Tuesday, April 19, 2016

' චාපා මේ වෙලාවෙ මොකක් හරි පක්ෂයකට වැඩ කරනවද?'
ඉනෝකා සත්‍යාංගනී දුරකතනයෙන් ඇහුව. ඒ, පහු ගිය මහා මැතිවරණය කිට්ටුව දවසක්. ' නැහැ! මම කවදාකවත් කිසිම පක්ෂයකට වැඩ කරන්නෙ නැහැ! ඡන්දය දාන්නෙත් නැහැ!!' මම කියාගෙන ගියා.
' එහෙමනං හරි! මං වගේම තමයි, අපිට ඕනෙත් එහෙම ස්වාධීන කට්ටිය!!' ඇය විශ්වාසනීය විදිහට කිවුව. ඊට පස්සෙ ඇය මෙහෙම විස්තරයක් කෙරුව;
' අපි මේ දවස්වල විද්වත් හමුවක් සංවිධානය කරගෙන යනව, කිසිම පක්ෂයකට නැති අය තමයි එකට එන්නෙ, චපාත් එන්න..' ඉතිං මම ගියා. තැන, ඇතුල් කොට්ටෙ හන්දියට කිට්ටු බෙනට් රත්නයකගෙ ගොඩනැගිල්ල. කීප දෙනෙක් ඒ වෙනකොටත් ඇවිත් හිටිය, ඉනෝකත් හිටිය. දන්න අය අතරෙ, මොහාන් රාජ් මඩවල, නවරත්න ගමගෙ..හිටිය. ' මල්ලි කවුද?' බෙනට් ගැඹුරු බැල්මක් එක්ක මගෙන් ඇහුව.
'මම...' මම ඉතිං මොනවද කියන්නෙ! ටිකක් කල්පනා කරන අතරෙ ඉනෝකා මං ගැන පොඩි විස්තරයක් කෙරුව. ' මේකයි මල්ලි..අපි දැන් කීප වරක් දිගටම හම්බ වුණා, බොරු කියන්න ඕන නැහැනෙ...අපි මේ කරන්නෙ ඉලෙක්ෂන් එක ඉලක්ක කර ගත්ත වැඩක්...' අපි බලන්නෙ මහින්දව යවල ගත්ත ජයග්‍රහණය මේ මැතිවරණයෙදිත් තහවූරු කර ගන්න..'  බෙනට් දිගටම කියාගෙන යනව. 'ඒ වුණාට, අපි මේක කරන්නෙ පොදු අරමුණකුත් එක්ක...' ' මේ රටට අයෙත් ඒ ඒකාධිපති පාලනය එන්න දෙන්න බැහැ..' ' කොටින්ම මහින්දගෙ බලවේග  අතුගලම දාන්න ඕනෙ..' ඔය වගෙ කතා ඒ අතර අනිත් අය කියනව, ඒ ඒ අයත් ඒවාට උත්තර දෙමින්, කෑලි එකතු කරමින් ඉන්න අතරෙ,  හර්ෂ මාකලන්ද පහුවෙලා රැස්වීමට ඇවිත් මගෙ ළඟම ඉඳගත්ත, '..මං  ඒ ටික ඔක්කොම පේපර් එකකට ගත්ත, එතකොට අපිට ලේසියි..' මම හර්ෂ දන්නව වුණා ට හර්ෂ මාව
දන්නෙ නැහැ. එත් ඔහු ඉතාම සුහද විදිහට මුමුණන හඬකින් මට විස්තර කියාගෙන යනවා, ' මං කිව්වෙ..රනිල්..ප්‍රයිම්මිනිස්ටර් කියපු විදිහට...' ඒ අතර මහින්දට විරුද්ධව කරන්න හදන එක එක වැඩ ගැන වෙන වෙන කතා.
මට ඉතිං තව දුරටත් නිහඬව ඉන්න බැහැ!
මම ටිකක් උස හඬින් මෙහෙම කියන්න පටන් ගත්ත, 'මං හිතන්නෙ...මම ඇවිල්ල ඉන්නෙ වැරදි තැනකට..මම මෙතන ඉන්න එක සාධාරණ නැහැ, මම මේ කණ්ඩායමට අයිති නැති නිසා, ඉනෝකා කිව්වෙ ස්වාධීන විද්වත් හමුවක් ගැන...ඒ නිසා මම යනව..'  මම නැගිට්ට. ' අපිට ඉතිං බොරු කියන්න බැහැනෙ...අපි රනිල්ට තමයි මේ කැම්පේන් එක කරන්නෙ..හරි! චාපා ගෙ මතය අපිට කියල යන්නකො..' බෙනට් සුහද හඬකින් කිවව.
' ම්ම්ම්..මගෙ අදහස වෙනස්...අපිට රටක් හැටියට ගොඩ එන්න ඇත්ත විද්වත් කතිකාවක් ඕනෙ, මේ එක එක දේශපාලන නායකයො අල්ලගෙන ඒක කරන්න බැහැ, ඇත්තටම...මේ..හර්ෂල ගැන..නවරත්න ගමගේලා ගැන මට තියෙන්නෙ කණගාටුවක්...මේ අයට ලොකු බලයක් තියෙනව, අපි රට හරි දිශාවට තල්ලු කරන ජනතා බලවේගයක් ගොඩ නගන්න ඕනෙ..මම පෙනී හිටින්නෙ ඒ වෙනුවෙන්...'
එහෙම කියාගෙන ගිය මං එතනින් එන්න අවා. අපි මේ මොනවද කරමින් ඉන්නෙ!?
මම මේ තවම කල්පනා කරනව.
CHAPA

No comments:

Post a Comment