Tuesday, October 11, 2016

විපක්ෂයක් ඕනෑ කර තිබේ!

ආර්. සම්බන්ධන් ප්‍රමුඛ විපක්ෂ ය එක පැත්තක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තව පැත්තක. ඒ අතර, මේ මොහොත වෙනකොට, මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට ක්‍රියා කරනව. ඒ කියන්නෙ, දැනට වලංගු 78 ව්‍යවස්ථාව පරිච්ඡින්න කරල අලුත් ව්‍යවස්ථාව ක් රටට හඳුන්වාදෙන්න ඕන කියල පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ම විශ්වාස කරනව! විපක්ෂ - ඒකාබද්ධ විපක්ෂ වෙනසක් නැතුව. විපක්ෂය ගැන නං කතා කරන්න දෙයක් නැහැ, සම්බන්ධන් කියන්නෙ වෙනම ව්‍යාපෘතියක් නිසා. ඒත් ඒකාබද්ධ විපක්ෂය?

අපි ආපිට කල්පනා කරමු! 

අපි ආපිට කල්පනා කරමු! 2015 ජනවාරි 8 සිද්ධ වුණේ කුමන්ත්‍රණයක් කියන 'යෝජනාව' ත් එක්ක. ලංකාව කොහොමත් 1948 න් පස්සෙත් නිදහස් වුණෙ නැහැ. සිද්ධ වුණෙ, පැරණි යටත්විජිතවාදය වෙනුවට නව යටත්විජිතවාදයකට නතු වෙච්ච එක. එක්සත් ජාතීන් ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරය කියන්නෙ අන්න ඒ නව යටත්විජිතවාදී මැදිහත්වීමට. LTTE ය දක්වා වර්ධනය වන දෙමළ වර්ගවාදී දේශපාලනය ( වරෙක ත්‍රස්තවාදය! ) නිර්මාණය වෙලා පෝෂණය වෙන්නෙ අන්න ඒ පසුබිමේ තමයි. එදීහි, ඉන්දියාව ප්‍රමුඛ කලාපීය බලපෑමත් මුළුමනින්ම රටට පීඩා එල්ල කළා. ප්‍රභාකරන් ඔය පොදු තත්වයන් ගෙ රූකඩයක් විතරයි. ලංකාව නම් වූ 'ඒ' දුර්වල රාජ්‍ය හිතුමතේ ට කොල්ල කන්න ඒ අතර, අර කියන වෙළෙඳ කුමන්ත්‍රණකරුවන්ට පහසු ඉඩ කඩක් හැදෙනව.
එක පැත්තක අවි ආයුධ ජාවාරම් යුද්ධය වවනව. රසායනික යෝධයන් ප්‍රමුඛ බහු ජාතික සමාගම් ජාලයක් තව පැත්තකින් රටේ ආර්ථිකය අත්පත් කර ගන්නව. රටේ ඓතිහාසික ආර්ථික පාදම වූ කෘෂිකර්මාන්තය ඒත් එක්කම දියකරල දානව. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව අනිත් පැත්තෙන් රටට ණය දීලා, කොන්දේසි උගුල් වල පටලවමින් තම දීර්ඝ කාලීන ලාභ උපයන්න පටන් ගන්නව. ඔය ඔක්කොම අස්සෙ මහා NGOs බල ඇණියක්. රට එදවස එකම දඩ බිමක්!

ප්‍රභාකරන් නික්ම යෑමත් එක්ක...

සියල්ල අතරෙ ඒත් එක වෙලාවක LTTE ය යුධමය වශයෙන් පරාජය කරන්න ලංකා රාජ්‍යයට පුළුවං වෙනව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය ගෙ දේශපාලන නායකත්වය සහ ගෝඨාභය රාජපක්ෂ ගෙ හමුදා නායකත්වය ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානව. ඒ හදිසි දේශපාලන 'වෙනස' අර කියන ඊනියා ජාත්‍යන්තරය කිසිසේත් ම බලාපොරොත්තු නොවිච්ච එකක්. ජනවාරි 8 කුමන්ත්‍රණය පටන් ගන්නෙ අන්න එතැනින්.
හැබැයි, මහින්ද ප්‍රමුඛ රාජපක්ෂවරු හෝ ඔවුන් වටේ රොද බැඳගෙන හිටපු කවුරුවත් එදාට අදාළ ඒ අනාගත දේශපාලන චලනයන් හෙවත් මේ දැන් අත්විඳින දේශපාලන තත්වයන් ගැන දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසාම ඔවුන් යුද ජයග්‍රහණයෙන් කුල්මත් වෙලා fun එකේ හිටිය. යුද්ධය ජයග්‍රහණය කරන්න හේතු වුණු රාජපක්ෂ බලය ඒ අතර, ආණ්ඩුව රෙජීමයක් බවට පරිවර්තනය කරමින් තිබුණ. සංවර්ධනය නාමයෙන් යෝධ ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක වෙන අතරෙ ඔන්න විවිධ දුෂණ, වංචා සහ අක්‍රමිකතා වැඩිවෙන්න පටන් ගත්ත. නීතියෙ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කෙරුණ. විවිධ ජාතිවාදී කොටස් රටේ තැන තැන හොල්මන් කරන්න පටන් ගත්ත. වැදගත්ම දේ මේකයි. අර කලින් සඳහන් කරපු, ලංකාව ට එරෙහි මහා වෙළෙඳ කොල්ලය ඒ විදිහටම තවදුරටත් සාර්ථක වෙමින් තිබුණ. ඉන්දියාව ට යම් කණස්සල්ලක් ඇතිවුණා නං ඇති වුණේ ලංකාවෙ චීන මැදිහත් වීම කොහොම ඔවුන්ගෙ ආධිපත්‍යයට බලපෑම් කරයි ද කියන කාරණය මත.

