Saturday, October 22, 2016

                                             ගාමිණී - සරත්!


ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය සරත් විජේසූරිය ගැන සටහනක් තියන්න හදිසියෙම මට හිතෙනව. ඇයි, ඒ දෙන්න ගැන එකට? කියල කෙනෙකුට හිතෙන්න පුළුවං, ඒකට විශේෂ හේතුවක් තියෙනව. මම, පුද්ගලික ව එක කාලයක දි ඔවුන් දෙන්නට ම යම් කැමැත්තකින් හිටියෙ. ඒ, 'රාවය' ට වැඩ කරන සහ 'නිදහස්' පටන් ගත්ත මුල් කාලයේ දි.
ගාමිණී වියන්ගොඩ මට සමීප වෙන්නෙ ඔහු ගෙ පරිවර්තන කෘති හරහා, ඔහු ගෙ කෘති සියල්ලම හෝ අති බහුතරයක් වගෙ මම කියවල තියෙනව. ඔහු ඉතාම දක්ෂ පරිවර්තකයෙක්, ආයෙ දෙකක් නැහැ. ඔහු අතින් පරිවර්තනය කෙරුණු සිමොන් ද බෝවා ගෙ 'අනුන්ගෙ ලේ' ( blood of Others ) කියන්නෙ මගෙ අත්දැකීම් අතර එක විදිහක හැරවුම් ලක්ෂයක්. ඔහු, ඒ දවස් වල ප්‍රංශයෙ ඉන්න අතරෙ 'රාවය' ට ලියපු 'අවරදිග අවර්ජනා' කොලම් පේළිය නං ඒ තරමට මගෙ හිත ගත්තෙ නැහැ. කොහොම හරි, 'නිදහස්' පටන් අරගෙන ටික කාලයකින් මට ආරංචි වුණා ඔහු ලංකාවට ඇවිත් ඉන්නව කියල. වෘත්තියෙන් භෞත චිකිත්සකයෙක් වන උපාලි වික්‍රමසිංහ තමයි ආරංචිය ගෙනාවෙ, ඔහුත් ගාමිණී ගෙ හොඳ පාඨකයෙක්. ගාමිණී එදා, ජනක ඉණිමංකඩ ගෙ, කළුබෝවිල පොත් සාප්පුවෙ මිදුළෙ විවෘත සාකච්ඡාවක් පවත්වනව කියල උපාලි කිව්ව, ඉතිං අපි ගියා. ලංකාවෙ දේශපාලන තත්වය ගැන එදා එතැන කට්ටියක් වටකරගෙන කතා බහක් කෙරුණ, මමත් මගෙ අදහස් ඉදිරිපත් කෙරුව. ගාමිණී බොහොම හොඳට සවන් දීල පරිස්සමට කතා බහ කරන හැටි දැකල මම කැමති වුණා. 
ඊට පස්සෙ 2006 දි වගෙ, ඔහු දිගටම ඉන්න ලංකාව ට අව කියල දැනගෙන මම ඔහු හොයාගෙන ගියා. එතකොට ඔහු, නාවල හන්දිය කිට්ටුව පවත්වාගෙන ගිය ටිරාන් අලස් ට අයිති ගුවන් විදුලි මධ්‍යස්ථානයක ප්‍රධානියා හැටියට වැඩ පටන් අරං. මට මතක 'ඉසුර' ගුවන් විදුලිය. පස්සෙ ජලය විකිණීම ට එරෙහිව එක වැඩ සටහනක් කරන්නත් ඒ ගුවන්විදුලියෙ ඉඩක් හම්බ වුණා.
කොහොම හරි ඒ මුණගැහීමෙදි නං ගාමිණී එච්චර විවෘතව මාත් එක්ක කතා කෙරුවෙ නැහැ. ලේඛකයො ඔහොම වෙන්න ඇති! කියල ඉතිං මම හිතා ගත්ත. හැබැයි මගෙ කැමැත්ත ටිකක් හෙල්ලුණ ත් එහෙම ම තිබුණා, ඊට පස්සෙ 2007 මුල් දවසක ආයෙත් අපි හම්බ වුණා දැදුරු ඔය මිටියාවත ට යන කණ්ඩායමක් අතරෙ. වැවක් හදල ගමක් අස්ථාවර කරන සිද්ධියක් සම්බන්ධයෙන් දැදුරු ඔයට මායිම් වූ ගමක තිබුණු විරෝධතා ව්‍යාපාරයක ට