Tuesday, October 25, 2016

       එතකොට මාළු කෑවට කමක් නැද්ද, ඔටාරා?

2016 ඔක්තෝබර් 20 දිනැති 'ලංකාදීප' පුවත්පතට, 'මස් කෑමට පෙර මෙයත් සිතන්න' යනුවෙන්, ඔටාරා ඩෙල් ගුණවර්ධන ලියා තිබෙන ලිපියට, ප්‍රතිචාර දැක්විය යුතු යැයි මගේ දේශපාලන හෘදය සාක්ෂිය (?) බලකරන බැවින් මෙසේ ලියමි.
ඔටාරා, ඉතා සංවේදී වෙමින් මේ කියන කතාව, එක පැත්තකින් මිහිපිට සිටින කිසිවෙකුට ත් ප්‍රතික්ෂේප කළ නොහැක, ඒ සියලු සතුන් ට ජීවත්වීමේ අයිතිය ඇති නිසාය. 'සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!' යනුවෙන් බුදු දහම, භාවිත අරුත ට නංවන්නේ ඒ විශ්ව යථාර්තය යි. මනුෂ්‍යයන් ලෙස හැකි නම් අප අත්දැකිය යුත්තේ ද අන්න ඒ 'පරම' තත්වය යි!
'සිත' දියුණු කරමින් පුද්ගලිකව අත්විඳිය යුතු 'යම් ක්‍රියාවලියක්' වන එය, වෙනත් පටු අරමුණු සඳහා හෝ විශේෂයෙන්ම marketing tool එකක් ලෙස යොදා ගැනීම, පොදු සමාජය මත අසාධාරණ කම්පනයක් ඇති කිරීමකි.

අපි දැන් ඔටාරා ගේ ලියවිල්ල පරිස්සමට කියවමු;

'මිනිස් පරිභෝජනය සඳහා මාංශ නිෂ්පාදනය...' ලෙස මෙවර ලියැවිල්ල අරඹන ඇය කිසිදු තැනක, කිසිදු ආකාරයකින් 'මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, දැල්ලෝ...වැනි මත්ස්‍ය ආහාර ගැන, තාරාවෝ, පාත්තයෝ වැනි මරාගෙන කන සතුන් ගැන...ජීවයක් ඇති බිත්තර ගැන , කිසිදු සඳහනක් නොකරන්නේ ඇයි? ලිපියේ තැනක,'...මේ ආකාරයෙන්ම මිලියන ගණනක් වූ කුකුලන්, එළුවන් ඇතුළු අහිංසක සතුන්...' යනුවෙන් ලියමින් ඇය අදහස් කරන්නේ, එවැනි 'සතුන්' පිළිබඳ විය නොහැකිය. ඒ ඇයගේ සමස්ත ලියවිල්ල ම ඉලක්ක කරන සත්ව හිංසනය, තෝරාගත් 'මාංශ පරිභෝජනය' ක් - පමණක් හා බැඳී පවතින බව පැහැදිලි වන බැවිණි. එසේ වන්නේ කෙසේද?

මරාගෙන කෑම, පාපය සහ තහනම!