හමුදා බලය!

මේ සියල්ලට සමගාමීව ඔය ඊනියා ජාත්‍යන්තර බලමුළුව ට තිබුණු බරපතළ ම ප්‍රශ්නය, ලොකයෙ දරුණුතම ත්‍රස්තවාදය විධිමත්ව පරාජය කරන ප්‍රබල හමුදා බලයක් තියෙන රාජ්‍යයක් ලංකාවෙ පවතින්න ඉඩ දෙන්නෙ කොහොමද? කියන එක - අනෙක චීනය සමගත් මුකුළු කරන?!
ඔන්න ඔය පසුබිමේ තමයි ජනවාරි 8 කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා රාජපක්ෂ පාලනය පෙරළා දාන්නෙ. හැබයි, ඒ අන්තිම මොහොතෙ ත්, තවම ත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුර එදා මෙදා තුර සිද්ධවෙමින් පවතින 'දේ' දන්නෙ නැති බව ඉතාම පැහැදිළි යි. ඒකාබද්ධ විපක්ෂය හැටියට සංවිධානය වෙන අතරෙ ඔවුන් දැන් කල්පනා කරන්නෙ ත් මොකක් හරි කරල ආණ්ඩුව පෙරළන විදිහක්. 'මොකක් හරි' කරල ආණ්ඩුව පෙරළන්න බැහැ, එහෙම කෙරුව ත් හැදෙන්නෙ මේ විදිහෙම වෙන ආණ්ඩුවක්. කොහොමත් රට ගොදුරු කර ගනිමින් තියෙන කුමන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක වෙනව. ඒක තේරුම් ගන්න එක හරිම සරලයි. බලන්න! ආණ්ඩුවෙ ඒ පැත්තෙ මේ පැත්තෙ හැම පැත්තෙම ඉන්නෙ එකම කට්ටියක්, එකම කෙනා මැරිල ඉපදිල වගෙ කතා කරනව, හිනා වෙනව. විරිත්තනව.

දැන් මේකද අපිට - රටට ඕනෙ?

නැහැ! රටට ඕනෙ වඩා යහපත් දේශපාලන පදනමක් තියෙන ප්‍රබල විපක්ෂයක්, රටේ ගමන් දිශාව වැරදි යි කියල ආණ්ඩුව ට බලපෑම් කරන්න පුළුවං විදිහෙ. ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා සුදානම් ද? කියන බරපතළ ප්‍රශ්නය මේ වන විට අප ඉදිරියෙ තියෙනව. රටට බරපතළ හානි කරන, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන පනත...පහසුවෙන් සම්මත වුණා, සමහර වෙලාවට, ඒකාබද්ධ විපක්ෂය බොරු රඟපෑම් කරල ඒවා සම්මත වෙන්න ඉඩ හදල දුන්න. දැන් බෙදුම්වාදී අලුත් ව්‍යවස්ථාව. හැම දේම සිද්ධවෙමින් තියෙන්නෙ.අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවෙ ඉන්න, අති බහුතරයට චෝදනා තියෙන නිසා වෙනම 'ගේමක්' ඒවා බේර ගන්න. කට්ටියක් දඩයමේ, කට්ටියක් පඳුරු අස්සෙ. පාදඩ දඩ බිමක්. කොටින්ම මේ කිසි කෙනෙක් චන්ද්‍රිකා - මෛත්‍රී - රනිල් ආණ්ඩුවට අභියෝගයක් නෙවෙයි. ඊනියා ජාත්‍යන්තර මෙහෙයුමට බාධාවකුත් නෙවෙයි.

එක්කො ඒකාබද්ධ විපක්ෂය පාපොච්ඡාරණය කරල ස්වයං විවේචනය ක් කරල ඇත්ත පෙරමුණක් විදිහට, ශක්තිමත් දේශපාලන පදනමක් මත බලමුළු ගැන්වෙන්න ඕනෙ, එහෙම නැත්තං වෙන විපක්ෂයක් ඕනෙ, එහෙම විපක්ෂයකට විතරයි ආණ්ඩුව ට එරෙහිව ජනතාව පෙළගස්සවන්න පුළුවං වෙන්නෙ, රටේ ගමන් මග වෙනස් කරන්න පුළුවං වෙන්නෙ!   

CHAPA

No comments:

Post a Comment