Friday, April 5, 2019

හිතවත් දිලිත් ට ලියමි!

පහු ගිය දවසක ඔබ කිසියම් සභාවක් ඉස්සරහ කරන ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පොදු අවධානයකට ලක් වෙමින් තියෙන නිසා, ඔබ ට මෙහෙම ලියන්න හිතුවා!
ආතල් එක, සිද්ධාර්ථ, බුදුන් සහ ඔබ අතර සංවාදයක් තමයි ඔබ ඒ ප්‍රකාශයෙන් ඉදිරිපත් කරන්නෙ.
කෙනෙකුගෙ කිසියම් ප්‍රකාශයක් හෝ ප්‍රකාශනයක් සංවාදයකට ගන්න පුළුවං වෙන්නෙ ඊට අදාළ වට පිටාව ට අනුකූලව. උදාහරණයක් විදිහට කෙනෙක් තව කෙනෙක් එක්ක හෝ කණ්ඩායමක් එක්ක පුද්ගලිකව කියන 'යමක්' සහ ඒ 'දෙයම' පිළිගත් සභාවක කියද්දි වෙනස් තලයක පිහිටන්න ඉඩ තියෙනවා. ඒ සභාවෙ සහභාගීත්ව සීමාව අනුව, ඊ ළඟට එය තවත් තලයකට මාරු වෙන්න පුළුවං. ප්‍රසිද්ධ සභාවක් නං ඒ දෙතුන් විදිහටම වඩා වෙනස් වෙන්න ඉඩ කඩ වැඩියි. නිර්මාණයකට අදාළව නං, එකී සංවාදය තව එහාට යනවා.
ඒ අනුව, ඔබ කරන ප්‍රකාශය තේරුම් ගන්න, යළි ඔබ ට සහ අනෙකාට සිද්ධ වෙනවා. 
එතකොට ප්‍රකාශය, ප්‍රකාශනය සහ ඒවා කියවීම ගැන වෙන තව සංවාදයක් කොහොමත් තියෙනවා.
මේ වන විට ඔබේ ඔය කතාව සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සැරි සරන නිසා, මං අර යෝජනා කරන, ප්‍රසිද්ධ සභාවක ආකෘතියකට අරං ඒ ගැන යමක් ලියන්නයි මේ හදන්නෙ.
ඔබේ කතාවෙදි ත් කියන හැටියට, ඔබ ගමෙන් කොළඹ ට ඇවිත්, පොඩියට පටන් අරගෙන දිග ගමනක් යන දක්ෂ සහ සාර්ථක - විශේෂයෙන් ම නිර්මාණශීලී ව්‍යාපාරිකයෙක්. එතකොට ව්‍යපාරික ලෝකයට හෙවත් ධනවාදී ආකෘතිගතවීමකට අනන්‍ය සියළු යහපත් සහ අයහපත් දේ ඔබ හිමි කර ගන්නවා සහ ආපිට ඒවා සමාජයට මුදා හරිනවා. 
ඒ වෙන සංවාදයක්. 
ඊ ළඟට ඔබේ සතුට ගැන ඔබ කියන කතාවත් හරි ඇති. ඔබ ඒකට කියන්නෙ 'ආතල් එක' කියල, පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට හෙවත් ඔබ කියන ආතල් ගැනීම වෙනස් සහ අනන්‍ය වෙනවා. ඒ ගැන තර්ක කරන එකේ තේරුමක් නැහැ. 
එකක්! මං යම් තරමකට හෝ දන්න දිලිත් ජයවීර හෙවත් ඔබ සහ ඔය ස්වයං හඳුන්වා දීම අතර පරතරයක් නැහැ කියල මමත් හිතවනවා. 
ඔව්! ඔය තමයි ඔබ!
මං මේ සටහන තියන්නෙ, ඒ සියල්ල අතරින්, ජීවිතය, සතුට ( ආතල්?) සහ බුදු දහම ගැන ඔබ ඉදිරිපත් කරන සරල විස්තරය පුළුල් සංවාදයකට ඔසවා තබන අරමුණෙන්.
(උපුටා දැක්වීම)