ලෝකයේ සෙසු රටවල කෙසේ වෙතත් ලංකාවේ අපි, සාමාන්‍යයෙන් 'මෙවැනි දෑ' සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින්නේ 'දවල් මිගෙල් රෑ දනියෙල්' ක්‍රමය යි. හොරාට මත් පැන් පානය කරන අපේ ඇතැම් අය අන්‍යන් ට බීමේ ආදීනව කියාදෙනු පෙනෙන්නේ එලෙසය. එසේ කියාදීම ද එක අතකට හොඳය, එහෙත් එවැන්නන් සාධු චරිත ලෙස සමාජය තුළ තම පැවැත්ම සහතික කර ගැනීම අනුමත කළ හැකි ද? විවිධ ආගම් වලට අයත් පුජක වරු, ජාතිකවාදී - ජාතිමාමක නායකයෝ, සිවිල් පොරවල්, ජනතා නියෝජිතයෝ...මෙසේ දෙබිඩ්ඩන් වීම ම නෙවයි ද? අපේ සමාජ අර්බුදය!
මාංශ පරිභෝජන ප්‍රතික්ෂේප කිරීම, නිර්මාංශ වීම, සත්ව හිංසනය පිටු දැකීම..වැනි සාකච්ඡා පොදුවේ ගත් කල එකී සමාජ අර්බුදයේම කොටසක් මිස අන් ඇත්තක් නොවේ!
තවත් සරලව ගත්තොත්, ලංකාවේ බොහෝ දෙනා මාළු, කරවල, උම්බලකඩ, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, දැල්ලෝ...වැනි මත්ස්‍ය ආහාර, තාරාවෝ, පාත්තයෝ, වගේ සත්තු 'ජීවිත' වලට සම්බන්ධ නැති 'යම් දේවල්' සේ සලකා, තම තමන්ව රවටා ගනිමින් තලු මරමින් බුදිති, ඒ අතරම, හරක්, ඌරෝ, එළුවෝ...ආදී ඇහැට කණට පෙනෙන සතුන් පිළිබඳ කිඹුල් කඳුළු හෙළති. උන්ගේ ජීවිත හානි කිරීමේ බරපතළකම ගැන කම්පාවෙති. හරියටම ගත්තොත්, ඔටාරා සඳහන් කරන මරණ වේදනාව, මාළුවන් ඇතුළු ජලයේ ජීවත්වන සත්වයන් ට දැනෙන්න පටන් ගන්නේ, උන් දියෙන් ගොඩගන්නා පළමු අවස්ථාවේ ම සිට බව අමුතුවෙන් කිව යුතු නොවේ. හිතන්න! කකුළුවන් වැනි සතුන් ගේ අඬු ගැට ගසා පණ පිටින්, වෙළෙඳ කුටි වල තියාගෙන ඉන්න කාලය! පණ පිටින් ඔවුන් පිසින්නට අපේ සත්ව ප්‍රේමවන්තයන් කෙතරම් ආශා කරන්නේද? පණ පිටින් මාළු පිසින සුපවේදය ලොව පුරා කෙතරම් ජනප්‍රිය ද? කුකුළාගේ ආරම්භක අවස්ථාව සටහන් වුණු බිත්තර, මාළු බිත්තර, තව තව බිත්තර  ඒ අතර!?
ඊළඟට අපි, යම් යම් සත්ව විශේෂ ආහාරය සඳහා හෝ මැරීම නීතියෙන් තහනම් කර තිබෙන්නේ ද උන්ට ආදරේට නොව, උන් වඳ වී යන තර්ජනයකට මුහුණ දී ඇති නිසාය. එනම්, අපි උඹලා ව මරාගෙන කනවා, උඹලා ව කන එක පාපයක්, හැබැයි අරුන් ව මරාගෙන කන්න නං තහනම්! කියලා ස්වයං එකඟතාවක් හදාගෙන, සමහර වෙලාවට ආගමික සීමාවන් එහෙමත් ලකුණු කරගෙන!

ජීවිතය වෙනුවෙන් මරා දැමීම...

අපි මේ අතර, අපි අකමැති සහ අපිට හානි කරන බව සිතන සතුන් කොන්දේසි විරහිතව මරා දමන්නෙමු. බැක්ටීරියාවන් ගේ සිට, පණුවන් ගේ සිට, කැරපොත්තන් ගේ සිට, මදුරුවන් ගේ සිට... අවශ්‍ය ඕනෑම මොහොතක ඖෂධ, වෙනත් රසායනික යෙදවුම් සහ තවත් උපක්‍රම මගින් සතුන් මරා දැමීමට නොපැකිළෙන්නෙමු. බැක්ටීරියාව හෝ පණුවා සතෙක් නොවී, මුවා හෝ අලියා සතෙක් වන්නේ කෙසේ ද? එක් සත්ව කොට්ඨාසයක් මර දැමීමට ත්, තවත් සත්ව කොට්ඨාසයක ට රාජ්‍ය ආරක්ෂාව ලබා දීමට ත් මිනිසුන් වූ අපට බලය දෙන්නේ කවු ද? සංවාදය බරපතළ ය.

ආගමික මැදිහත් වීම!

