම ආර්ථික හැසිරවීම් යට ඉන්නෙ ඇමෙරිකාව ප්‍රමුඛ මේ ඒජන්තවරු තමයි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව...රාජ්‍ය නොවන ආයතන පොකුරක් මේ මහා මෙහෙයුම ඇතුළෙ දිගටම ඉන්නවා. එක්සත් ජාතීන්ගෙ පුවරුව තමයි
ඉස්සරහින්ම තියෙන්නෙ. මේ වැඩවලට ලංකාවෙ උගත්තු, බුද්ධිමත්තු, කලාකාරයො..හුඟක් අය විකිණිල හින්ද රට තියෙන්නෙ ලොකු අවුලක. දැන්, අපි ඇමෙරිකාව පැත්තට හැරෙමු! ඇමරිකාව කියන්නෙ, ඉතිහාසය පුරාම දරුණු යුධ අපරාධ කරමින් ඉන්න රටක්. වියට්නාම් යුද්ධය, ගල්ෆ් යුද්ධය සහ ඉරාක ආක්‍රමණය ගැන ඇමෙරිකාවට කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද? CIA හරහා ඔවුන් කරන දේවල්?! ඒ අතර ඔවුන් ගුවන්තනොමෝ ඇතුළු රහස් වධකාගාර සිර කඳවුරු පවත්වාගෙන යන බව දැන් ලෝකයම දන්නවා.Torture in United States Prisoners ( of  American Friends Service Committee Northeast Region Healing Justice Program)  කියන වාර්තාවට අනුව ඇමෙරිකා  සිරගෙවල් ඇතුළෙ සිරකරුවන් අමානුෂික වධ බන්ධන වලට ලක්වෙනව. මේ හෙළිදරවු කිරීම් හේතුවෙන්, ජනාධිපති ඔබාමාටම, එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ ගැන පැමිණිළි කරන්න සිද්ධවෙන හැටි 2015 මැයි 11 Breitbart වෙබ් පිටුව වාර්තා කරනව. මේ අතර චීනය, ඇමෙරිකානු මානව හිමිකම් වාර්තා නිර්දය විදිහට ප්‍රතිෂේප කරන හැටි, China issues report attacking US human rights records යනුවෙන්  2015 ජුනි 26 the Guardian වාර්තා කරනව. චීනයට එහෙම කරන්න හයිය තියෙනව. එත් ලංකාවෙ අපි? දැන් මොකද්ද කරන්නෙ ? කෝ අපිට - නායකයො? දේශපලානඥයො? උගත්තු? වෘත්තිකයො? අපි ඔවුන්ගෙ වෙළඳ උගුලකට අහුවෙලා, ලෝකයටම ණය වෙලා, ඒ ණයත් හොරා කකා හැළිය රත් වෙනකං දිය කෙළින කකුළුවො වගෙ fun එකේ ඉන්න ජාතියක්! ඉතිං අපි කොහොමද රටක් හැටියට ගොඩ නැගෙන්නෙ? ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකය ඇතුළෙ නොංජල් නොවී තමන්ගෙ තැන ලකුණු කර ගන්නෙ!? CHAPA

No comments:

Post a Comment