''සිද්ධාර්ථ, මේ ගස් වලට ගල් වලට වඳින සතුට සොයමින් මේ මිනිස්සු යන අඳුරු මාර්ග වෙනුවට, ඊට වඩා ප්‍රායෝගික, අද අපේ භාෂාවෙන් ගත්තොත් විද්‍යාත්මක දර්ශනයක්, අදහසක් ඉදිරිපත් කළා, මගෙ විශ්වාසය, අපි සියළු දෙනාට අද සතුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා, ප්‍රීතිමත් බව ප්‍රශ්නයක් වෙලා තියෙනවා, happiness කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මං හිතන්නෙ මේ සියළු දේට විසඳුම තියෙන්නෙ මේ සිද්ධාර්ථ විසින් සොයා ගන්නා ලද සරල සංකල්ප. ඒක තව දුරටත් ගෙනිහිල්ලා, දාර්ශනික මාවතක ගෙනියන්න ඕනෙ නං ඒ සතුට සඳහා අභිධර්මය මාර්ගයෙ යන්න පුළුවං, නමුත් අපිට ආතල් එකේ, අර කිව්වා වගෙ ඉන්න ඕන නං, ආතල් concepts තියෙන්නෙ, Buddhism වල, ඒ සිද්ධාර්ථ හිතපු විදිහ! (.......) සිද්ධාර්ථ වගෙ වැඩියෙන් ආතල් අරගෙන...මං හොයාගෙන තියෙනවා, මේ දුක පිළිබඳ කතාවක් නෙවෙයි...සිද්ධාර්ථ කිව්වෙ, සැප පිළිබඳ කතාවක්, මම දකින සිද්ධාර්ථ නං දිගින් දිගටම ආතල් එකේ හිටපු පුද්ගලයෙක්, ඔය කියන බුද්ධ චරිතය පවා, මම දකින්නෙ...ඒ තමන්ගෙ happiness එක සඳහා කරපු process එකේ result එකක් හැටියට, ඒ කරපු දේ ප්‍රතිඵලයක් හැටියට...අනිත් අයටත් මේ සංකල්පය ලබා ගන්න අවස්ථාව ලැබුණා...''
( උපුටා දැක්වීම අවසන්)
බුදු දහම දර්ශනයක් නෙවෙයි. එය ප්‍රත්‍යක්ෂ අරුතෙන් වටහා ගත යුතු විද්‍යාත්මක ( විශ්ලේෂණාත්මක ) දැනුම් අවකාශයක්. ජීවිතය හරහා විශ්වය කියවමින් සියල්ල අනිත්‍ය බව පසක් කර ගැනීම තමයි එහි අරුත් ගැන්වෙන සතුට. කිසිවක් නොපතින නිසා සහ ඒ නොපවතින දේ හා අපි බැදෙන නිසා අපට සියල්ල දුකක් බවට පත් වෙනවා. දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය! ක්‍රියාවලියක් විදිහට තේරුම් ගන්න වෙන්නෙ ඒ නිසයි. ඒ තමයි සතුටේ මාර්ගය. මූලිකම අවදියේ දි වුණත්, ''ඒ සතුට'' එකවිදිහක හිතේ සිදුවන ප්‍රතිසංවිධානයක්, මානසික අවධියක් - නමුත් ක්‍රියාදාමයක්. 
කිසි සේත්ම ඇති වී නැති වී යන සිතුවිලි හෝ රසායනික වෙනස් කමක් නෙවෙයි. ඔබ ඔය කියන සතුට හෝ ආතල් එක අන්න ඒ වගෙ එක මොහොතකට අදාළ යමක්! 
අපට වචන එක්ක හරඹ කරන්න බැරි වුණත්, ඔබ ඔය කියන Buddh - ism කියන්නෙ, බුදුදහම ට පදනම් ව පසුව හැදෙන යම් ආගමික ආකෘතියක්, සිද්ධාර්ථ සාධකයත් වෙනම නිර්මාණශීලීව අරගෙන ඒ ආගමික ආකෘතිය ඇසුරු කරමින් යම් යම් සංකල්ප, විශේෂයෙන් marketing concepts හදා ගන්න පුළුවං වුණත්, ඒ ජීවිතය ට අරුත් සපයන සතුට හොයන ක්‍රම වේදයක් නං නෙවෙයි. 
එහෙම උත්සහ කරන්න කරන්න, ජීවිතය වගේම එහි සතුට ගිළිහෙනවා, ලැබෙන වේගයෙන් ම!
අපි මේ ගැන ටිකක් නිවී සැනසිල්ලෙ ඕන නං කතා කරමු!
CHAPA
April 6, 2019