මේ සාකච්ඡාව ඊළඟට ආගමික තත්වයන් සමඟ ඉතා දරුණු ලෙස බද්ධ වෙයි. මේ සටහන ආරම්භ කරන අතර පෙන්වා දුන් පරිදි ම, බුදු දහම තුළ විශ්ලේෂණය කරන, සත්ව පැවැත්ම පිළිබඳ ගැඹුරු අර්ථය, ආගමික ප්‍රවාදයක් නොවේ. එය වෙනම විශ්වීය සන්දර්භය කි. ඊට මෙහා තැනක සිට, මාළු වගෙ දේවල් නං කෑවට ප්‍රශ්නයක් නැහැ! මස් තමයි ඉතිං...යනුවෙන් සිතන සහ මස් කන එක ප්‍රශ්නයක් නැහැ - සත්තු මරන එක තමයි පව්! කියා කල්පනා කරන බෞද්ධයන් ගැන වෙනම සාකච්ඡා කළ යුතුය, ඒ බුදුදහම, ආගමක් කොට තම වාසියට යොදා ගන්නා සංස්කෘතික මාදිලියක් මිස අන් යමක් නොවේ.
පෝය දිනවල ට, බොහෝ සුපිරි වෙළෙඳසැල් වල කුකුළු මස් තබා ඇති කොටස යම් විදිහකට ආවරණය කොට, ඒවා නොවිකුණන බව සඳහන් පුවරුවක් තබා තිබෙනු දැකිය හැකිය. එතැනම තවත් පසෙක, මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, දැල්ලෝ...සරුවට විකිණෙන අයුරු පුදුම සහගතය, උන් වෙනම කර ඇති විශේෂ පාපය එසේනම් කුමක් ද? මේ ආගමික බොරුව මගින් අපි සමාජයක් ලෙස බලාපොරොත්තුවන්නේ කුමක් ද?
ඒ අතර අපි ඉතාමත්ම කැමති, පදම් කළ විවිධ සම් වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ! පසුම්බි, සපත්තු, සෙරෙප්පු, ගමන් මලු, බඳ පටි -  ඔබේ සුරතලුන්ගේ බෙල්ලේ තියෙන සමහර කර පටි දිහාත් පරිස්සමට බලන්න, ඔටාරා! ඒ වගේම නූතන වාහන අසුන්, මේ මැරෙන සත්තු කමක් නැද්ද, ඉතිං?
එසේම බෞද්ධ සංස්කෘතිය තුළ ද විවිධ ආගමික කටයුතු සඳහා දවුල්, බෙර, තම්මැට්ටන් යොදා ගන්නා අතර ඒවායේ හඬ නගන්නේ සත්ව සම් කම්පනය බව අප හිතා මතාම අමතක කොට තිබේ. එනම් බුදු දහම, සංස්කෘතියක් බවට පත්වන අතර ඊට මානව සිතැඟියාවන් ද සුක්ෂම ලෙස එකතු වී ඇති සැටියකි!

කර්මාන්ත පිළිබඳ සංවාදයක්!

