Saturday, May 7, 2016

දඩයම් එපා! 

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන්, මේ දිනවල සමාජ වෙබ් අඩවි තුළ වැඩි කතා බහක් ඇතිවෙමින් තියෙනව, පසුබිම් වෙන්නෙ 'දිවයින' පුවත් පතේ යම් ලිවීමක්. පහුගිය රෙජීම වෙනස් කිරීමට අදාළව සහ ඊට පෙරත් බොහෝ විට ඔහුට එරෙහි දැඩි ප්‍රහාර එල්ලවෙමින් තිබුණා, විශේෂයෙන්ම ජවිපෙ ගමන් දිශාව වෙනස් කෙරුව කියන එක ගැන, ආණ්ඩුව ඇතුළෙ හැසිරීම ගැන. යම් පුද්ගලයෙක්, විශේෂයෙන්ම දේශපාලන අවකාශයක් ඇතුළෙ දැඩිව විවේචනය කරන්න පුළුවං, ප්‍රශ්න කරන්නත් පුළුවං. හැබැයි ඒ මැදිහත්වීම් ගවේෂණාත්මක වෙන්න ඕනෙ, පොදු අරමුණකට අදාළ වෙන්න ඕනෙ,  පුද්ගල පළිගැනීම්, ද්වේශය - වෛරය බැඳගත්ත පහරදීම් වෙන්න බැහැ. කොටින්ම දේශපාලනික වෙන්න ඕනෙ!
අනුරගෙ සහ ඔහුගෙ නායකත්වය යටතෙ ජවිපෙ දේශපාලන භාවිතය ප්‍රශ්න කරන එක වැදගත්, ඒත් ඔහුට අපහාස කරන එක, විශේෂයෙන්ම ඔහුගෙ පවුලට හානිවන විදිහට මඩ ගහන එක සාධාරණ නැහැ. ඔහුගෙ විවාහ ජීවිතයට, දරුවන්ට සහ පවුලෙ සෙසු සාමාජිකයන්ට දැඩි අපහසුතා ඇතිවන ආකාරයට ක්‍රියාකරන එක යුක්තිසහගත නැහැ! මේ යෝජනාව අනිත් පැත්තෙන් අනුරටත් අදාළයි. ඔහු සමහර වෙලාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, ඔහුගෙ පවුලට සහ නෑදෑයන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කරමින් ඉන්නව, ඒ තුළ ද්වේශ සහගත හැඩයක් තියෙන බවත් පේනව.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, විමල් වීරවංශට සහ ඔහුගෙ පවුලට විරුද්ධව ප්‍රාථමික මට්ටමේ ප්‍රහාර එල්ල කරනකොටත් ඇති වුණේ මෙහෙම තත්වයක්.
කොහොම හරි දේශපාලනය කියන්නෙ බුද්ධිමතුන්ගෙ සොයාගැනීමක්, මොන මොන මත වාද ඔස්සෙ වැඩ කෙරුවත් යම් නිශ්චිත මානුෂික මට්ටමක් පවත්වාගෙන යන එක දේශපාලන කොන්දේසියක්. එකිනෙකා දඩයම් කිරීමෙන් සියල්ල විනාශ කරන - සියල්ල විනාශවන තැන කිසිම දේශපාලනයක් නැහැ!
වැදගත්ම දේ 'ජීවිතය', හොඳට මතක තිය ගන්න! CHAPA 

No comments:

Post a Comment