බර්නි!

මේ මාත් එක්ක ඉන්නෙ 'බර්නි', ඔහුගෙ ගෙවල් මාලබේ කිට්ටුව. ඔහු ඉතා දක්ෂ වාහන "ටින්කරින් සහ පේන්ටින්ග්" ශිල්පියෙක්. ඔහු කලක් විදේශ ගත වෙලත් මේ ශිල්පයම වෘත්තියක් හැටියට කෙරුවා.
ඒ අත් දැකීම් ඔහු ප්‍රවීණයෙක් බවට පත් කරල තියෙනවා. වැඩේ තියෙන්නෙ අපේ වාහන පාවිච්චි කරන බොහෝ අය ට ඕන මොකක් හරි ඉක්මනට ලාබෙට කර ගන්න. 
ඒ වගේම ලොකු ලොකු ආයතනවල බිල් නං ආඩම්බරයෙන් ගෙවන අපේ සමහරු මේ වගෙ සුළු ව්‍යාපාරිකයන්ට පොලු තියනවා. විවිධ බාධා කිරීම් කරනවා. 
අවංකව සහ වෘත්තීය මට්ටමෙන් වැඩ කරන්න සූදානම්, දක්ෂයෙකුට මේ සමාජය කොච්චර අමාරු තැනක් වෙනවද කියලා බර්නි දකින දකින වෙලාවට මට කල්පනා වෙනවා.
මේ බර්නි ගෙ ජංගම දුරකථන අංකය. ඕන වුණොත් උත්සහ කරල බලන්න!
076 5436601
CHAPA
April 5, 2019

Thursday, April 4, 2019

හිටපල්ලකො!

''මේ මාත් එක්ක බිස්නස් කරන කෙනෙක්...''
ඔහු අනෙකා පෙන්වමින් ම කතාව පටන් ගත්තා. 
''අපි ෆෝන් එකෙන් කතා කෙරුවාට අදනෙ මූණට මූණ හම්බ වෙන්නෙ...''
ඔහු එහෙමත් කිව්වා.
අපි මේ දැන් ඉන්නෙ බත්තරමුල්ලෙ ලැවිනියා හෝටලයෙ උඩ තට්ටුවෙ. 
''අපට තවත් බලා ඉන්න බැහැ...ඉක්මනට මොකක් හරි කරන්න ඕන! මෙහෙම ගියොත් රටක් ඉතුරු වෙන්නෙ නැහැ!''
ඔහු කියනවා.
''මොකද්ද ඉතිං කරන්න හදන්නෙ?''
ප්‍රශ්නය මගෙන්.
''ඔයා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක්...දැනුම තියෙනවා...අත් දැකීම් තියෙනවා! අප ට තාක්ෂණික දැනුම තියෙනවා, ඕන කම තියෙනවා, මොනවා හරි කරන්න ඕන!''
''මොනවා හරි කියල බැහැ, පවතින අර්බුදය ගැන හොඳ අවබෝධයකින් කරන දෙයක් කරන්න ඕන!''
ඒ මං.
''මේ සියළු ප්‍රශ්න වලට මුල පාර්ලිමේන්තුවෙ ඉන්න 225 නෙ...අපි ඒ අය වෙනස් කරනවා!''
ඒ ඔහු.
''ඒ කියන්නෙ? ඔබ ට ඕන ඡන්දය ඉල්ලන්නද?''
''ම්ම්ම්ම්...මං නැතත් අපේ කවුරු හරි! අපේ ප්‍රතිපත්තියකට අනුව ඉල්ලන අය, මං කියන්නෙ අපි අන්න ඒ ප්‍රතිපත්තිය හදන්න ඕන ඉස්සර වෙලා!''
''අළුතෙන් හදන්න දෙයක් නැහැ, ඔය ඕන කරන සේරම ප්‍රතිපත්ති හැදිලා තියෙන්නෙ, අපි තක්කඩි ජාතියක්, බොරු කර කර ඉන්නවා...බෙදිලා රට කනවා, එච්චරයි...''
