Sunday, May 8, 2016

හිටපු නාවුක හමුදාපති, හිතවත් අද්මිරාල් වසන්ත කරන්නාගොඩට ලියමි, 

මා ආමන්ත්‍රණය කරන 2016 මැයි 6 දාතම ඔබේ ලිපිය සහ එදිනම අප අතර ඇතිවූ දුරකතන සංවාදය හා සැබැඳියි; 
මේ රටේ ප්‍රධානම හමුදා ධුරයක් දැරූ ඔබ වැනි නාවුක හමුදා ජ්‍යෙෂ්ඨයෙකු, මාධ්‍ය කරුවෙකුගෙ සහ දේශපාලන ක්‍රියාකරිකයෙකුගෙ මාධ්‍ය මැදිහත්වීමක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස මම දකිමි. 
ඊළඟට, ඔබ අපේක්ෂා කරන පරිදිම, අපේ සංවාදය තවත් ඉදිරියට ගෙනයනු වස් ඔබේ ලිපියෙන් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු දෙකක්  සම්බන්ධයෙන් මෙසේ සටහන් තබන්නෙමි - ඔබේ මුලික අවධානයට ලක්වන්නේ 2015 ජුලි 12, Sri tv  වෙනුවෙන් කළ Face to Face සජීව සාකච්චාවයි; 
1. අලිමංකඩ හමුදා කඳවුර, වරෙක මුළුමනින්ම බිඳ දැමීමට, එල්.ටී.ටී.ඊ. ය අදාළ කඳවුරු භුමියේ ජල සැපයුම කපා දැමීමේ ක්‍රමය අනු ගමනය කළ බවත්, ඒ ක්‍රමයම අනුගමනය කරමින් රටක් බිඳ දැමිය හැකි බවත් මම එකී සාකච්චාවේදී පැහැදිලි කළෙමි. ඒ, විදේශ ණය
මතම රැකෙන්න උත්සහ කරන මේ රට, එවැනි අනාගත අනතුරකින් ගැලවෙන්නට නම් ස්වීය ආර්ථිකයක් ගොඩනගාගත යුතු බව අවධාරණය කිරීමටය. ඔබ එහිදී අවධානයට ගන්නේ, අදාළ සටන් ක්‍රමය අලුත් එකක් නොව ඈත අතීතයේදී පවා යොදාගත් එකක් බවය. ඒ සඳහා Sun Tzu ගේ The Art of War කෘතියද ඔබ ගෙන හැර පා තිබේ, ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත.
2. පෙර සඳහන් වැඩසටහනේම, එල්.ටී.ටී.ඊ. ය පරාජය කළේ මහින්දරාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යැයි මා පවසන බවක් ඔබ කියයි. එය ඔබේ වැරදි කියවීමක් ලෙස මම යෝජනා කරමි. 'ලංකා රාජ්‍ය, එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීම' යන  සාකච්චාවේදී, මම දිගින් දිගටම පෙන්වා දෙන්නේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලෙසද, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙසද එකී යුද ජයග්‍රහණයට 'දේශපාලන නායකත්වය' දුන් බවය. 
සරත් ෆොන්සේකා පිළිබද මාතෘකාවේදී, මම ප්‍රශ්න කරන්නේ, ඔහු කියන පරිදි යුද්ධය ජයග්‍රහණය කළේ ඔහු නම්, ඊනියා ජාත්‍යන්තරය හරහා එන යුද අපරාධ හෝ මානව  හිමිකම් උල්ලංඝනය කීරීම් පිළිබඳ චෝදනාවලින් ඔහු නිදහස් වන්නේත්, ඒ වෙනුවට, අදාළ පරීක්ෂණ පැවැත්වෙන අතරතුරම ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරටත් උසස් වන්නේත් කෙසේද යන්නය. කෙසේ හෝ, යුද හමුදාව, ඔබ නායකත්වය දුන් නාවුක හමුදාව, ගුවන් හමුදාව මෙන්ම පොලීසියද ඇතුළු තවත් ආරක්ෂක ඒකක අදාළ යුද ජයග්‍රහණයට ජීවිත පරිත්‍යාගයෙන් මැදිහත් වූ බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. 
ඔබ ලියා තිබෙන 'අධිෂ්ඨානය' කෘතියෙන්  විස්තර කර පෙන්වන්නේ ද  යුද ජයග්‍රහණයේ ප්‍රධාන හවුල් කරුවෙකු ලෙස නාවුක හමුදාව කෙතරම් කාර්යක්ෂම ලෙස සටන් කළේ ද යන්නය. 
අවසාන වශයෙන්, මෙහිදීම සඳහන් කළ යුතු අතිශය වැදගත් කරුණ වන්නේ, මම කිසිදු අවස්ථාවක යුද්ධය වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බවය. මම සැරිසරන ඓතිහාසික මහා දේශපාලන සංවාදයේ දී War is WRONG! එනම්, සියලු ආකාරවල යුද්ධ දේශපාලන අපරාධ මිස අන් යමක් නොවේ. යුද විරුවන්ද නැත, සිටින්නේ යුද ගොදුරු පමණකි. ඒ අතර, රාජ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා පසුබිමකදී, යම් ව්‍යවස්ථානුකූල රාජ්‍යයක් ත්‍රස්තවාදී ක්‍රමයකට පෙරළා දැමීමට යම් පිරිසක් වෑයම් කරන්නේ නම්, ඔවුන්ට එදිරිව යුද ක්‍රියාමාර්ග ගැනීමට එකී රාජ්‍යයට සිදුවන බව පිළිගැනීමට ද සිදුවන බව දනිමි.  
කෙසේ වෙතත් ඔබ වැනි හිටපු හමුදා නායකයන් පවා යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදයට ඉදිරිපත්වීම මම යළි අගය කරන්නෙමි! 

ඔබට ජය!

චාපාබණ්ඩාර  

No comments:

Post a Comment