Sunday, May 15, 2016

Let's cry Handagama! 

හඳගම, අපි අඬමු ද! 

අශෝක හඳගමගෙ අලුත්ම සිනමා කෘතිය 'ඇගේ ඇස අග - Let her cry!' හරියටම ලාංකේය සමාජය මේ මොහොතෙ මුහුණදෙමින් තිබෙන සංකීර්ණ දේශපාලන වට පිටාවෙ පිටපතක් වගෙ. මැද වයස පහුකරමින් ඉන්න ඉහළ පාන්තික විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් සහ ඔහුට පෙම් බඳින ඔහුගෙ ශිෂ්‍යාවක් වටා ගොඩනැගෙන කතාව පුරා, ඒ දෙදෙනාට අමතරව මහාචාර්යවරයගෙ බිරිඳ සහ පාසල් ශිෂ්‍යාවක් වන දියණිය, එකම 'මානසික සංකීර්ණයක්' විදිහට එකිනෙකාට අභිමුඛ වෙන හැටි හඳගම සීරුවට සිනමාවට නගනව. ආදරය, ලිංගිකත්වය, බැඳීම, සම්මතය, අසම්මතය ( තහනම වෙනුවට වසඟය ) ආදී වශයෙන් ඔහු තම ප්‍රේක්ෂකයගෙ හැගීම් සමග සියුම් ගනු දෙනුවකට යනව - ඔවුන් එහාට මෙහාට දෝලනය කරවනව. සිනමා රචනාවෙ අන්තිම පරිච්ඡේදය කැමරාවට නන්වනකං හඳගම හොඳ සංයමයක ඉන්නව, එත් ඒ සිනමාත්මක සංයමය ප්‍රේක්ෂකාගාරය අතරමං කරමින් එකවර බිඳ වැටෙනව. හේතුව සරලයි! හඳගමගෙ සිනමා භාවිතය ඔන්න දැන් සැඟවුණු දේශපාලනය බවට පත්වෙනව. එතෙක් වැඩි වෙලාවක් රූප රාමු මවන මහාචාර්යවරයගෙ ගෙදර යන්තමට පෙනෙන්නට ඉඩහරින බුදු පිළිමය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇහෙන බණ (?) එක පාරටම පන්සල් භූමියකට මාරු වෙනව. සුදු ඇඳගෙන පන්සල් ඇවිත් බොරුවට වැදුම් පිදුම් කරන මධ්‍යම සහ ඉහල මධ්‍යම පාන්තික (?) පවුල් තුළ හිරවී තිබෙන ලිංගිකත්වයට සම්බන්ධ අවුලක් ගැන මේ හරියේදී හඳගම අමුවෙන්ම කතා කරන්න පටන් ගන්නව. දේශපාලනඥයෙක් (හෝ ඒ හා සමාන මුදලාලි කෙනෙක් ) විදිහට පෙන්නුම් වන පුද්ගලයෙකුත් තම බිරිඳ සහ ආරක්ෂකයින් සමග පන්සල් භූමියට එනව, ඒ සියලු දෙනා අන්තිමට ලොකු ගැටුමකට සම්බන්ධ වෙනව. හඳගම ඒ හරියෙදී සැහෙන්න පරදිනව, ඔහු එතෙක් සීරුවට ගොතාගෙන එන කතාව දැන් විකාරයක් බවට පත් වෙනව. මේ සිනමා කෘතිය දියුණු දේශපාලන ප්‍රකාශනයක් විය යුතුව තිබුණත්, එය අන්තිමට සිංහල බෞද්ධ ජන සමාජය නිර්දය ලෙස විවේචනය කරන හුදු දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වෙනව. ලංකාවෙ මේ මොහොත ගැන අපි දැන් පරිස්සමට බලමු! ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් වීමේ ඓතිහාසික තත්වයන් මේ වෙනකොට දැඩි අභියෝගයට ලක් වෙනව, ලංකා රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස් කරන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු සිද්ධ වෙනව, ථෙරවාදී බුදු දහම මත වර්ධනය වුණු මහා දැනුම් පද්ධතිය සහ ඊටම ඈඳුණු කෘෂි ආර්ථිකය දිය කරලා දානව...මේ සියල්ලට සමගාමීව සංස්කෘතික සංහාරයකුත් දියත් වෙනව. ඒ, සංස්කෘතිය, ආර්ථිකයෙ ප්‍රකාශනය නිසා. මේ මෙහෙයුමට රාජ්‍ය නොවන සංවිධාන පොකුරක්ම එකට වැඩ. ලංකා රාජ්‍ය සහ ඊට සම්බන්ධ පවුල ප්‍රමුඛ සියලු අංගෝපාංග විවේචනයට ලක් කෙරෙන එක, ඒ පිළිබද පුළුල් සංවාදයක් ගොඩ නැගෙන එක අත්‍යවශ්‍යයි! ලංකාවෙ දිශානතියත් වෙනස් විය යුතුමයි, ඒත් එය හුදු ව්‍යාපෘතියක් වෙන්න නං බැහැ! ඉතිං, හඳගමගෙ 'ඇගේ ඇස අග' සිනමා වියමන කියව ගන්න වෙන්නෙම මෙන්න මේ සන්දර්භය ඇතුළෙ තමයි! එහෙම නැති වුණොත් අපිට හඳගමගෙන් අහන්න වෙන්නෙ, අපි ඔක්කොම අඬමුද කියල, මොකද, අපි කාටවත් දිනන්න බැහැ!CHAPA   

No comments:

Post a Comment