''එහෙම නං අපි ස්වාධීන කණ්ඩායමක් හදමු ඡන්දය ඉල්ලන්න..,හොඳ මිනිස්සු!''
ඔහු කියාගෙන යනවා. 
හොඳ කියල මිනිස්සු ජාතියක් හොයන්න බැරි බවත්, කවුරු පාර්ලිමේන්තු ඇරියත් වෙන්නෙ මේ ටිකම බවත් මං එතකොට ඔහුට පැහැදිලි කරන්න ගන්නවා.
''මේ රට මේ වෙනකොට පාලනය කරන්නෙ අපේ පාර්ලිමේන්තුව නෙවෙයි...''
මං ඔන්න රට වට කරගෙන ඉන්න ආර්ථික සහ දේශපාලන ඝාතකයින්ගෙ කතාව දෙවැනි වතාවටත් ඔහුට කියනවා. දුරකථනයෙන් කතා කරද්දි තමයි මුල් වතාවට ඔහු ට වෙනම ඒ ගැන කිව්වෙ.
''ඒ කියන්නෙ අපට මොකුත් කරන්න බැහැ, මේ යන විදිහට යන්න අරින්න කියන එකද? ඔයා වගෙ කෙනෙකුත් එහෙම කියනකොට....''
''මගෙ විග්‍රහයට වැරදි අර්ථ කථන දෙන්න එපා! මං කියන්නෙ කරනවා නං සියළු පක්ෂ අභිබවා යන සමාජ මෙහෙයුමක් දියත් කරන්න ඕන...ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ත් ඒ වැඩේට යොදා ගන්න ඕන...හැබැයි මේ කෙටි කාලීන ප්‍රොජෙක්ට් එකක් නං නෙවෙයි...දිගු කාලීන අඛණ්ඩ ක්‍රියාවලියක්...''
මං වේගයෙන් කියාගෙන යනවා.
''ඒ වුණාට අපි දැන් මොකක් හරි කරන්න ඕනනෙ...මෙහෙම බලන් ඉන්න බෑ!''
''බලන් ඉන්න ඕන නෑ! මේ දැන් පටන් ගන්න...මේ දැන්! ප්‍රෙෂර් ගෲප් එකක් විදිහට ඉස්සර වෙලා වැඩ පටන් ගන්න, ඊට පස්සෙ...''
''හරි ප්‍රෙෂර් ගෲප් එකක් හදමු! අපි ගාව මිනිස්සු ඉන්නවා...''
ඔහුගෙ මුහුණට පොඩි සිනහ රැල්ලකුත් ආවා.
''ඔබ කියන්නෙ ඡන්දය ඉල්ලන කතාවක්නෙ! එතකොට...''
''ඔව්! අපි ඒ අය ස්වාධීනව ඡන්දය ඉල්ලන්න දානවා!''
''ඒ මොන ප්‍රෙෂර් ගෲප් ද? මං කියන්නෙ, මිනිස්සු දැනුමෙන් බල ගන්වන ගමන් බලයට එන ඕන ආණ්ඩුවක් මෙහෙය වන්න පුළුවං බලපෑම් විධි ක්‍රමයක් ගැන! මේක දිගු කාලීන ක්‍රියාවලියක්!''
මං නැගිටින්න හදන ගමන් හෙමින් නිකමට වගෙ කිව්වා,
''අන්න ඒකනෙ වැඩේ, අපට මේ දැන් මොකක් හරි කරන්න ඕන...ඒකයි! ඔයා වගෙ අයත් අපට කියන්නෙ මොකුත් කරන්න එපා, ඔන්න ඔහේ පාඩුවෙ ඉන්න! කියලනෙ...එතකොට...''
ඔහු තවත් මොනවද කිව්වා, මං ඇහුනෙ නැතුව වගෙ ඉඳල ආවා!