ඉහත කී හේතු, තවත් හේතු සහ විශේෂයෙන් ම ආගමික මැදිහත් වීමෙන් අපේ සමාජය ට සිදුව ඇති හානිය ඉතා බරපතළය. උදාහරණයක් ලෙස, ධීවර සහ සත්ව පාලන කර්මාන්ත, එක පැත්තකින් රෝමානු කතෝලික ප්‍රජාවට වෙන්වී තිබෙන අතර බෞද්ධ සංස්කෘතික අදහස් වලට අනුව, ඒ කර්මාන්ත ඔවුන්ට අකැප ය. මුසල්මානුවන් ඉදිරිපත් වන්නේ අර දෙගොල්ලන්ට ම කිරීමට නොහැකි, කුකුළා ගේ බෙල්ල කැපීමේ රජකාරියටය. බෞද්ධයන් අති බහුතරය ඒ සියලු මස් මාළු පරිභෝජනය කරති. මෙය කෙතරම් දුරට යුක්ති සහගත ද? සාධාරණ ද? මුසල්මානුවන් මේ වනවිට 'හලාල්' මාෆියාව ක් සංවිධානය කොට පාරිභෝගිකයන් අසාධාරණ ලෙස කොල්ල කන්නේ ද මේ වට පිටාව වාසියට යොදාගනිමින් බව අවිවාදිත ය.
අනෙක් අතට, මේ කර්මාන්තවලට සම්බන්ධ වන බෞද්ධ ජනයා ට සිදුවන අසාධාරණය කෙතරම් බරපතළ ද? ඔවුන් දිවා රෑ දෙකෙහි ම මානසික ව දුක් විඳිති, පසු තැවෙති. 'අපි මේ කරන්නෙ මහා පව්කාර වැඩක්!' බොහෝ විට ඔවුන් මැරි මැරී ජීවත් වෙති.
ඔටාරා වැනි ජනප්‍රිය චරිත මේ ඊනියා සත්ව ප්‍රේමය වෙනුවෙන් පෙනීසිටින්නේ මේ අතරය!
මාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස මේ පිළිබඳ මගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ද මෙහි සටහනක් තැබිය යුතුය.
සත්ව පාලන ක්ෂේත්‍රය පිළිබඳ මුලින් මට කිසිදු අදහසක් හෝ අවබෝධයක් නොතිබිණි. එහෙත් 2010 - 2011 අතර කාලය තුළ, අහම්බයක් (?) ලෙස  වෙන්නන්ප්පුව කේන්ද්‍ර කොටගත් මැක්සීස් සමාගම සමඟ යම් සමීප සම්බන්ධතාවක් ඇතිව තිබිණි. ගොවි පොළවල් 4 ක් ද පවත්වාගෙන යන, සත්ව පාලන සහ කෘෂිකර්මාන්තය සමඟ ගොඩනැගී ඇති එම ආයතනය තුළ දහසකට ආසන්න පිරිසක් වැඩ කරති. ඍජු සහ වක්‍ර ලෙස යැපෙන ප්‍රමාණය 20 - 30 දහස ඉක්මවා යයි.
ඒ වැඩබිම අධ්‍යනය කරන විට මට පෙනී ගියේ, එහි වැඩකරන සියලු පුද්ගලයන් අසාධාරණය ට සහ අගතිය ට පත්වන බවය. එහි සිටින බෞද්ධ පුද්ගලයන් ගේ සිත් තුළ අර පෙර කී සංතාපය තෙරපෙමින් තිබෙන බවය. 'මෙහෙන් ගන්න සල්ලි මට යා දෙන්නෑ කියල අපේ අම්මලා කියනවා...' යනුවෙන් වරෙක එක තරුණයෙක් දුක් බර හඬින් කීවා මතකය. පසු කලෙක, එම ආයතනයේ වැඩකරන සාමාජික සාමාජිකාවන් ට දීර්ඝ කාලීන අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් පවත්වාගෙන ගියෙමි. ඔවුන් සමඟ 'Musical Dialogue' යනුවෙන් සංගීතමය වැඩසටහන් මාලාවක් ද සාර්ථකව සංවිධානය කිරීමට හැකිවිය. එහිදී ඉතා දක්ෂ සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් පිරිසක් ම නිර්මාණය කර ගැනීමට හැකි විය. දෙහිවල, S ද S ජයසිංහ ශ්‍රවනාගාරයේදී වරෙක පැවැත් වූ එහි එක් වැඩසටහනකට ආරාධිතයෙක් ලෙස පැමිණි, ශිල්පී කමල් අද්දර ආරච්චි ප්‍රසිද්ධියේ සිනහමුසු මුහුණෙන් කියා සිටියේ, '..මචං! මස් කපන එවුන් ට මස් කපන්න දීලා, වෘත්තීය මට්ටමේ කට්ටියකට මේ වැඩ භාර දීපන්!' යනුවෙනි, ඒ මොහොතේ දී අපි ඒ පිළිබඳව යම් උණුසුම් කතා බහක් ආරම්භ කළ මුත් කිසි දා අවසන් කිරීමට නොහැකි විය. කමල් මේ කියන්නේ රටේ - සමාජයේ පොදු කතාවය. සත්ව පාලන ක්ෂේත්‍රයට සහ ධීවර කර්මාන්තයට සම්බන්ධ පිරිස්, අප අතර කිසිදු ආකාරයක පිළිගැනීමකට ලක් නොවෙයි. ගොවි ජීවිත වලට ද මීට සමාන ඉරණමක් අත් වන මුත් එය ඊට වඩා වෙනස් ය. මේ පුද්ගලයන් සත්තු මරණ බැවින් ඝාතකයන් ලෙස වෙනම පහළ සමාජ තීරුවක් බවට පත් වෙයි. නූතන කෘෂිකර්මාන්තය තුළ, රසායනික යෙදවුම් හේතුවෙන් සිදුවන සත්ව මරණ ප්‍රමාණය ද එසේ නම් සැලකිල්ලට ගත යුතුය, එහෙත් එය එසේ ද නොවෙයි.
මේ අනුව, ධීවර සහ සත්ව පාලන කර්මාන්තවල අගතියට පත්වන මිනිස්සුන්ට මම කියමින් සිටින්නේ, 'සත්තු මරණ අය අපායට යනවා නං, ඒ මස් මාළු කන අය දිව්‍ය ලෝකයට යනවා නං, මමත් එන්නං අපායට යන්න, අපි අපායට ගිහිං, දිව්‍යලෝකය ට ගල් ගහමු!' යනුවෙනි.
මම, පුද්ගලිකව මස් මාංශ අනුභව නොකරමි, ඒ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ට එරෙහිවය. සියලු සත්වයන් ගේ ජීවත්වීමේ අයිතිය පිළිගැනීම උදෙසාය. එය දේශපාලන ක්‍රියාවලියක එක කොටසක් මිස, මට නං ආගමික යමක් නොවේ. marketing tool එකක් ද නොවන නිසා ඒ තේමාව මත, අත්‍යවශ්‍ය බරපතළ දේශපාලන සංවාදයක දී මිස, සාමාන්‍ය නිර්මාංශ ලැයිස්තුවක ද පෙනී නොසිටීම ට වග බලා ගනිමි.
වරෙක, සේපාල් අමරසිංහ පළ කරමින් තිබූ 'පැපරාසියා' සඟරාවට ද 'මේ පෙනී හිටීම'  ප්‍රශ්න කරමින් ඔහු ලිපියක් සම්පාදනය කර තිබිණි. මම ද ඊට මෙම ලියැවිල්ලේ අන්තර්ගතය ට සමාන අන්තර්ගතයක් සහිත ප්‍රතිචාරයක් දැක වීමි, තවමත් ඒ සංවාදය විවෘතය.
මැක්සීස් වැඩ බිම ගොඩ නැගුණු ආකාරය සහ එහි මේ සංවාදය ස්ථාන ගත වන ආකාරය 'තව දුරටත්' කෘතියෙන් මම විස්තරාත්මක ව සාකච්ඡා කර ඇත්තෙමි.
කෙසේ වෙතත්, මම ඔටාර ට යෝජනා කරන්නේ, ජනප්‍රිය දහරාවේ ප්‍රචාරණ ව්‍යාපෘතිවලින් බැහැරව මේ විශේෂ තත්වයන් දෙස කල්පනාවෙන් බලන ලෙසය. එසේම, කර්මාන්ත පිළිබඳව මීට වඩා පුළුල් මට්ටමේ සංවාදයක් ගොඩ නැගීම ඇයගේ ද වගකීම වන්නේ, ඇය ද ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන බැවිණි.
                   
