Saturday, October 29, 2016

                    ශ්‍රී පාදය විතරක් බේරගන්න බැහැ හාමුදුරුවනේ!

ශ්‍රී පාදය පිහිටි සමනළ කඳු සීමාවෙ සංචාරක හෝටලයක් ඉදිකිරීමට යම් සමාගමක් සැලසුම් ක්‍රියාත්මක කරමින් ඉන්න බව, මාධ්‍ය වාර්තා කීපයක් ම දැන් තහවුරු කරනව. මේ සමාගම ගැන ත්, ඔවුන් ට අදාළ ඉඩම ලැබුණු ආකාරය ගැනත් යම් කතාවක් පැතිර යන මුත් එය තහවුරු කරගන්න තවම තොරතුරු මදි. ඒ සම්බන්ධයෙන් අද ( 2016 ඔක්තෝබර් 29 ) හැන්දෑවෙ දෙරණ සහ හිරු රුපවාහිනී නාලිකා ඉදිරිපත් කරපු ප්‍රවෘත්ති වාර්තාවලට අනුව එවැනි ඉදිකිරීමකට අවසර ලබා දී ඇති බව තහවුරු වුණා.
ඒත් එක්කම, ඉදිරි වන්දනා කාලය ගැන දැනුවත් කරන්න කැඳවා තිබුණු සාකච්ඡාවක් පිළිබඳ ප්‍රවෘත්තියකුත් දකින්න ලැබුණ. එහිදී, ශ්‍රී පාදය භාර හාමුදුරුවො ප්‍රකාශ කරන්නෙ, ඒ ඉදිකිරීම තමන් යටතෙ පාලනය වන භූමි සීමාව ට අදාළ නොවන බවත්, එවැනි බොරු ආරංචි පැතිරවීමෙන් වළකින ලෙසත් ය. සිද්ධ වෙන්න යන විනාශය එච්චර ම සරල ද?
2001 අවුරුද්දෙ දි, කඩුවෙල කොරතොට කන්ද සමීපයෙදි පුද්ගලිකව මම අත්විඳි මීට සමාන සිදුවීමක් මේ වෙලාවෙ මතකය ට එනව. කොරතොට කන්ද  එක පැත්තකින් කළු ගල්වලට කඩන මහා ජාවාරමක්, අනිත් පැත්තෙ කොරතොට රජ මහා විහාරය. ඒ, කන්ද බේරගන්න පාර ට බැහැල සටන් කරන කාලය. මම ගියා ඒ රජ මහා විහාරයෙ ලොකු හාමුදුරුවො හම්බ වෙන්න. 'අපිට ඉතිං ලොකු ප්‍රශ්නයක් නැහැ, ඔය එහා පැත්තනෙ..' කියල හාමුදුරුවො කරුණු පැහැදිලි කෙරුව. කන්ද ට සිද්ධ වෙන්න යන හානිය සහ දීර්ඝ කාලීන ව ඒ පරිසර පද්ධතිය ට වෙන්න යන විනාශය පැහැදිලි කරන්න ගත්ත මගෙ උත්සාහය නිකං අපතෙ ගියා. 
මේ අද, ශ්‍රී පාදය පිහිටි මහා කන්ද සම්බන්ධ පරිසර පද්ධතිය ගැන!
එක දෙයක් දැන් පැහැදිලි යි. මේ අතිශය සංවේදී ස්වභාවික කලාපය තුළ යම් විසල් ඉදිකිරීමක් සඳහා සිදුවීම් පෙළ ගැහෙමින් තියෙනව.
එසේ නං එය වහා නැවැත්විය යුතුයි! අපි මේ ගැන තව කරුණු හොයමු, පෙළ ගැහෙමු, මේ අසම සම ස්වභාවික ලෝකය මුළු ජෛව ගෝලය වෙනුවෙන් ම ආරක්ෂා කරමු! ඒත්, ඒ කොහොමද?
මට ( අපිට! ) කොරතොට කන්ද බේර ගන්න බැරිවුණා! කල් ආරු - විල්පත්තු වනාන්තර මේ දැනටත් විනාශ කෙරෙමින් තියෙනව! රාජපක්ෂ රෙජීමය යටතෙ, බැසිල් ගෙ නායකත්වයෙන් සිද්ධ වෙච්ච, මෛත්‍රී - රනිල් ආණ්ඩුව යටතෙ ත් නොනැවතී ඉස්සරහ ට යන, මහා වන විනාශයක් ඒ.
එතකොට?
CHAPA       

1 comment:

  1. හාමුදුරුවන්ව නම් සල්ලි වලට ගන්න පුළුවන්

    ReplyDelete