එක එක මිනිස්සු හම්බ වෙන්න අහද්දි, බෑ කියනවා කියල හිතාගෙන ඉන්න මං මේ පාරත් ආවනෙ, ෂිහ්!

ආයෙ නං එන්නෙ නෑ, නෑමයි! හිටපල්ලකො!

CHAPA 
March 5, 2019



Tuesday, April 2, 2019

මට එපෝඕඕඕඕ.....!
''සුභ උදෑසනක් ඔබ තුමාට!'' 
උදෙන්ම දුර කථන ඇමතුමක්!
''එසේම වේවා! කවුද මේ?''
හිතේ එක විදිහක කුතුහලයක්.
''මං ඔබ තුමාගෙ වැඩ සටහන් බලන සහ ඒවා අගය කරන කෙනෙක්...''
''එහෙමද? සතුටුයි ඒ ගැන...''
''ඇත්තට මට ඕන කරන්නෙ ඔබ තුමාගෙ වැඩ වලට හයියක් වෙන්න...මං කිව්වෙ ආර්ථික වශයෙන්, මොකද ඔය වැඩ කරගෙන යන්න අමාරු බව මට තේරෙනවා, ම්ම්ම්ම්.... මං ඉස්සර වෙලා මං ගැන කියන්නං...''
මේ වගෙ මිනිස්සුත් ඉන්නවද? මට හිතෙනවා.
ඔහු කියන හැටියට ඔහුගෙ වයස දැන් 65 ක්. දරුවො විවාහ වෙලා විදේශගත වෙලා. ඔහු බිරිඳ සමග පාඩුවේ ජීවත් වෙනවා.
''හැබැයි මං සල්ලිකාරයෙක් නෙවෙයි, මං පොඩි පොඩි බිස්නස් කරගෙන යනවා, ලොකු ලාභයක් නෑ ඉතිං, හරියටම බැලුවොත් මට ඒවායින් පාඩුයි...''
මේ මනුස්සයා උදේ පාන්දර මට මේවා කියන්නෙ ඇයි? 
මගෙ ඔළුව ඔන්න වෙනස් වෙනවා.
''මං රටවල් කීපයක ම වැඩ කරල තියෙනවා...මං වැරදි වැඩ කරන කෙනෙක් නෙවෙයි, වැරැද්දකට තියෙන්නෙ හැන්දෑවට පොඩි අඩියක් ගහනවා....ඒකෙන් ඉතිං කාටවත් කරදරයක් නෑනෙ...''
ඔහුගෙ හඬේ අහිංසක ගතියකුත් තියෙනවා.
'' ඒත් අපි තනියෙන් කාලා බීලා විනෝද වුණාට මදි, මට ඒ බව හරියටම තේරුම් ගියේ ඔබ තුමාගෙ වැඩ සටහන් බලලා...මට ඕන ඔබ තුමාට මොකක් හරි සහයක් දෙන්න...මුදලින්!''
ඔහු 'මුදලින්' කියන කෑල්ල බරට කිව්වා.
''අනේ එපා! මං එහෙම එක එක්කෙනාගෙන් ආවට ගියාට උදව් ගන්නෙ නැහැ....එහෙම හිතුවට නං ස්තූතියි...ඒත්...''
''එහෙම නෙවෙයි...දැන් බලන්න! මං දන්නවා ඔබ තුමා ජලය විකිණීම ට එරෙහිව ලොකු සටනක් කරනවා...හුඟාක් කල් ඉඳලා...''
''ඔව්! තවම ඒ අරගලය ඉවර නැහැ...''
මගෙ හිත ටිකක් උනන්දු වුණා.
''අන්න ඒකයි මාත් කියන්නෙ...ඔබ තුමාගෙ අරගලය ට අපි සහය දෙන්න ඕන...මේක අනාගත පරම්පරාවන්ට බලපාන ලෝක කුමන්ත්‍රණයක් කියල ඔබ තුමා කියනවා මං අහගෙන...''
ඒ කියන්නෙ ඔහු මේ අඛණ්ඩ අරගලය ගැන දන්නවා! මගෙ උනන්දුව වැඩි වුණා.
''මාඕ කියල තියෙනවා...අරගලය දීර්ඝ පා ගමනක් කියල...අපි මේ වැඩේ තව ශක්තිමත් කරමු...අහ්! ඔබ තුමාට කියන්න බැරි වුණා, මං චීනෙත් සෑහෙන කාලයක් හිටියා...මාඕ කියපු විදිහටම දැන් යෝධයා නැගිටලා...''
''මං නං එහෙම හිතන්නෙ නැහැ! මාඕ ඒක කිව්වෙ වෙන අදහසකින්, දැන් මේ චීන නැගිටීම වෙන එකක්...''
මං කියන්න පටන් ගත්තා.
''හරි! අපි ඒ ගැනත් කතා කරමු! දැන් මේකයි වැඩේ...මං චීනෙන් ෆිල්ටර්ස් වර්ගයක් ගෙන්නන්න සේරම ලෑස්ති කරල තියෙන්නෙ...''
''මොකක්?''
''ෆිල්ටර්ස් ෆිල්ටර්ස්...වතුර ෆිල්ටර්ස්....අන්න ඒවා! ''
ඔහුගෙ හඬ දැන් බාල වෙලා, වැදගත් යමක් කියන්න ලෑස්ති වෙනව වගෙ.
''ඉතිං?''
ඒ මං.
''ඔබ තුමා ජල කොල්ලය ගැන දේශන තියෙනවනෙ...ෆිල්ටර්ස් ජලයට සම්බන්ධ නිසා මරු එකට මැච් වෙනවා...මං මේ ගැන හුඟාක් කල්පනා කෙරුවා...''
''ඒ කියන්නෙ? මට තේරුණේ නෑ!''
ඇත්තටම ඔහු කියන දේ මට තේරුණේ නැහැ. ඒත් මීට කලිනුත් මෙහෙම ෆිල්ටර් කාරයෙක් දුරකථනය දිගේ ආපු නිසා පොඩි ඉඟියකුත් හිත ට ආව වගෙයි. මේ එයාමද? නෑ! ඒ හඬ මෙහෙම නෙවෙයි! මට හිතෙන්න ගන්නවා.
'' මේකයි! අපි රට පුරා ජල කොල්ලය ගැන වැඩ සටහන් සංවිධානය කරනවා...ඒ අතර මං අර ෆිල්ටර්ස් මාකට් කරනවා...එකකින් ඔබ තුමාට සීයට....
''පිස්සුද?''
ඔහු ට හරස් කපමින් මගෙ හඬ වීසි වුණා.

