Sunday, May 15, 2016

නවක වදය, පරණ වදයක්!

පරණ 'නවක වදය' දැන් අලුත් මාතෘකාවක් හැටියට මාධ්‍ය හරහා යළි සමාජ ගතවෙමින් තියෙනව. 60 - 70 දශක වලදි  වගෙ ලංකාවෙ රාජ්‍යය විශ්ව විද්‍යාල කේන්ද්‍රකරගෙන පටන් ගන්න නවක වද ක්‍රියාවලිය තවමත් ඒ විදිහටම ඉදිරියට යනව. ඒ, කැළණි විශ්ව විද්‍යාලයෙ සිදිධියත් එක්ක.
විශ්ව විද්‍යාලවලට එන නවක සිසුන් ට නියත වශයෙන්ම අත්විඳින්නට සිදුවන මේ 'වදය' වෙනුවෙන් පෙනී හිටින ජ්‍යෙෂ්ඨයො, මේ හරහා නවකයින් වඩා සමාජශීලී සහ එකමුතු වන බව කියනව. සිසුන් තුළ පවතින සමාජ වෙනස්කම් ද මෙමගින් අවම වන හැටි ඔවුන් පැහැදිලි කරනව. 'සියල්ලන් සමාන විය යුතුයි!' වගෙ මූලික අදහසක් තමයි මේ නවක වද ක්‍රියාකාරකම් තුළ තියෙන්නෙ. නවක සිසුවියන්ට චීත්ත ගවුම් අන්දවා සෙරෙප්පු දැම්මවීම වගෙම නවක සිසුන්ගෙ කොණ්ඩ කොටට කප්පවා සෙරෙප්පු දැම්මවීම වගෙ අංගත් මේ අස්සෙ පොදුවෙ දකින්න තියෙනව. මේ විශ්ව විද්‍යාල අභාෂය, මේ පමණට නැතත් යම් සුළු ප්‍රමාණයකින් හරි අනුගමනය කරන්න හදන පාසල් සිසුන් සහ වෙනත් අධ්‍යාපන ආයතන සිසුන් ද ඉඳ හිට හෝ හමු වීම විශේෂත්වයක්. විශ්ව විද්‍යාල නවක වදය නිසා අකාලයෙ නැතිවුණු, අබලන් වුණු ජීවිත වගෙම අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තු ජීවිත ගැනත් ඉතිහාසය තුළ සටහන්  ලියැවිල තියෙනව. ලාංකේය රාජ්‍ය විශ්ව විද්‍යාල වසාගත් මේ නවක වදය පිටිපස්සෙ ප්‍රමුඛව - දිගටම වගෙ ජවිපෙ දේශපාලනය තියෙනව කියන එක රහසක් නෙවෙයි, පස්සෙ පෙරටුගාමී කිව්වත්, ඒ අස්සෙ ආයෙත් තියෙන්නෙ ජවිපෙ අක් මුල්. නවක වදය හරහා තම කණ්ඩායම් සාමාජිකත්වය වැඩිකරගැනීම සහ තම අරමුණු ශක්තිමත් කර ගැනීම අපේක්ෂා කෙරෙන බව පොදුවෙ පේන්න තියෙනව. මේ අතර, විවිධ පවුල් පසුබිම්, බුද්ධි මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, ලිංගිකත්වය සහ තවත් බොහෝ සමාජ සාධක, නවක වද ක්‍රියාකාරකම් මෙහෙයවමින් හොල්මන් කරන බවත් දකින්න පුළුවං. මෙතැනදි සංවාදයට ගන්න ඕන අතිශය වැදගත් කාරණයක් තියෙනව. 20 වැනි ශතවර්ෂය මැද්දෙ වාමාංශික දේශපාලනය ලංකාවට එන්නෙ එක්තරා 'දේශපාලන විකෘතියක් විදිහට', ජවිපෙ ප්‍රමුඛ රැඩිකල් වාමාංශික ව්‍යාපාරයටත් මේ ආභාෂය ඍජුව බල පෑව. කාල් මාක්ස් ගෙන් පටන් ගන්න විද්‍යාත්මක සමාජ වාදය, වඩා නොගැඹුරු සහ මතු පිටින් අහුවෙන විදිහකට තමයි ලාංකේය පොළොව ස්පර්ශ කරන්නෙ - රාජ්‍ය ශක්තිමත් කරන උපකරණයක් විදිහට. පන්ති විෂමතාව, සූරා කෑම...වගෙ විද්‍යාත්මක සොයා ගැනීම් ලංකා සමාජය ඇතුළෙ එක්තරා සමාජ වෛරයක් බවට පත්වෙන්න පටන් ගන්නෙ එහෙමයි. මෙන්න මේ නොමේරූ සිල්ලර දේශපාලනයත් විශ්ව විද්‍යාල නවක වදය පෝෂණය කරනව, එක පැත්තකින් එය එහි ප්‍රධාන මුලක්!
මේ සියල්ල අතර, ලංකාවෙ සියලු නිදහස් අධ්‍යාපන අවස්ථා අවසාන කරන රතු එලි දැල්වෙන බව අපි කවුරුත් දන්නව. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව...තම ණය කොන්දේසිවල ප්‍රමුඛ තැන දෙන්නෙත් ඒ සහාසික කප්පාදුවටම තමයි. රටක් හිතේ හැටියට කොල්ල කන්න නං එහි අධ්‍යාපනය දියාරු කළ යුතු බව එක්සත් ජාතීන් පෙරටු කොටගත් 'ඔවුන්' හොඳාකාරවම දන්නව.
එහෙමනං මේ අපේ ශිෂ්‍ය ව්‍යාපාර කරන්නෙ, දැන හෝ නොදැන ඔවුන්ට උඩ ගෙඩි දෙන එක නෙවෙයිද? අපි කරන්න ඕනෙ, දැනුමෙන් සන්නද්ධ විශ්ව විද්‍යාල ප්‍රජාවක් ගොඩ නගන එක නේද? ඒ වගේම ලෝක දේශපාලනය තුළ වාමාංශික ව්‍යාපාරය ඓතිහාසික වශයෙන් මුහුණදෙමින් තියෙන සංකීර්ණ අර්බුදය ගැන සංවාදයක් ගොඩනගන්න විශ්ව විද්‍යාල පද්ධතිය තරං සරු භූමියක් තවත් තියෙනවද?
ඇයි අපි ඒ මහා අවකාශය මේ වගෙ ගොන් පාට් වලින් අවහිර කරල දාන්නෙ? නිදහස් අධ්‍යාපනය රැකගන්න දැන් ඔය එළියෙ කරන උද්ඝෝෂණ වලටත් මේ යෝජනාව අතිශය අදාළයි.
පවතින සහ වැඩිවන සමාජ අයුක්තියට එරෙහි අරගලය දිගටම පවතින්න ඕනෙ, එත් එහි මාදිලිය වෙනස් වෙන්න ඕන, දැන් අන්තිමට වෙන්නෙ පොලිසිය විශ්ව විද්‍යාල භූමියට රිංගන එක, ඊ ළඟට හමුදා! ඔන්න ආයෙත් 71, 88 - 89!
මතක තියා ගනිල්ලා අපිට ආපස්සට නං යන්න බැහැ!
වරෙල්ලා අපි දියුණු දේශපාලන සංවාදයක් ගොඩ නගමු!
නවක වදය වෙනුවට නව ආරම්භයක්!
CHAPA

No comments:

Post a Comment