Wednesday, October 5, 2016

අනේ ළමයි නේ!

5 ශිෂ්‍යත්වය ගැන මේ මොහොතෙ ත් ලොකු උනන්දුව ක් රට පුරාම! ඒ, මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීම ත් එක්ක. අදාළ විභාගය පැවැත් වුණෙ අගෝස්තු 21. ඇත්තටම මේ, 5 පන්තියෙ ඉගෙන ගන්න ළමයින් ගෙ මුළු ජීවිතයම විකෘති වෙන්න පුළුවං විදිහෙ අයහපත් ක්‍රියාවලියක කෑල්ලක්. නිදහස් අධ්‍යාපනය ත් එක්ක බද්ධ වෙලා දශක ගණනාව ක් තිස්සෙ පැවැත්වෙන මේ කඩ ඉම් විභාගය කිසිම විදිහකට ළමා මනස සංවර්ධනය සඳහා හේතු වෙන්නෙ නැහැ. ගණිතය, භාෂා සහ පරිසරය යන විෂයයන් එකට මිශ්‍ර කෙරුණු මේ ප්‍රශ්න කිරීම හරහා ලබා ගන්න පුළුවං උපරිම ලකුණු මට්ටමකුත් වාර්ෂිකව තීරණය වෙනව. ජනප්‍රිය පාසල් ලබා ගැනීම සහ ශිෂ්‍යත්ව දීමනා ලබාගැනීම තමයි ශිෂ්‍යත්ව කඩ ඉම පැන ගන්න ළමයින්ට 'පැවරෙන' අරමුණු.
හරියටම ගත්තොත්, මේ දෙමාපියන්ගෙ තරඟ විභාගයක්, අම්මලා ගෙ වැඩියෙන් ම! ඔවුන් තම දු දරුවන්, යම් යම් ක්‍රීඩාවන්ට සත්තු පුහුණු කරන විදිහට ම වගෙ 5 ශිෂ්‍යත්වයට සුදානම් කරවනව. මේ වෙනකොට දරුවගෙ වයස අවුරුදු 10 යි. පාසල් ඉගෙනීම , හවස ශිෂ්‍යත්ව පන්ති ඉගෙනීම, වෙනම ගෙදරට ගුරුවරු ගෙන්වා ඉගෙනීම, දෙමව් පියන්ගෙන් ඉගෙනීම...ළමයට කිසිම ඉස්පාසුවක් නැහැ! උදේ පාන්දර, මහා රෑට, තව එක එක වෙලාවට ළමයට ශිෂ්‍යත්ව පාඩම් ! 'අනේ පුතේ...කොහොමහරි උපරිම ලකුණු ගන්න, මං දන්නවා ඔයාට පුළුවං! ඒ මදිවට දෙමව් පියන්ගෙන් එල්ල වන ආදරණීය - මරණීය පීඩනය! අනේ පුංචි ළමා හිතට ඇතුලු වෙලා ඒ ගැන දැනගන්න පුළුවං නං!
පහුගිය අවුරුද්දක, එක පුංචි දරුවෙක් ශිෂ්‍යත්වය අසමත් වුණා කියල ගෙදරින් පන්නපු සිද්ධියක් උණුසුම් පුවතක් බවට පත්වුණා. තව දරුවෙකුට දඬුවම විදිහට බලු කුඩුවක ලගින්න වුණා. ඔය හෙළිදරව් වුණු සිද්ධි. අපි නොදන්න ඔය වගෙ කාලකන්ණි සිදුවීම් තව කොච්චර ඇද්ද?
මේ කතාවෙ අනිත් පැත්තෙ, ගුරුවරු! එක පැත්තකින් 5 ශිෂ්‍යත්වය, තම ජීවිතයටම ශිෂ්‍යත්වයක් කරගත්ත ගුරුවරු, මේ ළමා හීන market කරමින් හොඳට හම්බ කරනව. පන්ති, සම්මන්ත්‍රණ, පොත් පත්තර සම්පාදනය...ගුරු මුදලාලිලාට මාර සරුයි. තවත් පැත්තක, ඇත්තටම මේ ශිෂ්‍යත්ව කඩුල්ලෙන් තම පංතියෙ දරුවො පන්නන්න දඟලන අවංක කැපකිරීම් කරන ගුරුවරු. එතැනම, ඒ වගෙ ගුරුවරු පීඩාවට පත්කරමින් තරඟය ට ලංසු තියන විදුහල් පති වරු. මේ සියල්ල අතරෙ ක්‍රියාත්මක පුද්ගලික න්‍යායපත්‍ර!
දැන් මේ අහිංසක දරුවන්ට මොකද වෙන්නෙ!?