''ඉන්නකො කියන්න...ඊ ළඟට මං හදන්නෙ ජල බෝතල් බිස්නස් එක ට අත ගහන්න, ඔබ තුමා කියන විදිහට හැම කෙනෙකුටම පිරිසිදු ජලය බීමේ අයිතියක් තියෙනවා...මේක එක අතකින් බිස්නස් එකක් කිව්වට සමාජ කාර්‍යයක්, මට ඒ වැඩේට චීන යාළුවෙක් ඉන්නවා බිස්නස් පාට්නර් හැටියට...මං කොහොමත් වමේ මිනිහා...''

''ඔබ හොඳ සිහියෙන් ද ඔය වගෙ කතාවක් කියන්නෙ ඇත්තට, මේ මාත් එක්ක?''
''මේකයි, මට ඕන ඔබ තුමාගෙ සටනට...ආ! අරගලයට සහය දෙන්න...වෙන දේකට නෙවෙයි...''
''මේ! මට ඔය කාගෙවත් සහය එපා!''
''එහෙම නං මෙහෙම කරමු!...''
''එපා! එපා! මොකක්වත් කරන්න එපා!''
''මට ඕන කරන්නෙ...''
''මට එපෝඕඕඕඕ''
මං එහෙම ඇදල කෑගැහුවෙ නැහැ, ඒත් call එක cut කෙරුවා.
CHAPA, April 3, 2019



Monday, April 1, 2019

අන්තිමට වෙච්ච වැඩේ...

මෙතෙක් කතාව - අපේ ගෙදරට හදිසියේ ම වගෙ කහපාට ට හුරු නාඹර බැළලියක් එන්න යන්න පටන් ගත්තා. කොහේ ඉඳන් එනවද කොහේ යනවද දන්නෙ නැහැ. ඒත් ඇවිත් යනවා.
ඒ වෙනකොට ඉඳහිට මෙහෙ එන යන තව ලොකු බැළලියක් හිටියා, ළඟ පාත ගෙදරක. එයා 'රංචි'. එයාගෙ ගති ගුණ ටිකක් අමුතුයි. හේතුව එයා කෘතීම ආහාර පාන වලට පුරුදු වෙච්ච කෙනෙක් නිසා කියලයි, මං නං හිතන්නෙ. 
කොහොම හරි මේ රංචි අර කහ බැළලිය මෙහෙ කරක් ගහනවට කැමති ම නැහැ. එයා හොරෙන් හොරෙන් ඇවිත් මේ කහ බැළලිය ඉන්නවා ද කියල විපරම් කරනවා, ඉන්නවා නං සැර දාලා අනං මනං කරලා එළවනවා.
ඔය අස්සෙ සුදු පාට ට හුරු ටිකක් හයිය හත්තිය තියෙන බළල් නාම්බෙක් මේ පැත්තෙ කර කැවෙන්න ගන්නවා, මේ කහ බැළලියට අතවර කරන්න මාන බල බල. මෙයා ඒ නරක වැඩ වලට කැමති ම නැහැ, තාම පුංචි නිසා වෙන්නත් ඇති. කොහොම හරි ඒ දෙන්නගෙ ගැටුම දුර දිග ගිහිං මට ත් මැදිහත් වෙන්න සිද්ධ වෙන වෙලාවල් එනවා. ඒ තව එක කරදරයක්.
අර රංචි අවුල් වෙලා පිස්සියෙක් වගෙ කහ බැළලි පස්සෙ පන්නන්නෙ, එක්කො අපි දෙන්නා අතර ට මෙයා ආපු නිසා. එක්කො එයා පස්සෙ ත් ඉඳ හිට පන්නන අර බළල් පෙම්වතා නිසා, ඉරිසියාවට. ඔය හේතු දෙකම වෙන්නත් පුළුවං.

එතැන් සිට...