CHAPA  

10 comments:

  1. සම්පූර්නයෙංම ඇත්ත තමයි ඔයාගෙ කතාව චාපා. මේ ගැන සමාජයේ හොඳ විවෘත සංවාදයක් ගොඩනගන්න ඕනෙ සහ ඒ පිලිබඳව අවසානයේ සමාජීයවශයෙන් පොදු එකඟතාවයකට අපි එන්න ඕනෙ.

    ReplyDelete
  2. Yes totally true Chapa! Can we start a dialogue through the media on this topic? (Through "Derana - Aluth Parlimenthuwa" for example)

    ReplyDelete
  3. ඔබ තුමාට මෙම ලිපිය ලියන්න හිතුනේ පෝය දවස් වලත් කුකුල් මස් වෙලදාම් කෙරීමේ අරමුනුන් ද ? මැක්සිස් සමාගමේ ලාබය එමගින් වැඩි කර ගැනීමේ අරමුණින් ද ?

    ReplyDelete
    Replies
    1. meke oba thumata ehema deyak penawada... angilla handata dik karama angille kuda kiyana eka melo rahak nathi wadak ....

      Delete
    2. ඔබ තුමාගේ ටිකිරි මොලයට නොතේරෙන බොහෝ දෑ ඇත.

      Delete
  4. මස් මාංශ අනුබවය පාපයක් ලෙස බුදු දහමේ දක්වා නැත. පන ඇති සතුන් නොමරමි ලෙස සික්ෂා පදයක් මගින් , පන සහිත සතුන් මැරීම පාපයක් බව දක්වා ඇත. එහෙත් බුද්ද දේශනාව තුල වැළදිය යුතු නැති මස් වර්ග 10ක් බුදුන් වහන්සේ දේශනා කර ඇත. මේ අතර සිංහ ,වලස් මාංශ ආදී ලෙස මස් වර්ග සදහන් වී ඇත. ඔබ බුදු දහම විශ්වාස කරන්නේ නම් පිරිසිදු බුද්දවචනයම ඇති ත්‍රිපිටකය පමණක්ම අද්‍යයනය කර බලන්නේ නම් වැදගත්ය.



    ReplyDelete