5 ශිෂ්‍යත්වය නිසා තමයි අත මිට සරු නැති, සමාජ කොණේ එල්ලිලා ඉන්න මිනිස්සුන්ට තම දරුවන් හොඳ (?) පාසලකට රිංගව ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ කියන තර්කය මෙතැන දි අතිශය වැදගත්. ඒ අනුව, මේ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් පවත්වාගෙන යන්න ඕනෙ කියන මතයට වලංගු භාවයක් ලැබෙනව. ඒත්, මේ පවතින අධ්‍යාපන අවස්ථා පිළිබඳ විෂමතාව ට විසඳුම මේකද? ඒ කියන්නෙ අසරණ දරුවන්ගෙ බෙල්ල මිරිකන එකද!? නැහැ! කොහෙත්ම එහෙම වෙන්න බැහැ!! හැබැයි, මෙහෙම කියපු ගමන්, ඔය විෂමතාව දිගටම පවත්වා ගන්න ඕන අයත් 'අන්න හරි!' කියනව. නිදහස් අධ්‍යාපන අවස්ථා ක්‍රමානුකුලව අහෝසිකරමින් සමස්ත අධ්‍යාපනයම මුදලාලිකරණය කරන්න කැසකවන අයත් 'අන්න හරි!' කියනව.
අපි මේ සාකච්ඡාව තර්කානුකූල තැනකට ඔසවා තබමු!
ජාතික පාසල්,  පළාත් සභා පාසල් කියල දෙවර්ගයක් මොකටද? අනෙක ජනප්‍රිය පාසල් කියල කොටසක් වෙන් කරගත්තහම අනෙක් ඒවා ජනප්‍රිය නොවන පාසල් බවට ඉබේම පත් වෙනව. මේ විෂමතාව අනිවාර්යයෙන්ම නැතිවෙන්න ඕනෙ. හැම රාජ්‍ය පාසලක්ම 'පාසලක්'. ජනයාගෙ බදු මුදලින් මූලිකව තර වන රාජ්‍ය අදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ නිදහස් අධ්‍යාපන අවස්ථා සංවර්ධනය කරන්න යොදවන්න ඕන. හැම පාසලක්ම උපරිම මට්ටමට සංවර්ධනය කරන්න ඕනෙ, ඊට සමගාමීව ඉගෙනුම් ක්‍රියාවලිය අදාළ ප්‍රමිතීන්ට අනුව අපේක්ෂිත මට්ටමට සංවර්ධනය කරන්න ඕනෙ. හැම ගුරුවරයෙක්ම ළමයින්ට වග කියන්න ඕනෙ. ඔන්න රාජ්‍ය නියාමනය අවශ්‍ය තැන!
අතිශය වැදගත් ප්‍රශ්නය මේකයි, රටක අධ්‍යාපනය කියන්නෙ මොකද් ද? රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සමගාමී සහ යහපත් සමාජයක් සඳහා වූ දැනුම, වෘත්තීය මට්ටම. මේ දේශපාලනඥයො ඔය ගැන දන්නෙවත් නැහැ, ඊට හපන් උන් ට උපදෙස් දෙන අධ්‍යාපන විශේෂඥයො ටික, තමන් ඉගෙන ගත්ත විදිහව ත් උන් ට මතක නැහැ. ඔය ඔක්කොම එකතු වෙලා, ඊනියා ජාත්‍යන්තර බැංකු වල උපදෙස් අනුව රටේ අධ්‍යාපනය රටත් එක්කම කනව.  
ඉතිං, රටක් හැටියට මේ මහා ඛේදවාචකයට මුහුණ දෙන්න, අපි දැන් වත් සුදානම් ද? ම්හු! නැහැ!
අනේ ළමයි නේ! අපි වැඩිහිටියො නං පරාදයි, 5 ශිෂ්‍යත්වය කෙසේ වෙතත් දවසක මේ අර්බුදයෙන් ගොඩ එන්න උඹලවත් උත්සහ කරපල් ලා! ඒත් කොහොමද නේද, අපි උඹලගෙ බෙල්ල මිරිකන් ඉන්නකොට!
CHAPA, Oct 5, 2016           

No comments:

Post a Comment