සති දෙකකට කලින් මහ රෑ දෙගොඩ යාමෙ පූසෙක් යටිගිරියෙන් කෑ ගැහුවා. මං ඒ සද්දෙට ඇහැරිලා ටිකක් විපරම් කෙරුවා. කිසිම හෝඩුවාවක් නැහැ. පහු වෙනිදා දවල් වගෙ වෙනකොට ඉස්සරහ වත්ත පැත්තෙන් පූසෙක් කෑගහන හඬක් ආයෙ ඇහෙන්න ගත්තා, ඒක එක විදිහක විළාපයක් සහ කෙඳිරියක් වගෙ, අමුතු හඬක්. මං ඒ ගැන ඒ ඉස්සරහ ගෙදර හිතවතා එක්ක කියනකොට '' ඒක තමයි මාත් මේ බැලුවෙ...''කියල මාත් එක්ක ඒ වත්ත පැත්තට ආවා. ඒ වත්ත තවම හිස්. ඉස්සර ඒ වත්ත වහගෙන තිබුණු රූස්ස කොස් ගස් එකින් එක කපා දමමින් අනාගත මිනිස් වාසයකට ඉඩම සූදානම් කරමින් තියෙන්නෙ. ඒ වෙනම දුක් බර කතාවක්. කොහොම හරි ඒ වත්තෙ ගේට්ටුව වහල නිසා, අපි දෙන්නට ඒ පූස් විළාපය සෝදිසි කරන්න තාප්පයෙන් පනින්න ත් වුණා. එතකොට තමයි අපි තේරුම් ගත්තෙ, ඒ වත්තෙ පොළොව මට්ටමෙන් තියෙන ගැඹුරු ළිදට බළලෙක් වැටිලා කියලා, අපි එබිලා බලනකොට අත් දෙකින් ළිං බැම්මෙ පස් ගොඩැල්ලක් බදාගෙන එයා තමයි කෑ ගහන්නෙ. ඇඟ වතුරෙ පාවෙනවා. එයාගෙ පාටක් හැඩයක් හොයා ගන්න අමාරුයි ළිද ගැඹුරු නිසා. 
ඒ කියන්නෙ ඊයෙ මැදියම් රෑ මෙයා ළිඳට වැටෙන කොට තමයි අර විදිහට හයියෙන් කෑගහන්න ඇත්තෙ! 
මගෙ හිත කීරි ගැහුණා.
''ඉන්න මං ඉනිමගක් අරං එන්නං...'' අර අසල් වාසියා ගෙදර දිව්වා. එතකොටම සිද්ධිය දැන ගත්ත තවත් අසල් වාසීන් බාල්දි කඹ එහෙම අරගෙන වැඩේට බැස්සා. 
දැන් එකම යුද්ධයක්! 
''මේක අල්ල ගන්න!'' '' ඔය බිත්තිය අත අරිනවකෝ!'' ''...ඔය ඔය...තව උඩට තව උඩට! මේ බාල්දියෙ එල්ලෙන්න...අයියෝ! දඟලන්න එපා මෝඩයො!''  
එක එක්කෙනා ගොඩ ඉඳලා ළිඳේ වැටිලා ඉන්න බළලාට එක එක උපදෙස් දෙනවා. එයා එක එක විදිහෙ හඬවල් නගමින් හෙම්බත් වූ සිරුර වත්තන් කරගෙන ඒ උපදෙස් පිළි පදින්න හදනවා. 
''ගන්න! ගන්න!...හරි හෙමින් උඩට අදින්න...'' ඒ අස්සෙ ඔන්න කෙනෙක් හයියෙන් කෑ ගහනවා, ඒ පාර නං හරි! එයා ලොකු බාල්දියට ගොඩ වෙලා!  කට්ටිය ම එකතු වෙලා ඔන්න ඉතිං එයාව උඩ ට ගත්තා. හැමෝම වගෙ ඒ අස්සෙ අනුකම්පාවෙන් ''පූස් පූස්...'' කියල එයා ට කතා කරන්න පටන් ගත්තා.
අපොයි! මඩ ගෑවිච්ච, මූණක් කටක් හොයා ගන්න බැරි අමුතු සතෙක් බාල්දි කටෙන් බිමට වාරු අරං ඔන්න, හෙමින් මං පැත්තට ඇදි ඇදී එනවා. කෙනෙක් එතකොට මට දීපු තුවා කෑල්ලකින් මං එයා ඔතල අරං අව්ව තියෙන තැනකට ගිහිං පිහිදාන්න පටන් ගත්තා. 
අනේ! මේ අපේ කහ බැළලිනෙ! 
මොකද්ද පිස්සියෙ මේ කර ගත්තෙ? ළිඳට වැටුණාද? ළිඳට පැන්නා ද? ඈ! 
මගෙ ප්‍රශ්නයට එයා තවම කෙළින් උත්තරයක් දෙන්නෙ නැහැ. 
කොහොම හරි අන්තිමට, මගේ අනුකම්පාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔන්න දැන් එයා මෙහෙ ස්ථිර පදිංචියටම ඇවිත්!
ඔන්න ඕකයි අන්තිමට වෙච්ච වැඩේ!
අහ්! රංචි, අර පෙම්වතා...එයාලා මේ ගැන දැන ගත්තට පස්සෙ වෙච්ච දේවල් පස්සෙ කියනං, හා ද?
CHAPA
April 2, 2019

Saturday, March 30, 2019

ගස් මරාගෙන ජීවිතය හොයන අපේ මිනිස්සු!

