Thursday, May 19, 2016

වෙසක් හඳ යට...

මහා වැසි ඇද හැලෙනව, රටෙන්  කොටසක් ජලයෙන් යටවෙලා, කඳු නාය ගිහිං පවුල් පිටිං මිහිදන්වෙලා. මිනිස්සු සෑහෙන්න මැරිලා, අතුරු දහන්වෙලා, තුවාල වෙලා, ලෙඩ වෙලා, අනාථ වෙලා, දේපොළ විනාශවෙලා...අනිත් හුඟක් සත්තුන්ටත් මේ ව්‍යසනය තදින්ම දැනෙනවා. ඇයි මේ?
ඒ අතර, පොදු ජනයා සහ සංවිධානය වූ පිරිස් ස්වේච්චාවෙන්, මහන්සියෙන් - කැපවීමෙන් විපතට පත්වෙච්ච අයට උදව් කරන හැටිත් අපිට පේනවා. රාජ්‍ය මැදිහත්වීම නං තව සංවිධානාත්මක වෙන්න ඕනෙ. ඔය අතරෙ බොර දියේ මාළු බාන්න හදන ජාවාරම් කාරයොත් වැඩ පටන් අරං, ජනමාධ්‍ය ආයතන තරඟයට වගෙ සහන සේවා පටන් අරං -  පුවත් වාර්තාකරණයට එහා යමින් විපතට පත වුවන්ට ඔවුන් උදවු කරන හැටි රුපවාහිනි තිර මත රූ රටා මවනව. ඒ සියල්ල අගය කරන්න ඕනෙ, ප්‍රශ්නයකට තියෙන්නෙ ඔවුන් ජනයාගෙන් එකතු කරන ආධාර! සමහර මාධ්‍ය ආයතන සුනාමි කාලයෙ පොදු ජනයාගෙන් එකතු කරපු ආධාර, විශේෂයෙන්ම මිලියන ගණන් මුදල්; ඒ සමහර මාධ්‍ය ආයතන වංචා කෙරුවද කියන ප්‍රශ්නය එහෙම්මම තියෙනව. කොහොමත් ඒ ගනුදෙනු පාරදෘශ්‍ය නැහැ! ඒ ඉතිං වෙනම සාකච්ඡාවක්.
ඒ අතරෙ අපි සාකච්ඡා කරන්න ඕන වැදගත්ම දේ තමයි, රටේ භූගෝලීය තත්වයන්ට ගැළපෙන පාරිසරික        ( ස්වභාව ධර්මයට! ) සංවේදී දීර්ඝකාලීන සංවර්ධන සැලැස්මක් රටට ඕනෙ බව. මේ, මුළු ලෝකයටම අදාළ යෝජනාවක්! එක පැත්තකින් මේ මහා ස්වභාවික ව්‍යසනයන්ට හේතුවෙන්නෙ මිනිස්සුන්ගේ නොවිධිමත් සංවර්ධන වැඩ, හිතුවක්කාර ඉදිකිරීම් - ඉවක් බවක් නැති විනාශයන්.
හැබැයි ඒ සියල්ල අතරෙ අපි පසක් කරගත යුතු අතිශය බරපතළ තත්වය තමයි, ස්වභාව ධර්මයට අපි අනිවාර්යයෙන්ම යටත් බව, මිනිස්සු වූ පළියට - විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් අත්පත්කරගත්ත පළියට, අපිට සියල්ල දිනාගන්න බැහැ! ඇතිවන නැතිවන විශ්වීය යථාර්තය එහෙමයි, 'බුදුදහම' තමයි මේ සොයාගැනීම. ඉතිං මේ මහා ස්වභාවික විපත් මැද්දෙ ජීවිතය ගැන ආපිට සලක බලන්න එළැඹෙන වෙසක් හඳ එළිය ලෝකයටම බල කරනව, මානව ශිෂ්ටාචාරයෙ අනාගත දිශානතිය හොයාගන්න නං ඒ මහා බුද්ධිමය සංවාදය අත්‍යවශ්‍යයි, වෙන විකල්පයක් නැහැ!
ඒත් මුදල් සහ තවත් සම්පත් කබාසීනියා කරමින් බුදුදහමට එරෙහිව බුදුදහම සමරන්න පුරුදුවෙලා ඉන්න අපේ රටේ බෞද්ධ බහුතරයට නං මේ යෝජනාව නිකං විකාරයක් වගෙ දැනෙයි! CHAPA  

No comments:

Post a Comment