සම්බන්ධ වෙන්න අපි ගියෙ. එවකට රාවය ට වැඩ කරපු, තිඹිරියාගම බණ්ඩාර තමයි ඒ වැඩේ සම්බන්ධීකරණය කෙරුවෙ. අපි එකම වෑන් රියක තමයි ගමන ගියේ, ආවෙ. එදත් ඔහු වැඩිය කතා කෙරුවෙ නැහැ. පස්සෙ දවසක මම ඔහුගෙ ගෙදර ගිහිං සාකච්ඡාවක් කරන්න උත්සහා කෙරුව, ඒකත් එච්චර සාර්ථක වුණෙ නැහැ. ඒත් ඔහුගෙ පරිවර්තන අතර මගෙ හිතේ ගොඩනැගුණු ඔහුගෙ අර පෞර්ෂය එහෙම ම වගෙ ඉතුරු වුණා.
ඊලඟට මහාචාර්ය සරත් විජේසුරිය!
ඔහු ගැන එක එක්කෙනා කියන දේවල් අහල මටත් හිතුණ දවසක, ඔහු ඒ කියන විදිහෙ, සමාජය යහපත් අතට හරවන්න හිතන, වෙනස් අදහස් තියෙන කෙනෙක් ද කියල බලන්න. ඔහු ලියපු පොතක් දෙකක් බලන්න ගත්තත් ඒවා ගැන, එච්චර උවමනාවක් හිතේ ඇති වුණේ නං නැහැ ඇත්තටම. කොහොම හරි, ගාමිණී හම්බවෙන කාලයෙදි ම වගෙ තමයි මම ඔහුවත් හම්බ වෙන්න යන්නෙ. අපි හම්බ වුණෙ, කොළඹ විශ්ව විද්‍යාලයෙ ගොඩ නැගිල්ලක උඩ තට්ටුවක පිහිටා තිබුණු ඔහුගෙ ම කාර්යාලයෙදි. 'නිදහස්' අරමුණ ගැන, කරන දේවල් ගැන, කරන්න හදන දේවල් ගැන මම දිගට හරහට කියාගෙන ගියා. 'වඩා යහපත් තැනකට මේ සමාජය ඔසවන්න නං අපිට ලොකු අරගලයක් කරන්න තියෙනව...' වචන වෙනස් වුණත් ඔය වගෙ කතාවක් තමයි මම ඔහුට අවසානයෙදි කියන්නෙ. මාර වැඩේ කියන්නෙ ඔහු ත් අර ගාමිණී වගෙම, ම්, ම්හූ, ම් ම් ම්..වගෙ සරල සහ ගුප්ත හඬ වලින් මට සවන් දුන්න මිසක් වැඩිය යමක් කිව්වෙ නැහැ. ඔහු විශ්ව විද්‍යාල ගුරුවරයෙක් සහ යම් යම් වැඩසටහන් කරනව කියල අහල තිබුණු නිසා මට එක විදිහක ඒ නිහඬ බව ප්‍රශ්නයක් වුණා. පස්සෙ ඔහු කරන සමහර වැඩ සටහන් ඉඳ හිට තැන තැන දි දැක්කත් ලොකු විශේෂත්වයක් හිතට අවෙ නැහැ.
ඒත් එක්කම, කාලය එක්ක - විවිධ මිනිස්සු එක්ක - විවිධ ක්‍රියාකාරකම් එක්ක ඒ මතකය ත් මැකිල ගියා. 
ඔන්න 2015 එළැඹෙන අතර, පහුගිය ජනාධිපතිවරණය ත් එක්ක තමයි, ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසුරිය කට ඇරල කතා කරන හැටි මම දකින්නෙ! 
ඔවුන් ට කොහෙන්ද එක පාරටම එච්චර හයියක් ආවෙ? මාර ප්‍රශ්නයක්! එදා මෙදා තුර ඔවුන් කරන වැඩ ගැන ඉතිං ආයෙ කතාකරන්න දෙයක් නැහැ. එක පැත්තකින් ඔවුන් හරි වෙන්නත් පුළුවං තවත් කෙනෙකුට. අනෙක ඒ ඔවුන්ගෙ අයිතිය!
ඒත් මේ, මම අර හම්බ වෙන්න ගිය පුද්ගලයන්මද? ඔවුන් මෙච්චර පුංචි ද? අනේ මංදා! සරත් විජේසුරිය කෙසේවෙතත් ගාමිණී වියන්ගොඩවත් මට මෙහෙම දකින්න නොලැබුණා නං!
CHAPA               

No comments:

Post a Comment