ගස් මරාගෙන ජීවිතය හොයන අපේ මිනිස්සු!
ඔය මැංගුස් ගහ උඩ ඇන්ටනාවක් හයි කරල තියෙන්නෙ ටිකකට කලින්!
උදේ පාන්දර ඔය ගහ, ඔය ඇන්ටනාවේ උසට වගෙ තිබුණා. අනේ දැන් ගහේ මුදුන කපා දාලා ඔය ඇන්ටනාව දාන්න.
ගහ දුකෙන් මැළවිලා ගිහිං!
මේ වටේ තියෙන වතුවල තව ලොකු ගස් සෑහෙන්න තිබුණා. ඉස්සරහ හිස් ඉඩමෙ රූස්ස කොස් ගස්, මහ පොළොව බදාගෙන අහස දිහා උද්දාමයෙන් බලාගෙන හිටපු ඒ සුන්දර දවස් ආයෙ කවදාවත් එන්නෙ නැහැ!
මං තනියම කල්පනා කරනවා.
අර දවසක් කීතු කීතු කරල විනාශ කරපු එහා ඉඩමෙ සුවිසල් දෙල් ගහ!
මගෙ හිත හිර වෙලා...
ගස් කියන්නෙ අපේ ජීවිතයෙ කොටසක් බව මේ කර්කශ මිනිස්සුන්ට කවදා කොහොම පහදා දෙන්නද?
මේ ගස් එක්ක බැදුණු සංකීර්ණ ජෛව පද්ධති?! ඒවා විනාශ කරනකොට අපට පවතින්න පුළුවං ද මිනිසුනේ?
මගෙ හිත කෑ ගහල එහෙම අහනවා. ඒත් ඒ හඬ ඇහෙන්නෙ මට විතරයි වගෙ.
මේ වටේ හිටපු වඳුරු රංචුව අතුරුදහන් වුණේ බලාගෙන ඉද්දි. දැන් ඉඳ හිට එක්කෙනෙක් දෙන්නෙක් කොහේදෝ ඉඳලා ඉඳ හිට එනවා, ඒ අසරණයන්ටත් මේ නරුම දෙපා සතුන් කොච්චර වද දෙනවද? උන්ගෙ බල්ලො? උන් හිතන්නෙ උනුත් මිනිස්සු කියල!
පාට පාට කුරුල්ලො, සමණල්ලු, ලේන්නු, එක එක කෘමීන්...එයාලා හෙමින් හෙමින් කොහේදෝ යන්න යනවා!
මෙහෙම ගියොත් අපි තනි වෙයි!
අර පැත්තෙන් සංවර්ධනය කියල මහ වනාන්තර විනාශ කරනවා. මේ පැත්තෙන් මිනිස්සු තම තමන්ගෙ බල ප්‍රදේශවල තියෙන ඉතුරු ගස් ටිකත් මරා දාලා ජීවිතය කියල මොකද්දෝ හොයනවා. ඒත් කෝ ඉතිං ජිවිතයක්?
ඔව්! අපට ජීවිතය අහිමි වෙලා, අප ට අපි නැති වෙලා...
ඒ අහිමිවන ජීවිත විළාපය ඔබ ට ඇහෙනවද? නෑ නේද?
මං දන්නවා, නෑ තමයි!
CHAPA, March 30, 2019

Tuesday, March 26, 2019

CHAPA against Sunday Island, part 2

I have already explained to you that a “black social media operation” had been implemented against me on my genuine attempt to develop an intellectual dialog at a global level focusing on the terrorist attack in the New Zealand. Accordingly FB imposed a 3 day prohibition on me; during that period the maximum liberty was given to tell anything for those who were insulting and attacking me. I explained this situation in my short video uploaded on the 20th March 2019.
In the meantime on 17th March the “Sunday Island” carried a distorted report in this regard.  I responded on the following day itself, and further spoke personally to the editor of the paper and sent my explanation via email.
Yesterday was Sunday; they have not published my explanation pertaining to the distorted report. Instead today’s Sunday Island carries only a short note with the title “Remarks ‘misinterpreted’ says TV anchor”.
In that coward move what they had done was to justify their erroneous and damaging report.
Accordingly the “Sunday Island” violated my right to reply. This is an unbecoming use of media against the norms of media freedom and human rights. If they behave like this for the benefit and on behalf of multi-national companies including the milk-powder producers, the country and the society will be placed in a detrimental danger.
A similar report was published in the economy-next website. I submitted my explanation to that also and still waiting until justice is done. We shall keep close attention on it.
In any event I, as a media person and a political activist, strongly condemn the behavior of Sunday Island. 
We shall develop this dialog further!
CHAPA,
March 25, 2019